ඉන්ට නැෂනල් රිපෝටර්

මේ සැරේ ජාත්‍යන්තර ප්‍රජා සමිතිය සාකච්ඡාවට ගත්තේ අනවශ්‍ය මාතෘකාවකි. බුෂ්ලා වුවත් අනවශ්‍ය දේ කතා කරන අවස්‌ථා තිබේ. ඒ වෙනුවෙන් ඔවුන්ට සමාව දීම ඔබේ යුතුකමකි. ඒ අනුව මෙවර සමිතිය කතා බහ කළේ අනංගනී ඡන්දේ ඉල්ලීම ගැනය.

"ප්‍රසිද්ධියේ කිව්වේ නැති වුණාට සන්ධානේ නායකයෝ පළාත් සභාවලට අන්තිම විරුද්ධයි. ඒ නිසා පළාත් සභා කියන්නේ කොච්චර තේරුමක්‌ නැති දෙයක්‌ ද කියලා පෙන්වන්නයි. අනංගනීව පළාත් සභා ඡන්දෙට දාලා තියෙන්නේ". ඕස්‌ටේ්‍රලියානු අගමැති කෙවින් රද් කීවේය. "මේක තිස්‌ස විතාරණලට, රාජිතලට ගහපු මරු පහරක්‌. ඒ අය පළාත් සභා හා දහතුන ධන වෙනුවෙන් සටන් කරන්නේ ඒවා රටට අත්‍යවශ්‍ය ඉතා අර්ථවත් ආයතන හැටියට හිතලා. ඒත් ඒවා කිසිම වැඩක්‌ නැති ආයතන බව අනංගනී ඡන්ද ඉල්ලීමෙන් පැහැදිලි වෙනවා" නවසීලන්ත අගමැති කීවේය. "අනංගනී සාරිය ඇඳගෙන ඡන්දේ ඉල්ලීම නිසා ගවුම්වලට වඩා ආයෙත් සාරිය ලංකාවේ ජනප්‍රිය වෙනවා. ඒ කාලේ චන්ද්‍රිකා ඡන්දේ ඉල්ලන කොටත් ගවුම් අඳින අය සාරි අඳින්න ගත්තා. දැන් ආයෙත් කාන්තාවෝ ගවුම් කොට අතෑරලා සාරි අඳින්න පටන් ගනියි". ස්‌පාඤ්ඤ අගමැති රොඩ්රිගෝ මහතා කීවේය.

"ඉතිං අනංගනීට ඡන්දේ දෙන්න ඒකම මදි ද? වෙන කිසි පළාත් සභා අපේක්‍ෂකයෙක්‌ගෙන්වත් පළාත් සභා මන්ත්‍රී කෙනෙක්‌ගෙන්වත් ඒ විදිහේ සේවයක්‌ වත් රටට වෙනව ද? පෘතුගාල අගමැති කිවේය.

"ඔව්, ඔව් දැනටමත් ගාල්ලේ සාරි කඩවල සාරි විකිණෙන එක වැඩිවෙලාලු"

පින්ලන්ත අගමැතිවරයා කිවේය.

"මේ විදහට ඩෙනිම් කළිසම් නැගලා යන කාලේ සම්ප්‍රදායික සාරිය නඟා සිටුවීම උදෙසා සාරිය ඇඳලා ඡන්දේ ඉල්ලීමෙන් අනංගනී කරන්නේ වටිනා සේවයක්‌. හරිනම් එයාට සංස්‌කෘතික ඇමතිනීකම දෙන්න ඕනෑ" අයිස්‌ලන්තයේ විදේශ ඇමැති කීවේය.

"අනංගනී දේශපාලනයට ගෙනාවේ සමර මංගල, මේ සමර මංගලගේ කසාය සමර මංගලටම දකුණේ දීම පෙවීමක්‌" හිලරි ක්‌ලින්ටන් කීවාය.

මට හිතෙන විදිහට අනංගනී කියන්නේ ඇගේම විශේෂ අනන්‍යතාවක්‌ තියෙන නිළියක්‌. එහෙම නිළියෝ කලාතුරකින් බිහිවෙන්නේ. ඒත් චිත්‍රපට අධ්‍යක්‍ෂවරු වැඩි දෙනෙක්‌ ඒ සුවිශේෂී නිළි පෞරුෂය හරියට තේරුම් අර ගත්තේ නෑ. ඒ නිසා අනංගනීට ලැබිය යුතු තැන ලැබුණේa නෑ. ඇංජිලා මකෙල් මැතිනිය කීවාය.

"ලංකාවේ බුද්ධිමත් කියන චිත්‍රපට අධ්‍යක්‍ෂවරු ඇත්තටම අනංගනී තරම් බුද්ධිමත් නෑ. නිළියක්‌ ලෙසින් ඇයගෙන් හරි ප්‍රයෝජනය නොගත් ලංකාව දැන් ඇයව දේශපාලනයට ඇදලා දාලා තියෙනවා. බලන්න අංජලිකා චිත්‍රපටයේ ඇගේ රඟපෑම. කවුරු මොනවා කීවත් ඈ බුද්ධිමත් තරුණියක්‌. ප්‍රතිභා සම්පන්න කලාකාරියක්‌" මකෙල් මැතිනිය තවදුරටත් කීවාය. අපට දුක එසේ කිවු ඇංජිලා මකෙල් මැතිනියට ගාල්ලේ දාන්නට ඡන්දයක්‌ නැතිකමය.

ගාල්ලේ මිනිස්‌සු බයේ ඉන්නවා කියලත් ආරංචියි ආයේ සුනාමියක්‌වත් එයි කියලා". ඇංජිලා මකෙල් කියූ බැරෑරුම් කතාව ගානකටවත් නොගෙන ඉහත වාචාල කතාව කීවේ ජාත්‍යන්තර ප්‍රජා සමිතියට පැමිණ සිටි කුමන රටක නියෝජිතයෙක්‌ දැයි සොයා ගැනීමට නොහැකි විය. කොහොම නමුත් කවුරු මොනවා කීවත් ලංකාවේ වැඩි දෙනා අනංගනී ඡන්දේ ඉල්ලන්න ඉදිරිපත් කළ එකට විරුද්ධයි. බොහෝ අය කියන්නේ ඒක වැරැදි වැඩක්‌ කියලා. නුසුදුසු වැඩක්‌ කියලා. අනුචිත වැඩක්‌ කියලා. එසේ කීවේ ජපානයේ අගමැතිය. එහෙත් ජපාන අගමැති කිව් ඒ කතාවට උත්තර දුන්නේ වෙනින් කවුරුවත් නොව ජාත්‍යන්තර ප්‍රජා සමිතියේ අධ්‍යාත්මික නායක ජෝර්ඡ් බුෂ්ය.

"ඇයි ලංකාවේ පළාත් සභාවලට ඡන්දේ ඉල්ලන්නේ. අනංගනීට වඩා හොඳ අය ද? ඒ ප්‍රශ්නයට දෙන්න උත්තරයක්‌ කිසිවකුට තිබුණේ නැත. ආගමික ශාස්‌තෘවරයකු හා සම්බන්ධ එක්‌තරා කතාවක්‌ ලංකාවේ අනංගනී සම්බන්ධ ප්‍රශ්නය නිරාකරණය කිරීම උදෙසා බුෂ් විසින් යොදාගන්නා ලද ජාත්‍යන්තර ප්‍රජා සමිතිය එසේ අවසාන විය. ඡන්ද අපේක්‍ෂකයන් හා ඡන්ද දායකයන් දෙස බැලීමට අලුත් ආලෝකයක්‌ පහළ කළ ජාත්‍යන්තර ප්‍රජා සමිතිය එසේ අවසාන විය. අනංගනීට දොස්‌ තැබීමට තරම් සදාචාරාත්මක අයිතියක්‌ ඇති ඡන්ද අපේක්‍ෂකයෝ සිටිත් ද? ඡන්ද දායකයෝ මේ රටේ සිටිත් ද? ආගමික ශාස්‌තෘවරයාණන් කෙනෙකු විසින්ම ඇසූ ප්‍රශ්නයක්‌ ම බුෂ් වෙනත් විදිහකට මේ අවස්‌ථාවේ දී අසා ඇති බව ඇසූ පිරූ තැන් ඇති පාඨකයා තේරුම් ගනු ඇත. එවැනි අය කිසිදාක අනංගනී ඡන්දේ ඉල්ලීම වැරැදි යෑයි ද නොකියනු ඇත.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v