ප්‍රජා ආණ්‌ඩුකරණය විමලේ සහ චන්දරේ



විමලේ නියෝජනය කරන්නේ ලංකාවේ දේශපාලන සමාජය, චන්දරේ නියෝජනය කරන්නේ කලා සමාජය, තවත් විදියකට කිව්වොත් විමලේ දේශපාලන කර්මාන්තයේ, චන්දරේ කලා කර්මාන්තයේ, දෙන්නම හරිම ජනප්‍රියයි, විමලෙගේ කතා අහන්න ම, විහිලු අහන්න ම දේශපාලන වේදිකා ඉස්‌සරහට විශාල පිරිසක්‌ එනවා. විමලෙගෙ පැත්තට ඡන්දය දෙන අය වගේම නොදෙන අයත් එන එක තමයි විශේෂ දේ. ඒ නිසාම ඡන්ද නොලැබුණත් විමලෙගෙ දේශපාලන කර්මාන්තෙට තියෙන ප්‍රසිද්ධියේ නම් අඩුවක්‌ නෑ. මොකද විමලෙ ඡන්ද මැෂිමකට වඩා කතා මැෂිමක්‌ නිසා. උන්නැහෙ අපේ යාළුවෙක්‌. පුද්ගලිකව පවා උදව් පදව් කරපු හොඳ යාළුවෙක්‌. ඒත් ඉතින් දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් හැමදාම වගේ උන්නැහෙ එක්‌ක අපිට ගැටලු තිබුණා. අදත් ගැටලු තියෙනවා. චන්දරේත් විමලෙ වගේම තමයි. දුක්‌ කම්කටොළු මැදින් තමන්ගේ ඉලක්‌කයට ගිය චන්දරේත් මේ වෙනකොට ලංකාවේ ප්‍රසිද්ධ ම ඒ වගේම ජනප්‍රියම පුද්ගලයෙක්‌. සංගීත වේදිකාවක චන්දරේ නෑ කියන්නේ හරියට හොද්දකට ලුණු ඇඹුල් නෑ වගේ. සමහරු සංගීත සන්දර්ශන වේදිකාව ඉස්‌සරහට යන්නේ චන්දරේගේ සින්දු අහන්න. උන්නැහෙ රසික මැෂිමක්‌ වගේම සින්දු මැෂිමක්‌. ඒ නිසාම සන්දර්ශන ව්‍යාපාරිකයෝ චන්දරේ ව අමතක කරන්නේ නෑ. චන්දරේ ගැන මං දැනගෙන හිටියට උන්නැහෙ මං ගැන දන්නේ නැතිව ඇති. අපි මුණ ගැහිල තියෙන්නේ දෙවතාවයි. ඒත් උන්නැහෙ ගැන මගේ තියෙන ආශාවට පෙරේතකමට මම ම ගිහින් කතා කරා මිසක උන්නැහෙ මාව දැනගෙන මට කතා කරා නෙවෙයි.

චන්දරේ සංගීත ක්‍ෂේත්‍රයට ආවෙ තරුණ හඬ, තරුණ රිද්මය වගේම තරුණ වින්දනීය ප්‍රාර්ථනා හරහා, විමලෙ දේශපාලනයට අවේ තරුණකම, තරුණ රිද්මය වගේම තරුණ වාම දේශපාලන ප්‍රාර්ථනා හරහා, බැලූ බැල්මට මේ දෙන්නා කොයිතරම් නම් සමානද? විමලෙ දේශපාලනයට ආවේ ගැටවර කාලෙ. චන්දරේ සංගීතෙට ආවෙත් ගැටවර කාලෙ, මට මතකයි චන්දරෙ තමන් විඳපු දුක්‌ ගැහැට විවෘතව සමාජයට කියපු ආකාරය. ඒ වගේම විමලෙත් තමන් මුහුණ පෑ ගැටලු වගේම මාරක අභියෝග ඔක්‌කොම හෙළිදරව් කරපු විදියත් මට මතකයි. බලාගෙන ගියාම මේ දෙන්නගෙ අතීතයයි මගේ අතීතයයි අතර ලොකු වෙනසක්‌ නෑ.

මේ දවස්‌වල විමලෙ බරටම දේශපාලන වැඩ, චන්දරේත් බරටම සංගීත වැඩ. මොකද එයාගෙ මහා සංගීත සන්දර්ශනයක්‌ 26 වැනිදා මහරගම තරුණ සේවා එකේ තියෙන නිසා. මගෙ හිත තිගැස්‌සුනු දේශපාලන කතාවක ප්‍රධාන ප්‍රකාශකයා විමලෙ. ඒ වගේම මගේ හිත ඇදිල ගිය සින්දු පණිවිඩයක ප්‍රකාශකයා චන්දරේ. විමලෙගෙ කතාව අලුත්. හැබැයි පරණ කතාවක පුනරුච්චාරණයක්‌. චන්දරේගෙ සින්දුවත් අලුත්. හැබැයි පරණ සින්දුවක පුනරුච්චාරණයක්‌. විමලෙ තමන්ගේ ප්‍රකාශය හරහා ප්‍රාදේශීය බේදය අවුස්‌සනවා. ප්‍රාදේශීය බේදය අවුලුවනවා. මේක එච්චර හිතල මතල කරන වැඩක්‌ නොවේ. සරල දේශපාලන හැඟීම් සහ විනෝදය ඇවිස්‌සීම සඳහා කරන දෙයක්‌. චන්දරේ තමන්ගේ සින්දු ප්‍රකාශය හරහා ප්‍රාදේශීය වාදය වර්ධනය කරනවා. මෙතන වාදය කියන්නේ භාවිතාවට. ප්‍රාදේශීය බේදය, අසමගිය වෙනුවට ප්‍රාදේශීය වාදවල සහයෝගය, සමගිය වගේම එකිනෙක ප්‍රාදේශීය වාදවල එකතුවේ ලස්‌සන ගැන කතා කරනවා. ලස්‌සන විතරක්‌ නෙවේ ඒ ප්‍රාදේශීය වාදවල උපයෝගිතා ගුණය හෙළිදරව් කරනවා. මේකත් එච්චර හිතල මතල කරන දෙයක්‌ නෙවේ. සරල සංගීත හැඟීම් සහ විනෝදය ඇවිස්‌සීම සඳහා කරන දෙයක්‌. හැබැයි දෙන්නගෙ වැඩවල ප්‍රතිඵලය මුළුමනින්ම වෙනස්‌. එකක ප්‍රතිඵලය ප්‍රාදේශීය බේදය. එකක ප්‍රතිඵලය ප්‍රාදේශීය වාදය. අපි බලමු විමලෙගෙ ප්‍රාදේශීය බේදයයි චන්දරේගේ ප්‍රාදේශීය වාදයයි මතු වන්නේ කොහොමද කියලා.

චන්දරේ ගයනවා හරි ලස්‌සන ගීයක්‌. මං හිතන්නේ මේක පැරණි නාඩගම් ගීයක්‌, මේක ලියන අතරතුර චන්දරේට දුරකථනයෙන් කාතා කරල ඇහුවම උන්නැහෙ කිව්වේ මේ ගීතයට අවුරුදු අසූවක්‌ විතර වයසයි කියලා. මේ ගීයෙ පද පෙළ ගැන හිතනකොට ලංකාව පුරා ඇවිදින සංචාරකයකු, සංචාරක වෙළෙන්දකු එහෙමත් නැත්නම් රස්‌තියාදුකාරයකු සිහියට එනවා. රටපුරා ඇවිදපු කරත්ත කාරයකුගේ අත්දැකීම් මේ ගීයට මුල්වෙලා තියෙන බවයි අපේ කීර්තිගෙ අදහස.

නාවල අන්නසි කෝට්‌ටෙ දොඩම් යස රසය කෑමටා. ගල්කිස්‌සෙ සිනක්‌කු, කොම්පඤaඤවීදියෙ ඉදිඅප්පං බෝම රසා, නුවර පොල් හොදි, කොළඹ මස්‌ කරී, ඇනිලා රස බොහෝ, ගෝදම්බ අළුත් හොඳ පොල් එක්‌ක කෑවම කන්ට හැකි බඩ පිරෙනකං, එළවළු වෑංජන රත්නපුරේ, ලාබෙට ඇති ඕනතරම්, කටට රස ඇති, රුහුණෙ මී කිරි, පැණි හා රස බොහෝ, ගෝදම්බ අළුත් හොඳ පොල් එක්‌ක කෑවම කන්ට හැකි බඩ පිරෙනකං. එළවළු වෑංජන රත්නපුරේ, ලාබෙට ඇති ඕනතරම්.

මේ ගීයෙ එන කෑම, පළතුරු එක තැනක ඒවා නෙවේ. විවිධ තැන්වල විවිධ ප්‍රදේශවල විවිධතා පෙන්නුම් කරන වට්‌ටෝරුවක්‌ මේ ගීයට ඇතුල් කරල තියෙනවා. එක දෙයක්‌ අනික්‌ දෙයට වඩා උසස්‌ කිරීමක්‌ හෝ එක දෙයක්‌ තවත් දෙයකට වඩා පහත් කොට අගෞරව කිරීමක්‌ මේ තුළ නැහැ. ඒ කියන්නෙ හිට්‌ලර්ගෙ යුදෙව් විරෝධය මේ ගීය ඇතුලෙ නෑ. නාවල, කෝට්‌ටේ, ගල්කිස්‌ස, කොම්පඤaඤවීදිය, නුවර, කොළඹ, රත්නපුර, රුහුණ ආදී ප්‍රදේශවල අනර්ඝ රස වල එකතුව මගින් කෙනෙකුගේ ආහාර වේල පරිපූර්ණ වෙන විදිය ඉදිරිපත් කිරීම තුළින් ඇඟවෙන්නේ ප්‍රාදේශීය විවිධතා ජාතික ඒකාබද්ධතාවක සෞන්දර්ය වර්ධනය කිරීමට හේතුවන ආකාරය. එහෙම නැතුව එක ප්‍රදේශයක දෙයක්‌ උඩ දාලා තවත් ප්‍රදේශයක දෙයක්‌ අවඥවට ලක්‌කිරීම නෙවේ.

ඇත්තටම ලංකාවේ තිබුණ, තියෙන එකම බේදය ජාති බේදය විතරක්‌ නෙවේ. ප්‍රාදේශීය බේද, පළාත් බේද, ආගම් බේද, භාෂා බේද, කුල බේද, ග්‍රාමීය නාගරික බේද, ස්‌ත්‍රී පුරුෂ බේද, වර්ණ බේද, විලාසිතා බේද, ගුරුකුල බේද ආදී කී නොකී බේද විශාල ප්‍රමාණයක්‌ මේ රටේ තියෙනවා. මේවා ලෝකයේ කොතනටත් පොදුයි. හැබැයි ප්‍රගතිශීලී දියුණු දේශපාලන ක්‍රියාකාරිකයෝ කරන්න ඕනි පටු දේශපාලන අරමුණු සඳහා මේ බේද තව තවත් අවුස්‌සන එක නෙවි. මේවා දේශපාලනිකකරාම ඇතිවෙන තත්ත්වය හරිම භයානකයි. බේද අවුස්‌සපු අයට හසුරවන්න හරි වළක්‌වන්න හරි බැරි තත්ත්වයකට ඒවා පත්වෙනවා. හරියට කට්‌ටඬියගෙන් ගැලවුණ යකා වගේ. කාටවත් හික්‌මවන්න බෑ.

ඒ නිසා වඩා වැදගත් වෙන්නෙ විවිධතා විවිධ වාද රටක සමගිය සඳහා පාවිච්චි කිරීම. ඒ සඳහා දේශපාලන, කලා සාහිත්‍ය, මාධ්‍යය, අධ්‍යයන ආදී හැම අංශයක්‌ම ඉතා පරිස්‌සමින් කටයුතු කරන්න ඕනි. මොකද කොහෙන්හරි ෙ€දවාචකය එළියට පැන්නොත් තත්ත්වය ඉතා භයානක නිසා. බේද හදන එක ලේසියි වාද හදනවට වඩා. හැබැයි බේද නැති කරන්න අමාරුයි වාද නැති කරනවාට වඩා. ඒ වගේම වාද අතර සුසංයෝගය හදන එක හරිම අමාරුයි. ඒ නිසාම හැදිල තියන සුසංයෝග අපි පරිස්‌සරම් කළ යුතුයි. ලංකාවේ ප්‍රාදේශීය අනන්‍යතා මහා දේශපාලන බේද බවට පත්වුණ අතීතයක්‌ තිබුණා. නමුත් දැන් ඒ තත්ත්වය ටිකින් ටික වෙනස්‌ වෙලා හොඳ මට්‌ටමකයි තියෙන්නෙ. ප්‍රාදේශීය බේද බරපතල කාලෙක දැනට අවුරුදු අසූවකට ඉස්‌සෙල්ලා ලියවුණ මේ ගීය කරන දේශපාලන මැදිහත්වීම සුළුපටු නෑ කියන එකයි මගේ අදහස. ප්‍රාදේශීය ලස්‌සන කියන ගමන්ම හැම ප්‍රදේශයකටම වෙන් වෙන් වූ සාධාරණ පැවැත්මක්‌ තියෙන බව දකිමින් ඒවායේ එකතුව තුළ හැදෙන ලස්‌සන වගේම ප්‍රයෝජන ඉතා අගේට මේ ගීය තුළින් කියවෙනවා. ඉතින් ඒ ගීය නැවත අපි අතරට ගෙනාවට චන්දරේට පිං.

දැන් විමලෙ ගෙ කටයුත්ත දිහාවට හැරෙමු. පහුගිය දවස්‌වල දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රචාරක රැළියක විමලෙ කරපු කතාවක්‌ ගුවන් විදුලියෙන් අහන්න මට ලැබුණා. ඒ කතාවට අනුව දකුණු පළාත් භූමියේ ඉන්න සියලු දෙනා සන්තෝෂ විය යුතුයි. ඒ අනික්‌ පළාත්වල ඉන්න අයට වඩා. මොකද, කොටි පරාජය කිරීමේ කාර්යයේ ප්‍රමුඛයෝ ඉන්නෙ දකුණෙ නිසා. මේ ජයග්‍රහණය සැමරීමේ සුජාත අයිතිය තියෙන්නෙ දකුණු පළාතෙ ජනයාටලු. අනික්‌ අයට ඒ තරම්ම අයිතියක්‌ නැතිලු. මේක තමයි විමලෙගෙ කතාවෙ හරය. ඔය ජයග්‍රහණයේ ඔටුන්න අත්පත් කරගැනීමේ තරගයට මුලින්ම බැස්‌සෙ කොළඹ ලොකු ඉස්‌කෝල ටික. ඊළඟට දේශපාලන පක්‌ෂ ටික ඒ තරගෙට බැස්‌ස. දැන් විමලෙ තවත් ගින්නක්‌ අවුලුවනවා. ජයග්‍රහණයේ ඔටුන්නට එකම සුජාත හිමිකාරයා දකුණු පළාතය කියන එකෙන් තමයි ඒ ගින්න අවුලුවන්න හදන්නෙ. අලි මදිවට කොටි කිව්වලු. රට පුරාම හිත්, ඇස්‌, ඉස්‌, මස්‌, අත්, දත්, පා වගේම මුළු ජීවිතයම කැපකරපු ලක්‌ෂ සංඛ්‍යාත ජනකායක්‌ අවතක්‌සේරුවට ලක්‌කරන එක ප්‍රතිගාමී දේශපාලන කටයුත්තක්‌. මේ ජයග්‍රහණය මුළු රටේ බහුතර ජනයාගේ සම්මාදමින් සිද්ධවුණ සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්‌ ය කියන කතාව විමලෙගෙ සිහියට නැගෙන් නැත්තෙ ඇයි? ඒක විශාල ප්‍රශ්නයක්‌. දේශපාලනය ගැනම හිතන දේශපාලනයම කරන දේශපාලනයම ප්‍රාර්ථනා කරන විමලෙට මේ අර්බුදය වැටහෙන්නේ නැතිද?

හැබැයි දේශපාලනය ගැන නොහිsතන දේශපාලනය නොකරන දේශපාලන ප්‍රාර්ථනා නැති චන්දරේට මේ අර්බුදය හොඳටම වැටහිලා නොතිබුණාට. ඔහුගේ ගීතය අර්බුදය සමනය සඳහා වූ උත්සාහයක්‌ වීම ආශ්චර්යයක්‌. ඒකයි මම කිව්වෙ විමලෙ අනවශ්‍ය ප්‍රාදේශීය උස්‌ පහත් බේදයක්‌ මතුකරද්දී චන්දරේ අත්‍යවශ්‍ය ප්‍රාදේශීය වාදයක්‌ වෙනුවෙන් පෙනී හිටිනවා කියල. අපි කළ යුත්තේ සමාජය බේද කිරීම නොවේ. ප්‍රාදේශීය ආණ්‌ඩුකරණයේ වැදගත්ම දේ තමයි ප්‍රාදේශීය විවිධතා ජාතික ලස්‌සන තනන කොටස්‌ බවට පත්කරගන්න එක. චන්දරේගෙන් සිද්ධවෙලා තියෙන්නෙ ඒක. විමලෙ අතින් නොසිද්ධවෙන්නෙ ඒක. එහෙම නම් අපි දේශපාලනය ඉගෙනගත යුත්තේ විමලෙගෙන්ද? චන්දරේගෙන්ද?
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v