කුරුණෑගල දිස්‌ත්‍රික්‌ රැස්‌වීමේදී දයාසිරි - අකිල ගැටුමක්‌

අකිලට යොවුන් පෙරමුණත් එපාවෙයි


ශ්‍රී ලංකා මුස්‌ලිම් ජාතික කොංග්‍රසයේ මහා සමුළුව පසුගිය 29 වැනි සෙනසුරාදා මහත් උත්සවාකාරයෙන් අක්‌කරෙයිපත්තුවේ දී පැවැත්වූයේ නැගෙනහිර පළාතේ අති විශාල මුස්‌ලිම් ජනකායකගේ සහභාගිත්වය ඇතිවය. විශේෂ සිද්ධිය වූයේ ඊට ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් සහභාගි වීමය. සාමාන්‍යයෙන් නැගෙනහිර පළාතක මෙබඳු මහා සෙනඟක්‌ ඒකරාශි වන අවස්‌ථාවකට සහභාගි නොවන ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගි වීම මුස්‌ලිම් ජනතාව වෙත කරන මහත් ගෞරවයක්‌ ලෙස මේ රටේ මුස්‌ලිම්වරු සැලකූහ.

මේ රටේ මෙතෙක්‌ පහළ වූ රාජ්‍ය නායකයන් මුස්‌ලිම් ජනතාව කෙරෙහි දැක්‌වූවාට වඩා වැඩි සැලකිල්ලක්‌ වත්මන් ජනාධිපතිවරයා මුස්‌ලිම්වරු කෙරෙහි දක්‌වන බව ඔප්පු වන තවත් කාරණයක්‌ වුණේ පසුගිය කාලය පුරා ඔහු ගිය විදේශ සංචාරයන්ය. විශේෂයෙන් ම ලිබියාව, ජෝර්දානය වැනි අප්‍රිකානු හා ආසියානු මුස්‌ලිම් රටවලට යමින් ඒ රටවල් හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කර ගැනීම මෙහිලා කැපී පෙනෙන කාරණාවක්‌ වූයේ ය.

මේ කරුණ ඔප්පු කරවන තවත් සිදුවීමකි පසුගිය සතියේ නැවත වතාවක්‌ ඔහු නිරත වූ ලිබියානු සංචාරය.

ලිබියන් ගමන

ඉරිදා දිනයේ අරලියගහ මැඳුරේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ

රැස්‌වීමෙන් පසුව ජනාධිපතිවරයා ලහි ලහියේ ලකලැහැස්‌ති වන්නට වූයේ පසුදා උදේ අරඹන්නට සුදානම්ව සිටි ලිබියානු ගමනටය.

ඒ අනුව 31 වැනිදා උදේ 10.00 ට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වූ විශේෂ ගුවන් යානයකින් ජනාධිපති මහින්ද ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පිරිස ලිබියාව බලා ගමන් ආරම්භ කළහ. මෙම ගමනට විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ද එක්‌ව සිටියහ.

ජනාධිපතිවරයා මේ ගමන ගියේ ලිබියානු නායක මුහම්මර් අල් ගඩාපිගේ ආරාධනයෙන් ලිබියානු විප්ලවයෙන් පසු 40 වැනි ජාතික මහා සැමැරුම් උත්සවයට සහභාගි වීම සඳහා ය.

මේ රාජ්‍ය තාන්ත්‍රික පිරිස ලංකාවේ වේලාවෙන් සවස 3.50 ට පමණ ලිබියාවේ ත්‍රිපොලි නුවර මදීගා ගුවන් තොටුපළට ළඟා වූහ. ලිබියානු රාජ්‍යයේ සැලසුම් අමාත්‍ය අබ්දුල් හෆීර් ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින් ජනාධිපති මහින්ද ඇතුළු පිරිස එහිදී පිළිගනු ලැබූහ. අනතුරුව ජනාධිපති මහින්ද කෙලින්ම ගියේ රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් නවාතැන් සූදානම් කර තිබූ ත්‍රිපොලි හි කොරන්ෆියා හෝටලයට ය.

පසුදා එනම් 01 වනදා ජනාධිපතිවරයාගේ පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවීම වූයේ එරට ට්‍රැඩිෂන් හෝටලයේදී පිලිපීන ජනාධිපතිනි ග්ලෝරියා අරෝසා හමුවීමය. පැය 1/2 තුළ පැවැති මෙම හමුවේදී පිලිපීන ජනාධිපතිනිය ජනාධිපතිවරයාගෙන් විමසා තිබුණේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේදී අනුගමනය කළ විශේෂ ක්‍රියාමාර්ග ගැන ය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පාකිස්‌තාන අගමැති යුසුප් රාසා ගිලානි සමඟ ද විශේෂ සාකච්ඡාවකට සහභාගි වූයේය. එය පැවැත්වූයේ ජනාධිපති මහින්ද සිටි කොරන්ෆියා හෝටලයේදී ය.

සංචාරයේදී ප්‍රධානතම කර්තව්‍යය වු ලිබියානු 40 වැනි නිදහස්‌ සැමරුම පැවැත්වූයේ 01 වැනිදා සවස්‌ වරුවේ ය.

මෙම නිල උත්සවය සඳහා රාජ්‍ය නායකයන් 40 දෙනකුට ලිබියානු ජනාධිපතිවරයා නිල වශයෙන් ආරාධනා කර තිබූ අතර ඊට ආසියාකරයෙන්ම තෝරා ගෙන තිබුණේ ශ්‍රී ලංකා, පිලිපීන හා පකිස්‌ථාන රාජ්‍ය නායකයෝ පමණි.

ජනාධිපති මහින්ද එම නිල උත්සවයට ගොස්‌ තමන්ට හිමි අසුන කරා පිය මනිද්දී ඔහුව කර්නල් මුහම්මර් අල් ගඩාපිගේ නෙත ගැටිනි. හේ අත වනා අප ජනාධිපතිවරයාට තමන් ළඟට එන ලෙස කතා කළේය. එහෙත් ජනාධිපතිවරයා එය නොදැකම තම අසුන වෙත ගියේය.

අවසානයේ ලිබියානු නායකයා තමන් ළඟ සිටි ආරක්‍ෂකයකු ජනාධිපති මහින්ද වෙත යවා ඔහුව තමන් ළඟට ගෙන්වා ගත්තේය. ඉතා උණුසුමින් කොහොමද මහින්ද කියා ජනාධිපති මහින්දව පිළිගත් ලිබියානු නායකයා තම රටේ 40 වැනි නිදහස්‌ සමරු උළෙලේ මුළු හමුදා සංදර්ශනයම නැරඹුයේ අප ජනාධිපතිවරයා සමඟ ඔහුගේ විශේෂ ආසනයේ වාඩි වී ජනාධිපති මහින්දගේ කරට උඩින් අතකුත් දමාගෙනය. මෙය විශේෂ සිද්ධියක්‌ ලෙස එම අවස්‌ථාවේදී කැපී පෙනිණි.

ඉන් පසුවද විශේෂ හමුවීම් කිහිපයක්‌ ම පැවැත්විණි. ඇල්ජීරියාව, ඉතාලිය, පෘතුගාලය, ස්‌aලෝවේනියාව, ජෝර්දානය ආදී රටවල රාජ්‍ය නායකයෝ මේ හමුවීම්වල සිටියහ.

පසුදා එනම් 02 දා තවත් විශේෂ හමුවීමක්‌ තිබිණි. ට්‍රැඩිෂන් හෝටලයේ පැවැති එම හමුවීමේදී අප ජනාධිපතිවරයාට මුණ ගැසුණේ මේ දිනවල ලොව වැඩිපුරම කතාබහට ලක්‌ව සිටින රාජ්‍ය නායකයකු වන වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස්‌ ය. මෙම හමුවීම දෙදෙනාටම කොතරම් වැදගත් වීද යත් ආපසු ලංකාවට ඒමට යොදාගෙන සිටි වේලාවට වඩා පැයක්‌ ප්‍රමාද වන්නට ගුවන් යානයට ද සිදුවිය. උදේ 10.30 ට සාකච්ඡාව පටන් ගෙන එය අහවර කර 11.00 ට මදීනා ගුවන් තොටුපළට එන්නට කල්තියා සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් ගුවන් යානය ත්‍රිපොලිවලින් පිටත් වූයේ ලංකාවේ වේලාවෙන් සවස 4.00 ට පමණය. එය කටුනායක ගුවන් තොටුපළට ළඟා වෙන විට 3 වැනිදා පාන්දර 1.30 ත් ඉක්‌මා ගොස්‌ තිබිණි.

උපන් දිනය

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට පසුගිය 02 දිනට අවුරුදු 58 ක්‌ සම්පූර්ණ විණි. බණ්‌ඩාරනායක මැතිඳුන් ඩී. ඒ. රාජපක්‍ෂ මැතිඳුන් සමඟ එක්‌ව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නමින් නව පක්‍ෂයක්‌ නිර්මාණය කළේ 1951 වසරේ සැප්තැම්බර් මාසයේ 02 දා ය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සිය 58 වැනි ජන්ම දිනය සමරන විට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිටියේ ලිබියාවේ ය. ඔහු නැවත ලංකාවට පැමිණියේ 03 වනදා පාන්දර වුවත් මහන්සි නොබලා උදේ 6.00 ට ඔහු විශේෂ දුරකථන ඇමතුමක්‌ ගත්තේය.

"මෛත්‍රී ඔබට සුබ උපන් දිනයක්‌." මට උදෙන්ම මතක්‌ වුණා. මොකද ඔයා බාල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට වඩා එක දවසයිනේ. පක්‍ෂය උපන්නේ 02 දා ඔයා උපන්නේ 03 වැනිදා.

මෙම සුබ පැතීම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහා ලේකම් මෛත්‍රිපාල සිරිසේනට අති විශේෂ සුබ පැතුමක්‌ වූයේය. ඉන් අනතුරුව මැති ඇමැතිවරු ගණනාවකගේ ම සුබ පැතුම් ගඟ ගලන්නාක්‌ සේ ඔහු වෙත ලැබෙන්නට වූහ.

මෛත්‍රීගේ 58 වැනි උපන් දිනය නිමිත්තෙන් පොලොන්නරුව ප්‍රදේශය පුරා ද විශේෂ පුණ්‍යකර්ම රැසක්‌ පැවැත්විණි. සෝමාවතියේ මහ සෑය අබියස කප්රුක්‌ පූජාවක්‌ ද ඒ වෙනුවෙන් පැවැත්විණි. ඊට අමතරව පොලොන්නරුවේ පැවැති සාහිත්‍ය කලා මහෝත්සවය වෙනුවෙන් පැමිණි පාසල් සිසු දරු දැරියන් 13000 කට එදින උදේ දිවා රෑ ආහාර සංග්‍රහය ද කරනු ලැබුවේ ඇමැතිවරයාගේ පෞද්ගලික වියදමෙනි.

රනිල් දකුණට

ඉකුත් 28 වැනි සිකුරාදා උදේ රනිල් වික්‍රමසිංහ ගාල්ල බලා පිටත්ව ගියේ සන්ෂයින් හෝටලයේ පැවැති ව්‍යාපාරිකයන්ගේ හමුවකට සහභාගිවීම පිණිසය. ගයන්ත කරුණාතිලක සහ ප්‍රදේශයේ පළාත් සභා අපේක්‍ෂකයන් දෙදෙනෙක්‌ සංවිධානය කළ මෙම හමුවට සහභාගි වී රනිල් විවේකීව ගාල්ලේ නතර වූයේය. ඔහු එදා රාත්‍රියේ සිටියේ ගාල්ලේ පිහිටි ඔහු වඩාත් ප්‍රිය කරන වතු බංගලාවකය.

පසුවදා උදේ ගාල්ලේදී අපේක්‍ෂකයන් හා පක්‍ෂ ක්‍රියාකාරීන් හමුවූ රනිල් ඉදිරි මැතිවරණ මෙහෙයුම් පිළිබඳ අදහස්‌ හුවමාරු කර ගත්තේය. ඉන් අනතුරුව ගාල්ල දිස්‌ත්‍රික්‌ එජාප නීතිඥ සංගමය සමඟ ද රනිල් වෙනම සාකච්ඡාවක්‌ පැවැත්වීය. ඒ ඒ මැතිවරණ කොට්‌ඨාසවලට වෙන වෙනම නීතිඥයන් අධීක්‍ෂකයන් ලෙස පත්කිරීම ද මෙහිදී සිදුවිය.

මේ අතරතුර මහ ලේකම් තිස්‌ස අත්තනායක සෙනසුරාදා මහනුවර කුණ්‌ඩසාලේ ආසනයේ විශේෂ වැඩකටයුතු රාශියකට සහභාගි වූයේය. මාසිකව පැවැත්වෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ හමුවෙන් පසුව ඔහු කුඹුක්‌ගහදෙනියේ ජල යෝජනා ක්‍රමයක්‌ විවෘත කරන්නට ද ගියේය.

අකිල - දයාසිරි ගැටුම

සෙනසුරාදා දිනයේ සිදු වූ එජාපයේ විශේෂම සිද්ධිය තිබුණේ කුරුණෑගලය.

ජොන්ස්‌ටන් ප්‍රනාන්දු කුරුණෑගල එජාප බලමණ්‌ඩල සභාපතිවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව පැවැති පළමු බලමණ්‌ඩල රැස්‌වීම එදා කුරුණෑගලදී පැවැත්වුණේ පක්‍ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ හා දිස්‌ත්‍රික්‌ සභාපති ජොන්ස්‌ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා කුරුණෑගල සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඉන්දික බණ්‌ඩාරනායක, අමරා පියසීලි, දයාසිරි ජයසේකර, අකිල විරාඡ් යන අය ද වයඹ පළාත් සභාවේ විපක්‍ෂ නායක ශාමල් සෙනරත්ද, හිටපු මන්ත්‍රීවරු වන උපාලි පියසෝම ඇතුළු පිරිසක්‌ ද සෙසු නියෝජිතයෝ ද විශාල ප්‍රමාණයක්‌ පැමිණ සිටියහ.

මුලින්ම කෙරුණේ ජොන්ස්‌ටන්ගේ සභාපතිත්වය ගැන සුබ පතා කතා කිරීමයි. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජොන්ස්‌ටන්ට සුබ පතමින් කතා කළහ.

මම ලොකු අභියෝග හුඟක්‌ අමාරු කාලවල බාරගත්ත කෙනෙක්‌. 2000 දී ඇවිල්ලත් මම ආසනේ දිනවල තමයි පාර්ලිමේන්තු ගියේ. මේ පාරත් මොන බාධක තිබුණත් පක්‍ෂය වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් ටික කරනවා.... ජොන්ස්‌ටන් කීවේය.

උදේ 10.30 සිට සවස 1.30 දක්‌වාම ඇදී ගියේ මෙබඳු කතා බහය. මේ අතර යාපහුව ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක කතා කරමින් ගාමිණී ජයවික්‍රම පෙරේරාට අභියෝගයක්‌ කළේය.

පසුගිය දවසක මංගල සමරවීර රැස්‌වීමක කිව්වා කුරුණෑගලදී නිදහසේ වේදිකාව රැස්‌වීමට ගැහුවේ ආණ්‌ඩුව කියලා. නමුත් අපේ සභාපතිතුමා කියනවා ගැහුවේ ජොන්ස්‌ටන් ප්‍රනාන්දුය. ඔහුට විරුද්ධව විනය පරීක්‍ෂණ තියන්න ඕනය කියලා. මොකක්‌ද ඇත්ත....

නමුත් මෙම ප්‍රශ්නයට කිසිවෙක්‌ උත්තර දෙන්නට ගියේ නැත.... මේ අතර ශාමල් සෙනරත්ට ද ප්‍රශ්නයක්‌ මතුවිණි.

ඔව්.... ශාමලුත් කිව්වා රැස්‌වීමට එදා ගැහුවේ ජොනීගේ ගෝලයෝ කියලා. මෙතන අද ඇවිත් ජොන්aස්‌ටන් දක්‍ෂයි හොඳයි කියල පත්වීම ගැන සතුට පළකරනවා. මොනවද මේ ඩබල් ගේම්....

මේ අතර බලමණ්‌ඩලයට අලුත් ලේකම්වරයකු පත්කර ගැනීමට අවශ්‍ය බව ජොන්ස්‌ටන් කීවේය. කල්තියා මන්ත්‍රීවරු සිතා සිටියේ මෙම තනතුරට ඉන්දික බණ්‌ඩාරනායකගේ නම යෝජනා කිරීමටය. එහෙත් ඊට පෙර අකිල ලෙඩක්‌ ඇද්දේය.

එහෙම පුරප්පාඩුවක්‌ පුරවන්න න්‍යාය පත්‍රයේ නැහැ. එහෙම දෙයක්‌ කරන්න ඕන නම් කරන ක්‍රමයක්‌ තියෙනවා. ඊට පිටින් ගිහින් කරන්න බැහැ....

මොකද න්‍යාය පත්‍රයේ නැත්තේ මේ තියෙන්නේ.... ජොන්ස්‌ටන් කීවේය.

අද බැහැ... වෙන දවසක්‌ දෙන්න... අකිල කීවේය. නැහැ අද 2/3 කටත් වඩා සෙනඟ ඉන්නවා. අදම කරන්න ඕන.... ජොන්ස්‌ටන් කීවේය.

මේ අතර ප්‍රාදේශීය සභාවක විපක්‍ෂ නායකවරයෙක්‌ දයාසිරි ජයසේකරගේ නම ලේකම් තනතුරට යෝජනා කළේය. එකෙනෙහිම උපාලි පියසෝම එය ස්‌ථිර කළේය.

මේ අතර යොවුන් පෙරමුණේ ලේකම් සුමිත් නැගිට අකිලගේ නමත් ලේකම් තනතුරට යෝජනා කළේය. එහෙත් කිසිවකු එය ස්‌ථිර කිරීමට නැගිට්‌ටේ නැත. අකිලගේ ආසනයේ අය හා ප්‍රාදේශීය සභාවේ අය එතන සිටියත් කිසිවකු නැගිට්‌ටේවත් කට ඇරියේවත් නැත.

මේ අතර විරෝධය පාමින් අකිල කතා කරන්නට විය. රනිල් වෙනුවෙන් පක්‍ෂය ගොඩගන්න මහන්සි වෙන අපට පක්‍ෂය සලකන්නේ මෙන්න මෙහෙමයි නේද... අකිල වේදනාවෙන් ඇසීය.

අනේ පේනවා නේද ඔයාට ඔයාගේ තත්ත්වය. අනෙක්‌ මන්ත්‍රීවරු කීහ.

මෙතන කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක්‌ නැහැ.... අකිල කීවේය.

හරි එහෙනම් අපි ඡන්දයකට යමු.

ඡන්දෙකට යන්න කලින් මෙයාගෙ යෝජනා කරපු නම කවුරු හරි ස්‌ථිර කරල ඉන්න එපාය. ඒකට කෙනෙක්‌වත් නැහැනේ..

ඡන්දෙකට යන්න ඕන නම් මම මේ නම ස්‌ථිර කරන්නම්. ඊට පස්‌සේ බලාගන්න පුළුවන් නේ මෙයා ඡන්ද ගන්න ගාන. රංජිත් කීවේය.

එන පොට හරි නැති වග දුටු ගාමිණී ජයවික්‍රම මන්ත්‍රීවරු කිහිපදෙනා එකතු වී මේ පිළිබඳ තීරණයක්‌ ගන්නට යෝජනා කළේය.

ඇයි මන්ත්‍රීවරු විතරක්‌.... අපිත් ආවේ මේ සභාවට සහභාගි වන්න.... ඇතුළේ ගාලගෝට්‌ටියක්‌ හටගත්තේය.

තත්ත්වය පාලනය කරගත් ජොන්ස්‌ටන් මන්ත්‍රීවරු කිහිපදෙනා සමඟ වෙනම කාමරයකට ගොස්‌ සාකච්ඡා කළේය. නීතිවේදී රැකව හා දිස්‌ත්‍රික්‌ කළමනාකරු ජානක බෝගොල්ලාගම ද ඊට සහභාගි වූහ. අන්තිමේ ගාමිණී ජයවික්‍රම අකිලට දොස්‌ කීවේ තමන්ට කිසිවකු කැමැති නැති බව දැන දැනත් ප්‍රශ්න ඇති කිරීම පිළිබඳවය.

අකිල නිකන් ප්‍රශ්න ඇති කරන්න එපා. හොඳම දේ එළියට ගිහිල්ලා ඔයාම දයාසිරිගේ නම යෝජනා කරල නිකන් ඉන්න.

මමත් කැමැතියි ඔය වගේ වගකීමක්‌ දරන්න. අපි කොච්චර කැපකිරීම් කරල තියෙනවද මොනවද ඒ වෙනුවට පක්‍ෂය අපට දීල තියෙන්නේ. මේ තනතුර මට නොදෙන එක වැරදියි. අකිල කීවේය.

ඇයි... ඔයාට යොවුන් පෙරමුණ බාරදීල තියෙන්නේ.

ඒක වැඩක්‌ නැති තනතුරක්‌. මම ඕකෙන් ඉල්ලා අස්‌වෙනවා. දයාසිරිට මේක දෙන්න බැහැ. ඉන්දිකට දුන්නට කමක්‌ නැහැ. එයා ජ්‍යෙෂ්ඨයෙක්‌. අකිල කීවේය.

ඉන්දික.... ඕක බාරගන්න හදන්න එපා. ඔය අපි අපි කොටවන්න හදන්නේ. ජොන්ස්‌ටන් කීවේය.

අවසානයේ බැරිම තැන අකිල දයාසිරිගේ නම යෝජනා කරන්නට එකඟ වූයේය. ඒ අනුව එළියට පැමිණ ඔහුම දයාසිරිගේ නම යෝජනා කළ අතර උපාලි පියසෝම වහාම එය ස්‌ථිර කළේය.

මේ අයුරින් ඉතා උණුසුම්ව දිස්‌ත්‍රික්‌ රැස්‌වීම අවසන් වූයේය. සියලුqම දෙනා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහය ජොන්ස්‌ටන් සූදානම් කර තිබිණි. ජොන්ස්‌ටන් සැමටම ඊට ආරාධනා කළේය.

සියලුම දෙනා හිටියත් අකිල පමණක්‌ වාහනයක නැගී යන්නට සූදානම් වූයේය.

අකිල එහෙම කරන්න එපා. ඒක නරකයි. ගාමිණී ජයවික්‍රම කීවේය.

මට ඉක්‌මනින් යන්න ඕන වැඩක්‌ තියෙනවා කී අකිල ඉක්‌මණින් පිටව ගියේය.

අකිල ගිහින් විනාඩි පහකට පමණ පසු පක්‍ෂ නායක රනිල්ගෙන් ගාමිණී ජයවික්‍රමට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. ඉන් ගාමිණී ජයවික්‍රමට දොස්‌ පැවරිණි. හේතුව අකිලට දිස්‌ත්‍රික්‌ ලේකම්කම නොදීමය.

ඒක කොහොමද කරන්නේ. එයාට කවුරුවත් කැමැති නැහැ. එක්‌කෙනෙක්‌ නම යෝජනා කළා. නමුත් ස්‌ථිර කරන්නවත් කෙනෙක්‌ හිටියේ නැහැ. බැරිවෙලාවත් ඡන්දෙකට ගියා නම් ඔබතුමාටත් ලඡ්ජයි. ගාමිණී කීවේය.

අකිල අස්‌වෙයි

කෙසේ වෙතත් එදින රැස්‌වීමෙන් පසු අකිල ආපසු යන්නේ දැඩි කලකිරීමකින් යුතුවය. පක්‍ෂ නායකයා වෙනුවෙන් සුවිසල් මෙහෙයක්‌ තනිව කරන අකිල සිතුවේ පක්‍ෂ නායකයා මැදිහත්ව තමන්ට එම තනතුර ලබාදේය කියාය.

එය සිදු නොවීම නිසා කලකිරුණු අකිල යොවුන් පෙරමුණේ සභාපති තනතුරින් ඉල්ලා අස්‌වන්නට ලියුම් සැකසුවේය. ඉරිදාම එම ලියුම් පක්‍ෂ නායකයාට, සභාපතිට හා ලේකම්ට යෑවූ අකිල දුරකථන වසා දමා නිහඬ වූයේය.

හෙළ උරුමය

ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික රැස්‌වීමක්‌ද පසුගිය සතියේ පැවැත්විණි. එළඹෙන දකුණු පළාත් සභා මැතිවරණයේදී සන්ධාන කණ්‌ඩායමේ ජය තහවුරු කිරීමට ගාල්ල, මාතර, හම්බන්තොට දිස්‌ත්‍රික්‌ක වලට මෙහෙයුම් කමිටු ද පත් කිරීමට එකඟතාවක්‌ ඇතිවිණි. මාතරට අතුරලියේ රතන හිමිත්, හම්බන්තොටට නිශාන්ත වර්ණසිංහත්, ගාල්ලට උදය ගම්මන්පිලත් මේ සඳහා පත් කිරීමට යෝජනා ස්‌ථිර කෙරිණි.

මේ අතරතුර පරිසර අමාත්‍ය චම්පික රණවකගේ අදහසකට අනුව ආර්ථික සංවර්ධනය හා පරිසර සංරක්‍ෂණය යන මැයෙන් වැඩමුළුවක්‌ මධ්‍යම පරිසර අධිකාරියේදී පසුගිය සතියේ පැවැත්විණි. ඊට දේශනයක්‌ සඳහා ඇමැති ජී. එල්. පීරිස්‌ ද සහභාගි වී සිටියේය. ඊට සහභාගි වූ ව්‍යාපාරික ප්‍රජාව අමතමින් ජී. එල්. පරිසර හිතකාමීව ආර්ථික සංවර්ධනය කරා යන ගමන ගැන ලොකු දේශනයක්‌ කළේය.

මෙම වැඩමුළුවට පසු දින චම්පික නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන කලාපීය පරිසර ඇමැතිවරුන්ගේ සමුළුවකට සහභාගි වීම සඳහා නේපාලය බලා පිටත්ව ගියේය.

තිලංග මුල්කිරිගලට

මුල්කිරිගල ඡන්ද කොට්‌ඨාසය ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන්ගේ ජීවිතය හා බැඳුණු වෙන් කළ නොහැකි ඡන්ද කොට්‌ඨාසයකි. රාජපක්‍ෂවරු බොහෝ දෙනෙක්‌ දේශපාලනය පටන් ගත්තේ මුල්කිරිගලින් වීමත් මහින්දගේ ළමා කාලය ගතව ගියේ මුල්කිරිගල වීමත් ඊට ආසන්න හේතු දෙකකි. එනිසා මෙවර පළාත් සභා මැතිවරණයේදී මුල්කිරිගල පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය විය.

මුල්කිරිගල වගකීම බාරදී කැපීපෙනෙන ජයග්‍රහණයක්‌ ඉන් ලබාගැනීමේ වගකීම බාරදීමට සුදුස්‌සා කවුදැයි සොයා බලද්දී ජනාධිපතිවරයාගේ මතකයට නිතැතින්ම පැමිණියේ තිලංග සුමතිපාලයි.

තිලංගට මේ වගකීම පැවරිණි. තිලංග ඉතා සතුටින් ඒ වගකීම බාරගත්තේ අනෙක්‌ ප්‍රදේශ සියල්ලටම වඩා කැපීපෙනෙන වෙනසක්‌ මුල්කිරිගල ආසනය තුළ කිරීමේ ස්‌ථිර අදිටනින් ද යුතුවය.

ජානිපෙ

ජාතික නිදහස්‌ පෙරමුණේ දේශපාලන මණ්‌ඩල රැස්‌වීමක්‌ පසුගිය 02 දා බත්තරමුල්ලේදී පැවැත්විණි. මුලින්ම ඔවුන් කතා බහ කළේ පසුගිය දා පක්‍ෂය විසින් රට හමුවේ තැබූ "දැය දිනවන ගමන" නම් දේශපාලන සංකල්පය වටා ගොනුවී තිබෙන වැඩපිළිවෙළ ගැනය.

"මේ වැඩපිළිවෙළ රට හමුවේ තබන්න අපි සංවිධානය කළ කොළඹ, අනුරාධපුර හා කුරුණෑගල සම්මන්ත්‍රණ ඉතා සාර්ථකයි. මේ කරුණ ගැන අපි රට පුරා ලොකු සංවාදයක්‌ ගොඩනැගිය යුතු වෙනවා." විමල් කීවේය.

ඉන් අනතුරුව ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා කතා කළේ අත්‍යවශ්‍ය ආහාර වර්ග වල මිල ඉහළ යැම ගැනය. "පරිප්පු හා ගෑස්‌ වල මිල බලා ඉද්දී ඉහළ ගියා. අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් ජනතාවට දරාගන්න බැහැ."

"රටට සාමය උදා වුණාම මිනිස්‌සු හිතුවා අනාගතය තමන්ට හොඳ වෙයි සහනයක්‌ ලැබෙයි කියලා. මේ විදිහට බඩු මිල ඉහළ ගියොත් ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටෙනවා." නිමල් ප්‍රේමවංශ කීය.

"ඔව්... ඒවා ඇත්ත. පසුගිය දිනවල අපි ජනාධිපතිතුමාට අඩුපාඩු ගොඩක්‌ පෙන්නලා දුන්නා. අධිවේගී මාර්ග සෑදීමේදී සිදුවුණු අක්‍රමිකතා අපි පෙන්නලා දුන්නා. ජනාධිපතිතුමා නිසි පියවර අරන් පරීක්‍ෂණ අරඹලා තියෙනවා. අපි ඒ වගේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවෙන දිශාවට රජය තල්ලු කිරීමට කටයුතු කළ යුතුයි. "විමල් කීවේය.

මේ අයුරින් එදින තවත් කරුණු කාරණා ගණනාවක්‌ම ජානිපෙ නායකයෝ සාකච්ඡාවට ගත්හ.

ජවිපෙ

මේ අතරතුර ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල රැස්‌වීමක්‌ ද පසුගිය 01 දා පක්‍ෂ නායක සෝමවංශ අමරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊට පෙර ජවිපෙ නායකයා මාතර පැවැති අපේක්‍ෂකයන්ගේ හමුවකටද සහභාගි වී තිබිණි.

"මම අද අපේක්‍ෂක හමුවට පස්‌සේ අපේ පියසේන රාමනායක සමග පක්‍ෂයේ පැරණි සාමාජිකයන් පිරිසක්‌ හමුවන්න ගියා. අපි කතාබහ කළා..."

"දකුණ අපට ලොකු සාමාජික පිරිසක්‌ විශාල පදනමක්‌ තිබෙන පළාතක්‌. ඉතිහාසයේ ඉඳලම පක්‍ෂය නියෝජනය කළ සාමාජිකවරු විශාල ප්‍රමාණයක්‌ දකුණේ ඉන්නවා. අපට ඉදිරියේදී ඒ අය හමුවන්න පුළුවන්." ටිල්වින් කීවේය.

"අපි දකුණට අපේ උපරිම කාලය වෙන් කළ යුතුයි. ආණ්‌ඩුවට දකුණේදී තියන අභියෝගය අපි." විජිත කීවේය.

"ප්‍රධාන බය ආණ්‌ඩුව දැනට කරමින් ඉන්න ලොකු බොරු අපි ජනතාවට එළිදරව් කිරීමයි. අපි ඒක දැනටමත් අරඹලා" ලාල්කාන්ත කීවේය.

"විදුලිබල මණ්‌ඩලයේ සේවකයන්ගේ එක්‌ දින වැඩ වර්ජනයට ලොකු ප්‍රතිචාරයක්‌ කම්කරුවන් තුළින් ලැබුණා. ඒකත් මේ වෙනස්‌වෙන තත්ත්වය ගැන අපට හොඳ නිදසුනක්‌" සෝමවංශ කීවේය.

"වර්ජනය කඩා ඉහිරවන්න රජය කොච්චර දේවල් කළාද... නිවාඩු අවලංගුයි කියල නිවේදනය කළා. නමුත් සේවකයෝ ඒ එකක්‌වත් ගණන් ගත්තද... නමුත් විදුලිබල මණ්‌ඩලයේ සේවකයෝ රජයට හොඳ සංඥවක්‌ ලබාදීල තියෙනවා."ලාල් කාන්ත දිගටම කියාගෙන ගියේය.

"ආණ්‌ඩුව ඉතින් හැම දේටම කෝකටත් තෛලය විදියට දැන් මර්දනය පාවිච්චි කරන්නනේ හදන්නේ" ටිල්වින් කීවේය.

සාකච්ඡාව දිගින් දිගටම ගියේය. කතාබහ ඊළඟ අයවැයේදී කරන දේවල් ගැනද කතා කරමින් ඉදිරියට ඇදී ගියේය. අවසානයේ අවතැන් කඳවුරුවල තත්ත්වය ගැන ද කතාබහ විණි.

මෙහෙයුම් කමිටුව

පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන්ගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා මැතිවරණය සඳහා වූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්‌වීමක්‌ පැවැත්විණි. ඊට මෛත්‍රී, සුසිල්, නිමල් සිරිපාල, චම්පික, බැසිල්, විමල් යන අය ද ඒ ඒ දිස්‌ත්‍රික්‌කවලට පත්කර ඇති මැති ඇමැතිවරු ද රැස්‌ව සිටියහ.

"අපි දන්නවා. දැනටමත් දකුණට පිටස්‌තර පළාත්වලින් පිරිස්‌ ගිහිල්ල ඉන්නවා. ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුකර ඒවායේ වගකීම ආණ්‌ඩුවට පටවන්න සැලසුමක්‌ තියෙනවා. එයාලට අවශ්‍ය ආණ්‌ඩුව දකුණ ජයගන්න හදන්නේ ප්‍රචණ්‌ඩත්වය වපුරල කියන පණිවිඩය ලෝකෙට දෙන්නයි. අපි ඔය උගුලට අහුවෙන්න හොඳ නැහැ." විමල් කීවේය. අනෙකුත් ඇමැතිවරු විමල්ගේ ඒ සංඥව වටහා ගනිමින් කතා කළහ.

එක්‌සත් ජාතික පක්‍ෂය තුළ දැන් දැන් නැවතත් අභ්‍යන්තර ආරවුල් අවුල් වියවුල් රැසක්‌ මතුපිටට පැමිණෙන්නට පටන්ගෙන තිබේ. මේ දිනවල ඒ ආරවුලෙහි අලුත්ම පරිච්ඡේදය ලෙස දැක ගන්නට ලැබෙන්නේ ජොන්ස්‌ටන් ප්‍රනාන්දුට එරෙහිව පක්‍ෂයේ නායකයන් කිහිපදෙනකු විසින් ක්‍රියාත්මක කර ඇති තදබල ක්‍රියා පටිපාටියයි.

එක්‌ පිරිසක්‌ පක්‍ෂ නායකයාට බල කර සිටියේ ජොන්ස්‌ටන්ට එරෙහිව පක්‍ෂය දැඩි විනය ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කළ යුතු බවය. මේ සඳහා පසුබිම සකස්‌ කිරීමට ජොන්ස්‌ටන්ට විරුද්ධව මතවාදයක්‌ දිස්‌ත්‍රික්‌කය තුළ දියත් කිරීම මේ ක්‍රියාකාරීන්ගේ පළමු උත්සාහය වූහ.

පළමුව ඔහුට එරෙහි රැල්ලක්‌ හා පුළුල් විරෝධයක්‌ දිස්‌ත්‍රික්‌කය තුළ ඇති බව පෙන්වීමට වැඩපිළිවෙළක්‌ සකස්‌ කෙරිණි.

මේ සඳහා 30 වැනි ඉරිදා දැදිගම ආසනය පුරා 5 තැනෙක ක්‍රියාත්මක කෙරෙන සංවාදශීලී ජනහමුවලදී පළමු වෙඩිමුරය පත්තු කිරීමට සැලසුම් සකස්‌ කෙරිණි. ජොන්ස්‌ටන්ට එරෙහි ප්‍රශ්න පත්‍ර කිහිපයක්‌ නිර්මාණ කර එම තැන් 5 ට ඒවා යවා තිබුණේ ජොන්ස්‌ටන්ට අවාසි සහගත වාතාවරණයක්‌ ඇතිවන ලෙස තැන තැන දී නායකයාගෙන් ඒ ප්‍රශ්න විමසීමටය.

කෙසේ වෙතත් ඒ සැලසුම ඊට දවසකට කලින් ජොන්ස්‌ටන්ට ආරංචි වූයේය. ජොන්ස්‌ටන් කලබල වී ඊට විසඳුම් සොයන්නට පටන් ගත්තේය.

ඔහු කළේ තමන්ට හිතවත් තරුණයන් 150 පමණ එකු කරගෙන ඉරිදා උදේ සිටම ඒ ජනහමු තිබෙන තැන්වලට ගොස්‌ සභාවෙන් වාඩිවීමය. ජොන්ස්‌ටන් තරුණ පිරිසක්‌ සමඟ රැස්‌වීම්වලට පැමිණීම පිරිසකගේ සොම්නසට හේතු වුවත් තවත් පිරිසක්‌ කලකිරීමට පත් කරනු ලැබුවේය.

"මම මේ ආවේ පක්‍ෂය ඇතුළෙන්ම තැනකින් ප්‍රශ්න පත්තර වගයක්‌ හදල එවල තියෙනවා මට විරුද්ධව අහන්න. ඒවා අහනවද කියල බලන්න." ජොන්ස්‌ටන් අලව්ව රැස්‌වීමේදී තම හිතවතුන් පිරිසකට හඬනඟා කීවේය.

එහෙත් කිසිවකු ජොනී ගැන ප්‍රශ්නයක්‌ නම් කළේ නැත. මේ අයුරින් ඊළඟට එජාප නායකයා ගියේ නාරම්මල පිහිටි සංවාදශීලී ජන හමුවටය. ජොන්ස්‌ටන් එතනටද ගියේය. එතනද ප්‍රශ්නයක්‌ නැත.

නාරම්මල රිවිසඳ ව්‍යාපාර හිමිකරුගේ නිවෙසින් දිවා ආහාරය ගත් එජාප නායකයෝ ඊළඟට අනෙක්‌ රැස්‌වීම් 3 ට සහභාගි වෙද්දී ජොන්ස්‌ටන් ද ඒ හැම තැනටම ගියේය. ඔහුට ප්‍රශ්නයක්‌ නොවීය.

කෙසේ වෙතත් ජොන්ස්‌ටන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට ඉතා රහසිගතව සැලසුමක්‌ සකස්‌ වෙමින් තිබෙන බව පමණක්‌ පක්‍ෂයේ කණින් කොනින් අසන්නට ලැබිණි.

ජොන්ස්‌ටන්ගෙන් මේ පිළිබඳ විමසන විට ඔහු කියන්නට වූයේ වෙනම උත්තරයකි.

"ඔව්. මම බලබල ඉන්නේ විනය ක්‍රියාමාර්ගයක්‌ ගන්නකන්. අපි පක්‍ෂය වෙනුවෙන් කතා කරපු අය. පක්‍ෂය රැකගන්න වැඩ කරපු අය. අලිය රැකගන්න කෑ ගහපු අය. ඒක විනය ක්‍රියාමාර්ග ගන්න හේතුවක්‌ නෙවෙයි....." ඔහු කියන්නට වූයේය"

නාගසේන

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v