"තුන්බිය" මුද්‍ර නාට්‍යය
'TRI HORRORS' ORIENTAL BALLET


උදේශ සංජීව ගමගේ

මෙරට මුද්‍ර නාට්‍යකලාවන්හි ස්‌වර්ණමය යුගය හැටියට හැඳින්විය හැක්‌කේ හැටේ සහ හැත්තෑව දශකයන්ය. එකී කාලය තුළ මුද්‍ර නාට්‍ය කලාව අරඹයා බොහෝ කැපකිරීම් කළ ප්‍රවීනයන් තවම, ඒ වටා රොද බැඳගත් විදග්ධ මට්‌ටමේ රසික පිරිසක්‌ද විය. මෙහිදී මේ විදග්ධ යන්න අරුත් හැඳින්වෙන්නේ මුද්‍ර නාට්‍ය කෙරෙහි ප්‍රකට කරන රසඥතාවට ගරු කිරීමක්‌ ලෙසිනි. ඒ හැර එකළ මුද්‍ර නාට්‍යයට ඇලුම් කළ රසික පිරිස අතර විවිධ මට්‌ටමේ පිරිස්‌ වූහ.

කෙසේ හෝ මේ දිගු පූර්විකාව අප ඉදිරිපත් කරනුයේ ඉන් කලකට පසු ඒ සා ඉහළ ජනප්‍රියත්වයක්‌ හිමි කර ගෙන තිබූ මුද්‍ර නාට්‍ය කලාව පසුබෑමකට ලක්‌ව ඇති යුගයක නැවත එහි රැඳී සිටි රසිකයන් මුද්‍ර නාට්‍ය වෙත කැන්දාගෙන ඒමේ වෙහෙසකර ක්‍රියාවක යෙදෙන මෙරට ප්‍රවීණයකුගේ නව නිර්මාණය පිළිබඳව හැඳින්වීමටය.

මේ වෙහෙසකර වුත් සොඳුරු වුත් නිර්මාණය 3 න් බියයි. (තුන් බියයි). මේ සෞන්දර්යාත්මක, රසික රුචි, ප්‍රයත්නයේ නිමැවුම්කරුවා වන්නේ ආරියරත්න කලුආරච්චි නම් ප්‍රවීනයයි. හෙතෙම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපතිවරයා හැටියට කටයුතු කරයි. "තුන්බිය" නිර්මාණය කරන ආරියරත්න කලුආරච්චිගේ භූමිකාව මුද්‍රනාට්‍යයට පමණක්‌ ලඝූ නොවන්නකි. එය ගේය පද රචකයෙකු, ගායන ශිල්පියකු, මුද්‍ර නාට්‍ය ශිල්පියකු, රඟන වින්‍යාසකරුවෙකු, නළුවකු සේම ග්‍රන්ථ රචකයෙක්‌ ද දක්‌වා වූ පුළුල් පරාසයක විහිද පැතිර පවත්නා එකකි.

"තුන්බියට" පෙර ඔහු "යකදුරාගේ දියණිය", "නිශාචර", "බැරිසිල්", "පත්තිනිවත", "ව්‍යවර්ති", "මහසොහොන්වත" යන මුද්‍රනාට්‍ය අධ්‍යක්‍ෂණය කළේය. ඒ අතුරින් "බැරිසිල්" ඔහුගේ ප්‍රතිභාව පිළිබිඹු කරන විශිෂ්ට නිර්මාණයක්‌ බව ප්‍රවීනයන් සේම සහෘද රසිකයන්ද එකසේ සාCෂ්‍ය දරති.

මුද්‍රනාට්‍ය ක්‍ෂේත්‍රයේ කඩඉමක්‌ සනිටුහන් කළ හැකි බවට ඉඟි පළ කරන තුන්බිය විශිෂ්ට ගණයේ නිර්මාණයක්‌ බව එහි පූර්ව පුහුණුවීම් කටයුතු නැරඹූ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ බොහෝ පිරිස්‌ පවා පවසන්නකි. මේ සියල්ලෙහිදී එදා ප්‍රකට කරන්නේ තමන්ටම ආවේණික වූ මුද්‍ර නාටක රංග ශෛලියකි. උඩරට වන්නම් ක්‍ෂේත්‍රයේ ප්‍රචලිත වන්නම්, දහඅටට අමතරව, ආරියරත්න කලුආරච්චි විසින් නවතම නාදමාලා හා තිත්රූප ඔස්‌සේ "ඇඟලුම් වන්නම", "ගුරුදේව වන්නම" හා "මන්තිරි වන්නම" යනුවෙන් වන්නම් තුනක්‌ හඳුන්වා දී ඇත.

මේ වනවිට නිසි ඇගයීමකට ලක්‌ නොවන කෝළම් ජන නාටක පිළිබඳව පර්යේෂණ ග්‍රන්ථයක්‌ හා කෝලම් ගී සංයුක්‌ත තැටියක්‌ ද ඔහු විසින් එළිදක්‌වන්නට යෙදිණි.

මෙරට කලා ක්‍ෂේත්‍රයට ඒ හා දායකත්වයක්‌ සපයන ආරියරත්න කලුආරච්චි, මේ අලුත්ම මුද්‍ර නාට්‍ය අත්දැකීම සිය සහෘද රසිකයන්ට තිළිණ කරන්නේ වේදිකාවේ එවැනි හිස්‌තැනක්‌ ඇතිව ඇති මොහොතකය. "තුන්බිය" මුද්‍ර නාට්‍යයට පදනම් වන්නේ අප රටේ කාලාන්තරයක්‌ තිස්‌සේ පැවත එන පුරාවෘත්ත සම්බන්ධ එක්‌ කතා පුවතකි.

රෝග දහඅටක්‌ මුල් කරගෙන පවත්වාගෙන එනු ලබන "සන්නියකුම" හෙවත් දහඅට සන්නි ශාන්තිකර්මයට පාදක කරගත් සංඛපාල රජුන් හා අසූපාල කුමරියගේ පෙම් පුවත ඇසුරින් නිර්මාණය වන මෙම මුද්‍ර නාට්‍යය එහි මූලික කතා ප්‍රවෘත්තියට කිසිදු බාධාවක්‌ නොවන පරිදි නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට ආරියරත්න කලුආරච්චි ප්‍රවේසම් වී ඇත. ඉතිහාසගත පුවතක්‌ වුවද සර්වකාලීන සංකල්පයන් ඒ අයුරින්ම ඉස්‌මතු වන ආකාරයට නාට්‍ය පෙළ ගැස්‌වේ. බෞද්ධ දර්ශනයෙහි ද එන අනුන්ගේ බස්‌ ඇසීමේ හා ඉක්‌මන් තීරණ ගැනීමේ ප්‍රතිවිපාකයන් ද තුන්බිය මුද්‍ර නාටකයෙන් මැනවින් නිරූපණය වේ. එමෙන්ම යුද්දයක ඇති බිහිසුණු බවත් බියකරු බවත්, ප්‍රේක්‍ෂකයාට සංවේදීව දැනෙන්නට ඉඩ හරින තුන්බිය මුද්‍ර නාට්‍යයේ එය සදාකාලිකව ප්‍රතික්‍ෂේප කළ යුතු බව පෙන්වා දෙයි.

"බටහිර බැලේ නාට්‍ය කලාව මෙන්ම (BALLET) භාරතයේ පවත්නා නෘත්‍ය නාට්‍ය කලාවත් සමග එක්‌ව යන මෙම නාට්‍ය කලාව රැක ගැනීම සඳහා අප ඉදිරිපත් විය යුතු කාලය එළැඹ ඇති බව ආරියරත්න කලුආරච්චි අවධාරණය කරයි.

වසර හතරකට අධික කාලයක්‌ මුද්‍ර නාට්‍ය අනුමණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හෙතෙම පවසන්නේ මෙම මුද්‍ර නාට්‍යය මෙරට ප්‍රේක්‍ෂකයා තුළ ජනප්‍රිය කරවීමේ එක්‌ පියවරක්‌ හැටියට "තුන්බිය" හැඳින්විය හැකි බවය.

"රට වෙනුවෙන් සටන් වැද ආබාධිත තත්ත්වයට පත්ව සිටින අභීත රණවීරයන්ට මූල්‍යමය වශයෙන් දායකත්වය ලබාදී ඔවුනගේ පවුල්වල මානසික තත්ත්වය හා ආර්ථික තත්ත්වය උසස්‌ කරලීමට මා මේ මුද්‍ර නාට්‍ය රඟ දැක්‌වීමෙන් ලැබෙන මුදල් යොදවනවා. මගේ සොහොයුරු කොමාන්ඩෝ බලකායේ මේජර් ෆිලික්‌ස්‌ රත්නායක කලුආරච්චි මියගියේද ත්‍රස්‌තයනට එරෙහි ක්‍රියාන්විතයකදීයි. ඉතිං මෙවැනි සද්කාර්යයක නියෑලීමේ වුවමනාවක්‌ මට දිගු කලක පටන් තිබුණා." ආරියරත්න කලුආරච්චි පවසන්නේය.

ආරියරත්න කලුආරච්චිගේ රංග වින්‍යාසයෙන් හා අධ්‍යක්‍ෂණයෙන් නිර්මාණය කෙරෙන "තුන්බිය" මුද්‍ර නාටකයේ බුද්ධික රණවීර, දර්ශනී තිවංකා ගමගේ, සම්පත් ප්‍රියංගා, නිශාදී රත්නාවලී, අනුෂ්කා ඒකනායක, ඉමාෂා මධුරසිංහ, ජනක කෝට්‌ටේගොඩ, අසේල රංගදේව, මහින්ද විමලසිරි, එරංග රෝෂාන්, රාජමන්ත්‍රී යන රංගන ශිල්පීන් ඇතුළුව 50 කට අධික පිරිසක්‌ රංගන දායකත්වය සපයයි.
 
 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v