පිළියන්දල දරු පැටියා ගම හඬවා ආ හැටියා!


සැකකරු

පිළියන්දලදී කුඩා දරුවකු පැහැරගෙන ගිය කතාව මේ වන විට ද ඔබ මැනවින් දන්නා පුවතකි. පිළියන්දල, ගනේවත්ත දේවාලය අසල පදිංචිව සිටි මේ දරු පැටියා යළි දෙමාපියන්ගේ සුරතට පත් වු වගද එසේ නම් ඔබ දැන සිටිය යුතුය. මෙරට මාධ්‍ය මේ දරු පැටියා සොයන්නට දුන් මාධ්‍ය සහයෝගය නිසා පැහැරගෙන ගිය උන්ටම යළි ඒ දරු පැටියා ගෙනත් දමන්නට සිදු වූ බව අපේ වැටහීමය. මාධ්‍ය සහ මාධ්‍යවේදීන් පොලිසියට වහ කදුරු ලෙස පෙනුණද යහපත් මාධ්‍ය මෙහෙවරක්‌ මගින් කළ හැකි මෙහෙය මේ සිද්ධියෙන් වුවද තේරුම් ගත හැකිය.

පිළියන්දල, ගනේවත්ත දේවාලය අසල උන් මේ දරුවා දුප්පත් පවුලක දරුවෙකි. මේ දරු පැටියා ආගිය අතක්‌ නැතැයි මුලින්ම කී මාධ්‍ය ආයතනය කුමක්‌දැයි අපි නොදනිමු. ඒ කුමක්‌ වුවත් මුලින්ම මේ ප්‍රවෘත්තිය පළ කළ මාධ්‍ය ආයතනයට මේ දරුවා ගලවා ගැනීමේ මෙහෙයුමෙන් ලැබෙන ප්‍රශංසාවෙන් සෑහෙන කොටසක්‌ හිමිවිය යුතුය. මේ අහිංසක දරුවා ආගිය අතක්‌ නොමැතිවීම වටිනා ප්‍රවෘත්තියක්‌ වූ නිසාම අද දරුවා ජීවතුන් අතරය. යම් අයුරකින් මේ දරු පැටියාට කරදරයක්‌ වූයේ නම් මේ ලියෑවිල්ලෙන් පවා පලක්‌ නැත.

පිළියන්දල, ගනේවත්ත දේවාලයේ පෙරහැර තිබුණේ පසුගිය අගෝස්‌තු 31 වැනිදාය. පෙරහැරට සතර දෙසින් ජනයා පැමිණි බව ද කියති. පෙරහැර අවසානයේදී වයස අවුරුදු හතළිස්‌ පහක පමණ මැදිවියේ වූ පුද්ගලයකු දේවාලයේ ඔබ මොබ ඇවිදිමින් සිටියේය. කපු මහතා ද තරමක්‌ වයසින් මුහුකුරා ගිය අයෙකි. පෙරහැර අවසානයේදී ගොඩගැසෙන අබලි ද්‍රව්‍ය දේවාල භූමියේ විසිර තිබීම සාමාන්‍ය දෙයකි. දේවාල බිමේ ඔබ මොබ සැරිසැරූ ඒ මැදිවියේ මිනිසාගෙන් වැඩක්‌ පලක්‌ කරගැනීමට කපු මහතාට සිත් වූයේ එනිසාය.

"උන්නැහේ මෙහෙට පොඩ්ඩක්‌ ආව නම්" කපු මහතා උගුර පාදමින් ඒ මිනිසාට කතා කළේ එනිසාය.

"කපු මහත්තයෝ මොනවද කරන්න ඕනේ. කියන්න ඕනේ දෙයක්‌." ඒ මිනිසා වඩා මිත්‍රශීලීව මෙන්ම යටහත්ව පහත්ව කියා සිටියේය. එතැන් පටන් දේවාල භූමියේ කුණු රොඩු සියල්ලම ශුද්ධ කිරීමේ කාර්යය ඒ නාඳුනන මිනිසාගේ රාජකාරිය බවට පත්වූයේය. එසේ ගොඩනැඟුණු සබඳතාව පාන් ගෙඩි දෙකක්‌ ගෙන ඒමට ඒමිනිසා කඩේට පිටත් කිරීමට තරම් විශ්වාසවන්ත එකක්‌ බවට පත්වීමට එතරම් වේලාවක්‌ ගියේද නැත.

දේවාල පාරේම කුඩා නිවසක දරුවෝ ද දේවාලයට යැම ඒම සාමාන්‍ය දෙයකි. දේවාලය අසල දරුවන්ට පෙරහැර දිනයත් ඊට කලින් දිනත් විනෝදය සපයන උත්සව දින බඳුය.

දේවාලය අසල නිවසක එක්‌තරා දරුවකු විය. ඒ දරුවාට තවත් සහෝදරයන්a දෙදෙනෙක්‌ ද වූහ. මව රැකියාවක්‌ නොකළ ද පියා නගර සභා සුළු සේවකයකු ලෙස කටයුතු කළේය. බැලු බැල්මට ඒ දරුවාගේ දුප්පත්කම හැම ක්‍රියාකාරකමකින්ම පැහැදිලි විය.

දරු පැටියාගේ නම පැතුම් මිනින්ද ප්‍රනාන්දුය. වයස අවුරුදු නවයකි. පියා නගර සභාවේ සේවය කරමින් ලබන සොච්චම් මුදලින් මොවුන් ජීවිතය ගැටගසා ගත්තේ අමාරුවෙනි. පුහුදුන් මිනිසුන් තුළ නැගෙන දහසකුත් එකක්‌ ආශාවන් ද ඒ හිත්වල පිරී තිබුණි. පුංචි පැතුම්ගේ සිතෙත් ආශාවන් තිබිණි. රස කෑම බීමවලට, සරුංගලයකට, පාපැදියකට, බෝලයකට මේ දරුවා ද ආශා කළේ වෙන කොයි දරුවන් දක්‌වන ආකාරයෙනි.

"පුතේ පුතාලට මම සරුංගල් අරන් දෙන්නම්" දේවාලයේ ආවතේව කිරීමට හදිසියේ කඩාපාත්වී සිටි ඒ නාඳුනන මාමා දරුවන්ට කීවේය.

"හා මාමේ" ඒ දරු පැටව් එකා මෙන් දීප්තියෙන් බැබලෙන දෙනෙත්වලින් මාමා ඇසූ දෙයට පිළිතුරු දුන්හ.

පැතුම් ළඟට පැමිණි මාමා පැතුම්ගේ අතින් අල්ලාගත්තේ සෙනෙහසක්‌ පෙන්වමින්ය. කොයි දරුවත් ආදරයට කැමැතිය. සුරතලයට කැමැතිය. කෑමබීම, සරුංගල්වලට කැමැතිය. සෙල්ලමට කැමැතිය. ළමා ලෝකයේ හැටි එහෙමය. ඒ ළපටි සිතක ස්‌වභාවයයි. එහෙත් මේ දේවාලේ මාමා තමා රවටා ගන්නා බවක්‌ ඒ දරුවාට නොදැනුණි.

"එන්න පුතේ මා එක්‌ක. පුතාට මම සරුංගලයක්‌ විතරක්‌ නෙවෙයි ඕනම දෙයක්‌ අරගෙන දෙන්නම්" පැතුම් අලුතෙන් මුණගැසුණ මාමාගේ අතේ එල්ලී පිළියන්දල නගරයට ගියේ එහෙයින්ය.

ඒ මාමා පුතාව පිළියන්දල නගරයට පමණක්‌ නොව රත්නපුරය නගරයටත් ගෙන ආවේ විවිධ දේ පෙන්වමිනි. විවිධ දේ කියමිනි.

දරුවන් සිටින මවුවරු පියවරු දරුවන් පිළිබඳ සැලකිලිමත් වියයුතු වෙති. එහෙත් පැතුම්ගේ මවට පියාට ඒ සැලකිල්ල යොමු කිරීමට නොහැකි වූයේ ඇයිදැයි නොදනිමි. දුප්පත්කම, නොසැලකිල්ල හෝ නූගත්කම ඒ තත්ත්වයට හේතු වූවාද?

දරුවා ගැන මේ කතාව කියන්නේ පොලිසියයි.

දරුවා රත්නපුරේට පැමිණියේ වැඩිහිටියකුගේ පෙරැත්ත කිරීමටය. රත්නපුරේට දරුවා ගෙනා ඒ නරුමයා වෙදමහතකුගේ නිවසේ ඒ දරුවා නතර කර ඇතැයි පොලිසිය පවසයි. ඒ අතරමගදී පිං කැටයක්‌ කඩා එහි තිබූ මුදල් ද ගත් ඒ නරුමයා දරුවාට ඒ මුදලින් කෑමබීම දී ඇත. දරුවා බලා සිටියදී පාපැදියක්‌ ද සොරාගත් ඒ මිනිසා හොරකම් කොතරම් ත්‍රාසජනක, විනෝදජනක ක්‍රියාදැයි දරුවාට පෙන්වා දී ඇත.

මේ මිනිසා දරුවා පැහැරගෙන ගියේ ඇයි? පරීක්‍ෂණ පවත්වන පිළියන්දල පොලිසිය පවසන්නේ සැකකරු දරුවාට සොරකම උගන්වා ඇති බවකි. දරුවා යොදාගෙන සොරකම් කිරීම මේ මිනිසාගේ අරමුණද? නොඑසේ නම් දරුවාව කාට හෝ විකුණා මුදල් ඉපැයීම මොහුගේ අරමුණ වී තිබුණේද? පිළියන්දල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චන්දිමාල් පොලිස්‌ පරීක්‍ෂණ තවමත් අවසන් නැතැයි කියමින් ඒ තතු හෙළි නොකළේ පොලිස්‌ පරීක්‍ෂණවලට එය බාධාවක්‌ විය හැකි යෑයි විශ්වාස කළ හැකි නිසා යෑයි අපි සිතමු.

පසුගිය අඟහරුවාදා (01 වැනිදා) දරුවකු පැහැරගෙන ගොස්‌ ඇතැයි පිළියන්දල පොලිසියට පැමිණිල්ලක්‌ ලැබෙන්නේ ඔය අතරය. මෙරට විද්යුත් මාධ්‍ය මේ සිද්ධිය පිළිබඳ උනන්දු වන්නේ රට තුළ දරුවන්ට ලැබී තිබෙන අපල කාලය ද සැලකිල්ලට ගනිමිනි. කෝටිපතියකුගේ දරුවකු පැහැර ගත්තේ නම් බොහෝ අංශ ඒ පිළිබඳව දැඩි උනන්දුවක්‌ දැක්‌වීම සාමාන්‍යයකි. නමුත් මෙරට මාධ්‍ය මේ දරුවා වෙනුවෙන් ද සිය මාධ්‍ය මෙහෙවර ඉටුකිරීමට පටන් ගත්තේ දරු සෙනෙහස මිල කළ නොහැක්‌කක්‌ නිසාමය. පැයෙන් පැය පුවත් විකාශනවලින් දරුවා පිළිබඳ තොරතරු පළ කරමින් දරුවා සොයාදෙන ලෙසට පුළුල් ප්‍රචාරයක්‌ ඇති වූයේ ඒ අයුරිනි. අඟහරුවාදා (01 වැනිදා) බදාදා (02 වැනිදා) දින දෙකේම බොහෝ මාධ්‍යවලට මේ දරුවාගේ අතුරුදන්වීම විශාල ප්‍රවෘත්තියක්‌ වී තිබිණි.

දරුවා පැහැරගෙන ගිය පුද්ගලයා ද ඒ ප්‍රවෘත්ති දැක බියට පත්විය.

"මේකව තවදුරටත් ළඟ තියාගෙන හිටියොත් මම ඉවරයි." ඒ සැකකරු බියෙන් වෙව්ලුම් කෑවේ කර ඇති වැරැද්ද වසා ගැනීමට කළ යුත්තේ කුමක්‌දැයි සිතමිනි. රත්නපුරේ වෙද මහතා ද වහාම සැකකරුට කියා ඇත්තේ දරුවා යළි පිළියන්දලට ගෙන යන ලෙසයි.

ඒ අනුව සැකකරු දරුවා ද රැගෙන පිළියන්දලට පැමිණියේ අඟහරුවාදා (02 වැනිදා) රාත්‍රි 7.30 ට පමණය. ඒ වන විට පිළියන්දල, ගනේවත්ත ප්‍රදේශයේ හැමෝම පවා මේ දරුවාගේ අතුරුදන්වීම දැන සිටියහ. දහවල් ප්‍රවෘත්ති බැලු පිළියන්දල මිනිසුන් විපරමින් සිටියේ මේ දරුවා පිළිබඳ සිත තුළ නැගුණ කුතුහලය ද හදවතින් නැගි දුකද දරාගෙනය.

"අන්න යකෝ ටී. වී. එකේ පෙන්නුවා දරුවා වගේ දරුවෙක්‌" පිළියන්දල නගරයේ ත්‍රිරෝද රථ රියෑදුරකු වන ජානක සෙනවිරත්න දුටු දෙයින් තමාට කියා ගනිමින් ත්‍රිරෝද රථය පණ නංවා ගත්තේ ඒ දරුවා අසලට යැමටය.

"නගින්න කොහාටද යන්න ඕනේ" ත්‍රිරෝද රථ රියෑදුරු සෙනවිරත්න ස්‌ථානෝචිත ප්‍රඥව ඇතිව දරුවා අසල සිටි මැදිවියේ මිනිසාගෙන් අසා සිටියේය.

මේ දරුවව එයාලගේ ගේ ළඟට ගිහින් දාන්න. දේවාලේ ළඟට කීයද? මම හයර් එක ගෙවන්නම්. ඒ මැදිවියේ මිනිසා උඩ සාක්‌කුවෙන් සියයේ නෝට්‌ටුවක්‌ අතට ගනිමින් ත්‍රිරෝද රථ රියෑදුරුගෙන් අසා සිටියේය.

"මේ අර නැතිවුණු ළමයා නේද?" ත්‍රිරෝද රථ රියෑදුරුගේ හිතේ බුර බුරා නැගි ප්‍රශ්නය ඇසුවේ එහි ඇත්ත නැත්ත දැනගැනීමට තිබූ කුතුහලය නිසාය.

"ඔව්, ඔයා මෙයාව ගේ ළඟට දාන්න" මැදිවියේ මිනිසා දරුවාව ත්‍රිරෝද රථ රියෑදුරුට දී යන්නට සැරසුණේය.

"කොහෙ යන්නද ඕයි. නගිනවා ත්‍රීවිල් එකට" ත්‍රිරෝද රථ රියෑදුරු තදින් කියා සිටියේය.

බියට පත් වූ සැකකරු ඒ ත්‍රිරෝද රථයට ගොඩවුණේ ඒ අනුවය. ත්‍රිරෝද රථය කෙළින්ම පැමිණියේ පිළියන්දල පොලිසියටය. දරුවා රැගෙන ගිය සැකකරුවාත් සමඟ දරුවා පොලිසියට එතැයි පොලිසිය සිහිනෙන්වත් නොසිතුවේය.

නමුත් ත්‍රිරෝද රථ රියෑදුරු නිසා පොලිසියට බඩු සමඟම සොරා අල්ලාගැනීමට හැකිවී ඇත.

පොලිසියට තිබුණේ පැමිණිලි හා සාක්‍ෂි ලියාගෙන ප්‍රධාන සැකකරු හා ඊට සම්බන්ධ අනෙක්‌ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම පමණි. මෙරට මාධ්‍යවලට දොර වසන පොලිසියට මාධ්‍යවල වටිනාකම මේ සිද්ධියෙන් වුවද ඉගෙනීමට හැකි යෑයි අප සඳහන් කළේ එනිසාය.

පොලිසියට මේ සිද්ධියේදී සොයාබැලීමට ඉතුරු වී ඇති තවත් කාරණා දෙකක්‌ තිබේ.

මේ දරුවා පැහැරගත්තේ කුමකටද?

දරුවාව රත්නපුරයට රැගෙන ගොස්‌ ඊට පසු දරුවාව විකිණීමට සූදානම් කර තිබුණේද?

පොලිසියට මේ කාරණා සෙවීම අමාරු නැත. දරුවන්ට මේ තරම් විපත් සිදුවුන මේ කාලයේදී මේ පැහැරගෙන යැමේ සුලමුල රටටම හෙළි කළ යුතුය. එය උඩින් පල්ලෙන් කෙරෙන පරීක්‍ෂණයක්‌ නොවී ගැඹුරු පරීක්‍ෂණයක්‌ බවට පත්වන්නේ නම් යළිත් මෙවැන්නක්‌ ඇති නොවන තැනට රටත්, රටේ ජනතාවත්, දෙමාපියනුත්, දරුවනුත් තල්ලු කළ හැකිය.

මේ රටේ වටිනාම සම්පත දරුවන්ය. මහමඟ ජීවත්වන වීදි දරුවන් මෙන්ම සුරසැප විඳින මහ මන්දිරවල වලව්වල සිටින දරුවනුත් අපට එක හා සමානය. එනිසා දරුවන්ට වින කටින මිනිසුන්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය දෙස මුළු රටම බලා සිටී. පිළියන්දල පොලිසිය මේ දරුවාට අදාළව කරන පොලිස්‌ පරීක්‍ෂණ රටටම වැදගත් යෑයි අපගේ විශ්වාසයය.

දරුවකු වටින්නේ මවකටය. පියාටය. දරුදුක කොතරම් දැයි අමුතුවෙන් කියාදිය යුතු නැත. මේ දරුවා රැගෙන ගිය අධමයා මානසික රෝගියකු දැයි අපි නොදනිමු. දරුවන් බිල්ලට දෙන මෝඩ කපුවන්ද මිහිපිට හිටි වග දනිමු. මේ රත්තරන් දරු පැටියා රවටා රත්නපුරයට රැගෙන යැම මානසික රෝගියකු කළ දෙයක්‌ද? ඔහු දෙදරු පියෙක්‌ බවද කියති. පියකුට මෙවැන්නක්‌ කළ හැකිද?

මොකා මේ දරු පැටියා රැගෙන ගියත් ඒ තරම් බරපතල වරදක්‌ තව කොහෙද?

මේ දරුවාගේ මව, පියා තම දරුවා තුරුළු කරගෙන සලන කඳුළු දරු සෙනහසක තරම කියා නොපාන්නේද? තිරිසනකකුට වූවද උගෙ පැටවා වටින්නේය. එය දරු දුකය. අද මේ මවත් පියාත් තම නැතුවූ දරුවා යළි ලැබුණු නිසා සතුටු වන බව සැබවි. දරුවාට අනතුරක්‌ වූයේ නම් මේ මව පියාගේ ඒ කඳුළු බාරගත්නේ කවුරුන්ද?

මේ දරු පැටියා රැගෙන ගිය මිනිසා මානසික වෛද්‍යවරයකු වෙත යොමු කළ බව සදහන්ය. දරුවන් පැහැරගන්නේද, දූෂණය කරන්නේද අවසානයේදී මරා දමන්නේද මනස අවුල් වූවන් මිස අන්කවරෙක්‌ද? මොහු මානසික ආතතියකින් පෙළෙන්නකු වූ පළියට සියල්ල ඉවරයෑයි අතපිසදමා ගැනීමට නොහැකිය.

මේ රටේ අනාගතය බාරගැනීමට සිටින මල්වැනි දරු පැටව් රැකගැනීමට වැඩපිළිවෙළක්‌ අවශ්‍යයය. අවුල් වූ මනසින් යුත් මිනිසුන්ට මෙ දරුවන් බිළිඳිය යුතු නැත. මේ අම්මාගේත්, පියාගේත්, දරුවාගේත් දෝරේ ගලනා ආදරේ අපට ඉඟි කරන්නේ එය නොවේද?

ශිරාන් රණසිංහ
ඡයාරූප : බණ්‌ඩාරගම ජයසිංහ

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v