|
|
|
|

අර්බුද මතුවුණත් අපි
විසඳුම් දුන්නා !
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
අප
ප්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් කිසිදු කටයුත්තක් යට ගහන්නේ
නැහැ. ඉතාම විනිවිද භාවයකින් යුතුව කී කරුණු කාරණා සිදු වෙනවා.
සමහර අය ඉන්න පුළුවන් සහකාර අධ්‍යාපන අධ්‍යක්‌ෂවරයෙක් හැටියට
යම් විෂයයක් සම්බන්ධයෙන්. ගුරු උපදේශකවරයෙක් යම් විෂයයක්
සම්බන්ධයෙන්. නමුත් මේ අය වැඩ ආවරණය කරන පදනමේ ඉන්නවාද නැද්ද
කියන කාරණය මට මෙහිදී ප්‍රකාශ කරන්න බැහැ.
මෑත භාගයේ රජයට එල්ල වන චෝදනා අතර ප්‍රමුඛ වූයේ අධ්‍යාපන
ක්‌ෂේත්‍රයේ මතුවූ විවිධ අර්බුද පිළිබඳවයි. පාර්ලිමේන්තුවේදී
නිතර නිතර ප්‍රශ්න කරන තරමට පැන නැඟි අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ
අර්බුද පිළිබඳව කතාබහ කරන්නට "ඉරිදා දිවයින" සමග සාකච්ඡාවට
එක් වන්නේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතායි.
ප්‍රශ්නය - අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ඔබට "ප්‍රශ්න පත්තරයක්"
ම ලබාදෙන්න අප සූදානම්. එකිනෙක පෙළගැස්‌වුවහොත් පළමු ශ්‍රේණියට
ළමුන් ඇතුළත් කර ගැනීමේ සිට ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර
පරීක්‌ෂණ අර්බුද සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රය නැවත
පැවැත්වීමට සිදුවීම, උසස් පෙළ උත්තර පත්‍ර නැවත පරීක්‌ෂාවේදී
සිසුන්ට ඇතිවූ අපහසුතා, වාර විභාග ප්‍රශ්න පත්‍ර අර්බුදය මේ
ආදී වශයෙන් අර්බුද රැසක් මේ වන විට අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ මතුව
තිබෙනවා. මේ සියල්ල ගැන ඔබේ විග්‍රහය දැනගන්න කැමැතියි.
පිළිතුර - මෙහිදී මා මේ අධ්‍යාපන අමාත්‍යාංශය භාරගන්නා
අවස්‌ථාව වන විටත් එනම් 2005 අප්‍රේල් මාසයේ උසස් පෙළ
විභාගයෙදිත් රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිළිබඳව සැක මතුව
තිබුණේ විභාගයෙන් පසුවයි.
නමුත් ඒ සම්බන්ධයෙන් සාධාරණ පියවරක් ගෙන තිබුණේ නැහැ
දෙසැම්බර් මාසය වන තුරුත්. මම අමාත්‍යාංශය බාරගත් පසු ඒ
ප්‍රශ්නය මට යොමුවුණා. අප නැවත තීන්දු කළා සියලුම බහුවරණ
ප්‍රශ්න පත්‍ර නැවත සමීක්‌ෂණය කරන්න. ඊට පසු අපිට සිදුවුණා
විශ්වවිද්‍යාලයට අලුතින් ළමයි 928 ක් බඳවා ගන්න. එපමණක්
නොවෙයි රජරට විශ්වවිද්‍යාලයේ අලුතින් වෛද්‍ය පීඨයක් ආරම්භ
කරන්න සිදුවුණා. අප පෙර සිදුවීම් සම්බන්ධයෙන් පවා නම්‍යශීලීව
කටයුතු කළේ එහෙමයි. එය එක් නිදසුනක් පමණයි. තවත් එවැනි දෑ
බොහෝමයක් පෙළගැස්‌විය හැකියි. නමුත් අප හරි දේ ක්‍රියාත්මක
කරන හැම මොහොතේම විවිධ දේශපාලන බලවේග ඒවා කඩාකප්පල් කරන්න
ක්‍රියා කළා.
මෙවර උසස් පෙළ විභාගය අපි කිසි ගැටළුවක් නොමැතිව පවත්වාගෙන
යනවා.
ප්‍රශ්නය - ගම්පහ ප්‍රදේශයේ ප්‍රශ්න පත්‍ර තුනක අඩුවීමේ
සිද්ධියක් වාර්තා වුණා.
පිළිතුර - එවැනි එක් සුළු සිදුවීමක් පමණයි වාර්තා වුණේ.
උපදෙස් පොතේ පවා තිබෙනවා එවැනි අහඹු සිදුවීමක් හදිසියේ
සිදුවිය හැකි බව.
ඊළඟට අපි ගත්තොත් ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිටවුණා
කියන ගැටළුව. එහි කිසිදු සත්‍යතාවයක් නැති බව කිව යුතුයි.
එවැන්නක් සිදුවී නැහැ. නමුත් ඒ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් යම්
යම් පරීක්‌ෂණ සිදුවෙමින් පවතිනවා. ප්‍රශ්න පත්‍රය තිබුණේ
දොළොස්‌වැනිදා. නමුත් ප්‍රවෘත්තිය කරළියට ආවේ 17 වැනිදා. එතැනම
යම් සැකයක් මතු වෙනවා. වගකීමක් තිබෙන මාධ්‍ය මෙහිදී ඉතාම
ප්‍රවේශමෙන් ක්‍රියා කළා. විවිධ බලවේග මේ මොහොතේ විවිධ දේට
චෝදනා කරමින් රජය අපකීර්තියට පත් කිරීමේ සූදානමක් තිබෙනවා.
පාසල්වල වාර පරීක්‌ෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම සිදු වන්නේ
පළාත් සභා මගින්. වාර පරීක්‌ෂණ පැවැත්වීම විභාග
දෙපාර්තමේන්තුවෙන් කිසි විටෙකත් සිදුවී නැහැ. නමුත් වාර
පරීක්‌ෂණ පැවැත්වීමේදී අපරීක්‌ෂාකාරීත්වය හා නොසැලකිල්ල නිසා
පළාත් සභා අධ්‍යාපන කලාප තුළ යම් අක්‍රමිකතාවක් සිදුවී
තිබෙනවා.
ප්‍රශ්නය - අක්‍රමිකතාවන් සිදුවී ඇතිනම් එය පළාත් සභාවට අයත්
කාර්යයක් යෑයි කියමින් අත පිහිදගන්න පුළුවන්ද?
පිළිතුර - ඒවා අපි විමර්ශනය කළා. ඒ අනුව අදාළ අයට දඬුවම් ලබා
දෙන්නත් අපි නිර්දේශ පවා අපි නිකුත් කර තිබෙනවා. නැවත
එවැන්නක් සිදු නොවීමට අප ක්‍රියා කරනවා. සියලුම අධ්‍යාපන කලාප
අධ්‍යක්‌ෂවරුන් ගෙන්වා නුදුරේදී අපි වැඩමුළුවක් පවත්වනවා.
නමුත් ඔය සුළු සුළු සිදුවීම් ගැන චෝදනා එල්ල කරන අය වාර
පරීක්‌ෂණ අත්හැර දැමූ යුගයක් තිබුණු බව අමතක කර තිබෙනවා. කෙසේ
හෝ ඒ ගැන වරදක් සිදුවී තිබෙනවා නම් අදාළ පුද්ගලයන්ට දඬුවම්
පැවැත්වීමට අදාළ පළාත් සභාවට වගකීමක් තිබෙනවා. අධ්‍යාපන
අමාත්‍යාංශයට ඒ සඳහා මැදිහත්වීමට හැකියාවක් නැහැ.
ඊළඟට ඔබ මුලින් මතක් කළ කාරණයක් වන පහේ ශිෂ්‍යත්වය ගැන කතා
කරමු. පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී ලකුණු වෙනස්‌වීමේ ගැටළුවක්
තිබුණා. පහේ ශිෂ්‍යත්වයට සාමාන්‍යයෙන් දෙලක්‌ෂ අනූදහක් පමණ
සිසුන් පිරිසක් පෙනී සිටිනවා. ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම ඒ
ආසන්න දිනවල ගුරුවරුන් විසින්ම කරනවා. මෙතැනදී ඒ වරද සිදුවී
තිබෙන්නේ ඒ ලකුණු එකතු කිරීමේ අවස්‌ථාවේදියි. ඒ සම්බන්ධයෙන්
විනය ක්‍රියාමාර්ග ගැනීමට විභාග කොමසාරිස්‌වරයා කටයුතු කර
තිබෙනවා. එය ලකුණු කළ ගුරුවරයා සොයා ගැනීම එතරම් අපහසු
කටයුත්තක් නොවෙයි.
ඊළඟට අපි කතා කළොත් උසස් පෙළ විභාගයේ "ඉසෙඩ් අගය" සම්බන්ධ
ප්‍රශ්නය ගත්තොත් පළමු වර නිකුත් කරන්නේ විභාගයට පෙනී සිටි
සියලු දෙනාටම නිකුත් කරන සාමාන්‍ය ප්‍රතිඵලය. උසස් පෙළ
විභාගයට දෙලක්‌ෂ හතළිස්‌දහසක් පෙනී සිටියත් සමත් වීමේ
ප්‍රතිශතය 60% ක් පමණයි. එක්‌ලක්‌ෂ තිස්‌දහසකට ආසන්න
සංඛ්‍යාවක් හැටියට එය ගත හැකියි. මේ සමත්වන සියලු දෙනාම
විශ්වවිද්‍යාලයට අයදුම් කරන්නේ නැහැ. ඒ ප්‍රමාණය 45,000 ක්
වැනි ප්‍රමාණයක්. එයිනුත් යම් ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට
ඇතුළත් කරගන්නවා. මේ ඇතුළත් කර ගැනීම් හා ඉසෙඩ් අගය අතර සෘජු
සම්බන්ධතාවක් නැහැ. ඉසෙඩ් අගයෙන් දළ අදහසක් ලබාගැනීම පමණයි
සිදු වන්නේ. වර්ෂයෙන් වර්ෂය විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු
ප්‍රමාණය දිස්‌ත්‍රික්‌කයෙන් දිස්‌ත්‍රික්‌කයට වෙනස් විය
හැකියි. මෙතනදී තේරුම් ගන්න බැරි ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඉසෙඩ්
අගයට ප්‍රතිපල දීලා නැවත සමීක්‌ෂණයෙන් පස්‌සේ ප්‍රතිපල සකස්
වුණේ අදාළ ශිෂ්‍යයාගේ පමණයි. මෙවර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
කොමිසන් සභාව සමග සාකච්ඡා කිරීමෙන් පස්‌සේ ඒ අය පවසා තිබුණා.
එක් ළමයෙක්‌ගේ වෙනස් වුණාට ඒ විෂයයට ඉන්න හැම ළමයෙක්‌ටම එය
අදාළ කිරීම විද්‍යානුකූලයි කියලා. මොකද ඉසෙඩ් අගයක් භාවිත කරන
නිසා. ඒ නිසා තමයි පළමු ප්‍රතිඵලයට වඩා අවසන් දශම ස්‌ථාන දෙකේ
වෙනසකට භාජනය වෙලා තියෙන්නේ ශිෂ්‍යයන් කිහිප දෙනෙක්.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා. අපි ඒ ගැන පැහැදිලි
කළා. ඒ වගේම අභියාචනා ඉදිරිපත් කරන ලෙසත් අපි ඒ ශිෂ්‍යයන්ට
දැන්නුවා. අභියාචනා දහස් ගණනක් එන ආකාරයට සමහරු
පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළත්, අභියාචනා ආවේ පහක් පමණයි.
විශාල මාතෘකාවක් හැටියට කතා කළත් අවසානයේ මෙහි බලපෑම ඇති වී
තිබෙන්නේ දශම ගණනක ප්‍රමාණයට. නැවත සමීක්‌ෂණයේ ප්‍රතිඵල වෙනස්
වී තිබෙන්නේ 1.28% ක ප්‍රමාණයකයි.
මේ දිනවල උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙනුත් යම් යම් අය
ගැටලු කිහිපයක් මතුකළා. එකක් සිංහල ප්‍රශ්න පත්තරේ
"සැළලිහිණි සංදේශයෙන්" අනෙක තර්ක ශාස්‌ත්‍රය සම්බන්ධයෙන්.
උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ මහාචාර්යවරුන්
ගෙන් සැදුම්ලත් විද්වත් මණ්‌ඩලයක් මගින්. ප්‍රශ්න පත්‍රයක
තර්කානුකූල ගැටලු කවදත් මතු වුණා. එසේ නොවේ නම් එය ප්‍රශ්න
පත්‍රයක් වන්නේ නැහැ. එවැනි දේ ගැන පාර්ලිමේන්තුවේදී නගන
ප්‍රශ්න තර්කානුකූල නැහැ. කලින් මෙවැනි දේ වුණේ නැහැ කියන්න
අමාරුයි. ඒ සිදුවූ දේ එළියට ආවේ නැහැ. දැන් සිදුවී තිබෙන්නේ
මාධ්‍ය ප්‍රබලයි. විවිධ බලවේග ඒවා භාවිත කරමින් රජය අපහසුතාවට
පත්කරන්න මේ කාරණා යොදා ගන්නවා.
ඊළඟට ඔබ මතුකළා පළමු ශේ්‍රණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ගැටලුව
පිළිබඳව.
මේ ගැන පවත්නා නීතිවල සඳහන් වන්නේ නැහැ පැහැදිලිව. අපේ රටේ
තිබෙන්නේ 1931 අංක 39 ආඥ පනතත්, ඊට පසු ආ සංශෝධන 16 ක් පමණයි.
ඒ නිසාම මීට වසර 25-30 ක පමණ සිට චක්‍රලේඛයක් මගින් තමයි
ළමයින් ඇතුළත් කරගැනීම සිදු වුණේ. ඒ අමාත්‍ය මණ්‌ඩල
අනුමැතියක් මගින්. ඉතිං අපිත් කළේ ඒකම තමයි. නමුත් අධිකරණය
තීන්දු කළා මේ චක්‍රලේඛය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන
නිසා එය අහෝසි කළ යුතුයි කියලා. ඒ අනුව අධිකරණය මඟ පෙන්වීම
යටතේ 2008 ළමයින් ඇතුළත් කරන්න කටයුතු කළා එයින් අර්බුදයක්
මතුවුණා ආසන්නම ළමුන්ට පාසල්වලට ඇතුළත් විය නොහැකි අන්දමේ.
එය අපි නිර්මාණය කළ එකක් නොවෙයි. තිබුණු චක්‍රලේඛය අහෝසි
නොකොට මානව හිමිකම් දාපු අයගේ අර්බුදය විසඳුවා නම් ප්‍රශ්නය
අවසන්. ඊළඟට නව චක්‍රලේඛය සකස් කළෙත් අධිකරණයේ උපදෙස් මතයි.
එතැනදි ලකුණු 20 ක් ළමයට දෙන්න තීරණය කිරීම තුළ තවත්
අර්බුදයක් මතු වුණා. ඊළඟට ඒ අයටම පිළිගන්න සිදු වුණා අහෝසි කළ
චක්‍ර ලේඛයට සමාන එකකින්ම තමයි මෙයට විසඳුම් ලබාදිය හැක්‌කේ
කියලා. ඒ අනුව 2009-2010 ළමයින් බඳවා ගන්නේ ඒ උපදෙස් ලැබුණු
චක්‍රලේඛයටමයි. නමුත් මීට හරි විසඳුමක් ලැබෙන්නේ පනතක්
පාර්ලිමේන්තුවේ සම්මත කළදාට පමණයි. 2010 අලුත්
පාර්ලිමේන්තුවේදී ඒ පනත අපි සම්මත කරගන්නවා.
ප්‍රශ්නය - ඔබ සඳහන් කළා පළාත් සභා සම්බන්ධයෙන් යම් යම් ගැටළු
මතුවූ බවත් එවැනි අක්‍රමිකතාවන් සිදුකළ අයට එරෙහිව කටයුතු කරන
බවත්, ඊට හේතුව නුසුදුසු අය මේ තනතුරුවලට පත්වීම නිසා බවත් ඔබ
ප්‍රකාශ කර තිබුණා. ෙමැවනි ප්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක්
සෑහීමකට පත්විය හැකිද?
පිළිතුර - නැහැ. මම මුලිනුත් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අපි
විධිමත් පරීක්‌ෂණ සිදු කොට දෝෂ හඳුනාගෙන අවශ්‍ය කටයුතු කරනවා.
අප ප්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් කිසිදු කටයුත්තක් යට
ගහන්නේ නැහැ. ඉතාම විනිවිද භාවයකින් යුතුව කී කරුණු කාරණා සිදු
වෙනවා. සමහර අය ඉන්න පුළුවන් සහකාර අධ්‍යාපන අධ්‍යක්‌ෂවරයෙක්
හැටියට යම් විෂයයක් සම්බන්ධයෙන්. ගුරු උපදේශකවරයෙක් යම්
විෂයයක් සම්බන්ධයෙන්. නමුත් මේ අය වැඩ ආවරණය කරන පදනමේ
ඉන්නවාද නැද්ද කියන කාරණය මට මෙහිදී ප්‍රකාශ කරන්න බැහැ. ඒ ඒ
පළාත් සභාවල් තමයි ඒ කාරණය දන්නේ. අපි බඳවා ගැනීම් සිදු කොට
පළාත් සභාවලට දෙනවා. එවැනි කාරණා ගැනයි මා ඉස්‌මතු කර ප්‍රකාශ
කළේ.
ප්‍රශ්නය - ප්‍රශ්න පත්තර අර්බුදයේ දී මතුවූ කාරණයක් තමයි ඒවා
සකසා ඇත්තේ සාමාන්‍ය දැනුමවත් නැති අය කිය එක. එපමණ දේ සිදු වන
තුරු අදාළ අය මොකද කළේ කියන ප්‍රශ්නය මතු වෙනවා.
පිළිතුර - එහි යම් තර්කයක් තිබිය හැකියි. හේතුව කලාප 93 න්
කලාප 14 කයි මේ කටයුතු සිදු වී ඇත්තේ. වෙනත් කලාපවලින් එවැනි
ගැටලුවක් මතු වුණේ නැහැ. එතැනින් පැහැදිලි වන්නේ ඒ ඒ කලාපවල
බලධාරීන් සුදුසු අය තෝරාගෙන ඒ කටයුත්ත කළ බවයි. එවැනි දේ කලාප
මට්‌ටමින් විය හැකියි. 13 වැනි සංශෝධනය නිසා අධ්‍යාපන විෂයය
සම්පූර්ණයෙන්ම බෙදුනු විෂයයක් බවට පත්වී තිබෙනවා. නමුත් අපිට
පුළුවන් විමර්ශනය කරලා මේ අය ඉවත් කරන්න කියන්න. අපි ඒ සඳහා
කටයුතු කරමින් ඉන්නවා.
ප්‍රශ්නය - ඔය කියන විදියට සමහර කලාපවල නොසුදුසු අය පත්කිරීම
සිදුවී තිබීමම ගැටලුවක් නොවෙයිද? එය එසේ විය හැකියි කියා
මඟහැරිය හැකිද?
පිළිතුර - ඒක තමයි මම පැහැදිලි කළේ මේ පිළිබඳව විමර්ශනයක්
කරනවා කියන එක. මම කලක් බස්‌නාහිර පළාත් සභාවේ හිටියා. එතකොට
අධ්‍යාපන අමාත්‍යාංශය කිසි විටෙකත් මට අනවශ්‍ය මැදිහත්වීමක්
කළේ නැහැ. එමෙන්ම මෙවැනි ප්‍රශ්න මතුවුණෙත් නැහැ. මේ කාරණය
තේරුම් ගන්න ඒ නිදසුනම ඇති කියන එකයි මගේ කල්පනාව.
ප්‍රශ්නය - ඔබ අවස්‌ථා කිහිපයකදීම රජයට එරෙහි "විවිධ බලවේග"
ගැන කතා කළා. ඵල ඇති රුකට ගල් වදින බව අප දන්නවා. ඒත් රජය
එතරම්ම සාර්ථක නොවන බවයි විපක්‌ෂය ප්‍රකාශ කරන්නේ.
පිළිතුර - ඒක ඒ අය දරන මතය. නමුත් එවැනි ප්‍රකාශ නිකුත්
කරද්දිත් ජනතාව රජය සමග සිටින්නේ රජය නිවැරැදි මාවතකට රට ගෙන
යන නිසයි. කොතරම් උපාධිධාරීන් බිහිවුණත් රටේ ආර්ථික සංවර්ධනයත්
සමගයි රැකියා අවස්‌ථා උදා වන්නේ.
පසුගිය එජාප ආණ්‌ඩුව සමයේ උපාධිධාරීන්ට රැකියා තිබුණේම නැහැ.
ඒත් අපි 2005 දී උපාධිධාරීන් 42,000 කට රැකියා ලබා දුන්නා.
යුද්ධය අවසන් වුණත් තවමත් එහි සෙවණැලි පවතිනවා. ජාත්‍යන්තර
බලපෑමත් තිබෙනවා. මේ සියල්ල සමගයි රජය සංවර්ධන ක්‍රියාදාමය
ඉදිරියට ගෙන යන්නේ. ඉතිං අපි සාර්ථක නැද්ද?
සාකච්ඡා කළේ උදේශ සංජීව
|
|
|
|