ජාතික කොඩියවත් නැති සරණාගත සාහිත්‍ය උළෙල·

පොළෙDන්නරුව කරුණාරත්න ගමගේ

සංස්‌කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ මෙහෙයෑවීමෙන් ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී ඇරඹුණේ ඉකුත් 03 වැනිදාය.

අඬහැරයේ තරමට හරවත් යමක්‌ පෙනෙන්නට නොතිබුණු මෙවර සාහිත්‍ය කලා මංගල්‍ය කන්දක්‌ විලිලා වැදූ මී පැටියකු බඳු යෑයි බොහෝ දෙනාගේ කතා බහට ලක්‌ විය.

එමෙන්ම එය මෙරට සාහිත්‍යයේ, කලාවේ උන්නතියට, යහ පැවැත්මට උරදීම සඳහා පවත්වන එකකට වඩා තවත් එක්‌තරා දේශපාලන වේදිකාවක්‌ ලෙස ආරම්භක දිනයේ පටන්ම පෙනෙන්නට තිබිණි.

පළමු දින සමාරම්භක උළෙලට කලින් පෙරවරුවේ සිදු වූයේ සර්ව ආගමික වතාවත්ය. මේ සඳහා තෝරාගෙන තිබුණේ ලක්‌වැසි බෞද්ධ ජනතාවගේ ම මුදුන් මල්කඩක්‌ බඳු වූ ඓතිහාසික ගල් විහාරය පුද බිමයි. එහෙත් එහි සාහිත්‍ය, කලා උළෙලක මූලාරම්භක කාර්යයක්‌ කෙරෙන බවක්‌ මහජනයාට දැනගන්නට සලස්‌වා නොතිබිණි. අඩුම තරමින් මෙම සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සහ උත්සව සංවිධානය සඳහා වැය කරන මහජන මුදල් කන්දරාවෙන් සොච්චමක්‌ වැයකොට මෙම අගනා කටයුත්ත ගැන සඳහන් බැනරයක්‌වත් පුදබිම අවට පලුqගසක හෝ වීර ගසක එල්ලා තබන්නට වත් උනන්දුවක්‌ දැක්‌වූයේනම් එයද ප්‍රමාණවත්ය. එපමණකුදු නොව ගල් විහාර පුදබිමේ හෝ අවට කිසිදු තැනෙක මේ නිමිත්තෙන් ජාතික කොඩියක්‌, බෞද්ධ කොඩියක්‌ ලෙළ දෙනු දක්‌නට නොතිබිණි.

බිනර මහ පෝයට කලින් දිනයේ පැවැති මෙම කලා මංගල්‍යයේ මූලාරම්භක කටයුත්ත සාදු නදින් ගිඟුම් දෙන අභිමානවත් උත්සවයක්‌ බවට පත් කරන්නට සංස්‌කෘතික බලධාරීන්ට සහ වගකිවයුත්තන්ට පහසුවෙන්ම හැකියාව තිබිණි.

සාදු නද තබා ගමක පිංකම් ගෙදරකට හාමුදුරු නමක්‌ වඩම්මන චාරිත්‍රයවත් ඉටු කිරීමට එහි පැමිණි සංස්‌කෘතික උරුමකරුවන් දැන නොසිටීම කණගාටුවට කරුණකි.

පෙරහැරක්‌, මුතු කුඩයක්‌ හෝ නැතිව පාළු මගෙහි හුදෙකලාවම වැඩම කළ පොළොන්නරුව සොළොස්‌මස්‌ථානාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි නායක හාමුදුරුවන් ප්‍රමුඛ මහා සංඝරත්නය පැය බාගයකට අධික කාලයක්‌ සංස්‌කෘතික ඇමැති දෙපළ පැමිණෙන තෙක්‌ කල් මැරූහ. උදේ 7.00 ට පවත්වන්නට නියමිතව තිබූ ආගමික වතාවත් ඇරඹුණේ 7.30 ත් ඉක්‌ම ගිය පසුවය. පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව නායක හාමුදුරුවන් ජාතික සාහිත්‍ය කලා මංගල්‍යය පොළොන්නරුවේ පැවැත්වීමේ ඇති වැදගත්කම පිළිබඳව අරුත් බර කෙටි අනුශාසනාවක්‌ ද කරමින් ඊට ආශිර්වාද කළහ.

මහ සඟරුවනේ ආශීර්වාද ලැබ පිරිත් නූල්ද අතෙහි බඳවා ගත් ඇමැතිවරුන් සහ නිලධාරීහු ගල් විහාර පුදබිමෙන් නික්‌ම ගියද අඩුම තරමින් එහි වැඩම කළ ස්‌වාමින් වහන්සේලා වෙත පිරිකරක්‌වත් පූජා කරන්නට තරම් කාරුණික නොවූහ.

ගරුතර නායක හාමුදුරුවන් ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා එවැනි පිරිකර අපේක්‍ෂා නොකළ ද බෞද්ධයන් වන අප තුළ බොහෝ කාලයක පටන් පවතින උතුම් චාරිත්‍ර මෙවන් සුවිශේෂී මොහොතක අමතක වීම හෝ පැහැර හැරීම මහත් සංවේගයට කාරණයකි.

ඉනික්‌බිතිව එදින පස්‌වරුවේ පැවැති ජාතික සාහිත්‍ය හා කලා උළෙල සංවිධානය කළේ කුමන ජාතියකට සංස්‌කෘතියකට අයත් වූවන් දැයි විමසිය යුතුව තිබේ. මක්‌නිසාද යත් ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතා පවසන අන්දමට දැන් රටේ සිටිනුයේ ජාතීන් දෙකකි. එනම් රටට ආදරය කරන ජාතිය සහ රටට ආදරය නොකරන ජාතිය ය.

මෙවර පොළොන්නරුවේ පැවැති ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට ජාතික කොඩිය අකැප වී තිබිණි.

අපේ ජාතියේ ප්‍රෙෘඪ උරුමයක්‌ සහ සංකේතයක්‌ වන ජාතික කොඩිය රටේ සිව්කොනේ නිදහස්‌ ලෙළදෙද්දී ජාතික සාහිත්‍ය කලා උළෙලේ පමණක්‌ එය එසවුණේ නැත්තේ ජාතියේ අවාසනාවකට දැයි නොඅසාම බැරිය. කෙසේ නමුදු මෙවර ජාතික සාහිත්‍ය හා කලා උළෙලේදී අභිමානවත් සිංහයාටත් උතුරු මැද පළාත් කොඩියේ උදාර සංකේතය වන වළහාත් වකුටු වී මුල්ලක කඳුළු සලමින් සිටින්නාක්‌ මෙන් මට හැඟුණි.

එපමණකුදු නොව මෙම මහා සංස්‌කෘතික කලා මංගල්‍යයට ජාතික ගීය ද අරහංවී තිබිණි. බොහෝ ජාතික උත්සවයන්හි ඇරඹුමේ ජාතික ගීය ගැයුමද, ජාතියට ජීවය දුන් වීරෝධාර රණවිරුවන් සිහිපත් කෙරුම ද මෙකල අපට සුලභව දැකිය හැක්‌කකි. එහෙත් ඒ කිසිවක්‌ සංස්‌කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ මෙම ජාතික උළෙලේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව නොතිබිණි.

එමෙන්ම මෙවර ජාතික සාහිත්‍ය කලා උළෙලේ සමාරම්භක දින උත්සවයේ සංස්‌කෘතික අංග කිහිපයකින් එය වේදිකාව සරසන්නට හැකියාව තිබුණද, සංවිධායකයන් ඒ සඳහා කිසිදු උනන්දුවක්‌ දක්‌වා තිබුණේ නැත. සාහිත්‍ය කලා උළෙලක්‌ නොව මෙය ද තවත් එක්‌තරා දේශපාලන වේදිකාවක්‌ බඳු යෑයි මහජනයාගේ කතාබහට ලක්‌වන්නට එය ද හේතුවක්‌ විය හැකිය.

ජාතික සාහිත්‍ය කලා උළෙලේ ප්‍රථම දින සමාරම්භක උළෙලේ හරි හදිස්‌සියෙන් කළ තවත් කටයුත්තකි. පුලතිසි වංශය ග්‍රන්ථය පිරිනැමීම.

පොළොන්නරුවේ පැවැත්වෙන ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය නිමිත්තෙන්ම එළිදැක්‌වුණු "පුලතිසි වංශය" සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේම ප්‍රකාශනයකි. එයට විවිධ මාතෘකා ඔස්‌සේ හරවත් ලිපි සැපයූවෝ දිවයිනේ විද්වත් පිරිසකි. 55 දෙනකුගෙන් යුත් මෙම ලේඛක මඩුල්ලේ ඇතැමුන්ට මෙම සමාරම්භක උළෙල සඳහා ඇරයුම් ද ලැබී තිබිණි. ගිනිගහන මද්දහනේ උත්සවය ආරම්භ වන තෙක්‌ එහි රැඳී සිටි කිසිම ලේඛකයකුට "පුලතිසි වංශය" ග්‍රන්ථය පිළිගන්වන මොහොතේ වේදිකාවට හෝ ඒ අසලකටවත් ආරාධනයක්‌ සංවිධායකවරුන් වෙතින් නොලැබුණි. සති ගණන්, මාස ගණන් වෙහෙසී කරුණු සොයා බලා කෘතියට ලිපි සැපයූ ලේඛකයන් කිසිවෙකුටත් "පුලතිසි වංශයේ" පිටපතක්‌ පිරිනැමුණේ නැති බව කනගාටුවෙන් නමුදු සඳහන් කළ යුතුය.
 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v