සංස්‌කෘතික හා සාහිත්‍ය කවන්ධය!

අද අප සාහිත්‍ය පිළිබඳ කතා කරන්නේ සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය ලෙස නම් කිරීම නිසා හෝ මේ වනවිටත් ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය ඓතිහාසික පොලොන්නරුවේ රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වෙන නිසා හෝ නොවේ. අපට සාහිත්‍ය යනු ඊට වඩා පුළුල් හා අගනා ජාතික හා සංස්‌කෘතික දායාදයකි. සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයට සාහිත්‍ය මාසය හා සාහිත්‍ය උළෙල නිල කාර්යයක්‌ විය හැකිය. එනිසා ඔවුන්ගේ අභිප්‍රාය ඒ නිල වගකීම ඉටු කිරීමද විය හැකිය. අපි එහි දොසක්‌ නොදකිමු. එහෙත් වසරකට වරක්‌ හෝ රජයේ සෘජු මැදිහත්වීමෙන්ද ජාතික ධනය වැය කරමින්ද සංවිධානය කෙරෙන සාහිත්‍ය උත්සවයේ අරමුණු අභිමතාර්ථ හා එමගින් සාහිත්‍යකාමීන්ට හා සාහිත්‍ය ක්‍ෂෙත්‍රයට අර්ථවත් මෙහෙවරක්‌ ඉටු විය යුතු බව අපගේ අවංක හැඟීමයි.

සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයද ඔව් අපේ අරමුණත් එබඳු පොදු මෙහෙවරක්‌ තමා යයි කියති. සාහිත්‍ය වෙනුවෙන් රාජ්‍ය නිල උත්සවයක්‌ පැවැත්වීමේ පිළිවෙත අපි කිසිවිටෙක අවතක්‌සේරු නොකරමු. සාහිත්‍ය කලාවේ නිරතව සිටින සුධීමත් සාහිත්‍යකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ ඇගයීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි.

සාහිත්‍ය පිළිබඳ අපගේ ආකල්පය වන්නේ එය ජාතික සංස්‌කෘතික අනන්‍යතාව මෙන්ම පුද්ගල පරිකල්පනයෙහි අග්‍රඵලයද කේන්ද්‍ර වන රමණීය ක්‍ෂේත්‍රයක්‌ බවය. දුලබ ප්‍රතිභාවෙන් සැදි මානව චින්තාවේ මියුරු ඵල පිපී සුවඳ දෙන සාහිත්‍ය ධාරාව වූ කලී අතීතයෙන් අනාගතයට ගලා බසිනා නිර්මල ගංගZdවක්‌ වැන්න.

අපගේ සාහිත්‍ය ඉතිහාසය ක්‍රි. පූ. 2 වන සියවස තරම් ඈතට දිවයන්නකි. ඉනික්‌බිතිව අනුරාධපුරයෙන් ඇරඹි කොළඹ හා මාතර තෙක්‌ වෙන් වෙන්ව හඳුනා ගත් සාහිත්‍ය පරපුරක්‌ හා ඔවුන්ගේ නිර්මාණ ද අප සතුව තිබේ. ඒ සිංහල කලා උරුමයට අමතරව දෙමළ සාහිත්‍ය කලා විශේෂයක්‌ද වේ. පරසතුරු ආක්‍රමණවලට ගොදුරු වූ අපට ඒ සාහිත්‍ය හා සංස්‌කෘතික උරුමය නොනසා රැක ගැනීමට තරම් ප්‍රබල අධ්‍යාත්මයක්‌ද විය. අනෙක්‌ වැදගත්ම කරුණ නම් සිංහල සාහිත්‍යයට නිරන්තරවම රාජානුග්‍රහය හිමිවීමත් රජවරුන් ප්‍රමුඛ පාලකයන්ද සාහිත්‍යයට සම්බන්ධ වීමත්ය. මෙය සුවිශේෂී තත්ත්වයකි.

අධිරාජ්‍යවාදීන් විසින් යටත් කර ගන්නා ලද අප 1948 දී ඔවුන්ගෙන් නිදහස්‌ වුවද අපගේ සංස්‌කෘතික පුනරුත්පත්තිය සිදු වූයේ 1956 න් ඇරඹුණු දේශපාලන යුගයත් සමඟය. ඉනික්‌බිති එයද වෙනස්‌ වෙමින් දේශපාලන හා ආර්ථික කැළඹීම් මතු වූ හෙයින් සාහිත්‍යය මෙන්ම රට තුළද අර්බුද වැඩුණි. එහි දුෂ්ට කූට ප්‍රාප්තිය සිදුවන්නේ වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය උත්සන්න වීමත් සමඟය.

තිස්‌ වසරක්‌ ඉක්‌මවූ ඒ වියරු ත්‍රස්‌තවාදය පරදවා රට එක්‌ සේසත් කළ නූතන පාලකයා ලෙස මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා ඉතිහාසයට එක්‌ව සිටිනු පමණක්‌ නොව ජාතික හා සංස්‌කෘතික නිදහසක නව අපේක්‍ෂාවන් සියලු ජාතීන්ගේ හදවත් තුළට කාන්දු කළ අභීත නායකයා ලෙසද ඔහු ගෞරවයට පාත්‍රව සිටියි.

ත්‍රස්‌තවාදයේ පීඩනයට ලක්‌ව සිටි ජනතාවගේ භෞතික ජීවිත ගොඩනැඟීම මෙන්ම ඔවුන්ගේ සංස්‌කෘතික අධ්‍යාත්මය සුවපත් කිරීමද අද රට මුහුණදී සිටින අභියෝගයයි. දේශපාලන ක්‍ෂේත්‍රයෙහි මෙයට සැලසුම් සකස්‌ වුවද සංස්‌කෘතික ක්‍ෂේත්‍රයෙහි එය ඉතා දුර්වල බව අපගේ හැඟීමයි. නැගෙනහිර නවෝදය නමැති සංවර්ධන සැලසුම් මේ රටට අලුත් දියුණුවක්‌ උදා කළ හැකිය. ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විවේචන තිබුණත් ඒවා සඳහා රජය ප්‍රමුඛතාවක්‌ ලබාදී තිබෙන බව අප පිළිගත යුතුය.

සංස්‌කෘතික ක්‍ෂේත්‍රය දෙස බලද්දී නම් අපට කිවහැක්‌කේ එය ඉතා මන්දගාමී එකක්‌ බවයි. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්වුවත් ඒවායේ ප්‍රතිඵල රටට දැනී තිබේද? අද අප කතා කරන සාහිත්‍ය තේමාව ගත හොත් සංස්‌කෘතික දෙපාර්තමේන්තුවට ඒ සඳහා සාධනීය සැලැස්‌මක්‌ ඇති බවක්‌ නොපෙනේ. දේශපාලන නිදහසට සාපේක්‍ෂව රටට ලැබී තිබෙන සංඥව හා නව අපේක්‍ෂාවන් සංස්‌කෘතික කලා ක්‍ෂේත්‍රවල නැත. එයට වගකිව යුතු නිලධාරී තන්ත්‍රය නම් විරාජමානව සිටිනු පෙනේ.

අප වැඩි ඈතක යා යුතු නැත. ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය දැන් ආරම්භවී තිබේ. ඒ වෙනුවෙන් සාහිත්‍ය කලා ක්‍ෂෙත්‍රවල හෝ පිබිදීමක්‌ ඇතිවී තිබේද? අමාත්‍යාංශය ඒ වෙනුවෙන් නිකුත් කල ගම්භීර ආරාධනා පත්‍රයෙහි හෝ විස්‌තර පත්‍රිකාවේ හෝ එකම සාහිත්‍යකරුවකුගේ හෝ නමක්‌වත් සඳහන්ව නැත. සංස්‌කෘතික ඇමැතිවරුන් දෙපොලක්‌ සමඟ වෙනත් ඇමැතිවරුන් දෙදෙනෙක්‌ සාහිත්‍ය සභාව හොබවන බවත් දේශනේතෘ වැනි සම්මාන පිරිනැමෙන බවත් දැක්‌වේ. දේශනේතෘ යනු දේශය මුදාගත් නායකයකුට පිsරිනැමිය යුතු සම්මානයකි. සාහිත්‍යකරුවාද දේශයක නෙත් පහන් කරවන හෙයින් ඒ නමින් සම්මාන පුදන්නට යන්නේදැයි අපි නොදනිමු. හොඳයි එසේ නම් එයට පසසමු.

අනෙක්‌ කරුණ නම් මෙම ජාතික උළෙලෙහි දෙමළ සාහිත්‍ය හා සංස්‌කෘතික අංග අඩංගු වී තිබේද? ගොඩගේ සම්මාන උළෙලෙහි නම් දෙමළ සාහිත්‍යවේදීන් ඇගැයීමක්‌ කරයි. එහෙත් අපගේ සංස්‌කෘතික බලධාරීන්ට එය අමතක වී තිබේ. නැතහොත් අමතක කර තිබේ. පොලොන්නරුව උළෙලේ චිත්‍රපට වින්දන සඳහා විශේෂ ඉඩක්‌ සපයා තිබීමද සාහිත්‍ය සඳහා කැපවූ අවස්‌ථාව සාහිත්‍ය රසිකයාට අහිමි කිරීමකි. සාහිත්‍ය උළෙලකදී මුල් විය යුත්තේ සාහිත්‍යය හා සාහිත්‍යකරුවාය.

කොහොමටත් අපගේ සංස්‌කෘතික බලධාරීන්ට සාහිත්‍යයට වඩා අනෙක්‌ හැම දෙයක්‌ම වැදගත්ය. සාහිත්‍යකරුවා හා සාහිත්‍ය ඔවුන්ට නොවැදගත්ය. පොලොන්නරුවේ සාහිත්‍ය උළෙල පවත්වන සංස්‌කෘතික අමාත්‍යාංශය අඩුම තරමින් තමන් යටතේ තිබෙන සාහිත්‍ය අනුමණ්‌ඩලයට පවා එහි කාර්ය භාරයක්‌ දී නැත. අනුමණ්‌ඩල සභාපතිවරයා මේ ගැන කිසිවක්‌ නොදන්නා බවද පවසා තිබිණි.

සාහිත්‍ය අනුමණ්‌ඩලයත් කලා මණ්‌ඩලයත් විසින් කළ යුතු කාර්ය භාරය සංස්‌කෘතික ලේකම් භාරයට පවරා ගෙන සාහිත්‍ය උළෙල දේශපාලන උළෙලක්‌ම බවට පත් කිරීම නම් අමනෝඥ ක්‍රියාවක්‌ බව අප කිව යුතුය. ජාතික සාහිත්‍ය කලා උළෙල පොලොන්නරුවට රැගෙන ගිය පමණින්ම එය ජාතික හෝ සංස්‌කෘතික උළෙලක්‌ නොවේ. කොහොඹ කංකාරී සූනියම් රෑ එළිවන තුරු පැවැත්වීමෙන් වුවද මේ වර්ගයේ සංස්‌කෘතික කලා ආතුරයන් සුවපත් කළ හැකිද?

ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය හුදී නිලධාරිවාදයට යටවූ දේශපාලන සැණකෙළියක්‌ බවට පත්කර දමා සාහිත්‍යයට හා සාහිත්‍යධරයන්ට අවමන් කිරීමට ජනතාවගේ මුදල් වැය කළ යුතු නැත. අලුත් ජාතික නිදහසට සරිලන සංස්‌කෘතික සංවර්ධනයක්‌ ඇති කිරීමට නිරෝගී මනසක්‌ හා ජාතික වගකීම් තේරුම් ගත් සංස්‌කෘතික මෙහෙයුමක්‌ සිදු කිරීමට දැන් ජනාධිපතිවරයාටම සිදු වී ඇති බව අපගේ අවබෝධයයි. මන්ද යත් හමුදා මෙහෙයුම් සාර්ථකව නිම වූ ජනාධිපතිවරයාගේ සංස්‌කෘතික මෙහෙයුම් තවමත් උපන්ගෙයි ලැගීමය. එනිසා සංස්‌කෘතික අමාත්‍යාංශයට හිසක්‌ ලබාදීමේ අවශ්‍යතාව අපි අවධාරණය කරමු.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v