අභිචාර හා අධිවිශ්වාසය - 11
සූනියම හා සමාජය

අතීත ශිෂ්ඨාචාර ගත මානවයා දක්‌වා ඈත අතීතයකට දිවයන අණ විණ හදි හූනියම් ආදීවූ අනර්ථකාරී අභිචාර සියලු සමාජයන්ට පොදු වූවකි. ඒ නිසා මෙබඳු අභිචාර වලින් නිරූපණය වන සමාජය පිළිබඳව විග්‍රහ කරනවාට වඩා මේවා නිර්මාණය වූ සමාජ පසුබිම පිළිබඳව සොයා බැලීම වඩාත් වටින්නේ යයි සිතමි.

ඉතා ඈත අතීතයේ මිනිසාට සටන් කිරීමට සිදුවූයේ ස්‌වභාදහම සමග පමණි. ඒ ද ආහාර පිණිස සතුන් දඩයම් කර ගැනීමේදී සතුන් සමගය. එහිදී ඔවුනට විණ කිරීමට අවශ්‍ය වූයේ මස්‌ පිණිස ලබා ගන්නා සතුනටය. ඒ ද කුසගින්න නිවා ගැනීම සඳහාය. මස්‌ පිණිස දඩයම් කරනු ලබන සතෙකුගේ රූපය ගල් ලෙනෙහි ඇඳ එයට ඊතල ගසා ඇති අයුරු නිරූපණය කිරීම මගින් හා එබඳු සතුන්ගේ රූප තනා ඊට කටු ගැසීම මගින්ද දඩයම් බෝ වෙතැයි අතීත මානවයා විශ්වාස කළේය. අප ඉහත ලිපි වලින් සාකච්ඡා කළ "රූකඩ කටුගැසුම්" නමින් වර්තමානයේ පවා භාවිතා වන අනර්ථකාරී අභිචාර ක්‍රියාව ඉහත අනුකරණාත්මක අභිචාර ක්‍රියාවට සෘජු ඥතිත්වයක්‌ පළ කරයි. ව්‍යාජ අනුකරණය මගින් යථාර්ථයක්‌ කරා ගමන් ගත හැකිය යන සංකල්පය මෙසේ ආදි මානවයාගෙන් ආගමනය වූවක්‌ බව සඳහන් කළ හැකිය.

අවශ්‍යතා සංකීර්ණ වත්ම මිනිසා තුළ වර්ධනය වූයේ මිනිසත්කම නොවේ. අවසානයේ මිනිසා මිනිසා සමගම යුධයට එළඹුණි. අතීතයේ මෙබඳු යුධ වලට ගිය සිය සැමියාට ශූර ලෙස සතුරාගේ හිස්‌ සිඳීමට හැකිවීමට බිරින්දෑවරුන් පැපොල් ගස්‌වල ගෙඩි පලා විනාශ කර දැමීමේ අභිචාරයක යෙදුන බවටද වාර්තා වෙයි. ජනශ්‍රැතියේ එන විවිධ අත්භූත සූනියම් උපත් කතා හරහා ලොව තුළ සූනියම බිහිවී යයි පැවසුවද මානව විද්‍යාත්මක පර්යේෂණ හරහා සූනියමට මූල බීජ සොයාගත හැක්‌කේ ඉහත සිද්ධි හරහාය.

දැනටද සමාජයේ පවතින අනර්ථකාරී අභිචාර අතර ඇතැම් දේ අනුකරණයෙන් යථාර්ථයට ළඟාවීමේ සංකල්පය හා බැඳේ. ගර්භනියකගේ ගැබ හිර කිරීමේ සූනියමකදී මතුරන ලද යමක්‌ බෝතලයක හිර කිරීමක්‌ ගැමියන් අතර පවතී. එමෙන්ම සම්භෝගයේ යෙදෙමින් සිටින යුවළක්‌ අප්‍රාණික කර ඒ අයුරින්ම තැබීමට උල් පිහියට මතුරා කොපුව තුළට ගැසීමේ ක්‍රමයක්‌ද පවතී. උක්‌ත කාරණාද්වයේදීම සිදුවන්නේ ඒ ඒ කාර්යයන් ව්‍යාජයෙන් අනුකරණය කිරීමකි. එමෙන්ම සාමය ප්‍රාර්ථනා කරමින් පරවියන් නිදහස්‌ කිරීමද විවිධ මාරක අපලවලින් මිදීම සඳහා සතුන්ට අභයදානය දීම ආදියද මෙබඳුම අනුකරණයන්ය.

මීට අමතරව යක්‌ෂත්වය හා මළමිනි අතර ඇති සම්බන්ධයන් පිළිබඳව ඇදහූ මිනිසා අතින් නිර්මාණය වූ පිල්ලික්‍රමත්, මිනිසා ස්‌පර්ශ කළ හෝ පරිහරණය කළ දෑ මෙන්ම මිනිසාගේ කෙස්‌, නිය වැනි ශරීරාංග හා මිනිසාගේ ජීවිතය අතර පවතින සම්බන්ධයක්‌ පිළිබඳව ඇදහූ සමාජයකින් බිහිවූ විවිධ සූනියම් හා වශී කිරීමත් වර්තමාන සමාජයේ පවා පවතී.

ක්‍රි.පූ. තුන්වැනි සියවසේදී ලංකාවට මහින්දාගමනය සිදුවීමත් සමග එකල තිබූ සමාජයේ බොහෝ අංශ බෞද්ධ හුරුවකට සකස්‌ වූ බව නොරහසකි. අවිහින්සා වාදී දහමක්‌ වූ බුදු දහමේදී අන්‍යයන්ට විණ කිරීම කිසිසේත්ම අනුමත නොකරන නමුත් ඒවා සුව කිරීම සඳහා ගැමියා භාවිතා කළ ක්‍රමවලදී බෞද්ධ හුරුවක්‌ එයට ඈ ගැනීමට නිතරම උත්සාහ දරා ඇත. ඒ අනුව විණ කැපුම් ආදී සියලු කාර්යයවලදී ත්‍රිවිධ රත්නය වන්දනා කිරීමක්‌ දක්‌නට ලැබේ. එමෙන්ම ඇතැම් විණ දුරු කිරීමට භාවිතා කරන්නේ බෞද්ධ ගාථා හෝ සූත්‍රයන්ය. උදාහරණ ලෙස "මෝර පිරිත, ජිනපංජර පිරිත, ආටානාටිය" වැනි සුත්‍රවල ආනුභාවයෙන් විණ දුරු කරන බව ඇතැම් මන්ත්‍රවලද සඳහන්ව ඇත. එමෙන්ම බොහෝ මන්ත්‍රවල මුලින් "නමෝ" ලෙසින් ආරම්භ වන්නේද බුද්ධ වන්දනයක්‌ පෙරටු කර ගැනීමටය. සාතාගිරයකු මුලින් "නමෝ" කියා බුදුන් වැන්ද බව ජනශ්‍රැතියේ පවතී. "සාතාගිරයකු නමෝ කියලා මුණිදංග සිරිපා යුග වැන්දා" යනු පන්තේරු කවි පදයකි. විණ කැපුමේදී අටවිසි බුදුගුණ අණින් කැපීමක්‌ පිළිබඳවද සඳහන් වේ. කෙසේ නමුත් බුදුන් වහන්සේටත් උන්වහන්සේගේ සූත්‍ර ගාථා ආදී බුද්ධ දේශනා ආදියටත් සංඝ රත්නයටත් අමනුෂ්‍ය බලවේග බියවන බව ගැමියා තරයේම විශ්වාස කළේය. මෙම සංකල්පය හරහා විණ කැපීම් ආදියට බුදු දහම ඈ ගැනීම සිදුවී යයි සිතිය හැකිය. අනාධිමත් කාලයක සිට විවිධ අභිචාර සඳහා භාවිතා වූ විවිධ යන්ත්‍ර මන්ත්‍ර අතරට මහින්දාගමනයෙන් පුනර්ජීවය ලද සමාජය පුළුල් වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස බෞද්ධ ගාථා හා සූත්‍රද පුහුදුන් ගැමියාගේ භෞතික සුවය සෑදීමට එක්‌ විය. මෙසේ විණ කැපීමට බුදුදහම ඉස්‌මුදුනින් භාවිත කළ බෞද්ධ ගැමියාම අනෙක්‌ අතට තවෙකෙකුට සූනියමක්‌ කිරීමටද පෙළඹුන බවද අමතක නොකළ යුතුය.

මේ අභිචාර පවතින්නේ සිංහල බෞද්ධ සමාජයේ පමණක්‌ නොවන බව කිව යුතුය. මුස්‌ලිම් හිතවතෙකු පැවසූයේ ඔවුන්ගේ සමාජයේද මේවා දරුණු ලෙස පවතින බවය. ඔහුගේ මවටද කිසියම් කෙනෙකු විසින් මෙසේ සූනියමක්‌ සිදුකර ඇති බව ඔවුන් ශාස්‌ත්‍රකරුවෙකුගෙන් විමසා දැනගෙන ඇති අතර එම සූනියම ඔවුන්ගේ මුළුතැන්ගෙයි උඳුන යට වළලා ඇති බව ශාස්‌ත්‍රකරු කීවේලු. මුළුතැන්ගෙයි ලිපි ගිණි දල්වන සෑම වාරයකම එහි බලය ක්‍රියාත්මක වන බවත් සිය මව එයින් රෝගාතුර වන බවත් පැවසූ ඔහු දිනක්‌ ඔවුන් එම ස්‌ථානය සොයාගෙන වැළලූ සූනියම ගොඩගත් බවත් කුප්පියකට ජීවම් කළ යම් යම් දේ දමා එහි තිබූ බවත් පැවසීය. කෙසේ වෙතත් මේ සූනියම කළ පුද්ගලයාට යම් පාඩමක්‌ ඉගැන්වීමට සිතාගත් සිය මව ඇතුළු මුස්‌ලිම් කාන්තාවන් පිරිසක්‌ නිශ්චිත වේලාවක්‌ වෙන්කර ගෙන සිය නිවෙස්‌වල සිට යාඥ ස්‌වරූපයේ යමක්‌ කළ බව ඔහු පැවැසුවේය. එය බෞද්ධ සත්‍ය ක්‍රියාවක්‌ බඳු බව වටහා ගත යුතුය. කෙසේ වෙතත් ඉන්පසු ඔවුන් සැක කළ අයගේ නිවස ගිණිගත් බවත් එම මිතුරා මා සමග ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙබඳු සූනියම් වැදුන මිනිසුන් සුවපත් කරවන කතෝලික පූජකතුමන්ලාද සිටින බවද ඔවුන් විවිධ සුව මෙහෙයන් ප්‍රසිද්ධියේ පවත්වා විණ වැදුන රෝගීන් හඳුනා ගන්නා බවත් ප්‍රකටය. එම පූජක වරුන් රෝගීන්ට අත තබනවාත් සමග ඔවුන් ක්‌ලාන්තව බිම ඇද වැටෙන බවත් අවසානයේ යාඥ මගින් එකී රෝගීන් සුව කිරීමට එම පූජකවරු සමත් යයි ක්‍රිස්‌තු භක්‌තිකයෝ පිළිsගනිති. මේ ආකාරයට ආගම් භාෂා ආදී කිසිදු විශේෂත්වයකින් තොරව සියලු ජන සමාජයන් තුළ මෙබඳු විණ කිරීම් හා සුව කිරීම් දක්‌නට ලැබේ.

මෙබඳු විණ කිරීම්වලට මිනිසා පොළඹවන්නේ මිනිසා තුළම පවතින නොහික්‌මුණ ආවේගයන්ය. මිනිසා තුල පවතින යහපත් සිතුවිලි නම් වූ දේවත්වයත්, නොහික්‌මුණ සිතුවිලි නම් වූ යක්‍ෂත්වයත් හැර වෙනත් දෙවියකු හෝ යක්‍ෂයකු නැතැයි ඇතැමුන් භෞතික වාදී මතවල එල්බ සිටී. මනෝ විද්‍යාවේ "සුපර් ඊගෝ" හා "ඉඩ්" යන අහංභාවයන්ගෙන් හඳුන්වන්නේද මෙකී මිනිස්‌ මනස තුළ පවතින යහපතෙහි හා අයහපතෙහි අන්ත දෙකයි. ජනශ්‍රැතියේ එන දේව කතා පිරික්‌සා බලන විට නිරන්තරයෙන් දක්‌නට ලැබෙන්නේ ධර්මය ජය ගැනීමයි. යක්‍ෂ කතා වලදී මෙසේම අධර්මය ජය ගනී. එහිදී එසේ අධර්මය ජය ගැනීමට සාධාරණ හේතු ඇත්නම් හා ඔවුන් නැවත සමාජයට සෙතක්‌ සලසන්නේ නම් යක්‌ෂත්වය වුවද දේවත්වයට පත්වන ආකාරය ඇතැම් කතා පුවත්වල දක්‌නට ලැබේ. පත්තිනිය සිය සැමියාට වූ අසාධාරණය නිසා ආවේගාත්මක සත්‍ය ක්‍රියාවකින් පඬිපුරය ගිනිබත් කරයි. පසුව කිරි උතුරවා එය සශ්‍රික කරයි. මෙසේ යළි ධර්මය ජය ගැනීමෙන් ඇය දේවත්වයට පත්වෙයි. එහෙත් සන්නි යකුන්, මහ සොහොන් යක්‍ෂයා හා සූනියම් යක්‍ෂයාගේ ඇතැම් කතා පුවත්ද විමසීමේදී දක්‌නට ලැබෙන්නේ නොහික්‌මීම, පළිගැනීම ආදී අධර්මය තුළින් ඔවුන් යක්‌ෂත්වයට පත් වීමකි. මෙසේ විස්‌තර වන යක්‍ෂත්වයට සමාන චිත්ත වේගයෙන් විසින් මෙකී අණ විණ සූනියම් නිර්මාණය කළේ යයි සිතිය හැකිය. ඒ නිසාම මේවා යකුන්ගේ නිර්මාණ යයි ගැමියන් කියන්නට ඇත.

තමා කළ යහපත සිතීමෙන් සිත තුළ ඇතිවන සුපහන් බව උපයෝගී කරගෙන චිත්ත ශක්‌තියෙන් හා සත්‍යක්‍රියා බලයෙන් යහපත උදා කළ හැකිවා සේම සිත තුළ පවතින වෛරය ක්‍රෝධය ආදී අයහපත් සිතුවිලිවල ශක්‌තියෙන් කෙනෙකුට අයහපත් බලපෑමක්‌ කිරීමට ද හැකි යයි විශ්වාස කළ හැකිය. සූනියම් කිරීමේදී ද සූනියම් ආපිට කැපීමේදී ද කට්‌ටඩියන් සිය මනස තුළට මෙබඳු ආවේගාත්මක චිත්ත ශක්‌තියක්‌ ඇතුළත් කර ගනී. එය සතුරා කෙරෙහි උපන් ස්‌වාභාවික වෛරය විය හැකිය. එහෙත් එබඳු නොවූ අවස්‌ථාවලදී වුවත් කට්‌ටඩියාගේ මනස තුළට යම් අධිශක්‌ති ජනක අයහපතට බර ආවේග ඇතුළත් කිරීමට ඔහු වාචිකව ඉදිරිපත් කරන මන්ත්‍රද උපකාර වෙයි. උදාහරණ ලෙස සූනියම් ආපිට කපන මන්ත්‍රයක සඳහන් වන මෙම කොටස විමසා බැලිය හැකිය. "...යම දිග් භාගයෙන් දේවතා තනි පිල්ලි අමු සොහොන් දේවතාවා මිනි කඩුවක්‌ අතින් අරගෙන ඇවිදින් මේ විණ කළ ඇදුරාගේ පපුව හරහට වැටී මිණි කඩුවෙන් පපුව පලාගෙන අක්‌මා කැව්තු ලේ රීරි කටින් ඩැහැගෙන පපුමස්‌ කරලාගෙන ලේ උරා බීගෙන..." මන්ත්‍ර නිර්මාණය වන්නේ බීජාක්‍ෂර වලින් ප්‍රාණයක්‌ ඇතිකරවන පරිදිය. ඒවා යාදිනි සැහැල් ආදිය තරම් දීර්ඝ නොවේ. ඉහත සඳහන් කළ මන්ත්‍රයේද එබඳු කුඩා මන්ත්‍ර කොටස්‌ දැකගත හැකිය. එහෙත් දීර්ඝ වශයෙන් පවතින්නේ මෙබඳු ආවේගාත්මක වාගාලාපයන්ය. එයින් සැබැවින්ම ඇදුරා තුළ දරුණු චිත්තාවේග ඇති කිරීමට මේවායේ නිර්මාණකරුවන් බලාපොරොත්තු වන්නට ඇත.

මිනිසා අනුන්ට විණ කරන්නේ කෙබඳු හේතු නිසාද යන්න සූනියම් උපත පිළිබඳව ඇති කතා පුවත් වලින්ම මනාව ගම්‍යවේ. එහිදී මැණික්‌පාල බිසවගේ කතාව පිරික්‌සීමේදී මැණික්‌පාල බිසව වසවර්තිමාරයාට විවාහ කර දීමට ඇගේ සොයුරු විෂ්ණු පොරොන්දුවී වසවර්තියාගේ සොයුරිය විවාහ කර ගත්තේය.

එහෙත් මැණික්‌පාල බිසව මහාසම්මත රජුට මෙහෙසිය වූවාය. එයින් වසවර්තියාට සිදුවූ අසාධාරණය නිසා ඔහු තුළ වෛරයක්‌ හට ගත්තේය. එහෙත් එම වෛරය උත්සන්න වූයේ ඔහු තුළ ලිංගික ආවේගද ක්‍රියාත්මක වීමකිනි. එනම් මැණික්‌පාල බිසව දුහුල් සළුවක්‌ ඇඳ ස්‌නානය කරනු වසවතා දකී. එයින් ඔහු තුළ ඇතිවූ ලිංගික ආවේග හා වෛරී ආවේග පාලනය කරගත නොහී ඇයට විණ කිරීමට පෙළඹුණි. මෙහිදී විණ කළ හා විණයට ලක්‌වූ දෙපාර්ශ්වයේම අඩුලුහුඬුතා ඇති බව පිළිගත යුතුවේ. පුහුදුන් මිනිසුන් සිටින සමාජයක කාන්තාවන් අන්‍ය පිරිමින් තුළ ලිංගික ආවේග ඇතිවන පරිදි හැසිරීම වරදක්‌ බව අතීතයේ සිට පෙරදිග සභ්‍ය සමාජය පිළිගත්තේය. කාන්තාවට "දැකීම" තුළින් ලිංගික තෘප්තියක්‌ නොලද හැකි නමුත් පුරුෂයාට එසේ නොවේ. මෙසේ කාන්තාවන්ගේ අඟ පසඟ උලුප්පා දැක්‌වීමේ හා අඩ නිරුවත් විලාසිතාව ඔවුන්ගේ අයහපතට හේතු වූයේද අද ඊයේ නොවේ.

එමෙන්ම මල්සරා කුමරුට හා ලක්‌දිවට විණ කිරීමේ පුවතටත් සම්බන්ධ වන්නේ මෙසේ කාන්තාවන් සත් දෙනෙකු තුළ ඇතිවූ කාමාවේගයකි. (මෙම කතා පුවත කළින් ලිපියක විස්‌තර කරන ලදී) වත්මන් සමාජයේද "ඉණා, පැන්නුම්" ආදී දේ සිදුවන්නේ මෙබඳු ලිංගිකත්වය හා සම්බන්ධ ආවේග නිසාය.

එමෙන්ම සූනියම් යකුගේ විණ කිරීම සම්බන්ධ ඇතැම් කතාපුවතුත් "බුද්ධමාලා" මන්ත්‍රයේ බුදුන්ගෙන් බණ අසන දෙව් බඹුන්ට විණ කිරීම පිළිබඳව වූ කතාවෙන් ද කියෑවෙන්නේ බලය පිළිබඳ අරගලයකි. තමාගේ බලය පරයා අනුන් නැඟී සිටීම සාමාන්‍ය පුද්ගලයන්ට නුරුස්‌සනා කාර්යයක්‌ බව දනිමු.

වර්තමානයේ වුව විණ කිරීම් සිදු කරන්නේ රහසිගතවය. ඒ වැරදි කිරීමට ඇති ලඡ්ජාව හා බිය තවමත් සමාජයේ පවතින බැවිනි. කෙසේ වෙතත් ඉහත කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ මෙම කතා පුවත්වලින් සමාජයට සන්නිවේදනය කරන්නේ සමාජයේ යහපත් ලෙස ජීවත් වීමට අවශ්‍ය ගුණාංගත්, විණ කිරීම්වලට ලක්‌නොවී සමාජයේ අල්පේච්ඡ ලෙස යහතින් ජීවත් වීමට අවශ්‍ය උපදෙසුත් බව පැහැදිලිය.

බුද්ධික සමන් ගුණවර්ධන

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v