|
|
|
|

තමන් සමග ජනපති සටනට එන්නැයි
ජනපති මහින්දගෙන් එස්‌බීට ඇරයුමක්
මෙරට දේශපාලන ඉතිහාසයට අලුත් වාර්තා කිහිපයක්‌ම තබමින්
ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ ඌවේ මහ ඇමැති ලෙස තේරී පත්වීමත් සමගම
රාජපක්‍ෂ පවුලේ සියලුම දෙනා සිටියේ දැඩි සන්තෝෂයකිනි. මේ නිසා
පසුගිය සතිය පුරාම රාජපක්‍ෂ පවුලේ සියලුම දෙනා අතර කතාබහට
ලක්‌වූ ප්‍රධානම මාතෘකාව ශෂින්ද්‍රය...
ශෂින්ද්‍ර දිවුරුම් දෙන්නේ කවදාද, වැඩ භාරගන්නේ කවදාද අඳින
ඇඳුම මොකක්‌ද පළඳින සාටකය මොන පාටද ආදී විවිධ ප්‍රශ්න ඔවුනට
සාකච්ඡා කරන්නට තිබිණි. මේ අතරතුර හරි අපූරු කතාවක්‌ද කියවිණි.
ඉස්‌සර නම් අපේ විරුද්ධවාදියෝ අපිට කිව්වේ රාජපක්‍ෂ සහෝදර
සමාගම කියලා. දැන් ශෂිත් දේශපාලනයට ආවට පස්‌සේ රනිල්ලා මොනව
කියයිද දන්නේ නැහැ. මොනව කියන්නද... කියාවි රාජපක්‍ෂ සහෝදර සහ
පුත්‍ර සමාගම කියලා. එච්චරනේ කියන්න තියෙන්නේ...
මේ සතුටු සාමීචි කතා බහ මැද ශෂී සැලසුම් කළේ පළමු සතිය තුළම
සිය කාර්යාලයේ වැඩකටයුතු ආරම්භ කරන පිළිවෙළ ගැනය. ඌව පළාත්
සභාවේ මෙතෙක් කල් නොවිසඳී තිබුණ ප්‍රශ්න හා සම්පූර්ණ නොවී
තිබුණ අඩුපාඩු පළමුව සොයා බලා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු බව
ශෂි සිය පුද්ගලික ලේකම් රංජන් බණ්‌ඩාරට කීවේය.
රනිල් වැඩ අරඹයි
මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කල්පනා
කළේ ඉදිරියේදී එන හදිසි මැතිවරණවලදී පක්‍ෂය ක්‍රියාකළ යුතු
අන්දම සැලසුම් කිරීම ගැනය. හේ සිය ජ්‍යෙෂ්ඨයන් කැඳවා මේ පිළිබඳ
පක්‍ෂයේ අවධානය හා සූදානම දැඩි කරන ලෙස උපදෙස් දුන්නේය.
ඒ අනුව ගිය සිකුරාදා සිරිකොත කාර්ය මණ්‌ඩලය කැඳවා ලොකු
සාකච්ඡාවක්‌ද තිබිණි. කරු තිස්‌ස හා ගාමිණි ජයවික්‍රම සහභාගි
වූ මෙම සාකච්ඡාවේදී කතා බහ කෙරුණේ හදිසියේ එන ඉදිරි මැතිවරණ
වලදී එක්‌සත් ජාතික පක්‍ෂයේ මූලස්‌ථානය ක්‍රියාකළ යුතු ආකාරය
ගැනය.
ඉන් පසුව රනිල්ගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභාවේ නාම යෝජනා
මණ්‌ඩලය ද පළමු වතාවට රැස් කෙරිණි. මේ සඳහා කරු, ජයවික්‍රම,
තිස්‌ස, එස්‌බී, රේණුකා හා රවී සහභාගි වී සිටි අතර
දිස්‌ත්‍රික් නායකයන් ලෙස සාගල හා වජිර ද සහභාගි වී සිටියහ.
නාම යෝජනාවලදී අපි මුල්තැන දෙනවා හිටපු මන්ත්‍රීවරුන්ට. ඊට
පස්‌සේ ආසන සංවිධායකයන්ටත් අවස්‌ථාව ලබා දෙනවා. ඊට පස්‌සේ තමයි
ඉතිරි පුරප්පාඩු පුරවන්න අපි කල්පනා කළ යුත්තේ. රනිල් උපදෙස්
දුන්නේය.
ඊට පසුදා එනම් සෙනසුරාදාවේද මෙබඳු රැස්‌වීම් ගණනාවක්‌ම
සිරිකොතේදී හා ජාතික සේවක සංගම් ශාලාවේදී පක්‍ෂයේ නියමුවන්ගේ
ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ඉදිරි මැතිවරණ ඉලක්‌ක කොටගෙනය.
ජාතික සේවක සංගම් ශාලාවේදී පක්‍ෂයේ දිස්‌ත්‍රික් කළමනාකරුවන්
හා නීති නිලධාරීන් රැස්‌ව සිටි සාකච්ඡාවකදී රනිල් අලුත්
අදහසක් ඉදිරිපත් කළේය.
බලන්න මේ දවස්‌වල මෝසම් වැසි සක්‍රීයවෙලා තියනවා. උතුරේ සරණාගත
කඳවුරුවල ඉන්න අහිංසක ජනතාව කඳවුරු ඇතුළේම ආයෙත් සැරයක්
සරණාගතයෝ වෙලා. රජය මේ ගැන සැලකිල්ලක් නැහැ. එයාලට
වැඩපිළිවෙළක් නැහැ. ඉස්‌සරහට මේ තත්ත්වය තව තවත් දරුණු වෙනවා.
රනිල් මෙසේ අදහස් දක්‌වා අවසානයේ රවී කරුණානායක සමග තවත්
ගමනක් පිටත්ව ගියේය. දෙදෙනා ගියේ අඟුලානේ පොලිස් වෙඩි
ප්‍රහාරයෙන් මියගිය තරුණයන් දෙදෙනාගේ මළගෙවල් වලටය.
මඩු උත්සව
පසුගිය සති අන්තය වන විට උතුරේ මඩු පල්ලියේ ආගමික උත්සව මාලාව
මහ ඉහළින් පැවැත්වෙමින් තිබිණි. මේ නිසා රජයේ සිටින සියලුම
කතෝලික ඇමැතිවරු සිටියේ මඩු පල්ලියේ උත්සවවලට සහභාගි වන්නට
ගොසිනි.
අගෝස්‌තු 16 වැනි වන විට එජාපයේ දොස්‌තර ජයලත් ජයවර්ධන ද
සිටියේ මඩු පල්ලියේය. ඔහුගේ 56 වැනි උපන් දිනය ද එදිනට යෙදී
තිබිණි. කලක සිට ඔහු ඔහුගේ ජීවිතයේ සෑම උපන් දිනයක්‌ම ගතකර
ඇත්තේ මඩු පල්ලියේ වීම විශේෂත්වයකි.
ජයලත්ට අමතරව රජයේ ඇමැතිවරු වන සරත් ගුණරත්න, ෆීලික්‌ස්
පෙරේරා, දයාශ්‍රීත තිසේරා, එස්. එම්. චන්ද්‍රසේන, එස්.
ක්‍රිෂෝර්, පණ්‌ඩු බණ්‌ඩාරනායක හා මිල්රෝයි ප්‍රනාන්දු ද එහි
සිටියහ.
16 වැනි එනම් ඉරිදා උදේ හරියටම 6.30 ට ජයලත් ජයවර්ධනගේ
දුරකථනයට ඇමතුමක් ලැබිණි. ඒ ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන්ගෙනි.
ඔබට සුබ උපන් දිනයක්. අපි සුබපතනවා. මහජන සේවය සඳහා අපි ඔබට
දීර්ඝායුෂ පතනවා. ඔබ දැන් මඩු පල්ලියේ ඉන්නවා ඇතිනෙ නේද
ජනාධිපති ඇසුවේය.
පිළිවෙළින් නියෝජ්‍ය නායක කරුගෙන්, බැසිල් රාජපක්‍ෂගෙන්,
තිස්‌ස අත්තනායකගෙන් හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන්
දුරකථන සුබපැතුම් ලැබුණේ ඉන් අනතුරුවයි.
ජනපති මාතලේ
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇලික් අලුවිහාරේ හිටපු
මන්ත්‍රීවරයාගේ තුන්මහේ පින්කම පිළිබඳ තතු දැනගත්තේ ඉකුත් 16
වැනි ඉරිදා උදේය. ඒ මල්වත්තේ මහානායක හිමියන්ට කතා කළ මොහොතේය.
ශෂී... එනවද යන්න මාත් එක්‌ක පුංචි ගමනක්... අපි යමු මාතලේ
ඇලික් මන්ත්‍රීතුමාගේ පින්කමට...
විශේෂ කටයුත්තක් නිසා ශෂී ඒ ගමනට සහභාගි වුණේ නැත. එහෙත්
ජනාධිපතිවරයා කොළඹ සිට හෙළිකොප්පටරයෙන් මාතලේ බලා ගියේය.
ජනපති මහින්ද ඇලික් අලුවිහාරේගේ නිවසට ගොඩවදින විට අස්‌ගිරි
මහානායක හිමියෝ අනුශාසනාවක් කරමින් සිටියහ. ඒ මොහොතේ
ජනාධිපතිවරයා දැක මවිතයට පත්වූ පිරිස බණ පවා අමතක කරමින් නැගී
සිටින්නට පටන් ගත්හ.
වාඩිවෙන්න.. බණ අහන්න කියා අතින් සංඥ කළ ජනාධිපතිවරයා
පැත්තකින් ගෙදරට ඇතුළු වූයේය. අවසානයේ මහනාහිමිවරුන්ට අට
පිරිකරක් ද පූජා කළ ජනාධිපතිවරයා පැමිණ සිටි අමුත්තන් හා
දේශපාලනඥයන් හා කතා බහ කරන්නට පටන් ගත්තේය.
ඒ වන විට මේ ආගමික පිංකමට සහභාගි වන්නට පැමිණි එක්‌සත් ජාතික
පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන කරු ජයසූරිය, තිස්‌ස අත්තනායක, එස්.
බී. දිසානායක, රේණුකා හේරත්, අමරා පියසීලී ඇතුළු එජාපයේ
ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ද එතන සිටියහ.
ජනාධිපති මහින්ද එදින දහවල් ආහාරය ගත්තේ ද ඔවුන් හා සතටු
සාමීචියේ යෙදෙමිනි. ඉන් පසුව මේ පිරිස අතර දේශපාලන කතාබහකට ද
මග පෑදිනි.
මේ යන විදියට අපේ පොලිසියේ වැඩපිළිවෙළ නම් ඉතාම නරකයි. ඔබතුමාට
වහාම ඊට පියවරක් යොදන්න නම් වේවි. කරු කීවේය.
ඔව් කරු... මම අයි. ජීa. පී. ගෙන්නලා බොහොම තදින් ක්‍රියාකරන්න
උපදෙස් එහෙමත් දුන්නා. බලනකොට හැම තැනම තියෙන්නේ මේ ගෑනු
හුටපටනේ.
මුන් මහ තක්‌කඩි... කියමින් එස්. බී. ද කතාවට එකතු වීය.
ආ එස්. බී. දැන් ඔයා ලෑස්‌තිද ලබන ජනාධිපතිවරණයේදී මාත් එක්‌ක
තරග කරන්න. රට පුරාම කතාව යනවා ඔයයි ඊළඟට එන්නේ කියලා.
එහෙම එකක් නැහැ... කියමින් එස්. බී. මඳක් පසුබාන්නට වූයේ
එතන කරු ජයසූරියත් සිටි නිසාය. ඒ මොහොතේ ජනාධිපතිවරයා තිස්‌සගේ
මුහුණ බැලුවේය.
ඔබතුමා ජනාධිපතිවරණය කෝල් කරන්නකෝ. ඊළඟට අපි කියන්නම් කවුද අපේ
අපේක්‍ෂකයා කියලා....
ඔව්... මේ එස්. බී. ඉන්නවා... කරු ඉන්නවා.. දෙන්නම හොඳයි.
දෙන්නම අපේ මහ ගෙදරින් මෙහාට ආපු අයනේ...
නැහැ. මගේ දේශපාලන මහ ගෙදර නම් එක්‌සත් ජාතික පක්‍ෂය. මම එහාට
ගියේ මේ යුද්ධ ඉවරයක් කරන්න ඔබට ශක්‌තියක් වෙන්න... කරු
කීවේය.
මොකද තිස්‌ස කියන්නේ... මේ දෙන්නගෙන් එක්‌කෙනෙක් නේද එන්නේ.
මම පක්‍ෂයේ මහ ලේකම්... ඕවට නිකමටවත් වචනයක් කියන්න මට බැහැ.
ඔව්... ඔව්... මහ ලේකම් හැටියට තිස්‌ස නිහඬව ඉන්න එක තමයි
හොඳ... ජනපති කීවේය.
මේ අයුරින් බොහෝ වේලාවක් පැවති මේ කතාබහට පසුව ජනාධිපතිවරයා
අලුවිහාරේ පවුලේ ඥතීන් සමග ද මඳ වේලාවක් කතාබහ කරමින් සිට
ආපසු කොළඹ එන්නට ආවේය.
ඊට පසුදා එනම් සඳුදා එජාප නායක රනිල් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ
මන්ත්‍රීවරු පිරිසක් කේම්බ්‍රිඡ් ටෙරස් කාර්යාලයට කැඳවූයේය.
කරු ගාමිණි ජයවික්‍රම, තිස්‌ස, අමරා පියසීලී, රේණුකා හේරත් හා
කබීර් හෂීම් ඊට පැමිණ සිටියහ.
මේ කතාබහේ අරමුණ වී තිබුණේ දේශපාලන මණ්‌ඩලය කෘත්‍යාධිකාරි
මණ්‌ඩලය වැනි තැන්වලදී පක්‍ෂයේ විනය ආරක්‍ෂා කරගන්නේ කෙසේද
කියා කතා බහ කිරීමය.
අපේ විරුද්ධ වාදීන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ පක්‍ෂය ඇතුළේ අරගල
නිර්මාණය කරල අභ්‍යන්තර සමගිය බිඳ වට්‌ටන්නයි. ඒ අවශ්‍යතාවය
පක්‍ෂය ඇතුළේ ඉඳන් ඉටුකරල දෙන අයත් මෙතන ඉන්නවනේ... රනිල් කීය.
මේ අයුරින් දිගින් දිගටම කතා බහ කළේ පක්‍ෂයේ කැරලිකාර මන්ත්‍රී
කණ්‌ඩායමේ ක්‍රියාකලාපය ගැනය.
ඉන් පසුව එදිනම සවස 5.00 ට එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී
කණ්‌ඩායම් රැස්‌වීමද පැවැත්විණි. මුලින්ම කතා කළේ මෙම සතිය තුළ
පාර්ලිමේන්තුව පැවැත්වෙන බැවින් පාර්ලිමේන්තුවේ
ක්‍රියාකාරිත්වය හා න්‍යායපත්‍රය පිළිබඳවය. පොලිසියේ වත්මන්
ක්‍රියාකාරිත්වය පිළිබඳ ඉතා දැඩි ලෙස පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න
කරන්නට කතා කරගත් එජාපය එහි මූලික වගකීම ජෝෂප් මයිකල් පෙරේරා
වෙත පැවරුවේය.
අනිත් එක පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරන්න ඕන පක්‍ෂ නායක
රැස්‌වීමේදී සියලු පක්‍ෂ නායකයෝ කතා බහ කරල එකඟතාවක් මතයි.
ඔයාලා ඒ අයිතිය සභානායකට පවරන්න එපා. එයාට ඒක කරන්න අයිතියක්
නැහැ. සභානායකට පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍ර හදන්න ඉඩ අරින්න
එපා. රනිල් කීවේය.
මේ අයුරින් ඇදී ගිය දීර්ග කතාබහකින් පසුව මන්ත්‍රීවරු විසිර
ගියහ. රනිල් එදා ඉතා ඉක්‌මනින් පිටව ගියේ පසුදා පාන්දර ඔහුට ද
විශේෂ ගමනක් යන්නට යෙදී තිබුණ නිසාය. පසුදා එනම් අඟහරුවාදාට
පහන් වන්නට මත්තෙන් රනිල් ලෝක ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමයේ
තවත් එක් සැසිවාරයකට සහභාගි වන්නට ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව
ගියේය.
පොලිසියට බැණුම්
පොලිසිය සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන ගැටලු රැසක් කතා
කිරීම සඳහා ජනාධිපති මහින්ද පොලිසියේ ඩි.අයි.ජිS. මට්‌ටමට ඉහළ
සියලුම නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවූයේය. සඳුදා සවස මේ
රැස්‌වීම සඳහා ඩි.අයි.ජිS. වරුන්ට අමතරව පොලිස්‌පතිවරයා ද
ආරක්‍ෂක ලේකම්වරයා ද ජනාධිපති ලේකම්වරයා ද පැමිණ සිටියහ.
මම මේ කතා කළේ ඔයගොල්ලන්ට, පොලිසියට අද රට තුළ ඇතිවෙලා තියෙන
ඉරණම ගැන කතා කරන්න. මට මතකයි 1976 දී පොලිස් වෙඩි පහරකින්
පේරාදෙණියේ සරසවියේ වීරසූරිය කියල ශිෂ්‍යයෙක් මියගියා. හැබැයි
ඒකට වගකියන්න වුණේ එවකට තිබුණ ආණ්‌ඩුවට. 1977 දී ඒ ආණ්‌ඩුව
ජනතාව විසින් පෙරලලා දැම්මා. තමුන්නාන්සේලාට පුළුවන් පොලිස්
පවර් අරන් සාමාන්‍ය මිනිස්‌සු තලන්න පෙළන්න. නමුත් දෝෂාභියෝග
එන්නේ රජයට. මේ පහුගියදා වුණ ඔය වගේ දේවල් ගැන කතා කරන්නයි මම
ඔයගොල්ලො ගෙන්නුවේ. මොනවද මේ ගැන ඔබලාගේ අදහස්.
සර්........ මේ සිදුවීම ගැන අපි බරපතල විදියට කනගාටු වෙනවා.
වාස් ගැන අධිකරණ ක්‍රියා මාර්ග පවා අපි අරගත්තා. නියෝජ්‍ය
පොලිස්‌පති බාලසූරිය කීවේය.
යුද්දෙ තියෙනකොට ජනතාව වැඩිපුර දැක්‌කෙ යුද්දේ. දැන් ඒක ඉවරයි.
දැන් පුංචි දෙයක් වුනත් ඒක ඉස්‌මතු වෙලා පේනවා. පත්තරකාරයෝ
ඉස්‌මතු කරල පෙන්වනවා. මට පහුගිය දවසක පත්තරකාරයෙක් කිව්වා
යුද්දෙ ඉවර වෙලා හොඳටම වේලිලා හිටපු මොහොතක අඟුලානේ පොලිසියේ
නිව්ටන් වතුර බාල්දියක් ගැහුවාලු මාස ගානකට ඇතිවෙන්න.
ඔය නිව්ටන් කියන මනුස්‌සයා හිටියේ සූරියවැව. අපේ චමල් අයියා
මිනිහගේ වැඩ නිසා සූරියවැවෙන් මිනිහව පන්නලා දැම්මා. ඊට පස්‌සේ
තමයි ඔය අඟුලාන මුරපොලට මිනිහ වැටිල තියෙන්නේ. මිනිහව පොලිස්
මුරපොලක ප්‍රධානියා කළාම කවුරුත් හිතුවා මිනිහට ලැබිල තියෙන්නේ
ඩිමෝෂන් එකක් නොවෙයි ප්‍රමෝෂන් එකක් කියලා. මිනිහා බෙලිඅත්තේ
සූරියවැව ඉඳලා ආව කියන හයිය අරන් තමයි මෙහේ මිනිස්‌සුන්ට පාට්
දාලා තියෙන්නේ. දැන් තමයි මට ආරංචි වෙන්නේ ඔය පොලිස් මුරපොල
රෑට රෑට සමාජ ශාලාවක්‌ය කියලා. ඉහළ පොලිස් නිලධාරියෝ කිසි
කෙනෙක් ඔය ගැන හොයලා නැහැ.
ඒa.එස්.පී. කෙනෙක් පත් කරන්නේ පොලිසි 3 ක් බලාගන්න. නමුත්
කිසිම කෙනෙක් මේ පොලිසිය කවර් කරල නැහැ සර්...... අපිට සිද්ධ
වෙනවා ඒ.එස්.පී.ට ඉඳලා දඬුවම් කරන්න.
නමුත් සර් අපි වාස්‌ගේ සිද්ධියේදී ඉතා ඉක්‌මනට ක්‍රියාකාරී
වුණා. වාස් පාතාලයටයි කුඩු කාරයන්ටයි කුඩු වෙන්න ගැහුවා. දැන්
පාතාලයයි කුඩු කාරයොයි, පත්තරයි, විපක්‍ෂයයි ඔක්‌කොම එකට
එකතුවෙලා වාස්‌ට ගහනවා. එක පත්තරයක්‌වත් වාස් ගුණවර්ධන මීට
කලින් කරපු හොඳ දේවල් ගැන කතා කරන්නේ නැති එකයි අපට
පුදුමේ...." පොලිස්‌පතිවරයා කිවේය.
පොලිසිය මුලින්ම තමන්ගේ විනය හදාගෙන ඉන්න ඕන." ජනපති කීවේය.
මම මේ මරල දාපු ළමයි දෙන්න ගැන හොයල බැලුවා. බලනකොට අපේ
ආණ්‌ඩුවටම උදව් කරපු ළමයි. රු. 8000 ක පඩියට වැඩ කරල තමන්ගේ
අම්මට තාත්තට සලකපු ළමයි. මේ කරපු අපරාධයට පොලිසියට හෙණම
ගහනවා. ජනාධිපති ඉතා හැඟුම්බරව කියා සිටියේය.
එම රැස්‌වීම ඒ ආකාරයට අවසන් විය. මේ අතර දුමින්ද සිල්වා එතනට
පැමිණියේය. ඔහු පැමිණ සිටියේ හිස් අතින් නොව, අඟුලානේ
සිද්ධියේදී මියගිය තරුණයන් දෙදෙනාගේ දෙමවුපියෝ ද කැටුවය.
ජනාධිපති මහින්ද ඒ දෙමවුපියෝ හා කතාබහ කර මියගිය තරුණයන්
වෙනුවෙන් කළ හැකි යුතුකම් කවරේදැයි විමසා බැලුවේය.
මංගලට හූ
පසුගිය සතියේ දේශපාලන ලෝකය තුළ වඩාත් කතාබහට ලක්‌වූ මාතෘකාව
වූයේ පසුගිය 18 වැනි අඟහරුවාදා කුරුණෑගල වයි.එම්.බී.ඒ. ශාලාවේ
සිදු වූ සිද්ධියයි. එනම් නිදහසක වේදිකාවක් රැස්‌වීමට
ප්‍රහාරයක් එල්ල වීමයි. එහිදී මංගල සමරවීර කතා කරමින් සිටියදී
රැස්‌ව සිටි පිරිසක් කෑ කෝ ගසමින් ඔහුට විරෝධය පළ කර ප්‍රහාර
එල්ල කිරීමේ සිද්ධිය මුල්කරගෙන විවිධ කතා බහ පැතිරෙන්නට විය.
එම සිද්ධිය වූයේ මෙලෙසය.
නිදහසක වේදිකාවක් රැස්‌වීම අඟහරුවාදා කුරුණෑගල වයි.එම්.බී.ඒ.
ශාලාවේදී පැවැත්වෙන බවට එක්‌සත් ජාතික පක්‍ෂය හෝ
දිස්‌ත්‍රික්‌කයේ පක්‍ෂ සංවිධානය එතරම් ලොකු ප්‍රසිද්ධියක් දී
තිබුණේ ද නැත. මෙම රැස්‌වීම සඳහා ලොකු පොලිස් ආරක්‍ෂාවක්
අවශ්‍ය බවට කල්තියාම එජාප නායකයෝ ප්‍රදේශයේ නියෝජ්‍ය
පොලිස්‌පතිවරයාට පවා දන්වා තිබුණේ යම් සිදුවීමක් වේ යෑයි
කල්තියාම සැක කරගෙන සිටි නිසා වන්නට ඇත.
කෙසේ හෝ මේ රැස්‌වීමට සැලකියයුතු සෙනඟක් සහභාගි වී සිටියහ.
කරු, තිස්‌ස, මංගල, ඇතුළු නායකයෝ ඊට සහභාගි වූයේ රැස්‌වීම පටන්
ගෙන ටික වේලාවකට පසුවය. න්‍යාය පත්‍රානුකූලව රැස්‌වීමේ කටයුතු
මුලදී ඉතා සාමකාමීව දිගින් දිගටම ඇදී ගියේය.
මංගලගේ කතාව තිබුණේ අවසාන කතාවට පෙර කතාව ලෙසය. එය කිරීම සඳහා
මංගල නැගී සිටියේය.
මංගල කතාව කරමින් සිටින අතරදී යම් යම් කරුණු සම්බන්ධයෙන්
ප්‍රේක්‍ෂකාගාරයෙන් ප්‍රතිචාර ද ලැබෙන්නට විය.
උතුර - නැගෙනහිර කඳවුරුවල ඉන්න ජනතාව මේ මෝසම් වැස්‌ස නිසා
ආයෙත් අනාථයෝ බවට පත්වෙලා...." මංගල කීය.
"මෝසම් වැස්‌ස වහින එක නතර කරන්න ආණ්‌ඩුවට පුළුවන්ද?" සභාව
ප්‍රශ්න කළේය.
මේ ආකාරයේ බාධාකිරීම් මැද මංගල දිගටම කතා කරන්නට වූයේය.
පක්‍ෂයේ ඇදවැටීම්වලට මංගල වගකිවයුතු බව කියමින් චෝදනා නැගෙන්නට
ද විය. තවත් පිරිසක් හූ කියන්නට පටන් ගත්හ. මේ නිදහසක වේදිකාව
තුළ ඕනෑ කෙනෙකුට පුටු උඩ නැග හූ කියන්නට වුවත් නිදහසක් තිබෙන
බව මංගල කීය. ජනතාව තව තවත් හූ කියන්නට වූහ. මංගල ඔවුන්ට
හිවල්ලු කියා බැන වැදුනි. අනතුරුව ගාලගෝට්‌ටිය ඇරැඹුණි.
කෙසේ වෙතත් දැඩි පොලිස් ආරක්‍ෂාව හේතුවෙන් ඇති වන්නට ගිය
බරපතල තත්ත්වය පාලනය කර ගන්නට හැකි වී තිබිණි. මංගල හූ හඬ
මධ්‍යයේම එතැනින් පිටව ගොස් ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන්
උපුලාංගනී මාලගමුව නම් හිටපු පළාත් සභා මන්ත්‍රීවරියගේ නිවසේ
දී පුවත්පත් සාකච්ඡාවක් ද පැවැත්වූයේය.
කරුණු කෙසේ වෙතත් මේ කලබලකාරී වාතාවරණය ඉබේ පහළ වූවක් නොව,
යම්කිසි පිරිසක් හිතාමතා ඇතිකරන ලද්දක් බව එහිදී කියෑවිනි.
බොහෝ දෙනකු මේ සම්බන්ධයෙන් ඇඟිල්ල එල්ල කරන්නට පටන් ගත්තේ
ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාටය.
ජානිපෙ
පසුගිය 17 වැනිදා අඟහරුවාදා ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන
මණ්‌ඩල රැස්‌වීමකA ද පැවැත්විණි. බත්තරමුල්ල පක්‍ෂ ප්‍රධාන
කාර්යාලයට එක්‌වූ දේශපාලන මණ්‌ඩල සභිකයෝ කතා බහ කරනු ලැබුවේ
දකුණු පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන ආකාරය
පිළිබඳවය.
අපි දකුණු පළාත් සභාව ආවරණය වන ප්‍රචාරක වැඩ පිළිවෙළක් ආරම්භ
කළ යුතුයි... අචල ජාගොඩ කීවේය.
ජන සමුළු කීපයක් දිස්‌ත්‍රික් මට්‌ටමින් තියමු. ඒක අපි එක්‌ක
එකතු වෙන්න බලං ඉන්න ජනතාවට ලොකු අවස්‌ථාවක් වේවි විමල් කීය.
ඒ අනුව "දිනන රටට දිනන හෙටක්" යන මාතෘකාව යටතේ 24 වැනිදා
තංගල්ල නගර ශාලාවේදී හම්බන්තොට දිස්‌ත්‍රික් ජනහමුව පවත්වමින්
මේ වැඩ පිළිවෙළ ආරම්භ කරන්නට ජානිපෙ තීරණය කළේය. එම රැස්‌වීම
25 වැනිදා මාතර දීත් 26 වනදා ගාල්ලේදීත් පැවැත්වීමට ද තීරණය
කෙරිණි.
විනය පරීක්‍ෂණ
පසුගිය සතියේ දිනක පාර්ලිමේන්තුවේ අවන්හලේ දී එක්‌සත් ජාතික
පක්‍ෂයේ කැරලිකාර පිලේ මන්ත්‍රීවරු කිහිප දෙනකු එකට එකතු වී
කතා බහ කරමින් සිටියහ. ඔවුන්ගේ මාතෘකාව වූයේ මංගල සමරවීරට
කුරුණෑගලදී හූ කියා පහර දෙන්නට තැත්කළ රැස්‌වීම ගැනය.
මොවුන්aගේ කතා බහ කන වැකුණු රජයේ ඇමැතිවරු දෙදෙනකු ද එතැනට
පැමිණියහ.
අනේ අර අහිංසක මංගල මන්ත්‍රීතුමාටත් මේ ජොන්ස්‌ටන්ලා මිනිස්‌සු
දම්මල හූ කියෙව්වනේ. ඕවත් කරන්න වටින වැඩද....
හැබැයි මංගල මන්ත්‍රීතුමා නම් ප්‍රෙස්‌කම්ෆරන්ස් තියල කියල
තියෙන්නේ වෙන කතාවක්. එයා කියන්නේ ඔබතුමාලයි රජය ඔය කලබලේ ඇති
කළා කියල තමයි... ජොන්ස්‌ටන් කීය.
විහිළු නොවෙයි. හොයල බලන්න. අපට ආරංචියි ගොඩක් දේවල්. කල්පනා
කරල බලන්නකෝ එදා මාතරදී වුණු දේට සමාන නැද්ද කියල මේ සිදුවීම.
මාතරදී ජස්‌ටින් ගලප්පත්තිලගෙ ගෙදර රැස්‌වීම තියන්න ලෑස්‌තිකරල
දින දීල ඊට කලින් දවසේ රනිල් රට ගියා. තිස්‌සයි කරුයි මාතර
ගිහින් නිකරුණේ ගෝරියකට මැදි වුණා. ඊළඟට නිදහස් වේදිකාව
රැස්‌වීමටත් මේ පාර කුරුණෑගල දිනය වෙන් කළේ කවුද...?
අපි දන් නැහැ....ජොනී කිය.
ඔයාලට ආරාධනා කරලත් නැද්ද....
මට විතරක් නොවයි.... මට ඉන්දිකට, දයාසිරිට අමරා පියසීලිට
කාටවත් නැහැ කියලයි මම දන්නේ... ජොනී කීය.
ඒක තමයි... ඔයාලට නොකිය රනිල් මේ
රැස්‌වීමටත් දින දීල ඊට කලින් දවසේ රට ගියා. මෙතනත් කරු, මංගලල
තිස්‌සලා ගිහිල්ලා නාගත්තා. හොඳට හොයල බලන්න. රනිලුයි අකිලයි
දෙන්නම ආවේ නැත්තේ මොකද කියල....
අනේ මේ... ඔයාලා පාඩුවේ ඉන්න... නැති ප්‍රශ්න ගොතල ඇත්ත වගේ
නිර්මාණය කරන්න ඔයාලයි ඔයගොල්ලන්ගේ ලොක්‌කොයි හරි දක්‍ෂයි....
අපේ වැඩක් අපි බලාගන්නම්... නිකන් යන්න... ජොනී විහිළුවට මෙන්
කීවේය.
හරි..... බලමුකෝ.... මංගලට හූ කියෙව්වයි පුටුවලින් ගැහුවයි
කියල පක්‍ෂ විනය පරීක්‍ෂණ තියන්නේ කාට විරුද්ධව ද කියලා...
උත්තර ලෑස්‌ති කරගන්න....
ඒක මම ඒ වෙලාවට බලා ගන්නම්. පක්‍ෂයෙන් පැනලා ආණ්‌ඩුවට ගිහින්
ඇමැතිකම් අරන් අවුරුදු 3 ක් ගතවෙලත් විනය ක්‍රියා මාර්ගයක්
ගන්න බැරිවුණු මෙයාල මට විනය පරීක්‍ෂණ තියල මොනව කරන්නද....?
පක්‍ෂය ආරක්‍ෂා කරගෙන හිටපු අපිට විරුද්ධව ද විනය පරීක්‍ෂණ
තියන්නේ.... ජොනී තරමක් තරහෙන් කියාගෙන යද්දී අනෙක් පිරිස
විසිර ගියහ.
වාස්‌ගේ නෑයෝ
පසුගිය සති දෙක තුළ දුරකථනයට ඉස්‌පාසුවක් නැති තවත් එක් අයකු
වූයේ සජින් වාස් ගුණවර්ධනය. ඔහුගේ දුරකථනයට ආ පණිවිඩවලින් 90%
කින්ම කියෑවුණේ මේ දිනවල කතාබහට ලක්‌ව සිටින පොලිසියේ වාස්
ගුණවර්ධන, සජින් වාස් ගුණවර්ධනගේ තාත්තගේ මල්ලී නේද කියාය...
ඊට හේතුව යම්කිසි පිරිසක් විසින් සංවිධානාත්මකව පොලිසියේ
වාස් ගුණවර්ධනලා හා සජින් වාස් ගුණවර්ධනලා එකම පවුලේ අය බවට
ඔප්පු කිරීමට කට කතාවක් නිර්මාණය කර තිබීමය.
එහෙයින් සජින්ට සිදු වූයේ තමන්ගේ දුරකථනයට එන වැරැදි මත
නිවැරැදි කිරීමට දවසින් වැඩි කාලයක් වැය කිරීමටය....
අනේ නැහැ.... අපේ පවුලයි ඒ පවුලයි අතර කිසිම සම්බන්ධයක් නැහැ.
අපි නෑයෝ නොවෙයි.... සජින් වචනයෙන් දෙකෙන් ඇත්ත කියා ඇඟ බේරා
ගත්තේය.
ශාන්ට සුබපැතුම්
මේ අතර පසුගිය සඳුදා උදෑසන 6.30 ට පමණ දකුණේ හිටපු මහ ඇමැති
ශාන් විජයලාල් සිල්වාගේ දුරකථනයට විශේෂ ඇමතුමක් ලැබිණි. ඇමතුම
ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන්ගෙනි...
ශාන් මම කතා කළේ ඔයාට සුබ උපන් දිනයකට සුබ පතන්න. කොහොමද වැඩ
කටයුතු....
පටන් ගත්ත සර්... මේ වෙලාවේ අපි කතා කර කර හිටියේත් ඒ සැලසුම්
කටයුතු ගැන තමයි...
හොඳයි හොඳයි.... මම දැක්‌කා ඔයා පසුගිය දවස්‌වල එජාපයෙන් ආපු
පිරිසක් පිළිගත්ත හැටි ටී. වී එකෙන්. ශාන් ඔහොම වැඩ කරගෙන
යන්න... එහෙනම් ඔන්න මගෙනුත් සුබ පැතුම්... කී ජනාධිපතිවරයා
රිසීවරය තැබුවේය.
පසුගිය සතියේ 19 වැනිදා අනුර කුමාර දිසානායක හා සුනිල්
හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් පිරිසක් හා කතා
කරමින් සිටියහ.
පොදු ව්‍යාපාර කාරක සභාව ගැන තියන ප්‍රෙස් කම්ෆරන්ස් එකට
ඔයාලත් එනවද.... මාධ්‍යවේදියෙක් ඇසුවේය....
අපි දන්නේ නැහැ. මාධ්‍ය සාකච්ඡාවක් ගැන. රාජ්‍ය ආයතන 20 ක්
ගැන විමර්ශන වාර්තාවක් නම් අපි උදේ සභාගත කළා... අනුර කීවේය.
මෙතනට ඒ මොහොතේ ජෝන් සෙනවිරත්න ඇමැතිවරයාද පැමිණියේය.
අපි මාධ්‍යවලට දෙනවා. කෝප් කමිටුව හදාපු වාර්තාව... ඔහු කීවේය.
අපට ගැටලු තියෙනවා. එකක් අපි මේ මාධ්‍ය සාකච්ඡාව ගැන දන්නේ
නැහැ. අනෙක මාධ්‍ය නිදහස පුවත් පත් මණ්‌ඩල මගින් නැති වෙන්නේ
නැහැ කියලත් මේ වාර්තාවේ තියෙනවා. ඔය කාගේ මතයක් ද, කවුද එහෙම
කිව්වේ.... මේකේ ලියල තියෙන්නේ ඔබතුමාගේ මතය... අනුර කීවේය.
හරි.... වාර්තාව ගැන එකඟත්වයක් නැති නිසා අපි මාධ්‍ය සාකච්ඡාව
අවලංගු කරමු.... ජෝන් කීය. මාධ්‍ය සාකච්ඡාව අවලංගු කරන බව
නිවේදනය කිරීමෙන් පසුව ද මාධ්‍යවේදිහු පිරිස අනුර හා හදුන්
හමුවන්නට ආහ.
මේ විදියට මාධ්‍ය සාකච්ඡා කැඳවීමයි අවලංගු කිරීමයි ලොකු
ප්‍රශ්නයක්. අනිත් එක මේකට විපක්‍ෂයේ මන්ත්‍රීවරු අත්සන්
කරලත් නැහැලු.
ආණ්‌ඩුව මේ කෝප් වාර්තාව දේශපාලන වාසියට යොදා ගන්න හදනවා.
පුවත්පත් මණ්‌ඩලය ගැන එළියට දාන්න මෙයාලට පුදුම හදිස්‌සියක්
තියෙනවා. අනිත් එක කලින් කෝප් වාර්තාවේ රුපියල් කෝටි 15000 ක
වංචාවක් ගැන ලියවිලා තිබුණා. ඒ මොනව වත් මෙතන නැහැ. මේක හරි
ප්‍රශ්නයක්...... හඳුන්නෙත්ති කීවේය.
හදිසි කැඳවීම්
එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකයා පසුගිය සතියේ දිනවල විදේශගතව
සිටි බැවින් ක්‍රියාකාරීව පක්‍ෂයේ වැඩකටයුතු වලට සහභාගි නොවීය.
එහෙත් හිටි හැටියේම හදිසි දේශපාලන මණ්‌ඩල සාකච්ඡාවක්‌ද පක්‌ෂය
විසින් කැඳවනු ලැබීය.
රැස්‌වීම බ්‍රහස්‌පතින්දා දහවල් පාර්ලිමේන්තුවේදී කැඳවනු ලැබූ
අතර මලික් සමරවික්‍රම ඊට විරෝධය දක්‌වා පැමිණ සිටියේ නැත.
දේශපාලන මණ්‌ඩල රැස්‌වීම පැවැත්විය යුත්තේ පක්‌ෂ මූලස්‌ථානයේදී
බවත් ඉන් පිටත පවත්වන රැස්‌වීම් වලට තමන් නොපැමිණෙන බවත් ඔහු
දන්වා තිබිණි.
එහෙත් මේ රැස්‌වීමට වෙනදා නොපැමිණෙන අමුත්තකු පැමිණ සිටීම
කාගේත් කුතුහලයට හේතුවක් විය. අමුත්තා දුනේෂ් ගන්කන්දය.
මේ දුනේෂ් කතා කරල තියෙනවා එයාට දේශපාලන කමිටුව ඉදිරියේ කරුණු
වගයක් කතා කරන්න තියෙනවා කියලා. අපි ඒකට ඉඩ දුන්නා. කරු
ආරම්භයේදීම කුතුහලය නන්වමින් කියා සිටියේය.
දුනේෂ් පත්තර කිහිපයක දේශපාලන පිටු ගෙනවිත් දිග හැර කතාව පටන්
ගත්තේය.
පසුගිය සතියේ දේශපාලන පිටුවල තිබුණා ජොන්ස්‌ටන් ප්‍රනාන්දු,
ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, එස්. බී. දිසානායක කියන තුන්දෙනා තලතා
අතුකෝරාලව රත්නපුර දිස්‌ත්‍රික් සභාපතිවරිය කරවන්න ලොකු
සටනක් කරපු බව. නමුත් එයා නෙමෙයි මේකට සුදුසු මමයි සුදුසු.
එයා ලක්‍ෂ ගණන් ඡන්ද ගත්තේ අයිය මැරුණ අනුකම්පාවට මටයි මේක
හිමිවන්න ඕන. මේ දේශපාලන මණ්‌ඩලය අරන් තියෙන්නේ වැරදි
තීන්දුවක්. දුනේෂ් දිගින් දිගටම කියන්නට විය.
අනිත් එක මේකට නියම සුදුස්‌සා තෝරන්න ඡන්දයක් තියපු එකත්
වැරදියි. මොකද අපි ඔබතුමා අපේ පක්‍ෂයෙන් ගිහිල්ලා ආපසු ආපුq
වෙලාවෙත් 21 දෙනෙක් අත්සන් කරල ඉල්ලීමක් කළා ඡන්දයත් තියමු
කියලා. නායකයා එදා කැමති වුණේ නැහැ ඡන්දයක් දෙන්න. නමුත්
දිස්‌ත්‍රික් නායකයා තෝරන්න එකපාරටම ඡන්දයක් දෙනවා.
මේ ප්‍රකාශයෙන් කරු තරමක් කලබලවී මම ආපසු ආවේ පක්‍ෂ නායකයා
පක්‍ෂ මහසමුළුවේදී කරපු ආරාධනාවක් පිළිගෙන. ඒකට ඡන්ද මොකටද.
ඒක වෙනම කතාවක්. මම කියන්නේ ඡන්ද ලබාදෙන්නට නම් පිළිවෙළක්
තිබිය යුතුයි කියලයි. මේ පක්‌ෂය තරුණයන්ට පක්‍ෂයේ තනතුරු ගන්න
ඉඩ දෙන්නේ නැහැ. තරුණයන්ට මීට වඩා තැනක් දිය යුතුයි. තරුණයන්ට
මෙතන ඉදිරියට එන්න මාර්ග අහුරලා.
ඔයා කතා කරන්නේ ඔය මොන තරුණයෝ ගැනද........ අර සාගලලා, අලලා
වගේ තරුණයෝ ගැනද නැත්නම් නියම තරුණයෝ ගැනද දොස්‌තර ජයවර්ධන
ඇසුවේය.
මම කතා කළේ මම වගේ හොඳට කන බොන අඳින පළඳින තරුණයෝ ගැන......
දුනේෂ් කීය. කරුණාකරල මට කියන්න ජොන්ස්‌ටන් මන්ත්‍රීතුමාත් එදා
තලතට පක්‍ෂව කතා කළාද.
මම විවෘතව කියනවා මේ තනතුර තලතට හිමිවිය යුතුයි කියල. මම එදාත්
කිව්වා අදත් කියනවා. මොකද ඔබට වඩා ඇය දිස්‌ත්‍රික්‌කයේ ජනතා
ප්‍රසාදයක් දිනාගෙන ඉන්න නිසා.
මගේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. එස්. බී. මන්ත්‍රීතුමාත් කියල
තිබුණා මට විරුද්ධව.
දුනේෂ් මල්ලී මේ තනතුර මාස 6 ක් නොදී සිටියා ඔයයි තලතයි මරා
ගන්න ගිය නිසා. අපි මේ තීරණය අද ගත්තේ කොන්ද කෙලින් තියාගෙන
එස්. බී. කීවේය.
හරිනම් මටයි දෙන්න ඕන. මමයි නියම රනිල්වාදියා. තලතා කැරලිකාර
පිලේ කෙනෙක්. දුනේෂ් කීය.
කරුණාකරල ඒ ප්‍රකාශය ඉල්ලා අස්‌කරගන්න. අපේ පක්‍ෂයේ කැරලිකාරයෝ
නැහැ. රංජිත් මද්දුම බණ්‌ඩාර කීවේය.
දැන් දුනේෂ් ඔන්න ඕක අල්ලල දාන්න. තව මාස 6 යි නේ. ඕක තලතට
ගියපුදෙන්. ජෝන් අමරතුංග කීවේය.
හරි....... ඔයා දැන් හුඟාක් කතා කළා. දැන් ඔයා යන්න. අපට
තීන්දුවක් ගන්න තියෙනවා කරු කීවේය.
ඒ අනුව දුනේෂ් පත්තර අකුලාගෙන එළියට යද්දී නැවතත් කරු කතා
කළේය.
එයා හරි පුදුම කෙනෙක්. මේ තනතුර සම්බන්ධයෙන් ඡන්දයක් තිබ්බා.
තවම ප්‍රතිඵය දීලත් නැහැ. නමුත් එයා පරාජය බාර අරන් විරෝධය
පානවා.
මොකටද අපි බලන් ඉන්නේ. අපි ගිය පාර දේශපාලන මණ්‌ඩලය ඒකමතිකව
තීන්දුවක් ගත්තනේ තලතට ඔය තනතුර දෙන්න. ඉතින් ඒක දෙමු රංජිත්
කීය.
මේ අතර ජෝෂප් මයිකල් තවත් යෝජනාවක් ගෙන ආවේය.
අපි ජනතා විමුක්‌ති පෙරමුණ ඉදිරිපත් කරන ජනාධිපති ක්‍රමය අහෝසි
කිරීමේ යෝජනාවට මේ වෙලාවේ සහාය පළ කරන්න ඕන. මේක ජවිපෙ
තීන්දුවක් නොවෙයි. 1995 දී අපි කතරගම මහ සමූළුවේදී ගත්ත
තීන්දුවක්. අපි ඒක ක්‍රියාවට නඟමු.
ඔව්, ඉතින් අපි එදා එහෙම තීන්දුවක් අරන් ඊට පස්‌සේ අපේ නායකයා
ජනාධිපතිවරණ දෙකකට ඉදිරිපත් වෙලා, ඒ දෙකෙන්ම පරාදයි රංජිත්
මද්දුම බණ්‌ඩාර කීවේය.
එහෙම බැහැ. අපි මේ පාර මේ යෝජනාව ගෙනල්ල ජනාධිපති ක්‍රමය අහෝසි
කරන තැනට රට ගේන්න ඕන. රවී කීවේය.
ඔව්......ඔව්..... රනිල් දෙපාරක් පැරදුන තනතුරක්‌නේ ඕක. දැන්
මේ පාරත් එයා ඕකට ඉදිරිපත් වෙලා ආයෙත් සැරයක් පරාද වෙනවනේ.
ඉතින් ආයෙත් පරාදවෙනවට වැඩිය හොඳයි ඔන්න ඕක අහෝසි කරන්න කියල
සටන් කරන එක. පරදින තනතුරකට මොකටද අපි තරග කරන්නේ. ජෝන්
අමරතුංග ඉතා උපහාසයෙන් යුතුව සියල්ලෝම හිනස්‌සවමින් කියවන්නට
වූයේය.
මේ අතර දුනේෂ් ගේ යෝජනාව බඳු එක් සරල කාරණයකට පමණක් දේශපාලන
මණ්‌ඩලය රැස්‌කරවීම ගැන සිය නොසතුට පළකරමින් කතා කළේය.
නාගසේන
|
|
|
|