වව්නියාවෙ මිනිස්‌සු පව්! යුද්ධය හමාර වී මාස තුනක් ඉක්‌ම ගොස් හමාරය. වසර තිහක් මුළුල්ලේ දිග්ගැසුණු යුද්ධය හමාර වීම රටේ සමස්‌ත ජනතාවගේම ප්‍රසාදයට හේතු වී ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් පසුගිය වසර තිහ මුළුල්ලේම යුද්ධයෙන් බැට කමින් පීඩා විඳිමින් අනේක විධ දුක්‌වේදනා විඳි වවුනියාවේ ජනතාව යුද්ධය අවසන් වීම පිළිබඳ අන් අයට වඩා සතුටු වන බවද කිව යුතුමය. යුද්ධය අවසන් වූවත් යුද්ධය අවසන් වීමේ ප්‍රතිලාභ තවමත් තමන් වෙත ළඟා වී නොමැති බව වව්නියාවේ වැසියෝ ප්‍රකාශ කරති. සමස්‌තයක් ලෙස ගත් විට මැදවච්චිය සීමාමුරපොළද ඇතුලුව යාපනය මහනුවර ඒ-9 මාර්ගය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මෙතෙක් විවෘත නොවීම යුද ජයග්‍රහණයේ ප්‍රතිඵල තමන්ට රිසි සේ භුක්‌ති විඳීමට විශාල බාධාවක් බව වවුනියාවේ වැසියෝ ප්‍රකාශ කරති. වව්නියාවේ අනාථ කඳවුරුවල සිටින ලක්‍ෂ තුනක් පමණ වූ ජනතාව ඉතා ඉක්‌මනින් ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කරවීමට රජය පියවර ගන්නා තුරු යුද ජයග්‍රහණයේ සැබෑ සතුට ජනතාවට භූක්‌ති විඳීමට නොහැකි බව වව්නියාවේ දෙමළ ජනතාව ප්‍රකාශ කරයි. වවුනියාව නගර සභාවේ බලය ඉලංකෙයි තමිල්අරසුකච්චි පක්‍ෂයට හිමි වීමට හේතුවද මේ. අනාථ කඳවුරුවල වෙසෙන සාමාන්‍ය දෙමළ ජනතාව බව වවුනියාවේ වැසියෝ සඳහන් කරති. රජය යුද්ධය අවසන් කළත් යුද ජයග්‍රහණයේ ප්‍රතිලාභ ජනතාවට දැනෙන අයුරින් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වීම නිසා රජය අපකීර්තියට පත්වන බවද වවුනියාවේ සාමාන්‍ය වැසියෝ ප්‍රකාශ කරනු තවත් කරුණකි. කෙසේ වෙතත් යුද්ධය හමාර වී මාස තුනක් ඉකුත් වී ඇති මේ මොහොතේ වවුනියාව නගරයේදී අපට හමු වූ සාමාන්‍ය වැසියන් කීප දෙනකු දැක්‌වූ අදහස් මෙසේය. වවුනියාව නෙඩුන්කුලමේ පදිංචි රෝහණ මහතා ලාබාල ව්‍යාපාරිකයෙකි. ඔහු යුද්ධය අවසන් වීමෙන් පසුව උදා වී ඇති තත්ත්වය ගැන මෙසේ පැවැසීය. "යුද්ධය අවසන් වීම ඇත්ත වශයෙන්ම සතුටුවිය යුතු කාරණයකි. යුද්ධය අවසන් වීමත් සමඟම වවුනියාවේ වෙළෙඳපොළ ආර්ථිකය දියුණු වෙලා තියනවා. වව්නියාවේ මිනිස්‌සු මෙච්චර කාලයක් මුදල් ආයෝජනය කරන්නට බයෙන් හිටියෙ. එකක් යුද්ධය. අනෙක් කාරණය වවුනියාවේ කප්පම් කල්ලි. දැන් මේ දෙකම නැති නිසා මිනිස්‌සු මුදල් ආයෝජනය කරන්න පටන් අරන්. මේ නිසා දැන් වවුනියාවෙ වාහන සංඛ්‍යාව දෙගුණවෙලා තියෙනවා. වාහන කොච්චර තිබුණත් වැඩක් නෑ. ඒ වාහනවලට මැදවච්චිය මුරපොල හරහා බඩු අරගෙන යන්ඩ බෑ. කැබිතිගොල්ලෑව පාරත් එහෙමයි. වවුනියාව ඉඳලා යාපනේට යන්ඩත් බෑ මේ පාරවල් ඇරලා වාහනවලට බඩු අරන් යන්න දෙනවනම් මේ නගර ඉතාම ඉක්‌මනින් දියුණු වෙනවා. වව්නියාව එළවළු වෙළෙඳපොළේ පී. රාමයියා අදහස් දැක්‌වමින් කියා සිටියේ උතුරේ වාහන ලියාපදිංචි කිරීමේදී ලැබෙන එන්. පී. අකුරු දෙක දකුණේ සියලු දෙනාටම ප්‍රශ්නයක් වී ඇති බවයි. "අපි ජීවත් වෙන්නෙ උතුරු පළාතෙ. අපේ වාහන ලියාපදිංචි කරන කොට අපිට ලැබෙන්නෙ එන්. පී. අකුරුත් එක්‌ක නොම්මරයක්. මේ වාහන වලින් දකුණට යන්ඩ බෑ. මේක හරිම අසාධාරණයි. අපිත් ශ්‍රී ලංකා ආණ්‌ඩුවෙම මිනිස්‌සු. දැන් යුද්දෙ ඉවරයිනෙ. ඒක හින්දා අපි කියන්නෙ අපේ වාහන බඩු මුට්‌ටු චෙක් කරල කෙළින්ම යන්ඩ එන්ඩ දෙන්න කියලයි. යුද්ධ කාලෙම අපි දුක් වින්දා. දැන් යුද්දෙ ඉවරයිනෙ. ඒ හින්දා අපිට සතුටෙන් ඉන්ඩ දෙන්ඩ කියලයි අපි ආණ්‌ඩුවෙන් ඉල්ලන්නෙ. වව්නියාව නගරයේ සුබ්‍රමනියම් සිවපාලන් සිල්ලර වෙළෙඳ සලක හිමිකරුවෙකි. ඔහු දෙමළ අනාථ වැසියන් පිළිබඳ දැඩි සංවේගයෙන් කතා කළේය. "දැන් යුද්දෙ ඉවරයි. යුද්දෙ ඉවර කරන්ඩ කියලනෙ කිළිනොච්චි මුලතිව්වල හිටිය මිනිස්‌සුන්ට ආණ්‌ඩුව එන්න කිව්වෙ. මිනිස්‌සු ආවා. ඒ එක්‌ක එල්.ටී.ටී.ඊ යත් ආවා. හමුදාව පොලිසිය දැන් එල්. ටී.ටී.ඊ කාරයො වෙනමත් සාමාන්‍ය මිනිස්‌සු වෙනමත් දාලා ඉන්නවා. සාමාන්‍ය මිනිස්‌සු එල්. ටී. ටී. ඊකාරයො නෙවෙයිනෙ. ඒක හින්දා ඒ මිනිස්‌සුන්ට එයාලා කැමති තැනකට යන්ඩ දෙන්ඩ ඕනෙ. දැන් බලන්ඩ ඒ මිනිස්‌සු මේ දවස්‌වල වැස්‌ස හින්දා දුක් විඳිනවා. ආණ්‌ඩුව එක එක රටවල්වලින් මේ මිනිස්‌සු හින්දා ලැ-ජාවට පත්වෙනවා. මේ මිනිස්‌සු ටික නිදහස් කරලා දැම්ම නම් ආණ්‌ඩුවටත් හොඳයි. ඒ මිනිස්‌සුන්ටත් හොඳයි. දැන් යුද්දෙ ඉවරයිනෙ. ආයුධත් ඔක්‌කොම අහුවෙලා. ඉතින් තවත් මේ මිනිස්‌සු තියාගෙන ඉඳලා දුක් දෙන එකේ තේරුමක් නෑ. නාවක්‌කුලම ගම්මානය පිහිටියේ වව්නියාවත් මැදවච්චයත් අතරය. නාවක්‌කුලමේ පදිංචි එම්. දයාවතී වයස අවුරුදු 54 ක් වුවත් ඇය දිනපතාම එළවළු පලතුරු රැගෙන වවුනියාවට පැමිණෙන කාන්තාවකි. ඇය ප්‍රකාශ කරන්නේ යුද සමයේදී තිබූ බස් සේවය සාමය උදාවීමත් සමඟම බිඳවැටී ඇති බවය. "යුද්ධ කාලෙත් අපි වව්නියාවට ගියා. එළවළු පලතුරු විකුණලා තමයි එදාවේල හොයාගත්තෙ. වව්නියාවට ගිහිල්ලා බඩු විකුණන කොට බෝම්බ පත්තු වෙනවා. බඩු මුට්‌ටු දාලා ගෙදර එනවා. හැබැයි ඒ කාලෙ උදේ පාන්දර ඉඳලා බස් තිබුණා. රෑත් අපි ගියේ බස්‌වල. යුද්දෙ ඉවර වුණත් හරි දැන් යන්න එන්න බස් එකක් නෑ. හම්බ කරන කීය හරි ත්‍රීවීල්වලට දීලා එන්න වෙලා තියනවා. යුද්දෙ ඉවරනම් පාරෙ බස් වැඩිවෙන්න එපායෑ. මැදවච්චිය පාර ඇරලා වව්නියාව අනුරාධපුරේ අතරේ බස් ටිකක් වැඩිපුර දානවනම් දුප්පත් අපිට වෙළෙඳාමක් කරගන්න ඉස්‌පිරිතාලෙකට යන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා." වසර තිහක්‌ම යුද්ධයෙන් බැට කෑ වව්නියාව ජනතාව යුද්ධය හමාර වූ මේ අවස්‌ථාවේදී ඉල්ලා සිටින්නේ 1975 වර්ෂයේදී වව්නියාවෙත් මේ රටෙත් පැවැති ඉතා සාමකාමී පරිසරය යළි දැකීමටය. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රශ්නය වූ යුද්ධය මේ වන විට අවසන් බැවින් රජයට ජනතාව අපේක්‍ෂා කරන නිදහස ලබාදීම එතරම් දුෂ්කර කාර්යයක්‌ද නොවේ. යුද්ධය ජයග්‍රහණය කිරීමේ ප්‍රතිලාභ හිමිවිය යුත්තේ දකුණේ ජනතාවට වඩා යුද්ධයෙන් වසර ගණනාවක්‌ම බැට කෑ මේ මිනිසුන්ට බව සියලු දෙනාම තේරුම් ගත යුතු වෙයි.
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v