හොඳම ශැඩෝස්‌ටාර් කවුද?

ශ්‍රී ලාංකික ප්‍රසාංගික කලාවට නැවුම් අත්දැකීම් එක්‌කරමින්, ස්‌වර්ණවාහිනී ආයතනය විසින් ඉදිරිපත් කරන "රියෑලටි" වැඩසටහන් ත්‍රිත්වයේ, නැවුම් ප්‍රාසාංගික පෙරළිය "ශැඩෝ ස්‌ටාර්" නමින් මේ දිනවල විකාශය වෙයි.

තරගකරුවන් 47,983 ක්‌ අතුරින් සුපිරි සයදෙනාගේ වටයට වරම් ලද වාසනාවන්තයින් පිළිබඳ තැබෙන කෙටි සටහනයි මේ.

ප්‍රසාද් ගලප්පත්ති (ලෝප්‍රකට බටහිර හාස්‍ය රංගන ශිල්පී රෝවන් සෙබස්‌තියන් ඇට්‌කන්ස්‌ගේ "මිස්‌ටර් බීන්" චරිතය)



මහරගම බුවනෙකබාහු සහ බෞද්ධ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, දැනට පිටකෝට්‌ටේ සිංගර් ශාඛාවේ වෙළෙඳ සහායකයකු ලෙස සේවය කරන අතරතුර, හිතවතුන්ගේ ඉල්ලීම මත ස්‌වර්ණවාහිනී, "ශැඩෝ ස්‌ටාර්" සමග එක්‌වූ බවත්, අවසන් තරගකරුවන් තිදෙනා අතරට පිවිස, ජයග්‍රහණය තෙක්‌ ඉදිරියට යැම තම අරමුණ බවත් අප සමග පැවසුවාය.

ප්‍රසාද් ගලප්පත්ති නැතහොත් "ශ්‍රී ලංකන් මිස්‌ටර් බීන්" පිරිමි දරුවන් දෙදෙනකුගේ දයාබර පියෙකි.

දොඩංගොඩ ආරච්චිගේ විජිත සිසිර කුමාර, (නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී අල්හාඡ් මොහිදින් බෙග්ගේ චරිතය)



බෙන්තර කුමාර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයේ රැකියාව නියුතුව විශ්‍රාමිකව කල්ගෙවන ඔහු "ශැඩෝ ස්‌ටාර්" තරගයේ යෙදෙන වයෝවෘද්ධ තරග කරුවායි. 58 හැවිරිදි ඔහු දරුවන් 5 දෙනෙකුගේ දයාබර පියාණන් වේ.

හෙට්‌ටි ආරච්චිගේ අනුරුද්ධ ෆොන්සේකා (සුප්‍රසිද්ධ බටහිර නර්ථන ශිල්පී මයිකල් ජැක්‌සන්ගේ චරිතය)



තලපත්පිටිය සිද්ධාර්ථ මහා විද්‍යාලයේ සිප්සතර හැදෑරූ ඔහු, සංගීතයට සහ ක්‍රීඩාවනට වඩාත් ලැදිකමක්‌ දක්‌වයි. වෙළෙඳ සහායකයෙකු ලෙස රැකියාවේ යෙදෙන අනුරුද්ධ, මයිකල් ජැක්‌සන්ගේ නර්ථනයට සහ ගායනයට වශීවී "ශැඩෝ ස්‌ටාර්" සඳහා එක්‌වූ බව අප සමග පැවසූහ. සහෝදරියන් තිදෙනකුගේ සහ සහෝදරයන් දෙදෙනකුගේ වැඩිමල් සොහොයුරාවන අනුරුද්ධ තවමත් අවිවාහක තරුණයෙක්‌.

පලිහවඩන ආරච්චිලාගේ අනුර පලිහවඩන (ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ චරිතය)



අකුරැස්‌ස කනිෂ්ඨයෙන් සහ පානදුර මහානාම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු පාසල් වේදිකාවේ ජනප්‍රියම රංගන ශිල්පියායි. පානදුර පැවති සංගීත සැණකෙළියකදී ජිප්සීස්‌ට පෙම් බැන්ද ඔහු අද එහි නායක සුනිල් පෙරේරා මහතා අනුකරණය කරමින් ගායනයෙන් හා රංගනයෙන් "ශැඩෝ ස්‌ටාර්" තුළදී සිය හැකියාවන් පිළිබිඹු කරයි. සුනිල් පෙරේරා කලා ශිල්පියාට හදවතින්ම ගරුකරන බවත් ඔහු පවසයි.

ශිරාන් චන්දන පීරිස්‌
(ජනප්‍රිය කලා ශිල්පී "පොඩි ළමයා" නොහොත් දීපාල් සිල්වා චරිතය.)



පානදුර ශාන්ත ජෝශප් සහ මොරටුව වේල්ස්‌කුමාර යන විදුහල් තුළින් අධ්‍යාපනය ලැබූ ඔහු, පාසල් වේදිකාවේ ගී ගයමින් සමස්‌ථ ලංකා තරගාවලියන් දක්‌වා තම හැකියාවන් වර්ධනය කරගත් දක්‌ෂ කලා ශිල්පියෙක්‌ ලෙස හැඳින්විය හැකිය. තොත්ත බබාලා, පබා නෝනා, සිකුරු ඇවිල්ලා, දෙයියම්පා සහ මෝදර සොයිසා යන වේදිකා නාට්‍ය තුළින් පාට වීදුරු සහ තවත් ටෙලි නාට්‍ය කීපයකටත් තම රංගන හැකියාව පෙන්වා ඇති චන්දන "ශැඩෝ ස්‌ටාර්" හි ආකර්ෂණීය චරිතයක්‌ ලෙස හැඳින්විය හැකිය.

සහෝදර, සහෝදරියන් තිදෙනකුගේ පවුලේ වැඩිමහලා ඔහුය.

ඩැරල් වයිට්‌
(බටහිර ගායන ශිල්පී එල්විස්‌ ප්‍රෙශ්ලි චරිතය)



වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් කලා ලොවට අත්පොත් තබන ඔහු, පාසලේදී හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගත් බවක්‌ ඔහු අප සමග පැවසුවාය.

එල්විස්‌ ප්‍රෙශ්ලි ගායන ශිල්පියාට උපහාර පිණිස "ශැඩෝ ස්‌ටාර්" සඳහා එක්‌වූ බව පවසන ඩැරල් රැකියාව ලෙස හිල්ටන් හෝටල් සමූහයේ සේවයෙහි නියෑළෙයි.

5 දෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමල් පිරිමි දරුවා ඔහුයි. ජනප්‍රිය ගායන ශිල්පිනි ජිංජර් වයිට්‌ ඩැරල්ගේ ආදරණීය නැඟනියයි.

සැඟවුණු දක්‌ෂතා ඇති ශ්‍රී ලාංකිකයන් උදෙසා මෙවැනි ප්‍රාසාංගික රියෑලිටි වැඩසටහන් ත්‍රිත්වයක්‌ ඉදිරිපත් කරන්නට යෙදුණු බව පවසන "ශැඩෝ ස්‌ටාර්" අධ්‍යක්‍ෂ කාවින්ද සුරේෂ්, එහි කළමනාකාර අධ්‍යක්‍ෂ ජීවක එදිරිසිංහ මහතා සහ "ශැඩෝ ස්‌ටාර්" සංකල්පය ගෙන ආ බුද්ධික කුලසේකරයන් සහ සහය අධ්‍යක්‍ෂ චිරාත් රාජපක්‌ෂයන්ද ගෞරව පූර්වකව සිහිපත් කරයි.

"ශැඩෝ ස්‌ටාර්" ගමනේ ඉදිරියට යන සුපිරි තරගකරුවන් සය දෙනාටම මීවිත අපි සුබ පැතුම් එක්‌ කරමු.

සටහන සුජීව තත්සර
ඡායාරූපය - යූ. කේ. අබේරත්න
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v