තවමත් ගිනිගෙන දැවෙන අනවසර මූල්‍යායතන ප්‍රශ්නය



ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ්පත් සමාගමට එරෙහි නඩුව අධිකරණය හමුවේ විභාග වෙමින් තිබෙන අතර එම නඩුවේ නඩු වාර්තා විටින් විට පුවත්පත්වල පළ වෙයි. ඉකුත් සැප්තැම්බර් 02 වැනි බදාදා "දිවයින" මුල් පිටුවේ පළව තිබූ වාර්තාවක සඳහන් වූයේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් සමාගමේ රුපියල් ලක්‍ෂ 10 ක්‌ හෝ ඊට අඩුවෙන් මුදල් තැන්පත් කර ඇති අයට පළමුව හැකි ඉක්‌මණින් මුදල් ගෙවීමට සුදුසු වැඩපිළිවෙළක්‌ යෝජනා කර සති හයක්‌ ඇතුළත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට උපදෙස්‌ ලබාදුන් බවයි. ඊළඟට ලක්‍ෂ 20 ට අඩු තැන්පත්කරුවන්ට ගෙවීමට පියවර ගන්නා බවද විනිසුරු ශිරානි තිලකවර්ධන මහත්මිය නඩු විභාගයේදී සඳහන් කර තිබිණි. අසරණභාවයට පත්ව සිටින මෙකී ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට අධිකරණය විසින් සාධාරණය ඉටුකිරීමට පියවර ගනු ඇතැයි යන්න බොහෝ දෙනාගේ අපේක්‍ෂාවයි. මේ නඩු විභාගය දෙස රටම අවධානයෙන් සිටින බවද පෙනේ. ඒ නිසා ඉදිරි නඩු විභාගයන් දෙස අපි බලා සිටිමු.

මේ පූර්විකාව අප සටහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් කාඩ්පත් සැපයුම්කරුවන්ට අදාළව පසුගියදා නිකුත් කර තිබූ ඉතා වැදගත් ප්‍රවෘත්ති නිවේදනයක්‌ පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රවේශයක්‌ වශයෙනි. ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් සමාගමේ ප්‍රශ්නයත්, ගෙවීම් කාඩ්පත් සම්බන්ධ ප්‍රශ්නයක්‌ බව අපි දනිමු. මෙහිදී ප්‍රශ්නය මතුව තිබුණේ ක්‍රෙඩිට්‌ කාඩ්පතකට ආරක්‍ෂිත තැන්පතුවක්‌ යෑයි කියා ගනිමින් මහජනයාගෙන් මුදල් ලබාගැනීම සම්බන්ධයෙනි. මේ ගැන දැන් නඩු විභාගයක්‌ යන නිසා ඒ පිළිබඳ කිසිවක්‌ කතා නොකොට මහ බැංකුව නිකුත් කර තිබූ ප්‍රවෘත්ති නිවේදනයට අපි අවධානය යොමු කරමු. මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබූ නිවේදනයේ මෙසේ සඳහන්ව තිබිණි.

"2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනතෙහි නියෝග ප්‍රකාර අතිගරු ජනාධිපතිතුමා විසින් 2009 ජූලි මස 30 දින සිට බලපැවැත්වෙන පරිදි 2009 අංක 01 දරන ගෙවීම් කාඩ්පත් සැපයුම්කරුවන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇත. ගෙවීම් කාඩ්පත් සම්බන්ධ ගනුදෙනුවල නිරත සියලු සේවා සපයන්නන් අන්තර්ජාතික යහ ප්‍රමිතීන් සහ පරිචයන්ට අනුව කටයුතු කිරීම සහතික කිරීම මෙම නියෝගයන්ගේ ප්‍රධාන අරමුණ වේ. ගෙවීම් පද්ධතීන්හි නියාමක වශයෙන්, ගෙවීම් කාඩ්පත් ව්‍යාපාරය නියාමනය කිරීමට සහ හැසිරවීමට අවශ්‍යවන බලතල මේ මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇත.

මෙම නියෝග අනුව සියලුම ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිවීම අවශ්‍ය වේ. එයට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි සේවා සැපයුම්කරුවන් අධීක්‍ෂණය කිරීමේ අධිකාරිය ලෙස ක්‍රියාකරනු ලබන අතර ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවන් හට නියෝග, විධාන, මාර්ගෝපදේශන, කොන්දේසි, චක්‍රලේඛන, රීති සහ උපදෙස්‌ නිකුත් කිරීම සිදු කරනු ඇත.

මෙම නියෝග විශේෂයෙන් කාඩ්පත් පදනම් කරගත් ගෙවීම් සේවා සපයන්නන්ට සහ එවැනි සේවාවන් භාවිත කරන්නන්ට මෙන්ම සමස්‌තයක්‌ ලෙස ගත්විට මුළු ආර්ථිකයටම වාසි ගණනාවක්‌ ඇතිකර දෙනු ඇතැයි බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ සුපරීක්‍ෂණය තුළින් සේවා සැපයුම්කරුවන්ට ඇතිවිය හැකි පාඩු අවම වනු ඇති අතර ශ්‍රී ලාංකික පසුබිම තුළ ඉහළ මට්‌ටමේ අන්තර්ජාතික පරිචයන් අනුගමනය කිරීම තුළින් ඔවුන්ගේ ව්‍යාපාරවල කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමත් ඇතිවනු ඇත. ගෙවීම් කාඩ්පත් සේවා සැපයුම්කරුවන්ගේ නියාමක ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත්වීම මගින් මහජනතාවගේ විශ්වාසය මෙන්ම අවසන් පාරිභෝගිකයන්ට ලැබෙන සේවාවෙහි ආරක්‍ෂාව ද වැඩිවනු ඇත. මීට අමතරව සුරක්‍ෂිතවූත්, කාර්යක්‍ෂමවූත් සේවාවන් පවත්වා ගත හැකි වන පරිදි, ගෙවීම් කාඩ්පත් කර්මාන්තයට සම්බන්ධ සියලුම නව නිෂ්පාදන රටේ පවතින නියෝගයන්ට සහ ජාත්‍යන්තර යහ පරිචයන්ට අනුකූලව සිදු කෙරෙන බව සහතික කිරීම සඳහා නව නිෂ්පාදන වෙළෙඳ පොළට හඳුන්වා දීමට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒවා අධීක්‍ෂණය කරනු ඇත."

විශාල ෙ€දවාචකයක්‌ සිදුවීමෙන් පසු ප්‍රමාද වී හෝ මේ ආකාරයට ගෙවීම් කාඩ්පත් ව්‍යාපාරය නියාමනය කිරීමටත්, ගෙවීම් කාඩ්පත් සැපයුම්කරුවන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමටත් පියවර ගැනීම ගැන අපට සතුටක්‌ ඇත. හේතුව නම් ඉදිරියේදී හෝ මෙවැනි වංචනික ක්‍රියාවලින් මහජනතාව ගලවා ගැනීමට මෙකී අලුත් පියවරයන් හේතුවනු ඇතැයි සිතිය හැකි නිසාය. මේ ප්‍රශ්නය ආරම්භය ගැනත් යමක්‌ සටහන් කළ යුතුමය. සක්‌විතිලා හා දඬුවම් මුදලාලිගේ ප්‍රශ්නය මතු වූ විට මාධ්‍යවේදීන් ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රශ්න කළ අවස්‌ථාවලදී එවකට සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පද්ධති ස්‌ථායිතාවට වගකිව යුත්තන් කීවේ කුමක්‌ද? ඔවුන් කීවේ හොර මූල්‍ය ආයතන එකක්‌ දෙකක්‌ වැටුණාට රටේ සමස්‌ත මූල්‍ය පද්ධති ස්‌ථායිතාවට කිසිදු හානියක්‌ නොවන බවයි. එහෙත් පසුව සිදු වූයේ කුමක්‌ද? සක්‌විති සහ දඬුවම්ලාගෙන් මතු වූ ප්‍රශ්නය සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ්පත් සමාගම ඇතුළු මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ආයතනවලට ද දැඩිව බලපෑමයි.

මේ ප්‍රශ්නය නීත්‍යානුකූල නොවන මූල්‍ය ආයතනවලින් නොනැවතී සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ලියාපදිංචි මූල්‍ය ආයතනවලටත් බලපාන ලද බවද රටම දන්නා කාරණයකි. සිදුවූයේ නොසන්සුන්තාවට පත් මුදල් තැන්පතුකරුවන් තම තැන්පතු වහාම ඉල්ලා සිටීමට පටන් ගැනීමයි. අද මේ ප්‍රශ්නය ගිනිගෙන දැවෙමින් තිබෙන ප්‍රශ්නයකි. මේ සම්බන්ධයෙන් අසරණභාවයට පත් බොහෝ මුදල් තැන්පත්කරුවන් පැවරූ නඩු දැන් නිරන්තරයෙන්ම අධිකරණයේ විභාග වෙමින් තිබේ. තැන්පත්කරුවන්ට තමන් අපේක්‍ෂා කළ ඉහළ ප්‍රතිලාභ (ඉහළ පොලිය) පමණක්‌ නොව තමාගේ මුල් මුදල ද ලබාගැනීමට නොහැකිව ලතැවෙමින් සිටිති. එපමණක්‌ නොව ඔවුන්ට අද අතේ තියන තුට්‌ටු දෙකත් වියදම් කරගෙන පාරවල් ගානේ, උසාවි ගානේ රස්‌තියාදු වීමටද සිදුව ඇත. කවරක්‌ නමුත් මේ සිදුවීම්වලට එකී ආයතනවල මුදල් තැන්පත් කිරීමේ තීරණය ගත් එකී තැන්පත්කරුවන්ටද වගකීමක්‌ ඇති බව ඔවුන් තේරුම් ගත යුතුව ඇත. මෙවැනි "සක්‌විති බිස්‌නස්‌" වලට එරෙහි දැඩි නීතිරීති අවශ්‍ය බවත් ඒවා තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් අප අදාළ බලධාරීන්ට මතක්‌කර සිටිමු. මෙකී නව නීති සංශෝධන ද දැන් සකස්‌ වී ඇති අතර ඒවා ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මතකර ගැනීමටද රජය බලාපොරොත්තු වෙයි. ගෙවීම් කාඩ්පත් සම්බන්ධයෙන් සකස්‌ කරන ලද නව නියෝග පිළිබඳ මහ බැංකුව නිකුත් කර තිබූ නිවේදනයේ සඳහන්ව තිබූ පහත සඳහනින් අපට පැහැදිළිවන්නේ ඒ පිළිබඳ මහ බැංකුවේ ද වගකීමක්‌ ඇති බවයි.

"කාඩ්පත් වලින් සිදුකරන ගනුදෙනු සංඛ්‍යාව සහ ඒවායේ වටිනාකම සාපේක්‍ෂ වශයෙන් පහළ මට්‌ටමක පැවතියද එවැනි කාඩ්පත් ගෙවීම් උපකරණවල සීග්‍ර වර්ධනය සහ ආර්ථිකයට එයින් ලැබෙන ප්‍රතිලාභය සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමට සහ එවැනි ගෙවීම් කෙරෙහි මහජන විශ්වාසය වැඩිකිරීමේ ක්‍රියාමාර්ගයක්‌ වශයෙන් සුරක්‍ෂිත බව සහ කාර්යක්‍ෂමතාව පුළුල් වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ගෙවීම් කාඩ්පත් නියෝග සකස්‌ කරන ලදී."

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v