මුතුසම්බා රට පැටවූ මුතුරාජවෙල

වර්තමානයේ කිසි වැඩකට නැතිව ඩෙංගු පමණක්‌ බෝකරන පල්දෝරුවක්‌ වී ඇති මුතුරාජවෙල එදා පිටරටට සහල් සැපයූ මහා වෙල්යායක්‌ බව අතීත තොරතුරු පිරික්‌සා බැලීමේදී මනාව පැහැදිලි වේ. කළු ගඟටත් මහ ඔයටත් මායිම්ව පිහිටි මුහුදු වෙරළේ සිට ඔබ්බට සැතපුම් 2 1/2 ක්‌ පමණ විහිද ගිය මේ සාරවත් ගොහොරුව රාජසිංහයන්ගේ කාලයේ ඉතා සශ්‍රීක කුඹුරු යායක්‌ විය.

මෙහි වගා කළේ මුතුසම්බා නමැති වැඩි වටිනාකමකින් යුත් විශේෂ වර්ගයේ සම්බා වී වර්ගයක්‌ය. ඒ නිසාම මුතුඇට මෙන් සහල් නිපදවන මේ විශාල වෙල් යායට මුතුරාජවෙල යැයි නම් බට බඳින ලදී. මේ වගුරු බිම් නාවල කෝට්‌ටේ හා මුන්වත්තබාගේ පත්තුවේත් පිහිටා ඇති අතර අද කෝට්‌ටේ හා රාජගිරිය යන ප්‍රදේශයන්හි විශාල ප්‍රමාණයක්‌ ගොඩකර ඇත. මේ නිසාම කොළඹට ගංවතුර තර්ජනයකුත් අලුතින් ඇතිවී තිබේ.

පැරැණි යුගයේදී රටේ ඉහත්තා ප්‍රදේශවලින් ගලා යන රොන්මඩ මේ ප්‍රදේශයේ රැඳී භූමිය සරුකරන අතර වී වගාවට මනා පරිසරයක්‌ බිහිකරයි. විදේශිකයන් අපේ රට ආක්‍රමණය කර කොළඹ නගරය කේන්ද්‍රකරගත් පාලනාධිකාරිය පිහිටුවූ අවධියේ මෙහි සරුසාර කෙත්යායන් තිබී ඇත. ක්‍රි.ව. 1518 පමණ වන විට මීගමුවේ සිට කොළඹ දක්‌වා වූ මුතුරාජවෙලේ අක්‌කර 6000 ක්‌ පමණ විශාල කොටස පූර්ණ වශයෙන් වී වගාකර තිබී ඇත. වෙල්පහු ජලය බැස යැම පිණිස කාණු ඇළ මාර්ග ආදියද මනා ලෙස සකසා තිබූ බවට පුරාණ වාරිමාර්ග විස්‌තර අපට තොරතුරු සපයයි.

කෝට්‌ටේ රාජධානියේ රජ කළ රජවරු එදා මුතුරාජවෙලට විශේෂ තැනක්‌ දී එහි වී වගාවට ප්‍රමුඛත්වය ලබාදී ඇත. මේ සඳහාම පත් කළ විශේෂ වාරි නිලධාරීන් පිරිසක්‌ද එකල සිටි බව පැරැණි තොරතුරු අනුව පෙනී යයි. රජවරු "රාජකීය මුතු කෙත" යන නාමයෙන් අරුත් ගෙන පසුව "මුතුරාජවෙල" කියා නම් දී ඇත. පරංගි අපේ බලය අල්ලාගත් පසු උන්ගේ පහසුව පිණිස පාරු ගමනාගමනය දියුණු කිරීම සඳහා මීගමු කලපුවේ සිට කැලණි ගඟට ඇළක්‌ කපන ලදී. මේ හේතුව නිසා කලපු වතුර මුතුරාජවෙලට ගැලූ අතර ඉන්පසු කරදිය මිශ්‍රවී වගා කළ කුඹුරු ඉඩම් කිසි වැඩකට ගත නොහැකි තත්ත්වයකට පත් විය. පසු කලෙක ඕලන්ද ජාතිකයන්ද මේ ඇළ මාර්ගය වැඩිදියුණු කිරීම නිසා මුතුරාජවෙල වැඩකට ගත නොහැකි තත්ත්වයකට පත්විය.

පසු කලෙක ඉංගී්‍රසි ජාතිකයන් මේ අපරාධය සියෑසින් දැක මුතුරාජවෙල බේරා ගැනීම සඳහා යෝජනා රාශියක්‌ ඉදිරිපත්කර ඇත. ඒ නිසාම ඉංගී්‍රසි පාලන යුගයේදී යළිත් මුතුරාජවෙල පණ ලැබූ අතර ඉහත කී ලුණු දියර ගලා ඒම නිසා පස කර්කෂ වූ අතර වී වගාව සඳහා යෝග්‍ය නොවීය. ලුණු දිය ගලා ඒම වැළැක්‌වීම සඳහා දිය දොරවල් ඉදිකිරීමත් ජලය මුහුදට ගලා යැම සඳහා කටයුතු යෙදීමත් මෙකල සිදුවිය. මේ සඳහා ඇළ මාර්ගත් වාන් දොරටුත් ඉදිකරන ලදී.

මේ සඳහා එදා ඉංගී්‍රසි රජය විශාල වියදමක්‌ දරන ලදී. ඒ අතරම කැලණි ගඟ උතුරා ගලන ජලය නැවැත්වීම සඳහා දෙපස පස්‌ බැමිද ඉදිකරන ලදී. නිරිත දිග ප්‍රදේශය අධික ලෙස ජනාකීර්ණ වීම නිසා අද මේ ගොහොරුබිම් විශාල ප්‍රමාණයක්‌ ගොඩකර පැල්පත් තනා ඇත. ඊට අමතරව ජාඇල පමුණුගම ප්‍රදේශයේ තවත් කොටස්‌ ගොඩකර මිනිසුන් පදිංචිව ඇත. මේ නිසා අද මුතුරාජවෙලේ වපසරියේ නියමිත ප්‍රමාණය කුඩාවී ඇත.

එදා දුරාතීතයේදී නිරිත දිග මෝසම මගින් විශාල ජල පහසුකමක්‌ ලැබූ මුතුරාජවෙල වෙල්යාය රටේ ස්‌වාභාවික පිහිටීමක්‌ නිසා කිසිවෙකුටත් එයට පිටුපා නිකන් බලා සිටීමට නොහැකි විය. ඒ නිසා අනිවාර්යයෙන්ම ගොවිතැන් කළ යුතු විය. නමුත් විදේශ ආක්‍රමණවලින් පසු ඒ ක්‍රමවත් බව ඉවත්ව ගොස්‌ නැවත මුතුරාජවෙල අනාථ බවට පත්විය. එදා දෙස්‌ විදෙස්‌ ජනයාගේ කුසගිනි නිවූ මුතුරාජවෙල හෙවත් මුතුසම්බා නිපදවූ කෙත් බිම අද මුඩු බිමක්‌ බවට පත්ව රටටද බරක්‌ වී ඇත.

ධර්මරත්න තෙන්නකෝන්

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v