හික්‌කඩුව වැල්ලේ.. මෙන්න හෙළු වැල්ලේ!

අතීතයේදී හික්‌කඩුව වූ කලී ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියන ඉතා අහිංසක සංචාරක පුරවරයකි. සුපිරිසිදු සිනිදු සුදු වැලි තලාවකින් සුසැදි වෙරළ තීරයකිනුත් ඊට ඔබ්බෙන් වූ සුනිල දිය පිරි නොගැඹුරු මුහුදු තීරයකිනුත් ඊටත් එපිටින් වූ අලංකාර ස්‌වාභාවික කොරල් පරයකිනුත් ඒ කොරල් අතර නිරතුරුව සැරිසරන විසිතුරු මත්ස්‍ය සම්පතකිනුත් පොහොසත් මේ වෙරළ තීරය හොයා එදා ලෝකයේ සතර දිග් භාගයෙන් බුරුතු පිටින් සංචාරකයෝ ලංකාවට ආ බව අපට හො¹කාරවම මතක ඇත.

එදා එසේ බුරුතු පිටින් ලංකාවට ඇදී ආ සංචාරකයෝ ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරයේ අප්‍රමාණ සෞන්දර්යයෙනුත් ශ්‍රී ලංකාවාසීන්ගේ කරුණා පරවශ ආදරබර සැලකිල්ලෙනුත් අමන්දානන්දයට පත්ව වසරක්‌ පාසා යළි යළිත් මෙහි පැමිණීම පුරුද්දක්‌ කරගත් බව ද අපට මතකය.

තවත් පිරිසක්‌ එදා ද ලංකාවට ඇදී ආවේ තවත් අරමුණු වලටය.

ඔබට අවශ්‍ය ළාබාල පෙනුමැති හුරුබුහුටි නාඹර අපූරු කොලුගැටයෙක්‌ද... එසේ නම් ඔබ යා යුතු හොඳම තැන හික්‌කඩුව.... කියා ලොව සංචාරක කර්මාන්තයේ එදා තිබූ තවත් ප්‍රකට කට කතාවක්‌ නිසා ලංකාවට පැමිණි සංචාරකයෝද සිටියහ.

මේ සියලු කතා අතීතයට අයත් ඒවාය. දශක තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ අපේ රටේ අනාගතය විනාශ කළ රුදුරු යුද්ධයේ බයංකාර දුමාරයේ අන්ධකාරයෙන් හික්‌කඩුව ද වැසී ගියේය. සංචාරක කර්මාන්තය ජීවිකාව කරගත් ව්‍යාපාරිකයන්ට හා හික්‌කඩුවේ ජනතාවට අවසානයේ යන එනමං නැති වූවේය. කොරේ පිටට මරේ කියන්නාක්‌ මෙන් සුනාමියද පැමිණ හික්‌කඩුව සමතලා කර දමා ගියේය.

අපේ ඒ අතීත කතා සියල්ල අවසන්ය. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට අප වීරෝදාර හමුදාවෝ නැවතීමේ තිත තැබුවාත් සමඟම හික්‌කඩුව පුරවරය යළිත් විකසිතව සිනා වෙන්නට පටන් ගත්තේය. අගෝස්‌තුවෙන් ඇරඹෙන සංචාරක සමය (සීසන් එක) දෙස හික්‌කඩුවේ ජනතාව විශ්වාසයෙන් යුතුව දෑස්‌ දල්වා බලන්නට පටන් ගත්හ.

ඔක්‌කොම හරි දැන් ඉතින් මේ සීසන් එකේ මුදලවත් ගොඩ ගන්න ඕන. මොනව කරල හරි හික්‌කඩුවට සංචාරකයෝ ටිකක්‌ අද්දවල ගත්තොත් ඉතින් අපි ගොඩ තමයි. හික්‌කඩුවේ ව්‍යාපාරික ප්‍රජාව හා ජනතාව සැවොම එසේ සිතන්නට පටන් ගත්හ.

වත්මන් රජයේ සංචාරක අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත සංචාරක මණ්‌ඩලය විසින් හික්‌කා 2009 සැණකෙළිය සංවිධානය කළේ මේ අරමුණ මුදුන්පත් කර ගැනීමට බව සැකයක්‌ නැත. සැබැවින්ම එය සංචාරක මණ්‌ඩලය සතු යුතුකම ද වන බව අපගේ හැඟීමය.

ඒ අනුව සියල්ල සංවිධානය කෙරිණි. හික්‌කඩුවේ වෑවල හා නාරිගම යන ප්‍රදේශ දෙක අතර වූ වෙරළ තීරය සැණකෙළිය සඳහා තෝරා ගැනිනි. අගෝස්‌තු 1, 2, 3 යන තෙදින තුළ මේ අපූරු සැණකෙළිය පැවැත්වෙන බව සංචාරක කර්මාන්තය පුරා ප්‍රචාරය කෙරිණි. දවස පුරාම විවිධ ක්‍රියාකාරකම් සංචාරකයින් වෙනුවෙන් සංවිධානය කෙරිණි.

අතේ ඇති තරම් සල්ලි වියදම් කර කන්නට, බොන්නට මුහුදෙ නාන්නට නිදහසේ පෙම් කරන්නට රාත්‍රියට ඩී. ඡේ. නටන්නට හැකි වෙන කිසිවෙකුටත් ඇතුළු විය නොහැකි ආරක්‌ෂිත කලාපයක පැවැත්වෙන වෙන කවර දිනෙකවත් නොවූ විරූ අන්දමේ සැණකෙළියක්‌ හික්‌කඩුවේ පැවැත්වෙන බවට ආරංචිය පැතිර යන්නට වැඩි කලක්‌ ගියේ නැත. හික්‌කඩුව, ගාල්ල ප්‍රදේශයේ පමණක්‌ නොව, කොළඹ මහ හෝටලවල, සමාජ ශාලාවලද නගරයේ සියලුම කැරෝකේ සමාජ ශාලාවලද කොල්ලන්, කෙල්ලන්ගේ මිතුරු සමාජවලද පවනේ වේගයෙන් මේ ආරංචිය පැතිර යන්නට වූහ.

එහෙයින් සංචාරකයෝ කෙසේ වෙතත් කොළඹ හැන්දෑවට, හැන්දෑවට උස්‌ පහත් සමාජ ශාලාවලට එක්‌රැස්‌වන තරුණ තරුණියෝ බුරුතු පිටින් අගෝස්‌තු 01 වැනිදා වනවිට හික්‌කඩුවට ඇදී එන්නට පටන් ගත්හ.

ඕනෑම මාතෘකාවක්‌ ඕනෑම ප්‍රශ්නයක්‌ වැරදි තැනින් අල්ලා ගත්විට ලැබෙන්නේ වැරදි ප්‍රතිඵලයකි. වැරදි උත්තරයකි. අපේ සංචාරක මණ්‌ඩලයේ මැති උතුමෝ අගෝස්‌තු 01 දා සිට දින තු=නේaම ඒ වැරදි තැනින් අල්ලා ගැනීමේ වරද වෙනුවෙන් වැරදි ප්‍රතිඵල ලබන්නට වූහ. වැරදි උත්තර ලබන්නට වූහ.

අනේ මං දන්නේ නැහැ... කොහේ ඉඳලා ආපු සෙනඟක්‌ද කියලා. කොහොම හරි පිටරට සුද්දෝ සුද්දියෝ නම් හිටියේ නම් බොහොම අඩුවෙන්. ඔක්‌කොම කොළඹ ඉඳලා ආපු අපේ කොල්ලෝ, කෙල්ලෝ. බලනකොට හැමෝම වගේ දැලි රැවුල් යාන්තමට එන පාසල් යන වයසේ කෙල්ලො, කොල්ලෝ. අපි ඉස්‌සර මේ හෝටල කාමරයක්‌ දුන්නේ දවසකට රු. 4000 ක්‌ 5000 ත් වගේ මිලකට. ඒත් දවසකට ගියේ එකයි දෙකයි. මේ දවස්‌ ටිකේ නම් දෙයියන්ගේ පිහිටෙන් අපි රුපියල් හත් අට දාහකට කාමර ඔක්‌කොම විකුණ ගත්තා.

මම දන්නා හික්‌කඩුවේ හෝටල් හිමියෙකු හික්‌කා 2009 පසුබිම ගැන කීවේ එසේය.

ඔය කියන කලාපයට අපට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. හමුදාව, පොලිසිය දාලා තව තව ආරක්‌ෂක සේවාවල් දාලා වට කරලයි තිබුණේ. දවල් වරුවේ කිසිම උණුසුමක්‌ තිබුණේ නැහැ. නමුත් රාත්‍රියේ තියෙන ඩී ඡේ පාටිය තමයි කවුරුත් ටාගට්‌ කරගෙන හිටියේ. ඒකට යන්න එක්‌කෙනෙකුට ටිකට්‌ එක විතරක්‌ රුපියල් 2500 යි. අනිත් එක කිසිම කෙනෙකුට ඒක ඇතුලට මත්පැන් ගෙනියන්න ලැබුණේ නැහැ. මත්පැන් ඕන නම් දෙගුණයක්‌ මිලට ගන්න මත්පැන් ඕන තරම් සැණකෙළිය ඇතුලේ තිබුණා. අපිටත් ඉතින් හොඳ හොද්ද. අපි තමයි මේ ආපු කෙල්ලො කොල්ලන්ගෙන් භාගෙකට කාමර හොයල දුන්නේ. මත්පැන් ගෙනල්ල දුන්නෙත් අපි. ඇතුළට බොන්න අරන් යන්න බැරි හින්ද හුඟ දෙනෙක්‌ කළේ හොඳට කරටි කැඩෙන්න ගහලා ඇතුළට යන එක. අනේ බලන්න දුකයි. මේ මෙතනට ආපු වැඩි දෙනෙක්‌ ඉස්‌කෝලේ යන වයසේ ළමයි. හැම කොල්ලෙකුටම කෙල්ලෙක්‌ හිටියා. හරි පුදුමයි.

මා දන්නා ත්‍රීවීලර් රියෑදුරෙක්‌ හික්‌කා 2009 ගැන ඔහු දන්නා පසුබිම කීවේ එසේය...

පළවැනි දවසේ මේ ඩී ඡේ පාටිය තිබුණේ වෑවල. නමුත් එතරම් ලොකු සෙනගක්‌ හිටියේ නැහැ. දෙවන දවසේ මේ ආරංචිය හැම තැනම පැතිරිලා ගියානේ. කට කපල සෙනග එකයි. තුන්වන දවසේ පාටිය නාරිගමට ගියා. හුඟක්‌ම හිටියේ සුද්දෝ සුද්දියෝ නොවෙයි. අපේ අය හරිම බාල වයස්‌වල ළමයි. දැක්‌කම දුකයි. ඒත් උන් හොඳට විනෝද වුණා. තවත් අයකු එසේ කීවේය.

හික්‌කා 2009 සැණකෙළියේ උණුසුම්ම අංගය වී තිබුණේ මේ ඩී ඡේ පාටියයි. ඩී ඡේ යනු අද අපේ සංස්‌කෘතියට ද අමුත්තක්‌ නොවේ. ඇඟ හිරිවට්‌ටන තරමේ අධිවේගී සංගීතයට මෙලෝ සිහියක්‌ නැතුව නැටීම මෙහි සාමාන්‍ය අරුත ලෙස මම වටහාගෙන ඇත්තෙමි. අධිවේගී සංගීතය ඇඟ කුපිත කරවයි. කණ්‌අඩි හිරිවට්‌ටවයි. ඒ ප්‍රදේශය පුරා නලියන නානා පැහැ විදුලි කදම්භ ඇස්‌ නිලංකාර කරවයි. තත්පරයකට වරක්‌ මේ නිලංකාර එළි විහිදෙන තවත් තත්පරයක්‌ අඳුරේ කිමිදෙන මේ පරිසරය ඕනෑම අයකුට ගෙන දෙන්නේ පියවි අදහස්‌ වලට වඩා අඳුරට හිත හුරු කරවන ගුප්ත හැඟීම් බව මගේ හැඟීමය.

අඳුරටත් ඇස්‌ නිලංකාර කරවන එළි වලටත් කණ්‌අඩි පලන සංගීතයටත් මුල් තැන දෙන මෙම පරිසරයේ පිස්‌සු හැදුනාක්‌ මෙන් ඉවක්‌ බවක්‌ නොමැතිව නැටීම පමණක්‌ නොව නටන අතර නිතර නිතර පිස්‌සු වැටෙන්නට මත්පැන් බීමද ඩී. ඡේ. සංගීතයේ අනෙකුත් පරිවාර අංග යෑයි මට හිතෙයි.

සංගීතය ශබ්ද අඳුර නියෝන් එළි අධි සැර ආලෝක කදම්භ මත්පැන් පමණක්‌ නොව, මේ සියල්ලෙන් නෙත් සිත් අමන්දානන්දයට පත් වන විට තම අතෙහි එල්ලී පෙම්වතකු හෝ පෙම්වතියක සිටීම ඩී.

ඡේ. සංගීතයේ මිහිර දෙගුණ තෙගුණ කරවයි.

අනේ මහත්තයෝ මම මේ සෙකියුරිටි වැඩේ කරන්න පටන් අරන් අවුරුදු 20 ක්‌ විතර වෙනවා. හුඟක්‌ තැන්වල වැඩ කරලත් තියනවා. ඒත් කවදාවත් මම මේ වගේ දේවල් නම් දැකල නැහැ. හොඳ ලස්‌සනට අත්වැල් අල්ලගෙන මෙතනට ආව දරුවෝ දැරිවියෝ පැය දෙක තුනකට පස්‌සේ මෙතන හැසිරුනේ පිස්‌සු වැටිල වගේ. සමහරුන්ගේ ඇඟේ වස්‌තර තිබුණෙම නැහැ. කෙල්ලො කොල්ලො කියල මෙයාලට කිසි වෙනසක්‌ ලඡ්ජාවක්‌ තිබුණෙත් නැහැ. කොටින්ම කියනවා නම් සමහරු හැසිරුනේ මේ ඇඳුම් මේ ඇඟපත මේ අවයව තමුන්ගේ නෙමෙයි කියන තරම් පිස්‌සුවෙන් කියලයි මට හිතුනේ.

අගෝස්‌තු 01, 02, 03 යන තෙදින තුළ හික්‌කඩුවේ නාරිගම හා වෑවල කේන්ද්‍ර කරගෙන පැවැති හික්‌කා 2009 සැණකෙළියේ ඩී. ඡේ. පාටිය ගැන මීටත් වඩා විස්‌තර කර කීමෙන් පලක්‌ නැත. මේ සමග පළකර ඇති ඡායාරූප සියල්ල වචන 1000 කින් කියා නිම කළ නොහැකි දේ පිළිබඳ විස්‌තර ඔබට කියාපානු නියතය.

මේ පින්තූර දුටු විට අපට කල්පනා වන්නේ කුමක්‌ද? අප සිත් තුළ ඇති වන හැඟීම කෙබඳුද

මේ අපේම රටේ අනාගතය බාරගැනීමට සිටින අපේම දරුවන් නොවේ දැයි නොසිතෙන්නේ කාටද

මහින්ද චින්තනය ඔස්‌සේ ගොස්‌ මේ රටේ සංස්‌කෘතිය ගැන සදාචාරය ගැන සාරධර්ම ගැන කියන විටදී අප ජනාධිපති මහින්ද රාජපක්‍ෂයෝ නිතර කියන කතාවක්‌ තිබේ. නිතර කියන වදන් පෙලක්‌ තිබේ. දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්‌ හැටියට යන වදන් වැල ඔහුගේ මුවගින් නිතර පිටවෙනු මා අසා ඇත. එසේනම් දරුවන් සිටින තාත්තා කෙනකු හැටියට මේ ඡායාරූප දෙස එක්‌ වරක්‌වත් බැලිය හැකිද?

වරද ඇත්තේ ඔහුගේ නොව මහින්ද චින්තනයට අනුව වැඩ කරනවා යෑයි කියන සංස්‌කෘතික ඇමැතිවරයකු බලාසිටියදී ඔහුගේම මහින්ද චින්තනය පෙරට ගෙන යනවා යෑයි කියන සංචාරක ඇමැතිවරයකු යටතේ මේ හික්‌කා 2009 සැණකෙළිය සංවිධානය වී තිබීමය.

යමක්‌ වැරදි තැනින් අල්ලා ගැනීමේ වරදට අනුව අද මේ සියලු ඇමැතිවරු සියලු බලධාරීන් කටඋත්තර නැතුව සිsටිනවාට සැකයක්‌ නැත.

කොළඹ වෙසෙන ඉතාම ධනවත් සල්ලිකාර උසස්‌ යෑයි සම්මත අම්මලා තාත්තලාගේ දරුවෝද මෙතන සිටින බව ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් වලින්ද පැහැදිලිය. ඔවුන්ගේ ඇවතුම් පැවතුම් වලින් හා අඟපසඟින් මෙන්ම හමේ වර්ණයෙන්ද ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්‌ බව පෙනෙයි. බොහෝ විට මේ සිටින්නේ කොළඹ උසස්‌ යයි සම්මත ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා දරු දැරියෝ බව සැකයක්‌ නැත. දරු දැරියන්ගේ සිත් සතන් තුළින් ලඡ්ජා බය නැතිකර අමුතුම වර්ගයේ සමාජ ශීලිත්වයක්‌ ඔවුන්ගේ සිත් තුළ ආරෝපණය කිරීම මේ ජාත්‍යන්තර පාසල්වල ආගම වී තිබෙන බව මම දනිමි.

ඇතැම් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල්වල උගෙන ගන්නා බව කියන්නේ ආඩම්බරයෙනි. අද එයා ගෙදර නැහැ. එයා ගියා යාළුවොත් එක්‌ක ඩී. ඡේ. පාටි එකකට කියා ඇතැම් අම්මා කෙනෙක්‌ වයස අවුරුදු 15 ක්‌ 16 ක්‌ වයසැති දියණිය ගැන තවත් යෙහෙළියක හා කියන්නේද ආඩම්බරයෙනි. එවන් ඩී. ඡේ. පාටි වල අවසානය හා උපරිමය කුමක්‌ දැයි දැක බලා ගැනීමට මේ ඡායාරූපයකට ප්‍රමාණවත් සාක්‌ෂි බව මගේ හැඟීමය.

අප අද ජීවත් වන්නේ අපේ රටේ අනාගත දරු පරපුර ගැන මහත් සංවේදීව කතා කරනා දේශපාලනඥයන් සිටින රටකය. ඒ සංවේදිකම නිසාම දරුවෝ නරක්‌ වේ යෑයි බියෙන් අසභ්‍ය දර්ශන හා රූප ඇතුලත් යෑයි කියන වෙබ් අඩවි ගණනාවක්‌ම තහනම් කර හැරියේද මේ රජයයි. වැඩිහිටියන්ට පමණක්‌ යෑයි තිබූ චිත්‍රපට තහනම් කර දමන්නට කල්පනා කළේද මෙම රජයයි. ඇතැම් චිත්‍රපට බැලුවහොත් වැඩිහිටියෝද නරක්‌ වේ යෑයි බියවී අක්‍ෂරය වැනි වටිනා චිත්‍රපට තහනම් කළ බලධාරින් සිටියේද මේ රජයේය. නමුත් හික්‌කා 2009 සැණකෙළිය කරනු ලැබුවේ කවරෙක්‌ද. යමක්‌ වැරදි තැනින් අල්ලා ගැනීමේ වරදට චූදිතයා වී හෙට දිනයේ නියම වැරදිකරුවෝ පසෙක සිටියදී කවරෙකු හෝ නිලධාරියෙක්‌ දෙන්නෙක්‌ දඬුවම් විඳිනු නිසැකය. එහෙත් වරඳ වී හමාරය. අශ්වයාට පැන යන්නට ඉඩදී ඉස්‌තාලය වැසීමේ පිළිවෙත යළි යළිත් අප අනුගමනය කළ යුතු නොවේ.

හික්‌කා 2009 ට පැමිණි ඉතා විශාල පිරිසක්‌ කොළඹ ඉහළ පවුල්වල අය බව නිසැකය. එහෙත් ඒ අතර සාමාන්‍ය සමාජ ස්‌ථරවල තරුණ තරුණියෝද විශාල ප්‍රමාණයක්‌ සිටින බව මේ ඡායාරූපවලින්ම ඔප්පු වී යනවා ඇත. ගෙවල් දොරවල් වලින් එළියට බසින්නට එතරම් නිදහසක්‌ නොමැති මේ කොල්ලෝ කෙල්ලෝ මේ ගමන යන්නට මොන තරම් බොරු බේගල් නම් තම අම්මල තාත්තලාට කියන්නට ඇත්ද.

හොඳ දෙයක්‌ කරන්නට ගොස්‌ බේගල් කීවාට කමක්‌ නැත. එහෙත් කර ඇති කර්තව්‍යයේ තරම මේ ඡායාරූප ඔබට කියා පානු නිසැකය.

හික්‌කඩුවට ඩී. ඡේ. පාටි හෝ රාත්‍රි සමාජ ශාලා නම් අරුමයක්‌ නොවේ. සෑම සතියකම සෙනසුරාදා හා සිකුරාදා ක්‍රියාත්මක වන රාත්‍රි සමාජ ශාලා දෙකක්‌ අදටත් මේ හික්‌කඩුවේ පවතිS. මැම්බෝ හා වයිබ්‍රේෂන් මෙම සමාජ ශාලා දෙක වෙයි.

එහෙත් මෙබඳු ඓශ්චර්යයක්‌ ඒ සමාජ ශාලාවක කිසි දිනකවත් දැක ගන්නට ලැබී නැත. යමෙකු නිරුවතින් තවත් අයෙකු හා හැසිරුණා නම් හැසිරුණේ පුද්ගලිකවය. ඒද කිසිවෙකුට නොපෙනෙන අඳුරක අහුමුලුවකය. මෙසේ එළිපිට දෙනෝ දාහක්‌ මැද ප්‍රසිද්ධියේ නම් නොවේ. හික්‌කා 2009 හි විශේෂත්වය එයයි.

මේ වූ කලී බුදුන් උපන් දේශය නොව බුදුන් වහන්සේ තෙවරක්‌ම වැඩියා වූ දේශයයි. ශ්‍රී සම්බුද්ධ පාද ස්‌පර්ශයෙන් පූජනීය වූ උතුම් දේශයයි. අද බුදුන් උපන් දේශයේත් නැති ශ්‍රී පාද පද්ම ලාංජනයෙන්ද දන්ත ධාතුන් වහන්සේගෙන්ද ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන්ද පරම පූජනියත්වයට පත් රටයි.

මේ නිසාම 5000 ක්‌ කල් ගිය තැනත් බුදු දහම ආරක්‌ෂාවන ලෝකයේ එකම රට ලෙස ලංකාව අපි හඳුන්වන්නේ මහත් ආඩ්මබරයෙනි.

එහෙත් අප අද දකිමින් සිටින මේ විපරිත සංස්‌කෘතිය තුළ 5000 ක්‌ කාලයක්‌ ඒ අති උතුම් බුදු දහමේ අයිතිකරුවන් බවට පත්වීමේ ගෞරවයට ලක්‌වීම කෙබඳු අභියෝගයක්‌ ද ....

අප සංස්‌කෘතික ඇමැතිවරු දෙදෙනාට මෙන්ම අලුත් සංචාරක ඇමැති තුමන්ටද කිසි දිනෙක මේ ප්‍රශ්න කිසිවකට උත්තර නොමැති බව නිසැකය.

ඇමැතිවරුනි මැති උතුමනි

හැකිනම් උත්තර දෙන්න.

මා ඇමැති වීමට පෙර කළ වැඩක්‌
ඒත් නැවත මේවා වෙන්න දෙන්නේ නෑ
සංචාරක ඇමැති

මා සංචාරක අමාත්‍යවරයා විදිහට ජුලි 02 වැනිදා වැඩ භාරගන්නා විටදීත් හික්‌කඩුව වෙරළ සැණකෙළිය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබිණි. මෙම සැණකෙළිය කලින් වසරේදී පැවැත් වූ විටදී යම් අශ්ලීල ක්‍රියා ඒ තුළ සිදුවූ බව මාධ්‍ය මගින් මාද දැනුවත්ව සිටි නිසා එවැනි ක්‍රියා නැවත ඇති නොවන ලෙසට වගබලාගන්නා ලෙස මගේ කැබිනට්‌ නොවන අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මැතිතුමාටත්, ප්‍රවර්ධන බියුරෝවේ කළමනාකාර අධ්‍යක්‍ෂ දිලිප් මුදාදෙණිය මහතාටත් මා වාචිකව දැනුම් දුන්නා. ඒ වුණත් මෙවරත් යම් අශ්ලීල ක්‍රියාවන් ඒ තුළ සිදුවී ඇති බවට විවිධ අයගෙන් මට පැමිණිලි ලැබෙමින් තියෙනවා.

අනෙක්‌ අතට මෙය විදේශ සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට පවත්වන උළෙලක්‌ කියා කීවත් මට ලැබී ඇති නිල නොවන තොරතුරුවලට අනුව මෙවරත් සියයට 90% ක්‌ පමණ සහභාගි වී ඇත්තේ අපේ රටේ නාගරික තරුණ තරුණියන්. කෙසේ වෙතත් මගේ අමාත්‍යාංශයට අයත් ආයතනයක්‌ විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩපිළිවෙල මගින් අපේ රටට, අපේකමට, අපේ හැදියාවන්ට හානියක්‌ සිදුවී ඇත්නම් එය විභාග කර නැවත එවැනි තත්ත්වයක්‌ ඇති නොවීමේ වගකීම මා භාරගන්නවා.

බුලිත ප්‍රදීප් කුමාර

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v