ගාල්ලේ සිට දුම්රියෙන් ඉන්දියාවට ගිය අපේ රොබට්‌ අයියා

ලලිත් චාමින්ද ගාල්ල විශේෂ

රොබට්‌ අයියාගේ උපන් ගම ගාල්ලේය. ඔහු ගාල්ල සිමෙන්ති කම්හලේ රැකියාවට යන්නේ 1969 වසරේදීය. එවකට රොබට්‌ අයියා කඩවසම් තරුණයෙකි. ටික දිනකින්ම රොබට්‌ අයියාට සිමෙන්ති කම්හලේ විදුලි කාර්මිකයකු ලෙස උසස්‌වීමක්‌ ලැබෙන්නේය.

මේ අතර රොබට්‌ සිමෙන්ති කම්හලේ වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කළේය. වෘත්තීය සමිති ප්‍රශ්නයක්‌ මුල්කරගෙන රොබට්‌ අයියාට පුත්තලම සිමෙන්ති කම්හලට මාරුවීමක්‌ ලැබෙන්නේ මේ අතර තුරේදීය. කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ තුන්වන අදියරේ කටයුතු ඒ වන විට ආරම්භ වී තිබිණි.

ඔහු සිය කැමැත්තෙන්ම මාරුවීමක්‌ ඉල්ලා කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ රැකියාවට යන්නේය. ඒ 70 දශකයේ මුල්භාගයේදී පමණි. කන්කසන්තුරේදී රොබට්‌ අයියාට දෙමළ මිතුරන් දැන හඳුනා ගැනීමට හැකිවූයේය.

දෙමළ යාලුවෝ ගොඩක්‌ හිටියා. ඒ අය සමග අපි සතුටින් සාමයෙන් ගත කළා. මට මතක හැටියට ඒ කාලේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ දෙමළ අය හත්දහසක්‌ විතර හිටියා. සිංහල අය හිටියේ එකසිය හැටනමයක්‌ වගේ. අපිට නැවතිලා ඉන්න නේවාසිකාගාර තිබුණා. එක බත්පත උයාගෙන කලා දෙමළ සහෝදරවරු සමග ඉතා සමගියෙන් තමයි හිටියේ.

රොබට්‌ අයියා අතීත සිද්ධීන් සිහිපත් කරමින් සිය මතකය අවදි කරන්නේය.

රොබට්‌ අයියා කන්කසන්තුරේ සිට මාසයකට දෙතුන් සැරයක්‌ සිය ගම් ප්‍රදේශය වන ගාල්ලට පැමිණෙන්නේය. ඒ දුම්රියෙනි. ඔහු ආපසු කන්කසන්තුරේ බලා යන්නේද දුම්රියෙනි. මේ නිසා රොබට්‌ අයියාට උතුරු දුම්රිය මාර්ගය හොඳට හුරුපුරුදුය.

දකුණේ රොබට්‌ අයියලා මෙන්ම උතුරේ නඩේසන්ලා, දොරේඅප්පලාද එකල දුම්රියේ ගමන් කළේ දැඩි සහෝදරත්වයෙනි. රොබට්‌ අයියාට දුම්රිය ගමන හරි විනෝදජනක ගමනක්‌ වූයේය. තල්රුප්පා අතරින් යාල්දේවි, දුම්රිය ගමන් කළේ කඟවේනකු ලෙසිනි.

ඒ කාලේ දෙමළ මිත්‍රයෝ සමග අපි ඇති පදම් තල් රා බොනවා. ඒ අය තමයි අපිට තල් රා ගෙනවිත් දෙන්නේ. ඒ අයගේ නිවෙස්‌වල තියෙන උත්සවවලටත් යනවා. තෛපෝංගල් උත්සවය ඒ අය මහ ඉහළින් සමරනවා. ඒ කාලයට මත්පැන් කිසිවක්‌ නිවසට ගේන්නේ නැහැ. ඇත්තටම සිංහල අය වගේ මෙන්ම දෙමළ මිත්‍රයෝද ආගන්තුක සත්කාරවලට මැලිකමක්‌ දැක්‌වූයේ නැත. ඔවුන් ඉතා හොඳින් සිංහල අයට සැලකුවා.

රොබට්‌ අයියා තම දෙමළ මිතුරන් ගැන අප සමග සඳහන් කළේ ඒ ආකාරයෙනි.

ඒ දෙමළ හා සිංහල අය අතර ඒ සහෝදරත්වය සමගිය දිගටම තිබුණා නම් මෙතරම් විනාශයක්‌ සිදුනොවන බව රොබට්‌ අයියාගේ මෙන්ම අපි කාගේත් අදහසයි. රොබට්‌ අයියා උතුරේ ගතකළ අවධියේදී ඔහු මුහුණදුන් ඇතැම් සිද්ධීන් හරිම රසවත්ය. විනෝදජනකය. කිසිදිනක යැමට නොහැකි ගමන් ඔහුට යැමට හැකිවූයේය. එහෙත් ඇතැම් සිද්ධීන් හරි බිහිසුණු ඒවාය.

රොබට්‌ අයියා කන්කසන්තුරේ රැකියාව කරන අතරතුරේ හරි අපූරු ගමනක්‌ ගියේය. රොබට්‌ අයියාට ඒ ගමන නම් කිසිදිනක අමතවන්නේ නැත. ඒ ලංකාවේ සිට, දුම්රියෙන් ඉන්දියාවේ මදුරාසියට යැමය. ඉන්දියාවට ලංකාවේ ඉඳලා දුම්රියෙන් යන්නේ කොහොමද? මේ ගැන කියූවිට දැන් කාලයේ සිටින බොහෝ දෙනකු අසන ප්‍රශ්නයකි. ඇතැමුන්ට මෙය අප්‍රභංශයකි.

මැදවච්චියෙන් තමයි ඒ කාලේ මම ඉන්දියාවේ මදුරාසියට යන්න ටිකට්‌ එක ගත්තේ, තලෙයිමන්නාරම් කෝච්චිය කොළඹින් තමයි පිටත් වන්නේ, මැදවච්චියෙන් හරවලා තමයි තලෙයිමන්නාරමට යන්නේ, මම දුම්රියෙන් කන්කසන්තුරේ ඉඳලා මැදවච්චියට ආවා. එතනින් නැග්ගා තලෙයිමන්නාරම් කෝච්චියට, මන්නාරම ජැටියට ගියා.

එතන ඉඳලා දුම්රියේ ඉඳලා එන මගීන් රැගෙන යන්න ලොකු බෝට්‌ටුවක්‌ තිබුණා. ඒක පොඩි නැවක්‌ වගේ. අපි ඒ බෝට්‌ටුවට නැගලා ඉන්දියාවේ ධනුෂ්කොඩිය ජැටියට ගියා. එතන ඉඳලා මදුරාසි කොච්චියෙන් මදුරාසියට ගියා. මදුරාසියට යන්න පැය දෙකහමාරක්‌ තුනක්‌ විතර ගියා. ලංකාවේ වෙළෙඳුන් හරියට බඩු අරගෙන ඉන්දියාවට ගියේ ලංකාව හා ඉන්දියාව අතර තිබූ මේ ඒකාබද්ධ දුම්රිය සේවයෙන්. රොබට්‌ අයියා දුම්රියෙන් ඉන්දියාවට ගිය ආකාරය අපිට පැවසුවේ ඒ ආකාරයෙනි.

සැබවින්ම මෙය හරි අපූරු ගමනකි. රොබට්‌ අයියා පවසන ආකාරයට. තලෙයිමන්නාරම් ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්‌වා දුර සැතපුම් විස්‌සකි. අනාදිමත් කාලයක සිට මන්නාරම් ජැටිය අපේ නැව්තොටකි.

අපිට විනාඩි හතළිස්‌ පහකටත් වැඩි කාලයක්‌ විතර ගියා මන්නාරම් ජැටියේ සිට ධනුෂ්කොඩිය දක්‌වා බෝට්‌ටුවෙන් යන්න. මදුරාසියේ වෙළෙන්දකු= මගෙන් ඇසුවා නිකන්ද ආවේ ලංකාවේ බඩු අරගෙන ආවේ නැද්ද කියලා. මම ඉන්දියන් සාරි, ඔරලෝසු ඇඳුම් පැළඳුම්, ඉන්දියන් සෙරප්පු අරගෙන ආවා. ඇත්තටම මේ ගමන යන්න තමයි මට අවශ්‍ය වුණේ. එය හරි අපූරු ගමනක්‌.

රොබට්‌ අයියා එම ගමනේදී තමන් මුහුණදුන් අත්දැකීම් විස්‌තර කරන්නේය. රොබට්‌ අයියා මේ ගමන යන්නේ 1979 වසරේදී පමණය. ඉක්‌බිති ඔහු ගාල්ල දුම්රිය ස්‌ථානයට පැමිණ දුම්රියෙන් ඉන්දියාවට යැම සඳහා ටිකට්‌ පත් නිකුත් කරන්නේ දැයි කියා සොයා බැලුවේය.

ගාල්ල දුම්රිය ස්‌ථානයෙනුත් ලංකා ඉන්දියා ඒකාබද්ධ දුම්රිය සේවාවෙන් ඉන්දියාවට යන්න ටිකට්‌පත් නිකුත් කළා. මගේ මතකයේ හැටියට 79 දී විතර ටිකට්‌ පතක ගාස්‌තුව වුණේ රුපියල් අසූහතරක්‌ වගේ. රොබට්‌ අයියා එසේ පවසන්නේය.

තලෙයි මන්නාරම් කෝච්චිය එකල බොහෝ අය හැඳින්වූයේ ඉන්දියන් කෝච්චිය යනුවෙනි. සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුම යටතේ ලංකාවේ පුරවැසිභාවය අහිමිවූවන් යළි ඉන්දියාව බලා ගමන් කළේ මෙකී ඒකාබද්ධ දුම්රිය සේවාවෙනි. එකල ලංකාවේ වෙළෙඳුන් ඉන්දියාවට වෙළෙඳ ද්‍රව්‍ය රැගෙන ගියේද මෙම ඒකාබද්ධ දුම්රිය සේවාව නිසාය.

අපේ එනසල්, කරාබු නැටි, පොල්තෙල්, සබන් ආදී භාණ්‌ඩ ලංකාවේ වෙළෙඳුන් ඉන්දියාවට රැගෙන ගියේ මේ දුම්රිය සේවාව මගින්, බඩු පොදි බැඳගෙන තමයි ඒ අය ගියේ. සිංහල, දෙමළ, මුස්‌ලිම් වෙළෙඳුන් ඒ අතර හිටියා. ඉන්දියාවෙන් ඒ අය ඉන්දියන් සාරි, සුවඳ විලවුන්, ඉන්දියන් සරම්, රිදී සෙරෙප්පු මෙරටට රැගෙන ආවා. ඉන්දියන් සෙරප්පු තමයි ඒ කාලේ ගොඩක්‌ අය දැම්මේ. ගාල්ල මාතර වෙළෙඳුන්ද මට මේ ගමනේදී හමුවුණා.

රොබට්‌ අයියා මෙකී දුම්රිය ගමනේ අතීත සිද්ධීන් සිහිපත් කරන්නේය.

එකල මන්නාරම් තොටේ රේගු ගොඩනැගිල්ලක්‌ද තිබී ඇති අතර වෙළෙඳ ද්‍රව්‍ය සඳහා බද්දක්‌ අය කළ බවද සඳහන් වේ. අදත් මන්නාරම් ජැටියේ මෙකී රේගු ගොඩනැගිල්ලේ නෂ්ඨාවශේස දැකිය හැකි බව පැවසේ.

මෙම ඒකාබද්ධ දුම්රිය සේවාවෙන් ගමන් කිරීම සඳහා නිකුත් කළ ටිකට්‌පත් හැඳින්වූයේ එස්‌. අයි. ආර් යනුවෙනි. (SෂR) එහි තේරුම සීලෝන් ඉන්දියන්, රේල්වේ කියාය.

81 දී විතර මම රාජකාරි කළේ පොල්ගහවෙල දුම්රිය ස්‌ථානයේ. මුද්‍රණය කරපු ටිකට්‌පත් නෙවෙයි ඒ කාලයේ නිකුත් කළේ. ටිකට්‌ එක ලියලා තමයි දුන්නේ. පොල්ගහවෙල ඉඳලා ඉන්දියාවට යන්න ටිකට්‌ එකක වටිනාකම රුපියල් එකසිය ගණනක්‌ වගේ තමයි මට මතක. 81 දිත් මම ඉන්දියාවේ රමේෂ්වරම්, මදුරි, තිරුතිනාපලේ දක්‌වා ටිකට්‌ පත් නිකුත් කළා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සහකාර වාණිජ්‍ය අධිකාරි එස්‌. ආර්. ඒ අබේරත්න මහතා එසේ පවසන්නේය.

මන්නාරම් ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්‌වා ගමන් කරන බෝට්‌ටුව තට්‌ටු දෙකකින් යුක්‌ත විය. මේ නිසා ටිකට්‌පත් නිකුත් කිරීමේදී පළමු තට්‌ටුවේ හා දෙවන තට්‌ටුවේ ගමන් කිරීමේදී ටිකට්‌පත්වල මිල ගණන් වෙනස්‌විය. එකල ලංකා ඉන්දියා එකාබද්ධ දුම්රිය මාර්ගයෙන් ඉන්දියාවට යැම සඳහා ගාල්ල මරදාන, පොල්ගහවෙල, මැදවච්චිය, නුවර ආදී දුම්රිය ස්‌ථානවලින් මෙකී ටිකට්‌ පත් නිකුත් කෙරිණි.

ඒ කාලයේ තලෙයිමන්නාරම් දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්‌ථානයේ පැයක්‌ විතර නතර කරලා තියෙනවා. දඹදිව වන්දනාවේ යන නඩ මඩු පල්ලිය වැඳපුදා ගන්න යන අය ගමන් කරන්නේ මේ දුම්රියේ තමයි. පොල්ගහවෙල හරහා තමයි මේ දුම්රිය ගමන් කරන්නේ. ඒ කාලයේ සිරිමා ශාස්‌ත්‍රි ගිවිසුම යටතේ ලංකාවේ පුරවැසිභාවය අහිමි ද්‍රවිඩ ජාතිකයන් ඉන්දියාවට ගියේ මේ ඒකාබද්ධ දුම්රිය සේවාවෙන්.

මට මතකයි ඒ කාලයේ උඩරට මැණිකේ දුම්රියෙන් තමයි මේ අය පොල්ගහවෙලට එන්නේ. මෙතනදි තමයි මේ අය තම ඥාති හිතවතුන්ගෙන් වෙන්වන්නේ. ඒ අයට සමුදෙන්නේ එය හරිම සංවේදී අවස්‌ථාවක්‌. දෙමළ පවුල්වල අයගේ නෑදෑයින් මරලතෝනි දිලා තමයි හඬන්නේ.

එස්‌. ආර්. ඒ. අබේරත්න අතීත මතකය අවදිකරමින් එසේ කීවේය.

අසූතුන වසරේදී ඇවිලීගිය කලුජුලියත් සමග මේ සියලූ කටයුතු නතරවිය. කොටි ත්‍රස්‌තවාදින් දුම්රිය මාර්ග මෙන්ම දුම්රිය බෝම්බ තබා විනාශ කොට දැමූහ. උතුරන් දකුණත් අතර පැවති සබඳතා නැතිවී ගියේය. අසූතුනෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ කෝච්චියක්‌ ධාවනය වූයේම නැත. රොබට්‌ අයියා උතුරේ යුද ගිනි දැල් ඇවිලී යන කාලයේදී රැකියාව කළේ ද කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේය. වෙනදා දුම්රියෙන් ගමන් කළ රොබට්‌ අයියාට සිය සේවා ස්‌ථානය දක්‌වා ගමන් කිරීමට සිදුවූයේ බසයෙනි.

83 වන විට යුද්ධය ඉතා දරුණු වුණා. මම 83 දී ගාලු ආවා මාස දෙකක්‌ විතර ගෙදර හිටියා. රැකියාවට ගියේ නැහැ. රජයෙන් නිවේදනයක්‌ නිකුත් කරලා තිබුණා සිංහල අයට යාපනයේ කොටුවට එන්න කියලා. උපනන්ද කියලා මගේ යාලුවෙක්‌ හිටියා. අපිත් එක්‌ක වැඩකරපු. ඒ කාලයේ කොච්චියක්‌ තිබුණා. කන්කසන්තුරේ සිට යාපනය දක්‌වා. ඒක වතුර කෝච්චියක්‌.

උපනන්දත් මේ කෝච්චියේ ගමන් කොට තිබෙනවා. කොටි ත්‍රස්‌තවාදීන් දුම්රිය මාර්ගය බෝම්බ තබා පුපුරුවා හැර දුම්රිය නතර කොට සිංහල අය හා දෙමළ අය දෙපැත්තකට දමා තිබෙනවා. සිංහල අය වෙඩි තබා මරා දමලා.

උපනන්ද දුම්රියෙන් පැනලා ඒ අසල තිබූ කාණුවකට බැහලා කාණුවේ දිගේ ගොස්‌ දෙමළ අයකුගේ නිවසකට ගොඩවැදී මාව බේරාගන්න කියලා තියෙනවා. ඒ අය උපනන්ද ඌරු කොටුවක සඟවා තබාගෙන තමයි උපනන්දගේ ජීවිතය ආරක්‍ෂා කරලා තියෙන්නේ පස්‌සේ පලාලි යුදහමුදා කඳවුරට ගෙනවිත් භාරදී තියෙනවා.

හැම ද්‍රවිඩයකුම කොටි ත්‍රස්‌තවාදියකු නොවන බව සිහිපත් කරමින් රොබට්‌ අයියා එසේ කීවේය.

රොබට්‌ අයියා තම ද්‍රවිඩ ජාතික මිතුරන් සමග තවත් හරි අපූරු ගමනක්‌ ගිය අයෙකි.

ඒ කාලයේ අපේ දෙමළ මිතුරන් යාපනයේ ඉඳලා ඉන්දියාවට බෝට්‌ටුවලින් ගොස්‌ චිත්‍රපට බලලා එනවා. මටත් ආශා හිතුනා මේ ගමන යන්න. මමත් ඉන්දියාවට ගියා දෙමළ යහලුවන් සමග බෝට්‌ටුවකින්. ඊට පස්‌සේ බස්‌ එකේ ගිහින් සංගම්, ගීත් කියන චිත්‍රපට බැලුවා ඒ කාලයේ චිත්‍රපටයක්‌ බලන්න අය කළේ ශත පනස්‌ පහයි. දිලිප්කුමාර්, එම්. ජී. . රාමචන්ද්‍රන්, ගාමිණි පොන්සේකා තමයි මගේ ප්‍රියතම නළුවන් වූයේ රොබට්‌ අයියා එසේ කීවේය.

උතුරේ ද්‍රවිඩ මිතුරන් හා දකුණේ සිංහල මිතුරන් අතර එදා පැවති මේ මිතුදම කඩා සුනු විසුනු කොට දැම්මේ කුරිරු කොටි ත්‍රස්‌තයන් විසිනි. දශක තුනකට පසු අපේ රට දැන් නිදහස්‌, නිවහල් රාජ්‍යයක්‌ බවට පත්ව ඇත්තේය. මේ දිනවල උතුරේ දුම්රිය මාර්ගය යළි ඉදිරිකිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ. ඒ සඳහා ප්‍රවාහන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා දැඩි කැපවීමෙන් කටයුතු කරන්නේය. තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගය යළි ඉදිරිකිරීමේ කටයුතු ඒ සමග ආරම්භ කරන බවට අපිට විශ්වාසය.

රොබට්‌ අයියලා මෙන්ම දකුණේ බොහෝ දෙනකු තලෙයිමන්නාරම් කෝච්චියෙන් යළි මන්නාරම් තොටට යැමට පුල පුලා බලා සිටින්නෝය. මන්නාරම් තොටට පමණක්‌ නොව එදා පැවති ලංකා, ඉන්දියා ඒකාබද්ධ දුම්රිය සේවාව යළි ඩලස්‌ අලහප්පෙරුම මහතා ආරම්භ කරන බවට අපට විශ්වාසය.

විශේෂ ස්‌තුතිය හෙල්ෆ්a ඩී ආයතනයේ චතුර වැලිපිටිය මහතාට

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v