තෙල් සායමින් "උරුමය" සොයා යැම
දයාන්ගේ "සංකලන 2" "SANKALANA 2"


"තෙල් සායම් කියන්නේ ආගන්තුක මාධ්‍යයක්‌. මා එයින් දේශීයත්වය ඉස්‌මතු කරන්නටයි උත්සාහ දරන්නේ. බොහෝ දෙනෙක්‌ කියන්නේ තෙල්සායම් (OIL PAINT) කියන්නේ පිටරට දර්ශන පමණක්‌ ඇඳිය හැකි, මෙරට ජීවන රිද්මය හසුකරගත නොහැකි මාධ්‍යයක්‌ හැටියටයි. ඒත් මගේ සිතුවම් තුළින් ඒ ආකල්පය බැහැර කරන්නට මට පුළුවන් වුණා." මෙහෙම කියන්නේ දයාන් හැමෝම දන්න විදියට දයාන් කොට්‌ටච්චි. තමන් ගැන කතා නොකර සිතුවම් ගැනත් සමස්‌ත ලලිත කලාව ගැන කතා කරන එක දයාන්ගේ "හොඳ" පුරුද්දක්‌. ඒ ගුණාංගය කලා ලොවේ බොහෝමයක්‌ ළඟ දකින්න නැති පුරුද්දක්‌.

කෙසේ හෝ දයාන් මේ කියන කතාව හරියටම හරි කියලා අපට හිතුණේ ඔහුගේ සිතුවම් දුටු විටයි. "තෙල් සායම්" කොළඹ 07 සංස්‌කෘතියට පමණක්‌ උරුම වුවක්‌ හැටියටත් කාලයකදී අදහසක්‌ තිබුණා. නිකම්ම වගේ කල්පනා කළොත් අදටත් අපි කතා කරන මුල් කාලයේ චිත්‍ර ශිල්පීන් බොහෝ දෙනෙක්‌ සමාජයේ එක්‌තරා පැලැන්තියක්‌ නියෝජනය කළ බව කාටත් වැටහෙනවා. ඒ යුගයේ ඇඳි තෙල්සායම් සිතුවම්වලට මේ රටේ "උරුමය" හසුවුණේම නැති තරම්. ඒත් දයාන්ගේ මේ සමඟ ඇති සිතුවම් කිහිපය මෙරට ජන ජීවිතය, සංස්‌කෘතිය, ඒ ජීවන රිද්මය කොයිතරම් ගැඹුරින් හසුකරගෙන තිබෙනවද යන්නට සාක්‍ෂියක්‌.

මේක දයාන්ගේ වචනවලින්ම කිව්වොත් මේ විදියයි.

"තෙල් සායම් මාධ්‍ය භාවිත කොට අපේ රටේ ජන ජීවිතය, ඔවුනගේ උරුමයන්, රැකීමෙන් පරිසරය ඉතා සියුම්ව ගොඩනගන්න පුළුවන්. අපට මේ මාධ්‍ය භාවිතා කරලා එවැනි යමක්‌ කරන්න පුළුවන් බව බොහෝ විට සිතුවම් කරණය හදාරන ශිෂ්‍යයන් පවා පිළිනොගන්න අවස්‌ථා තිබෙනවා.

නිකමට කල්පනා කරන්න... අපි තාමත් පිටරටට පෙන්වන්නේ මොනවද? සංචාරකයන්ට මෙරට වගකිවයුතු ආයතන පවා තාමත් පරණ ගල් කැටයම් ටිකක්‌, ඇම්බැක්‌කේ කැටයම්, පරණ සිතුවම් ටිකක්‌ පෙන්නලා කියනවා අපිට මෙහෙම විශිෂ්ට කලා නිර්මාණ තිබුණ කියලා. නමුත් ඊටත් වඩා ඔවුනට පෙන්නන්න යමක්‌ තිබෙනවා කියන කාරණය ඔවුන් තේරුම් ගන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් කලාවක්‌ හැටියට මෙයට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙනම තරම්."

දයාන් කැන්වසය මත ඉසිඹුවක්‌ නොලබාම තවරන පින්සල් පහර තවම වචනවලට ගලා යන්නට ඉඩ හරියි.

ආලෝකය හා අඳුර මැනවින් භාවිත කර රූපයේ ගැඹුර ඉස්‌මතු කරන සිතුවමක්‌ සේම එසේ නොවන සමතල චිත්‍රයක "ශ්‍රී ලාංකික ජීවන රිද්මය" අපට දැනෙන්නට ඉඩ හරියි. ඉතිං මේ සා දිගු අටුවාවක්‌ සහ දයාන් කොට්‌ටච්චිගේ අදහස්‌ ගොන්නක්‌ ගෙන එන්නේ, ඔහු තම දෙවන සිතුවම් දැක්‌ම "සංකලන 2" නමින් ඉදිරිපත් කරන්නට යෙදෙන නිසයි. ජීවිතය ගැඹුරින් ආස්‌වාදනය කරන්නට හෝරා කිහිපයක්‌ ගත කරන්නට දයාන් ඔබට ආරාධනය කරන්නේ 12,13,14 ලයනල් වෙන්ඩ්ට්‌ කලාගාරයටයි. මේ දින කිහිපයේ උදේ 9.00 සිට සවස 7.00 දක්‌වා ඔබට දයාන්ගේ "සංකලන 2" සිතුවම් දැක්‌මට සහභාගිවීමට අවකාශය ලැබෙනවා. සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 11 වැනිදා සවස 6.00 ටයි.

උදේශ ගමගේ
 
 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v