ලොකු වැඩකට ඉරානයට ගිය පුංචි සුරතලිය
සඳලි

පුංචි පැංචි වැඩසටහනේ නිවේදිකාවක්‌ විදියට සති අන්තයේ ඔබේ ආලින්දයට ගොඩවුණු ඇය ඉන්පසුව අපට හමුවන්නේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට තුළිනි.

උත්පලවණ්‌ණා චිත්‍රපටයේ පුංචි මෙහෙණියගේ චරිතය හරි අපූරුවට පණ දුන් මේ පුංචි සඳ ඔබට අමතක වන්නේ නම් නැහැ. ඔබ මේ පුංචි සඳ කවුද කියලා බලනවා ඇති. වෙන කවුරුත් නොවේ. ඔබත් මාත් ආදරය කරන ඇය සඳලි වැලිකන්නයි. ඉතින් ඔබ ආදරය කරන නිසාම පුංචි ඇයගේ අදහස්‌ අවදි කරන්නට ආරාධනා කළා.

කොහොමද සඳලි, අපට ආරංචි ඉරානයට ගියා කියලා. ටෙලිනාට්‍යයකට හෝ චිත්‍රපටයක වැඩ කටයුතු සඳහා ද එහෙ ගියේ?

ඔව්, ඉරානයට යන්න මට අවස්‌ථාවක්‌ ලැබුණා. රූගත කිරීමකට නොවෙයි මම ගියේ. ඉරානයේ සරාභි චිත්‍රපට පදනම මඟින් 23 වැනි වරටත් සංවිධානය කළ ළමා චිත්‍රපට උළෙලේ ළමා ජූරි සභාවේ කටයුතු සඳහායි මම එහෙ ගියේ. මම විතරක්‌ ගියේ නෑ. ෂෙහාන් රන්දෙණිය මල්ලීත් රේණුකා බාලසූරිය නැන්දත් ගියා. රේණුකා නැන්දා තමයි මාව තෝරාගෙන තිබුණෙ. ලෝකයේ රටවල් 30 කින් ළමා චිත්‍රපට 40 ක්‌ පමණ මේ සඳහා ඉදිරිපත් කරලා තිබුණා තෝරන්න. රේණුකා නැන්දටයි සෝමේ මාමාටයි ස්‌තුති කරන්න ඕනේ මට මේ අවස්‌ථාව ලබා දුන්නාට.

ඔබ මුලින්ම ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වුණේ කොහොමද?

මාමලා කට්‌ටියක්‌ පාසලට ඇවිත් ළමයෙක්‌ බැලුවා. ඒ අයට ඉංග්‍රිසි කතා කිරීමේ හැකියාව තියෙන කෙනෙක්‌ ඕනෙ කරලා තිබුණෙ. මම ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්න නිසා මාව තෝරා ගත්තා. මායා ඇවනිව් තමයි. මගේ මුල්ම ටෙලිනාට්‍යය. ඊට පස්‌සෙ රජවීදිය පෙම්බරයාණෙනි, බත් අම්මා, ඒ වගේම මේ දිනවල විකාශනය වන පාන් බට්‌ටා ආදී ටෙලිනාට්‍ය කීපයකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා.

සඳලි චිත්‍රපටවලටත් රංගනයෙන් දායක වුණා නේද?

මාව මුල්ම චිත්‍ර පටයකට තෝරා ගත්තේ බත් අම්මා ටෙලිනාට්‍ය නිසයි. මං රඟපෑ මුල්ම චිත්‍රපටය සමාරා.

මට හොඳ ප්‍රතිචාර ලැබුණෙ උප්පලවණ්‌ණා චිත්‍රපටයෙන් එහිද මට මෙහෙණියකගේ චරිතයක්‌ කරන්න ලැබුණා.

මෙහෙණින් වහන්සේ කෙනෙක්‌ කියන්නේ බොහොම තැන්පත්ව ඉන්න ඕනෙනේ. ඒ වුණාට මම දඟකාර චරිතයක්‌ තමයි කළේ. මම රඟපෑ චරිත වලින් ගොඩක්‌ ආසකරන ආදරය කරන චරිතයක්‌.

වෙනත් ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වුණේ නැද්ද?

මේ දවස්‌වල නම් ටෙලිනාට්‍ය හා චිත්‍රපටවල කටයුතු සිදුවන්නේ නෑ.

සඳලි තවම පාසල් අධ්‍යාපනය හදාරනවා.

කොහොමද රංගන කටයුතුවලට දායක වන්නේ?

ඔව්, මම පානදුර ලීඩ්ස්‌ ජාත්‍යන්තර පාසලේ අටවැනි වසරේ අධ්‍යාපනය ලබනවා. ගොඩක්‌ වෙලාවට පාසලේ නිවාඩු කාලේ තමයි රඟපෑමට යොමුවන්නේ. පාඩම් කටයුතු අතපසු වුණාම යාළුවෝ පාඩම් ටික සකස්‌ කරලා දෙනවා. ඒ වගේම ගුරුවරුන් මට ගොඩක්‌ උදව් කරනවා.

පවුලේ විස්‌තර එහෙමත් දැනගන්න යාළුවෝ කැමැති ඇතිනේ, කියන්නකෝ විස්‌තර ටිකක්‌?

මගේ පවුලේ මමයි, අම්මී, අප්පච්චී, මල්ලීයි ඉන්නේ. මල්ලි ප්‍රමුදු වැලිකන්න. අම්මි තමයි මා ළඟම ඉන්නේ. අප්පච්චී විදෙස්‌ ගත වෙලා ඉන්නේ.

පවුලේ කවුරුත් කලාවට සම්බන්ධ නැද්ද?

පවුලේ කවුරුත් කලාවට සම්බන්ධ නෑ. මගේ මල්ලී මා එක්‌ක රඟපෑමට එකතු වුණා. රාත්‍රිය වී, සිඳංඟනා, මයුමි ටෙලිනාට්‍ය සඳහා.

ඔයාට ආදරය කරන පුංචි යාළුවන්ට යමක්‌ කියන්න තියෙනවා ද?

හැම අම්මා කෙනෙකුම තාත්තා කෙනෙකුම තමන්ගේ දරුවන් වෙනුවෙන් ගොඩක්‌ මහන්සි වෙනවා. ඒ අයට බැරි කාලයකදී ඒ අයට උදවු කරන්න. ආදරය කරන්න අමතක කරන්න එපා. අපගේ දෙමවුපියන් තමයි අපිට ඉන්න ලොකුම ශක්‌තිය. අපි අම්මලාට සදා ණයගැතියි. ඒ අයගේ මඟපෙන්වීම නිසා තමයි පුංචි අපට ඉදිරියට යන්න හැකියාව ලැබෙන්නේ.

අනාගත බලාපොරොත්තුව කවුරුන් වෙන්න ද?

මගේ අනාගත බලාපොරොත්තුව නම් වෛද්‍යවරියක්‌ වීමටයි. ඒ අතරතුර කලාවට සම්බන්ධ වී කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් මගේ අම්මි ඇතුළු පවුලේ සියලු දෙනාට සහ මගේ පාසලේ විදුහල්පතිනිය, සභාපතිතුමා ඇතුළු කලා ලොවේ මට උදව් කරන හැමෝටම ස්‌තූති කරන්න මෙය අවස්‌ථාවක්‌ කර ගන්නවා.

නිරෝෂි පෙරේරා
ඡායාරූප-දිමුතු ප්‍රේමරත්න

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v