ඔබේ ඇසින් දකිනු මැනවි සොබා අසිරි



මේ උදාවී ඇත්තේ සංචාරකයන්ගේ වසන්ත සමයයි........

ලොව පුරා ශීSත රටවල වෙසෙන සංචාරකයෝ සැප්තැම්බරයේ සිට තම රටවලට උදාවන ශීත කාලය මග හැරීමට උණුසුම් රටවල් සොයා යැම වාර්ෂික චර්යාවේ පුරුද්දක්‌ කොට ගෙන සිටිති. ඔවුන් බොහෝ විට සංචාරය සඳහා තෝරා ගන්නේ ඝර්ම කලාපයේ පිහිටි, හතරවටින්ම මුහුදින් වට වූ සොබාව සෞන්දර්යයයෙන් පිරිපුන් උණුසුම් දූපත්ය..... කාලාන්තරයක්‌ තිස්‌සේ සංචාරකයන් මෙසේ සංචාරය සඳහා තෝරා ගත් දූපත් අතර ශ්‍රී ලංකාවට ද හිමි වන්නේ ප්‍රමුඛස්‌ථානයකි.

ඊට හේතු ගණනාවකි. රට වට කොට ඇති මුහුදු තීරයේ විවිධත්වය එක්‌ හේතුවකි. උණුසුම් නොගැඹුරු මුහුදු තීරය, සුදෝ සුදු පිරිසිදු වැල්ලෙන් පිරි වෙරළ තීරය මෙන්ම ලංකාව වටාම පිහිටි දුර්ලභ ගනයේ කොරල් පර ද ඊට හේතු වූ අයුරු අපට මතකය.

ඒ හැරුණු විට සංචාරකයන්ගේ නෙත් සිත් තදින් ඇද පැහැරගත් අනෙක්‌ කාරණය වන්නේ ලංකාවේ ස්‌වභාවික වන උයන්ය. ලොව තිබෙන වනාන්තර විශේෂවලින් ගණනාවක්‌ම ලංකාවේ තිබීම නිසාත් ඒ වනාන්තරවල ජීවත් වන සතා සීපාවා නිසාත් සංචාරකයෝ වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාව කරා යොමු වන්නට පටන් ගත් බව අපට මතකය. ඒ හැරුණු විට මේරටේ අතීත ශ්‍රී විභූතිය මේයෑයි විදහාපාන පෞරාණික උරුමයන් හා පුරාවිද්‍යාත්මක නශ්ඨාවශේෂ දැක මවිත වන්නටද සංචාරකයෝ කැමැතිය.

මා මේ කී සියල්ල මල් පල ගැන්වුණු ශ්‍රී විභූතියෙන් පිරි සංචාරක කර්මාන්තයක්‌ මේ රටේ පැවතියේ 1970 දශකය වන විටය. 80 දශකය වන විට මේ රටේ සංචාරක ව්‍යාපාරය සෙමෙන් සෙමෙන් දෙදරා ඉරි තලා පුපුරා යන්නට පටන් ගත්තේ 1983 කළු ජූලියත් සමගම රටම විනාශයේ මකර කට වෙත තල්ලු කරගෙන ගිය උතුර නැගෙනහිර ත්‍රස්‌තවාදී යුද්ධයත් සමඟය.

ඒ විනාශකාරී යුද්ධයරට පුරා පැතිර යනවාත් සමගම "යුද්ධයේ කළු දුමාරය" අප රටට ඉහළ ආකාශය පුරා මහ වියනක්‌ ලෙස පැතිර යන්නට පටන් ගත්තේය. ඒ දුමාරය ශ්‍රී ලංකාව නමැති අති සුන්දර දූපතෙහි ආශ්චර්යවත් චමත්කාරය ලෝකයෙන් වසං කර ගනු ලැබීය. මේ රටේ සුන්දරත්වයෙන් අංශු මාත්‍රයක්‌ වත් විදේශීය සංචාරකයකුගේ නෙත සිත ගැටෙන්නට ඉඩ නොදී වළකා ලනු ලැබුවේය.

සංචාරකයෝ ශ්‍රී ලංකාව නමැති දිවයින දෙස නොබලාම මාලදිවයින් කරා ඇදෙන්නට පටන්ගත්හ. මැඩගස්‌කරය කරා යන්නට පටන් ගත්හ. තායිලන්තය, වියට්‌නාමය, පිලිපීනය, සිංගප්පූරුව හෝ මැලේසියාව කරා යන්නට පටන් ගත්හ.

වසර 30 කට ආසන්න කාලයක්‌ තිස්‌සේම නොකඩවා සිදු වුණ දෙය මෙයයි.......

සංචාරක ව්‍යාපාරයට නව ඇරඹුමක්‌ පමණක්‌ නොව, සමස්‌ත ශ්‍රී ලංකාවේ ම සාමයට හා සංවර්ධනයට අලුත් ඇරඹුමක්‌ තබමින් නව ලොවකට රට යොමු කරවමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් පසුගිය මැයි මාසයේ 18 වැනිදා ත්‍රස්‌තවාදයට නැවතීමේ තිත තැබීමත් සමගම සියල්ල වෙනස්‌වී ගියේය.

යුද්ධයේ අමිහිරි වෙඩිහඬ හා මර අඳෝනා අප සවන් පත් තුළින් වියෑකී යන්නට පටන් ගත්තේය. රටට ඉහළින් මහ වියනක්‌ව පැවැති අපවාදයේ අප්‍රසාදයේ හා අපකීර්තියේ කළු දුමාරය ටිකෙන් ටික තුනීවී ගොස්‌ ලංකාව නමැති මේ සුන්දර බිම් කඩෙහි සුන්දරත්වය ලෝකයට නිරාවරණය වන්නට පටන් ගත්තේය. ඉන්දියන් සාගරයේ පුංචිම පුංචි කඳුළු බිංදුව ලෙස විරුදාවලි ලත් ශ්‍රී ලංකාව නමැති මේ පුණ්‍ය භූමියේ අභිමානය හා සෞන්දර්ය ලොවට පෙනෙන්නට පටන් ගත්තේය.......

දැන් උදාවී ඇත්තේ ශ්‍රී ලංකාව දෙස නොබලාම ඊට පිටුපා මාලදිවයිනට, තායිලන්තයට, සිංගප්පූරුවට ඇදී ගිය සංචාරකයෝ නැවත වරක්‌ ශ්‍රී ලංකාව දෙස හැරී බලන්නට පටන් ගන්නා කාලයයි.

එහෙයින් මේ උදාවී ඇත්තේ සංචාරකයන්ගේ පමණක්‌ නොව, සංචාරකයන්ට පහසුකම් සලසන ලොකු කුඩා ව්‍යාපාරිකයන්ගේ ද වසන්ත කාලයයි...

එක්‌ අතකින් ලෝකයේ වෙසෙන සංචාරකයෝ ඇඟ මැලි කඩමින් දෑස පිස දමමින් ලංකාව දෙස බලන්නට පටන් ගෙන ඇත. ලංකාවේ දහසකුත් එකක්‌ සංචාරක පුරයන්, පාරාදීසයන් කරා නෙත් හෙළන්නට පටන් ගෙන ඇත..... අනිත් අතින් ලංකාවේම වෙසෙන දේශීය සංචාරකයෝ සැකක්‌ බියක්‌ නැතිව පාරට බැස තැන තැන ඇවිදගොස්‌ විනෝද වන්නට පටන් ගෙන ඇත.....

විදේශීය සංචාරකයෝ ලංකාව කරා ඇදෙන්නට පටන්ගත්තේ ඉබි ගමනෙනි. වසර තිහකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ඇදී ගිය යුද්ධයේ අමිහිරි මතකයන් එක පාරින් අමතකකර හරින්නට අකමැති ඇතැම් රටවල් තවමත් ලංකාව කරා සිය සංචාරකයන් එවනු ලබන්නේ චකිතයකිනි...... එහෙත් රුසියාව, චීනය, ජපානය ආදී පෙරදිග රටවල් බියෙන් සැකෙන් තොරව ලංකාව දෙස බලන්නට පටන් ගෙන ඇත... තවමත් අප රටේ සුන්දරත්වය උකහා ගනිම්දෝ නොගනිම්දෝ ගැන චකිතයෙන් යුතුව ගාටන්නේ ඇතැම් යුරෝපීය හා ස්‌කැන්ඩිනේවියානු රටවල් ය. එහෙත් සැලකිය යුතු සංචාරකයන් පිරිසක්‌ මේ වනවිටත් විශ්වාසයෙන් යුතුව ලංකාව කරා පැමිණෙන්නට පටන් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

ලංකාවේ අද වන විට වඩාත්කැපී පෙනෙන්නට පටන් ගෙන ඇති කාරණය වන්නේ දේශිය සංචාරකයන්ගේ උනන්දුවය. මේ ගෙවී යන අගෝස්‌තු පාසල් නිවාඩු කාලය තුළ ලංකාවේ දේශීය සංචාරකයන්ගේ ක්‍රියාකාරකම් වඩ වඩාත් කැපී පෙනිණි.

අප රටේ දේශීය සංචාරකයෝ පසුගිය අවුරුදු 30 ක කාලය තුළ වඩාත්ම සංචාරය කිරීමට කැමැත්ත දැක්‌වූයේ ශීත දේශගුණයක්‌ සහිත කඳුරට ප්‍රදේශවලය. නැත්නම් අනුරාධපුර, පොළොන්නරුව, කතරගම ආදී පැරැණි රාජධානි, පැරැණි ආගමික ස්‌මාරක බහුල ප්‍රදේශවලය. ඒත් නැතිනම් දකුණු ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලය.... දුර්ලභ වන සතුන් බහුල වන උයන්වල හා ස්‌වාභාවික වනාන්තරවල සංචාරය කිරීම බොහෝ දේශීය සංචාරකයන්ගේ න්‍යාය පත්‍රවල තිබුණේම නැති තරම් ය.

එහෙත් පසුගිය මාස දෙක තුන තුළ මේ දේශීය සංචාරකයන්ගේ ද විශාල වෙනසක්‌ දක්‌නට ලැබිණි. ඔවුන්ද මාස දෙක තුළ කිසිදු සැකක්‌ බියක්‌ නැතිව නිදහසේ නැගෙනහිර පළාත්වල වෙරළබඩ සංචාරක බිම්වල හා වන උද්‍යානවල පිරෙන්නට පටන් ගත්හ.....

පසුගිය මාසය ත්‍රිකුණාමලයට නම් විවේකයක්‌ තිබුණේම නැති මාසයකි. ත්‍රිකුණාමලයේ හා නිලාවැලි ප්‍රදේශවල සංචාරක නවාතැන් හා ආණ්‌ඩුවේ සියලු නිවාඩු නිකේතන මේ දේශීය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගියේ වසර විසි තිස්‌ ගණනකට පසුවය.

ත්‍රිකුණාමලයේ පමණක්‌ නොව පොතුවිල්, ආරුගම්බේ උල්ල ප්‍රදේශවලද කල්කුඩා, පාසිකුඩා අලංකාර සාගර උද්‍යාන සංචාරක පාරාදීසයන් පුරාද පසුගිය මාසයේ පිරී සිටියේ අපේ දේශීය සංචාරකයෝය.

විදේශීය සංචාරකයෝ පැමිණියත් ඉන් බොහෝ දෙනකු වඩාත්ම විනෝද වන්නට කැමැති ප්‍රදේශය වන්නේ වෙරළ තීරයයි. සාගර ජලයේ හා වෙරළ තීරයේ අප්‍රමාණ සුවය විඳිනවාට අමතරව එහි තිබෙන නිදහස භුක්‌ති විඳීමට ද ඔවුහු ප්‍රිය කරති.

ඒ එක්‌ පිරිසකි....

එහෙත් ඔය අතර ඉතා සීමිත පිරිසක්‌ ප්‍රිය කරන්නේ මේ රටේ වන දිවියට හා වන සත්ව සම්පතේ සුන්දරත්වයටය.

යුද්ධය පැවැති පසුගිය වසර ගණනාවක කාලය පුරාම මේ රටේ අග්‍රගන්‍ය වනසත්ව උයන් ලෙස සැලකෙන යාල මහ වනය, විල්පත්තු වන සත්ව පාරාදීසය, කුමන කුරුළු රජ දහන. සෝමාවතිය අභය භූමිය, වස්‌ගමුව වන රජදහන ඇතුළු උතුරු නැගෙනහිර සියගණනක්‌ රක්‍ෂිත තිබුණේ මහත් පාළුවට ගොස්‌ය. මේ රටේ වීරෝදාර යුද සෙබළුන්ට හා විශේෂ කාර්ය බළකායට පින් සිදුවන්නට අද ඒ වන රජදහන් එකින් එක මහජනතාව වෙත විවෘත වෙමින් තිබෙයි. ඒවායේ තිබුණු මරඋගුල් හා බාධාවන් එකින් එක ඉවත් වෙමින් තිබේ.

දැන් උදාවී ඇත්තේ නැවතත් අපේම වන රජ දහන් වෙත බියකින් සැකයකින් තොරව අපට ආපසු පියමං කළ හැකි යුගයයි. අද අපි භුක්‌ති විඳිමින් සිටින්නේ එම නිදහසයි.

එදා යාල වන උයනේ එක්‌ පෙදෙසක, මින්නේරියේ වැව් තාවුල්ලේ ප්‍රදේශයක සෝමාවතියේ මග දෙපස, වස්‌ගමුවේ පාර දෙපස හෝ උඩවලවේ සිට වනසතුන් නැරඹූ අපට දැන් ඊට එහා යැමට මග පෑදී ඇත. යාල මහ වනයේ ගැඹුරටම ගොස්‌ එහි සිටින දුර්ලභම ගනයේ සුවිශේෂී සිවුපාවා වන දිවියා දැක බලා ගැනීමට ඉඩකඩ පෑදී තිබීම කොතරම් වාසනාවක්‌ද...... එහෙත් ඒ වාසනාව උදාවන්නේ කෙනෙකුට ලෝකාන්තයෙන් පහළ මීදුමෙන් තොරව දැක බලා ගැනීමට ඉඩ ලැබෙනවාක්‌ වැනි දුර්ලභ දසුනක්‌ ලෙසය.

ලංකාවේ සුවිසල්ම මහ වන රජ දහන වන විල්පත්තුවද දැන් ටිකෙන් ටික විශ්වාසය තහවුරු කර දෙන්නට උත්සාහ කරන බව පෙනෙයි.. එහි ඇතුළු වීමට සාමාන්‍ය ජනයාට තිබූ මර උගුල් හා බාධාවන් ඉවත් වෙමින් තිබෙයි..... එහි වෙසෙන සතා සීපාවා ද දැන් විශ්වාසයකින් යුතුව හිස ඔසවා කන් යොමා හාත් පස හැරී බලන බව පෙනෙයි.

ඉදින් මේ උදාවන්නේ සංචාරකයන්ගේ වසන්ත සමය නොවේද........

බුලිත ප්‍රදීප් කුමාර

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v