මාවිල් ආරු සොරොව්වෙන් මතු වූ මහා ඉතිහාසය

ගෝලීය ආර්ථිකය හසුරූවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා බැඳුණ ලෝක බැංකුවක්‌ මහා භාණ්‌ඩාගාරයක්‌ අතරින් ගිලිහී ජනතාව අතට පත් ව්‍යාජ ව්‍යාපාරිකයන් ගේ වැඩි ප්‍රථිලාභ ගෙවන මුල්‍ය ආයතනයන් තුළ රැඳුණ දුගඳ හමන කතා පැතිරෙන මෙකල මධ්‍යකාලීන යුගයෙහි මේ රටෙහි වී වැනි ධාන්‍යයන් රජුන්ගෙන් පවා එක්‌රැස්‌කොට පාරිභෝගිකයන්ට දී ඔවුන්ගෙන් අයකරගත් පොළිය එම ද්‍රව්‍ය සැපයූවන් නියම කළ අයට හරියාකාරව බෙදා දුන් "මනරම" නම් මනරම් වෙළඳ පොළක්‌ (ආයතනයක්‌) පොළිය ලබා ගැනීම සඳහා කහවණු ණයට දෙන වාණිජ ආයතනයක්‌ ප්‍රසිද්ධ වෙළඳ නගරයක්‌ හා වංසකතාවන්හි පවා සඳහන් නොවී මිහිමත සැඟවී අප්‍රකටව පැවැති විහාරයක්‌ ද පිළිබඳව අපූරු තොරතුරු රැසක්‌ ඇතුළත් ගිරි ලිපි කිහිපයක්‌ ඉතා මෑතකදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී ඇත.

දේශීය ඉතිහාසයෙහි නිම් වළළු පුළුල් කරන අමිලවටිනා කමකින් යුත් මෙතෙක්‌ කිසිවෙකුගේ ඇස නොගැටී සැඟව පැවැති මෙම ගිරි ලිපි හමුවී ඇත්තේ ත්‍රීකුණාමලය දිස්‌ත්‍රික්‌කයට අයත් සේරුවාවිල ජනපදයට නුදුරු (කොටසර දනව්වෙහි) ඊචලමිලත්තු සහකාර දිසාපති කොට්‌ඨාශයේ අංක ටී/214/ඊ වෙරුගල් මෝත්තුවාරම් ග්‍රාමසේවක වසමෙහි ගල්කන්ද යන අරුත් ඇති කල්ලඩි නම් ගම් ගොඩැල්ලෙහි මුහුදු මට්‌ටමින් අඩි හතලිහකට වඩා නොවුස්‌ හුදකලාව නැගී සිටි චෝළඅප්පන් මලෛ නැමැති කඳු පෙදෙසෙහි පිහිටි පර්වතයකය සටහන්ව තිබිය දීය.

සමනොල ගිරි හිස සිප මුනි සිරි පද නැමැද අඟර දඟර පා ගල් කුළු හා වනපෙත් අතරින් රිංගා ඊසාන දෙස කොට්‌ටියාරම් කළපුව වෙත ලැසි ගමනින් දිවයන මහවැලි නඳියේ දෙටු දියණිය වූ වෙරුගල් ගඟ කුරුංජන්මුනේදී මවගෙන් ලැබ ගත් මහ දිය කඳක්‌ ගෙන අලිදුව මැදිකර කෙවුලිය තුඩුවෙන් සමුදුර ළවැලි තලාව සිපගන්නේ චෝළ අප්පන් මලෛ පර්වතය පිහිටි කල්ලඩි ගමට සැතපුමක්‌ පමණ දකුණු දෙසිනි. එම ගමට නැගෙනහිර පස සැතපුමකට පමණ ඇතින් දිවයිනෙහි අතිශයින්ම රමණීය සයුරු තෙර දිස්‌වේ. රෝහණාධිපති කාවන්තිස්‌ස නරනිඳුන් බුදු හිමියන්ගේ ලළාට දාතුන් තැන්පත් කොට බඳනා ලද සේරුවාවිල මංගල මහා චෛත්‍ය රාජයා කල්අඩි ගම මැද නැගී සිටින චොළඅප්පන් මලෛ පර්වතයට සැතපුන් තුනක්‌ පමණ උතුරු දෙසින් ධවල වර්ණයෙන් දර්ශනය වේ. මෙයට නිදුරෙහිම ලන්දේසීන් විසින් ලුණු නිපදවන ලැදැයි පැවසෙන මෝත්තුවාරම් කළපුවත් එයට කරදිය පුරවන ඉළංකතුරෙයි (ලංකා පටුන) මෝයත් ඇති අතර කල්ලඩි ගමට බටහිර දෙසින් වෙරුගල් නදියෙන් පෝෂණයවන සැතපුම් කිහිපයක්‌ පුරා පැතිරී ඇති සොබා දහමෙහි හා මිනිස්‌ අතෙහි අපූරු නිමවුමක්‌ වූ මනහර දසුන් සහිත මහවිල්ලුව හෙවත් මාවිල් ආරුව නැමැති මහාජලාශය පිහිටා ඇත.

මාවිල්ආරු මහා ජලාශය අපගේ ජනප්‍රවාදයන්ට එක්‌වන්නේ අනුරාධපුර නුවර සිහසුන් අරා වැඩ සිටි මහසෙන් මහ නිරිඳුන් (ක්‍රි. ව. 276/303) දවස සිටය. මහා වාපි හා වාරි කාර්මිකයෙකු ලෙස ජන සන්තානයෙහි නොමැකෙන ලෙස ලැගුම් ගෙන ඇති මහසෙන් මහ නිරිඳුන් (මාවිල් ආරුව) මෙම මහ විල්ලුව සිට සේරු නම් විහගුන් නිවෙස්‌ කොට ගත් විල තෙක්‌"ගල් ඇළ" (කල්ආර් ඇළ) නම් දිය මඟ කැණ සොරොව් බඳවා මහවැලි නදියටත් වෙරුගල් ගඟ හා මහ සමුදුරටත් අතර වූ බිම සදා හරිත කෙත් වතු සහිත ධන ධාන්‍යයෙන් ආඩ්‍ය සමෘර්ධිමත් ජනතාවකගේ වාසස්‌ථානයක්‌ බවට පත් කළ හෙයින් මධ්‍ය කාලීන යුගයෙහි දී මෙම පෙදෙසට ධාන්‍යගාරය හෙවත් කොෂ්ඨාගාරය යන අරුත් ඇති (කොට ගර) කොටසර යන නම ලැබිනැයි වෘත්තාන්තයන්හි සඳහන්වේ.

අනුරාධපුර රාජධානිය වැනසූ ආක්‍රමණික සොළීන් නසා පොළොන්නරු නුවර ගොඩ නැඟු මහ විජයබාහු මිහිපතිගේ පුත් වික්‍රබාහු (ක්‍රි. ව. 1110/1123) නිරිඳුන් රජරට රාජ්‍යයෙන් පළවා හැරීම පිණිස විදේශීය හමුදාවන් ගෙන පසුපසින් හඹා ගිය වීරදේව හෙවත් වීරවම්ම සෙනෙවියා ගිලී නැසුනේ ද කොටසර දනව්වට අයත් මාවිල් ආරු මඩවඟුරෙහියයි වංසකතාවන් හි සඳහන් වේ.

මධ්‍යකාලීන යුගයෙහි අතිශයින්ම සමෘධිමත් කොටසර දනව්වෙහි වැව් පොකුණු කෙත් වතු සියල්ල පෝෂණය වුයේ මාවිල් ආරු වෙන් පහතට ගලාගිය ජලයෙනි. පොළොන්නරු රාජධානියෙහි පරිහානියෙන් පසුව ඉවුරු බිඳී විනාශයට පත් වූ මාවිල් ආරු ජලාශය සියවස්‌ කිහිපයක්‌ තිස්‌සේ හාත්පසින්ම ගලා ආ වන ප්‍රවාහනයට මැදිව බිහිසුනු කිඹුලන් ගහන මඩවඟුරක්‌ බවට පත්විය. එහි සරු ලෙස වැඩුණ තණ පඳුරු අතර දිවා රැය නොතකා පෙම් කෙළිමින් ගැවසුණේ කෙටි දළ හා මිටි සිරුරු සහිත බිහිසුනු සටන්කාමී රුහුණු ගෑටව් නමින් හඳුන්වන කුරු ඇත් රංචු පමණකි.

දහනමවන සියවසේ අවසාන කාලය වන විට කොටසර දනව්වෙහි මහවැලි නදී මුවදොර හා සමුද්‍රdසන්න පෙදෙස්‌ හී අඩු වැඩි ලෙසින් කෘෂි හා ධීවර කර්මාන්තය ජිවිකාවෘත්තිය කරගත් මුසල්මානුවන් පිරිසක්‌ ද තදාසන්න වන බිම් මැද එකිනෙකට බොහෝ දුරින් පිහිටි නටබුන් වැව් හා විල් අසල හේන් ගොවිකමින් පමණක්‌ යෑපුණ දමිළ වගට අයත් අල්ප ජනතාවක්‌ ද ජීවත් වුහ. මොවුන් සියල්ලම පොළොන්නරු රාජධානිය වනසා දැමීමට කාළිංග මාඝයන් විසින් ගෙනවිත් තිබියදී දඹදෙණි රජදහන ගොඩනැගු 111 විජයබාහු නිරිඳුන්ගේ (ක්‍රි.ව. 1232/1236) අසිපතින් මිදී වල් වැදී සැඟව දිවි රැක ගත් මළල කේරළ සෙබළන්ගේ පරපුරෙන් පැවත ආ පිරිස්‌ වුහ. ඔවුන් සියල්ලටම තම මුතුන් මිත්තන් කොටසර දනව්වෙහි ජීවයට මුල්ව පැවැති වැව් අමුණු ජාලය බිඳදැමීමෙන් කරන ලද මහා පාපයට සාපයක්‌ ලෙසින් වී හා වෙනත් ධාන්‍යයන් වගා කිරීමට සිදුව තිබුණේ වැස්‌ස වළාහක දෙවියන් වර්ෂයේ එක්‌ කන්නයකට පමණක්‌ ලබා දෙන සීමිත ජල සලාකයෙනි. මේ නිසා ඔවුන්ට ජීවිතයේ වැඩි කාලයෙක්‌ම අඩ සාගින්නෙහි වන අල මුල් බුඳිමින් ජීවත්වීමට සිදුව තිබුණි.

එකල වෙරුගල් ගඟ මුවදොර කෙවුලිය තුඩුව මෝත්තුවාරම කල්අඩිය හා චොළ අප්පන් මලෛ ආදී වනගත පෙදෙස්‌ නිජබිම කොට වාසය කළේ බුදු හිමියන් සේරුවාවිල් තෙරට වැඩම කළ කාලයේ සිටම සභ්‍ය සමාජ ගතනොවී හුදකලාව ජීවත් වූ දෙමළයට හුරු බස්‌වහරක්‌ ගත් මුහුදු වැද්දන් ලෙසින් හඳුන්වන ආදිවාසී ජනතාවකි කිසි විටකත් ගොවිකම් නොකළ ඔවුන් යෑපුණේගොඩ දිය දඩ කමිනි. මොවුන් ගේ දඩ බිම්වලට අවට ජීවත් වූ දමිළයන් හෝ මුසල්මානයන් හෝ කිසි විටකත් පා තැබීම පවා කළේ නැත. එය ඔවුන්ට තහනම් බිමක්‌ම පැවැතිණ.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලයෙහි මෙරට සිටි ආණ්‌ඩුකාර (1928) හර්බට්‌. ඡේ. ස්‌ටැන්ලි උඩරට වැවිලි කර්මාන්තයේ යෙදී සිටි කම්කරු ජනතාවගේ පරිභෝජනය පිණිස විදේශයන්ගෙන් ආනයනය කරන සහල් සඳහා වැය වන අධික ධනය අවම කරගැනීමේ අවශ්‍යතාව මත සොරොව් කැඩී බිදී මඩගොහොරු විල්ලුවක්‌ බවට පත්ව තිබූ මාවිල් ආරුව කෘෂිකාර්මික කාර්යයන් සඳහා උපයෝගි කරගත හැකි ජලාශයක්‌ බවට පත් කිරීමේ මෙහෙය ත්‍රිකුණාමලය සහකාර දිසාපති හෙයිලි රුඩොල්ප් බිල්ඩ් වෙත පවරන ලදී. එහෙත් යෝජිත සොරොව් හා වාරිමාර්ගයන් තැනීමට ප්‍රමාණවත් ශ්‍රම බලකායක්‌ එකල මෙහි නොවුයෙන් දිසාපතිවරයා විසින් යාපනයෙන්ද මඩකළපුවෙන් ද ගෙන්වා ගත් දමිළ හා මුසල්මානුවරින් පිරිසක්‌ සුදුසු තෑන්හි පදිංචි කොට ඔවුන් මෙහෙයවා යෝජිත කාර්යයන් නිමකළ ද වෙරුගල් නදියෙන් අනපේක්‍ෂිතව ගලා ආ මහ දිය කඳක්‌ නව කම් කරන ලද ඇළ වේලි හා දිය දොර සියල්ල බිඳ දමන ලදී. බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අපේක්‍ෂාවන් වෙරුගල් නදී දියෙන් සමුදුරට ඇඳී ගියෙන් ඔවුන් නැවත මාවිල් ආරු මඩවඟුර පිළිසකර කිරීම අත්හැර දැමුව ද මෙහෙයට පැමිණි පිරිස තම ගම් පෙදෙස්‌ වෙත නොගොස්‌ මෙහිම රැඳිණ.

බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරයාගේ අසාර්ථක උත්සාහයෙන් විසි එක්‌ වසකට (1949) පසුව නිදහස්‌ ලංකාවේ පළමු අගමැති මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායකයන්ගේ පුත් කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි ෂේලටන් සේනානායකයන්ගේ සය අවුරුදු සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මාවිල් ආරු මඩවඟුර මත මහාජලාශයක්‌ නිර්මාණය කිරීමේ දැවැන්ත වාරි ව්‍යාපාරය ආරම්භ කෙරිණ එමගින් ඉතා කෙටි කලකදී වෙරුගල් නදියෙන් ගලා එන අක්‌කර අඩි ලක්‍ෂයකට වැඩි ජලකඳක්‌ රැඳවිය හැකි මාවිල් ආරු නම් මහා ජලාශය නිර්මාණය විය. එහෙත් එකල එම ජලයෙන් වගා කිරීමට වෙන්ව තිබුණේ ප්‍රදේශයේ ජීවත් වූ දමිළ හා මුසල්මානුවන් පිරිසක්‌ විසින් අස්‌වද්දා තිබූ කුඩා බිම් පෙදෙසක්‌ පමණකි. මෙය ජලාශයෙහි රඳන මහ ජලකඳට ප්‍රමාණවත් ගොඳුරු බිමක්‌ නොවුයෙන් වන කෙත් බිම් සොයා ගිය සේනානායක පිය පුතුන් දෙදෙනම වන සතුන් රැඳුණ මහ වනය බිඳ එහි නව නිවෙස්‌ තනා දිවයිනෙහි වෙනත් පෙදෙස්‌වල බිම් අඟලක හෝ උරුමයක්‌ නැතිව සිටි සිහල, දෙමළ, මුසල්මාන හා මුහුදු වැදි යන සිව් වගටම අයත් පිරිස්‌ ගෙන්වා එහි රඳවා සරුසාර කෙත්වතුවලින් යුත් අල්ල නමින් නව ජනපදයක්‌ නිර්මාණය කරන ලදී. එහි සිංහලයන් සඳහා වෙන්කරන ලද පෙදෙස සේරුවාවිල හා දෙහිවත්ත ලෙසින් හැඳින්විණ.

තිස්‌ වසකට නො අඩු කාලයක්‌ තිස්‌සේ උතුරු නැඟෙනහිර දෙපළතෙහි ඊළම නමින් ස්‌වාදීන වූ දෙමළ රාජ්‍යයක්‌ නිර්මාණය කර ගැනීමෙහි අපේක්‍ෂාවෙන් බිහිසුනු අවි ආයුධයන්ගෙන් සන්නාහ සන්නද්ධව රජය සමග මාරක සංග්‍රාමයක යෙදී සිටි කොටි සංවිධානය නැඟෙනහිර මුහුදෙහි ගමන් කරන විදේශීය නාවික යාත්‍රාවන්ගෙන් තමන්ට අවශ්‍ය උපකරණ හා ආධාර ඉතා රහසිගතව ලබාගැනීමේ පහසුව තිබූ සමුද්‍රdසන්නයෙහිම මහ වන මැඳ පිහිටි කල්ලඩි ගම ආක්‍රමණය කර එහි චෝළ අප්පන් මලය කන්දෙහි මහ යුද කඳවුරක්‌ පිහිටුවා ගෙන තිබුණි. උතුරු නැගෙනහිර දේපළාතම තමන්ගේ නිජබිමයෑයි පවසා දෙමළන් හැර වෙනත් කිසිවෙකුත් මෙහි නොවිසිය යුතුයයි නිගමනය කළ ඔවුහු සිංහලයන් හා බද්ධ වෛරයෙන් යුතුව සේරුවාවිල හා දෙහිවත්ත ජනපද දෙකෙහි රැඳි සිටි ජනතාව පළවා හැරීම සඳහා වරින්වර ගිනි අවි දරා ගම් දනව් පැන නිරායුද අසරණ මිනිසුන් පමණක්‌ නොව. දෙපා අබල දුබල මහල්ලන් ළදරුවන් හා ගැබ්ගත් කතුන් ද මරා දැමුහ. ඔවුන් සිංහලයන් ගේ ගේ දොර ගිනිබත් කරමින් මහ මග ගිනි උගුල් අටවා පුපුරා හරිමින් ද මහත් ව්‍යසනයක්‌ කරමින් උන්හ. දුටු තැන දේශීය ආරක්‍ෂක හමුදාවන්ට සැඟවී පහර දෙමින් සිටි ඔවුන් විසින් අනපේක්‍ෂිත අවස්‌ථාවක ප්‍රදේශයේ ජීවත්වූ තමන් නොකැමැති සිංහලයන් සියල්ලම එකවර සා පිපාසාවෙහිලා මරා දැමීම හෝ ප්‍රදේශයෙන් පළවාහැරීම සඳහා හෝ ප්‍රයත්නයක්‌ ලෙසින් (2006.7.21) මාවිල්ආරු මහ ජලාශය අවි බලයෙන් අත්කොට කෙත් යායට දිය ගලාගිය කල්ලාර් ඇළ මහ සොරොව් දොර වසා දමන ලදී.

අක්‌කර දසදහසකට වැඩි බිම් පෙදෙසක්‌ පුරා සරු ලෙස වැඩී හමන මඳනලෙන් සැලෙමින් ගැබ් බරව සිටි ගොයම දිය නොමැතිව මලානිකව වැනසී යැමේ අනතුරකට පත්වෙමින් තිබිණ. හැට දහසකට වැඩි ජනතාවකට බීමට දිය පොදක්‌ සපයාගත නොහැකි තත්ත්වයක්‌ ඇති විය. අනාගත සාගතයක පෙරනිමිති දක්‌නට ලැබිණ සැකයෙන් හා බියෙන් තැවෙමින් සිටි අහිංසක සිංහල ජනතාව වටකොටගත් දෙපා කොටි ත්‍රස්‌ථයන් තැන තැන බිම් බෝම්බ අතුරා බර අවියන් හා සුළු අවියෙන් සේරුවාවිල හා දෙහිවත්ත ජනපදිකයන් දෙසට ගිනි බිඳින්නට ද වුහ.

මාවිල් ආරූ දිය දොර සතුරන්ගෙන් මුදා කොටසර දනව්වෙහි කෙත් යායට ජලයත් ජනතාවට නිදහසේ දිවිගෙවීමට ඇවැසි සාමයත් ලබා දීමේ මානුෂික මෙහෙවර කාලීන අවශ්‍යතාවයක්‌ බවට පත් වුයෙන් (2006.7.29) තුන් දහසක්‌ පමණ වූ දේශ විමුක්‌ති ජාතික හමුදාව මාවිල් ආරු ජලාශය හාත්පසින් වටකොට සතුරාට පහර දීම ඇරඹුහ. දින නමයක්‌ පුරා දෙපක්‍ෂය අතර පැවැති මහ සටනින් පසු එක්‌ සෙබළෙකු පමZණක්‌ අහිමි කරගත් වීරෝධාර රණවිරුවන් සතුරන් දෙසිය පණහකගේ පමණ හිස්‌ කඳින් ගලවා මඩවගුරෙහි ඔබා තැන තැන සැඟවී දිවි රැකගත් සෙස්‌සන් සියල්ලම පෙදෙසින් පළවා හැර මාවිල් ආරු මහා ජලාශය පමණක්‌ නොව කල් අඩි ගම චෝළ අප්පන් මලෛ කන්දෙහි පිහිටුවා තිබූ ඔවුන්ගේ මහ කඳවුර ද අත්කරගත්හ.

දෙපා කොටින්ගේ කල්ලඩි ගම කඳවුර එසේ මෙසේ සුළු එකක්‌ නොවේ. දෙතුන් දහසකටත් වැඩි විශාල පිරිසකට ආහාර පාන හා නේවාසික පහසුකකම් සහිත වූ එය පිහිටුවා තිබී ඇත්තේ අතීතයෙහි දී බෙදුණු පුදබිමක්‌ව පැවැති තැනකය, පෙර මහරහතුන් වැඩසිටි ලෙන් ඔවුන්ගේ යුද අවි හා ආහාර ගබඩා බවට පත්ව තිබී ඇත. ඔවුන් පර්වතයක්‌ මත වූ පැරණි වෙහෙරක්‌ බිඳ එහි පාදමෙහි සුවිසාල ගුවන් විදුලි සංනිවේදන කුළුණක්‌ පිහිටුවා එමගින් විකාශණය කරන රහස්‌ තොරතුරු කතරගම තෙක්‌ විහිඳුවා තිබුණි.

මාවිල්ආරූ ජලාශය කොටි ග්‍රහණයෙන් මුදාගත් රණවිරුවන්ගේ මඟපෙන්වීම මත චොළදප්පන් මලෛයි වෙත පිවිසි ත්‍රිකුණාමල පුරාවිද්‍යා නිලධාරි රංජිත් සැම්සන් මහතාට එහි පර්වතයන් හි මෙතෙක්‌ කිසිවෙකුගේ ඇස නොගැටී සැඟව පැවැති මධ්‍යකාලීන යුගයට අයත් සිංහල භාෂාව උපයෝගි කරගනිමින් අපර බ්‍රාහ්මී අක්‍ෂරයෙන් සටහන් කරන ලද ගිරි ලිපි රැසක්‌ දක්‌නට ලැබී ඇත.

එහි ඇති එක්‌ ගිරි ලිපියක සටහන්ව ඇත්තේ දෙවියන්ට ප්‍රියවූ තිස්‌ස මහරජුගේ මුණුපුරු පුටකන්න තිස්‌ස රජුගේ පුත් නාග නම් නිරිදෙකු මෙහි පාෂාණ පබ්බත නම් විහාරයක්‌ කරවා තමන් මිළදී ගත් ඉඩමක්‌ ද එක්‌ ඇළක දියබද්ඳ ද එම විහාරස්‌ථානයෙහි භික්‍ෂුන් වහන්සේලාගේ සිව්පසය සඳහා පුජා කළ පුවතකි.

මෙම ගිරි ලිපිය පිහිටුවා ඇති කාලය සොයා යැමෙහි දී අපට අනුරාධපුර නුවර රජ දහන කරගත් සද්ධාතිස්‌ස මහ නිරිදුන් ද ඔහු මුණුපුරු පුටකන්න තිස්‌ස හෙවත් කුටකන්න තිස්‌ස රජු හා ඔහුගේ කණිටු පුත් මහාදාඨක මහනාග මිහිපතින් හමුවේ. බුදු බැතියෙකු ලෙස මහත් පින්කම් කළ භාතිකාභය තිස්‌ස නරිඳුන්ගේ අභාවයෙන් පසුව සිහසුන් පත් ඔහුගේ කණිටු සොහොයුරු මහාදාඨක මහනාග නිරිදුන් (ක්‍රි. ව. 9/21) බොහෝ වෙහෙර විහාර කළ රජෙකු ලෙස වංසකතාවන්හි සඳහන් වෙත් එහෙත් එතුමා කොටසර දනව්වෙහි පාෂාණ පබ්බත නම් වෙහෙරක්‌ කළ බවක්‌ මෙම ගිරි ලිපියෙහි හැර වෙනයම් පතක පොතක හෝ පුරාවිද්‍යා වාර්ථාවක හෝ නො දැක්‌ වේ.

මහාදාඨක මහනාග නිරිදුන් තමන් කළ විහාරයට පුජාකළ දිය ඇළ හා ඉඩම කොටසර දනව්වෙහි කවර තැනක පිහිටියේ දැයි නිගමණය කළ නොහැක. එහෙත් මෙම ලිපිය අනුව රාජ්‍යයේ ඇති සියලු ඉඩම්වල එකම හිමිකරුවා වූ රඡ් තමන් සගසතු කළ ඉඩම හිමිකරුවෙකු ගෙන් මිළට ගත් බව සඳහන් කර ඇති හෙයින් එකල රාජ්‍ය බලය ඉක්‌මවා ඉඩම් හිමියෙකුගේ බිම් අයිතිය තහවුරුව පැවැති අයුරු නම් විමසිල්ලට යොමු විය යුතු වැඳගත් කරුණකි.

මහාදාඨක මහානාග නිරිඳුන්ගේ අභාවයෙන් දෙසිය පණස්‌ පස්‌ වසරකට පසුව අනුරාධපුර නුවර සේසත් නංවා සිහසුන් පත් මහසෙන් මහරජ (ක්‍රි. ව. 276/303) තමන් සතු කෙතකින් ගත් වී (අනුරාධපුර) නගරයෙන් නැගෙනහිර පස පිහිටි තබවිටිය නම් වෙළඳ නගරයෙහි මනරම් වෙළඳ පොලෙහි (වෙළඳ ආයතනයෙහි) තැන්පත්කොට එම වී ණයට ගන්නා අයගෙන් ලැබෙන පොළිය පාෂාණ පබ්බත විහාරවාසී භික්‍ෂුන්ගේ සිවිපසය සඳහා පුජාකරන ලද බව පැවැසෙන ලිපියක්‌ ද මෙහි පර්වතයක සටහන් කර ඇත. එහි පසෙක සටහන්ව ඇති වෙනත් ගිරි ලිපියක සඳහන් කර ඇත්තේ නම නොසඳහන් නිරිදෙකුගේ රබර නම් අමාත්‍යවරයෙකු එක්‌තරා වෙළඳ ආයතනයක කහවණු පන්සියයක්‌ තැන්පත්කර එයින් ලැබෙන පොලිය පාෂාණ පබ්බත විහාරවාසී භික්‌ෂුන්ගේ පරිභෝජනයට පූජා කළ පුවතකි. ඔහු මුදල් තැන්පත් කළ වෙළඳ නගරයෙහි හෝ ආයතනයෙහි හෝ නම නො දැක්‌වේ. ප්‍රසිද්ධියට අකැමැති පින්වතෙකු තබවිටිය වෙළඳ නගරයෙහි එක්‌ වාණිජ ආයතනයක මුදලක්‌ තැන්පත්කර එහි පොළිය පාෂාණ පබ්බත විහාරයෙහි මංගල නම් චෛත්‍යයට පුජා කළ පුවත ද එක්‌ ගිරි ලිපියකින් පවසා ඇත.

මෙම තෙවන ගිරි ලිපිය අනුව පාෂාණ පබ්බත විහාරයෙහි පිහිටි චෛත්‍යය එකල මංගල නමින් හඳුන්වා ඇත. මෙම චෛත්‍ය තැනීමට අඩු තරමින් වර්ෂ එකසිය හැත්තෑවකට පමණ පෙර කාවන්තිස්‌ස නිරිඳුන් සේරුවාවිල් තෙර පිහිටුවන ලද චෛත්‍යයද මංගල නමින් හඳුන්වා තිබියෑයි දාතුවංසයෙහි දැක්‌වේ. එකිනෙකට සැතපුන් තුනක්‌ පමණ ආසන්නයෙහි පිහිටි චෛත්‍යයන් දෙකක්‌ එකම නමකින් හඳුන්වන ලද්දේ කවර කරුණක්‌ නිසාදැයි විමසිය යුතුව ඇත.

මහසෙන් නිරිඳුන්ගේ කෙත පාෂාණ පබ්බත විහාර සංකීර්ණය අවට පිහිටා තිබිණැයි උපකල්පනය කළ හොත් එම කෙතෙහි වී ගත් මනරම වෙළඳ ආයතනය පිහිටි තබවිටිය වෙළඳ නගරය තිබිය යුත්තේ ද එම පෙදෙසේයයි නිගමනය කිරීම වැරදි නොවේ.

මධ්‍යකාලීන යුගයෙහි මෙරට පමණක්‌ නොව ලොව වෙනත් රටවලද ප්‍රසිද්ධ වාණිජ නගර සියල්ලම පිහිටා තිබී ඇත්තේ විදේශීය නාවික යාත්‍රාවන්ට පහසුවෙන් පැමිණිය හැකි ගංඟා මුවදොරවල් අසලමය. මෙරට පිහිටි මහම නදියේ වැඩිම ජලකඳක්‌ සමුදුරට එක්‌වන්නේ වෙරුගල් ගඟෙහි කෙවුලිය තුඩුවෙනි. මෙනිසා මහසෙන් නිරිඳුන්ගේ පාෂාණ පබ්බත ගිරි ලිපිය පසුපස හඹා ගොස්‌ අතීතයෙහි දී තබවිටිය නම් වෙළඳ නගරය පිහිටියේ වෙරුගල් ගඟ මුවදොර කෙවුලිය තුඩුවෙහි ද නැතහොත් කවර තැනකදැයි විමසීම වියතුන් වෙත පැවැරේ.

අතීත සමාජ සංස්‌ථාවෙහි රජ ඇමැති වැනි බලවත් අයගේ විශ්වාසය දිනා ඔවුන්ගේ වී හා මුදල් එක්‌රැස්‌කර ගණු දෙණුකරුවන්ට ණයට දී පොළී මුදල් අය කළ ආයතන පැවැති බව සනාත කරන තොරතුරු මෙයට පෙර කිසිම පත පොතක දක්‌නට නැත. මහසෙන් වැනි තෙදබලැති නිරිදෙකු ගණුදෙණු කළ මෙකලට ද උචිත නමක්‌ සහිත මනරම වාණිජ ආයතනය (වී බැංකුව) ද රට තුළ ප්‍රචලිත එකක්‌විය යුතුය. මහඇඳුරු සෙනරත් පරනවිතානයන් විසින් සංස්‌කරණය කරන ලද පැරණි බාහ්මී ශිලාලේඛන ඇතුළත් ග්‍රන්තයෙහි (ඉන්ස්‌ක්‍රිෆ්ෂන් ඔෆ් සිලෝන් වොලි 1 පාට්‌ 1) අංක 407 613 හා 1100 යටතේ සටහන්කර ඇති ලෙන් ලිපි තුනෙහි ද මනරම යන නම දැක්‌වේ. මෙම ස්‌ථාන ද මහසෙන් නිරිඳුන් හා ගණුදෙණු කළ ආයතන හා යම්කිසි බැඳීමක්‌ තිබූ තැන් ද විය හැකිය. ත්‍රස්‌තවාදීන්ගේ මහ කඳවුරක්‌ ව පැවැති වෙරුගල් නදී මුවදොර කල්අඩි ගම චොළඅප්පන් මලෛ කන්ද අපගේ ඉතිහාසයෙහි මZධ්‍යකාලීන යුගය හා බැඳුණ වැදගත් තොරතුරු රැසක්‌ සැඟවී ඇති තැනකි. මෙය හැකි ඉක්‌මනින් පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ ලෙස ප්‍රකාශයට පත් නොකළ හොත් නිදන් හොරුන්ගේ හෝ ස්‌ථානයෙහි ඓතිහාසිකත්වය විකුණා කෑමට කැපවී සිටින කපටි ආරක්‌ෂකයන්ගේ ගොඳුරක්‌ වනු නියතය.

පී. එල්. සිරිසේන
කන්තලේ

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v