මට සංගීත ලෝකයේ මහලොකු ඉලක්‌ක නැහැ
ප්‍රේමවර්ධන කපුගේ

අපේ පවුලෙ පිරිමි ළමයි හයයි. ගෑණු ළමයි දෙකයි. ගුණදාස කපුගේ අයියා පවුලේ දෙවැනියා. මම ප්‍රේමවර්ධන කපුගේ පවුලේ හය වැනියා. පදිංචිවෙලා හිටියෙ කහදූව මිරිස්‌වත්තෙ. ප්‍රා. ලේකම් කොට්‌ඨාසය කලින් ඇල්පිටිය. දැන් නියාගම. තාත්තා වතු ආරක්‍ෂක අංශයේ වැඩ කළේ. වතු කංකානම් කෙනෙක්‌ විදියට විශ්‍රාම ගියේ. අපේ පවුල විශාල දරුපවුලක්‌ නිසා අපිට කුඩා කාලේ ආර්ථික දුෂ්කරතා එමට තිබුණා. ඒ නිසාම කපුගේ අයියත් මමත් හැදුනෙ අපේ අම්මාගේ අයියා ලොකු මාමා ළඟ. ඔහු විදුහල්පතිවරයෙක්‌ වගේම සංගීතයට ලැදියි. ඒ බලපෑම තමයි කපුගේ අයියට ලැබුණෙ. කපුගේ අයියා ගියේ මිරිස්‌වත්ත කනිෂ්ඨ පාසලට. පහේ පන්තිය ශිෂ්‍යත්ව පාස්‌වෙලා අයියා ගියා කරන්දෙණිය සෙන්ට්‍රල් එකට. එහෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස්‌ පෙළට මුලින් ගියේ නාගොඩ මහා විද්‍යාලයට. අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයෙන් තමයි කපුගේ අයියා උසස්‌ පෙළ සමත් වුණේ. අපි දෙන්නා අතරේ වයස්‌ පරතරය අවුරුදු නමයයි. කපුගේ අයියාගේ උපන් දිනේ 1945 අගෝස්‌තු 7. මම 1954 අගෝස්‌තු. අපේ බාල කාලය ඉතාම දුෂ්කර එකක්‌. අපි හත්දෙනා පෝෂණය කරන එක දෙමාපියන්ට සුළුපටු කාරණයක්‌ වුණේ නැහැ. අපි දෙන්නට ඉගැන්වූ මාමා අවසානයේදී තමන්ගේ ගේ දොර ඉඩම උකස්‌ කරලායි කපුගේ අයියා සංගීත අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යෑව්වේ.

ඒ වගේම අපි හැදුණේ ඒ මාමා ළඟ නිසා ඔහුට ස්‌ථානමාරු ලැබෙන හැම පාසලකටම අපි දෙන්නටත් පාසල් මාරුවීම් ලැබුණා. ඒ මාමාගෙ නම එඩ්මන් සිරිවර්ධන.

කපුගේ අයියාගේ පුතා එංගලන්තයේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඔහු ළඟදීම ලංකාවට ඇවිත් යන්න නියමිතයි. මිත්‍ර කපුගේ වන ඔහුට ඉතා ඉහළ සංගීත හැකියාවක්‌ තිබෙනවා. නමුත් ඔහු ඉතා හෙමින් ගමන් කරන කෙනෙක්‌. කලබලයක්‌ නෑ. කවදා හෝ මිත්‍ර කපුගේ තමාගේ පියාගේ සංගීත සේවාවට නිසි උපහාරය පුදකරාවි.

මම මුලින්ම ගියේ මිරිස්‌වත්ත ඒරමුල්ල මහ විදුහලට. ඉන් පස්‌සෙ මාමාට ස්‌ථාන මාරු ලැබුණු පිළිවෙළ අනුව ඇත්කදුර විද්‍යාලය, මොණරාගල කිව්ලයාය, බඩල්කුඹුර විද්‍යාලය, ඇල්ල මහා විද්‍යාලය, පොල්ගහවෙල ධර්මරාජය, මැදගම මහා විද්‍යාලය යන පාසල්වලින් මම අධ්‍යාපනය ලැබුවා.

අපේ පවුලේ ගායන හැකියාව කාටත් තිබුණා. මම විභාගවලට පෙනී නොසිටියත් විෂයක්‌ හැටියට සංගීතය ප්‍රගුණ කළා. ෂෙල්ටන් පෙරේරා මාස්‌ටර්ගෙ, අමරදේව මාස්‌ටර්ගෙ විතරක්‌ නොවෙයි මිල්ටන් මල්ලවාරච්චිගෙ ගීතත් මම තරුණ කාලේ ගායනා කළා. වෘත්තියෙන් වතු පාලකවරයෙක්‌ වූ මම රාජ්‍ය වැවිලි සංස්‌ථාවේ ක්‍ෂේත්‍ර නිලධාරියෙක්‌ හැටියටත් සේවය කළා. මට දූලා හතර දෙනෙකුත් එක පුතෙකුත් ඉන්නවා. මගේ බිරිඳ සෝමා වන්නි ආරච්චි. අපි විවාහ වුණේ අවුරුදු 19 දී වගේ. එතකොට කපුගේ අයියා විවාහයක්‌ ගැන හිතලාවත් නැහැ. මගේ ලොකු දුව නදීකාත් පොඩි දුව අනූෂාත් විශාරද මට්‌ටමටම සංගීතය ප්‍රගුණ කර තිබෙනවා.

සංගීත ක්‍ෂේත්‍රයට පිවිසෙන්නට මගේ හිතේ කිසිම බලාපොරොත්තුවක්‌ තිබුණේ නෑ. ඒ අදහස ඉදිරිපත් කරලා මාව ක්‍ෂේත්‍රයට රැගෙන යැමේ ගෞරවය හිමි වන්නේ ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විෙ-සිංහයන්ටයි. ඔහු තමා මාව සංගීත ලෝකයට හඳුන්වා දුන්නේ.

මීට දෙවසරකට පමණ පෙර මම සංයුක්‌ත තැටියක්‌ නිකුත් කළා. මම මගේ හඬ ප්‍රථමයෙන් අවදි කළේ පසුගිය සුනාමි ව්‍යසනය අවස්‌ථාවේදීයි. ඒ ගීතයේ නම තම්බපණ්‌නි රචනා කළේ අමිල තේනුවර. සංගීතය කරුණාරත්න විෙ-වර්ධන. ඊට අමතරව සමාජයේ දුක්‌ඛදායක පැත්ත ගැන කියවෙන ගීත රැසක්‌ම එම සංයුක්‌ත තැටියට අඩංගුයි. ඉන්දියානු රාගධාරී සංගීතය අපේ සාම්ප්‍රදායික නාද රටා එක්‌ක මුසු වී තැනුනු 60,70 දශකයේ ජනප්‍රිය වූ අපේම කියන සංගීත රටාවයි කපුගේ අයියා අනුගමනය කළේ. ගරු කළේ. මගේ සංගීත ගමන් මගත් එයමයි. මට සංගීත ලෝකයේ මහා ලොකු ඉලක්‌කයක්‌ නෑ. සාහිත්‍ය උත්සවයක ගමේ රටේ පොඩි සංස්‌කෘතික කටයුත්තක කපුගේ ලකුණ නියෝජනය කිරීම පමණයි මගේ මෙහෙවර. ඒ තුළ වෙළඳ අරමුණු නෑ. කපුගේ අයියාගේ ගීත මගේ හඬින් සී ඩී වලට නගන්න අපේ බලාපොරොත්තුවක්‌ නෑ. ගීත කරන අයට මම කියන්නේ අරුත් බර දෙයක්‌ කරන්න කියලයි. ගීත අහන අයට මම කියන්නෙත් අරුත් බර දෙයක්‌ අහන්න කියලයි.

සටහන ඡායාරූප
රන්ජන් ගාමිණී ජයවර්ධන

 
 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v