ගමේ ජනතාවට බලය ලැබෙන ක්‍රමයක්‌ අප යෝජනා කළා
සර්වපාක්‌ෂික කමිටුවේ සභාපති මහාචාර්ය තිස්‌ස විතාරණ

සර්වපාක්‌ෂික කමිටුව තම යෝජනා මාලාව පසුගියදා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර තිබේ. දෙමළ ජනතාවට ලබාදිය යුතු දේශපාලන විසඳුම පිළිබඳවත් රටේ සියලුම ජනතාවට බලපාන ගැටලු පිළිබඳවත් දේශපාලන පක්‌ෂ 13 ක්‌ සමග සාකච්ඡා කර එකඟත්වයකින් ඇති කරගත් එම යෝජනා මාලාව පිළිබඳ සර්වපාක්‌ෂික කමිටුවේ සභාපති මහාචාර්ය තිස්‌ස විතාරණ මහතා කරන විග්‍රහයකි මේ.

අපේ රටේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ලබාදිය යුතු දේශපාලන විසඳුම පිළිබඳ සර්වපාක්‌ෂික කමිටුවේ තීරණ පසුගියදා ජනාධිපතිතුමා වෙත බාරදී තිබෙනවා. කමිටුව එළඹුණු ඒ තීරණ මොනවාද?

කමිටුව එළඹුණු මෙම තීරණ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලුවලට පමණක්‌ සීමා කරල නැහැ. ජනාධිපතිතුමා එතුමාගේ මහින්ද චින්තනයෙන් ප්‍රකාශ කළ පරිදි යුද මට්‌ටමට වර්ධනය වී තිබෙන ජාතික ප්‍රශ්නය මූලික වී ඇත්තේ දේශපාලන හේතූන් නිසා සර්වපාක්‌ෂික කමිටුවක්‌ කැඳවා එයට දේශපාලනික විසඳුම් ඉදිරිපත් කළ යුතු බව සර්ව පාක්‌ෂික සමුළුවක්‌ කැඳවා රජය දේශපාලන විසඳුම් බලාපොරොත්තු වුණේ ඒ අනුවයි. සර්ව පාක්‌ෂික සමුළුව දෙන එම යෝජනාවලිය එල්. ටී. ටී. ඊ. ය සමග සාකච්ඡා කිරීමේදීත් පාවිච්චි කරන්නට තමා බලාපොරොත්තු වන බවත් ඉදිරි කාලයේ නව ව්‍යවස්‌ථාවක්‌ ඇති කිරීමටත් එය භාවිත කරන බව ජනාධිපතිතුමා සඳහන් කර තිබිණි. මේ තීරණ අප සකස්‌ කළේ ඒ අනුවයි. දෙමළ ජනතාව ගැන පමණක්‌ නොවෙයි මේ රටේ ජීවත්වන සියලුම ජනතාව මුහුණ දෙන ප්‍ර්‍රශ්න පිළිබඳවත් මේ ව්‍යවස්‌ථාව නිසා මුහුණදීමට සිදුවී ඇති ගැටලු පිළිබඳවත් අප අවධානය යොමුකර තිබෙනවා. මෙය ජනතාව විසින් පාර්ලිමේන්තුවට පත්කර එවූ නියෝජිතයන්ගේ එකඟතාව මත හැදූ යෝජනාවලියක්‌ අප රැස්‌වීම් වාර 128 ක්‌ පවත්වලා තිබෙනවා. රජයට අයත් පක්‌ෂ 11 ක්‌ සහ විරුද්ධ පක්‌ෂ 2 ක්‌ වශයෙන් පිළිගත් පක්‌ෂ 13 ක්‌ මෙයට සහභාගි වී තිබෙනවා. ඒ පක්‌ෂ සියල්ලේ එකඟතාවයෙන් ඇති කරගත් යෝජනාවලියේ සාරාංශයක්‌ අප ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා.

සර්වපාක්‍ෂික කමිටුව මේ තීරණ ප්‍රකාශයට පත්කරන්න දිගු කාලයක්‌ ගත කළ බවට චෝදනාවක්‌ තිබෙනවා. එයට බලපෑ හේතු මොනවාද?

මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් තීරණවලට ඒමේදී කල්ගත කාලය කියන චෝදනාව ගැන මා පුදුම වෙනවා. උදාහරණයක්‌ හැටියට මෙහිදී අප සාකච්ඡා කළ ප්‍ර්‍රශ්න සංඛ්‍යාව 20 කට වැඩියි. ඒවායින් එකක්‌ මේ මැතිවරණ ක්‍රමය. නමුත් මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක්‌ පත්කරලත් තියෙනව. දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ සභාව තවමත් ඒ කටයුතු අවසන් කරල නැහැ. කලින් පාර්ලිමේන්තුවේත් මේ සභාව රැස්‌වෙලා මේ ගැන සාකච්ඡා කළා. එක ප්‍රශ්නයක්‌ සම්බන්ධයෙන් එතරම් කාලයක්‌ ගතවෙනවානම් එවැනි ප්‍රශ්න ගණනාවක්‌ සම්බන්ධයෙන් අප අවුරුදු තුනක්‌ ගතකිරීම දිගු කාලයක්‌ නෙමෙයි. උතුරු අයර්ලන්තයේ ඇතිවුණු මෙවැනි ප්‍රශ්න ගැන වසර හයක්‌ සාකච්ඡා කර තිබෙනවා. මේ ගැඹුරු ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ මත දරන අපේ රටේ පක්‍ෂ සමග අපේ රටේ අවශ්‍යතාවන් පදනම් කරගෙන සාකච්ඡා පවත්වල වසර තුනක්‌ වැනි කාලයකින් එකඟත්වයක්‌ ඇතිකර ගැනීමට ලැබීම ලොකු දෙයක්‌.

අපේ රටේ දෙමළ ජනතා පමණක්‌ මුහුණ දෙන විශේෂිත ගැටලු නොමැති බව ඇතැම් දෙනා දරන මතයක්‌. සිංහල සහ මුස්‌ලිම් ජනතාවත් දෙමළ ජනතාව මුහුණ දෙන බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන බවයි ඔවුන් කියන්නේ. මේ යෝජනාවලිය සකස්‌ කිරීමේදී කවර පදනමක්‌ මතද එය සකස්‌ කළේ?

දෙමළ ජනතාවට විශේෂ ප්‍රශ්නයක්‌ නැහැයි කියන අයගෙන් මම අහන්න කැමතියි ඔවුන් තිස්‌ අවුරුද්දක්‌ තිස්‌සේ ආයුධ අරන් වෙනම රාජ්‍යයක්‌ වෙනුවෙන් යුදAධ කළේ ඇයිද කියල. එහෙම නම් සිංහල අයත් මුස්‌ලිම් අයත් ඒ දේම කරන්නට ඕනෑ. දෙමළ ජනතාවට අනිවාර්යයෙන්ම එහෙම ප්‍රශ්නයක්‌ තියෙනවා. එහි ප්‍රමාණය ගැන මතභේද තියෙන්න පුළුවන්. එය යුක්‌ති සහගතද නැද්ද කියල මතභේද තියෙන්න පුළුවන්. දෙමළ අය ඔවුන් සටන ගෙන ගියේ ආරක්‌ෂාව ඇතුව අනන්‍යතාවක්‌ සහිතව ජීවත්වීමට වෙනම ප්‍රදේශයක්‌ අවශ්‍යයි කියන අරමුණේ ඉඳගෙනයි. එල්. ටී. ටී. ඊ. ය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයන් බව පාර්ලිමේන්තුවේ දෙමළ පක්‌ෂත් පිළිගෙන තිබෙනවා. එය එල්.ටී.ටී.යේ තුවක්‌කුවට බයේ කියපු දෙයක්‌ වෙන්න පුළුවන් නමුත් දෙමළ ප්‍රජාව මේ රට අතෑරල පිටරටවල ඉඳන් එල්ටීටීඊයට අවි ආයුධ එවන්න මුදල් වියදම් කළේ සෙල්ල මකට නෙමෙයි. අපි මේ දිහා බලන්න ඕන දෙමළ ජනතාවට ප්‍රශ්නයක්‌ තියෙනවා කියල හිතාගෙනයි. අප ඒ ආකාරයට බලලත් තියෙනවා. ප්‍රශ්න තියෙන්නෙ දෙමළ ජනතාවට පමණක්‌ නෙමෙයි. සිංහල දෙමළ මුස්‌ලිම් හැම ජන කොට්‌ඨාසයකටම ප්‍රශ්න තියෙනවා. අප සාකච්ඡා කළ ප්‍රශ්න තුළින් නිතරම මතුව ආ ප්‍රශ්නය නම් බෙදුම්වාදයට ඉඩ නොදී මේ රටේ සියලුම ජනතාව ශ්‍රී ලාංකිකයන් වශයෙන් සලකා කටයුතු කළ හැක්‌කේ කෙසේද යන්නයි. ඒ සඳහා උපරිම බලයක්‌ ගම්මට්‌මට ලබාදිය යුතුයි. එය කිරීමට බලය බෙදා හැරිය යුතුයි. 13 වැනි සංශෝධනයෙන් එය පළාත් මට්‌ටමට සීමා කර තිබෙනවා. පළාත් මට්‌ටමෙන් එය ප්‍රාදේශීය සභා මට්‌ටමටත් එතනින් ගම් මට්‌ටමට එනම් කලින් තිබූ ගම්සභා ක්‍රමය පදනම් කරගෙන අපට අදට ඔබින ක්‍රමයක්‌ ඇතිකරන්නට මේ යෝජනා මාලාවෙන් උත්සාහ දරා තිබෙනවා. එය රටේ සියලුම ජනතාවට ප්‍රයෝජනවත් වැඩපිළිවෙළක්‌.

13 වන ව්‍යවස්‌ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට යැම පිළිබඳ පසුගියදා රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක්‌ මතුවුණා. කමිටුවේ අවසන් යෝජනාමාලාව තුළින් එයට විසඳුමක්‌ ඉදිරිපත් කර තිබෙනවද?

ඔව්. රටේ බෙදුම්වාදී ප්‍රවණතාවක්‌ ඇතිවී තිබෙන බව අප සැලකිල්ලට භාජනය කර තිබෙනවා. බෙදුම්වාදී ප්‍රවණතාවට ජනතාවගේ සහයෝගයක්‌ නොලැබෙන ආකාරයට ඔවුන්ගේ ප්‍රශ්න විසඳිය යුතු බව මේ සාකච්ඡා තුළදී අප අවධාරණය කළා. මේ යෝජනා මාලාව සකස්‌ වුණේ ඒ ආකාරයටයි. බෙදුම්වාදීන්ට අවස්‌ථාවක්‌ නොදෙන පරිදි නීතිය පැත්තෙනුත් ව්‍යවස්‌ථාව පැත්තෙනුත් කටයුතු කරන්නට මෙයින් යෝජනා කර තිබෙනවා. ජනාධිපතිතුමාත් ඉදිරියේදී මේ පිළිබඳ තම අදහස්‌ ප්‍රකාශ කළ පසු ඒවාටත් සවන්දීල මේ යෝජනාමාලාව අවසන් වශයෙන් සකස්‌ වූ විට මේ දෙපැත්ත පිළිබඳවම අප අවධානය යොමුකර තිබෙන බව ජනතාවට පැහැදිලිවේවි.

සිංහල දෙමළ මුස්‌ලිම් සියලුම ජනවර්ගවලට අද මුහුණදීමට සිදුවී තිබෙන ප්‍ර්‍රධානම ප්‍ර්‍රශ්නය රටේ යහ පාලනයක්‌ නැතිවීමයි. අපේ රටේ අවි අතටගත් එකම කණ්‌ඩායම එල්.ටී.ටී.ඊ. පමණක්‌ නෙමෙයි. රටේ යහ පාලනයක්‌ ඇති කළොත් මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන බව විශ්වාස කරන පිරිස්‌ද අප අතර ඉන්නවා. රටේ යහ පාලනයක්‌ ඇති කිරීමට මේ යෝජනා මාලාව තුළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවද?

රටේ යහ පාලනයක්‌ ඇති කිරිමට නොහැකිවී තිබෙන්නේ 1978 ඇති කළ ව්‍යවස්‌ථාව නිසයි. හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන ඒ ව්‍යවස්‌ථාව සකස්‌ කළේ එතුමාගේ පක්‌ෂයේ අනුමැතියවත් නැතුවයි. රටේ කිසිවෙකුගේ තබා තම පක්‌ෂයේවත් මතය විමසන්නේ නැතුව එතුමා මේ ව්‍යවස්‌ථාව හැදුවේ කැබිනට්‌ මණ්‌ඩලයේ කීප දෙනෙකුගේ අවශ්‍යතාවන් අනුවයි. 1977 න් පසුව විවෘත ආර්ථිකය හරහා අප රට තුළ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මේ අයට ඕන වුණා. අපේ රටේ නැවත ඇමරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදයට අපේ ආර්ථිකයෙන් යටත් විජිත යුගයේ ගත් වාසි නැවත වරක්‌ ලබාදෙන්නයි මෙය කළේ. අපේ රටේ අමුද්‍රව්‍ය, ශ්‍රමය සූරාගෙන ආර්ථිකය යළිත් යටත් විජිත යුගයේදී මෙන් ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව හැඩගස්‌වන්න යෙදූ උපක්‍රමයක්‌. අපේ රටේ කෘෂිකර්මය වෙනස්‌ කරල අධිරාජ්‍යවාදීන්ට ඕන දේ වවල අපේ ජලය පවා ඔවුන්ගේ අතට අරගෙන රජයට අයත් ආයතන පුද්ගලීකරණය කරල මේ රටේ ආර්ථිකය ආපසු සම්පූර්ණයෙන්ම උදුරාගන්න ප්‍රතිපත්තියක්‌ ඒ ව්‍යවස්‌ථාව තුළින් ක්‍රියාත්මක කළා. එය ජනතා විරෝධී මෙන්ම රටේ අනාගතය අඳුරේ හෙළන ප්‍රතිපත්ති මාලාවක්‌.

එය ක්‍රියාත්මක කිරීමට එවකට තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය එනම් ජනතාවට පහසුවෙන් තමන්ගෙ නියෝජිතයෙක්‌ පත්කරල ඔහු පාර්ලිමේන්තුවේ කියන කරන දේ පාලනය කිරීමේ ඉඩකඩ නැතිකරන්න ක්‍රියාකළා. පාර්ලිමේන්තුවේ නියෝජිතයන් හා ඡන්ද දායකයින් අතර පරතරයක්‌ ඇති කළා. ජනතාවගේ මතවලට ඇහුම්කන් නොදී ඊට යටත් නොවී රටේ ඕන දෙයක්‌ කරන්න පුළුවන් වාතාවරණයක්‌ ඇති කළා. කලින් තිබුණු ඡන්ද කොට්‌ඨාස වෙනුවට දිස්‌ත්‍රික්‌කය ඒකකයක්‌ කළා. ඒ නිසා අද සමහර ඡන්ද කොට්‌ඨාසවල පාර්ලිමේන්තුවේ නියෝජිතයකුත් නැහැ 13 වැනි සංශෝධනයෙන් ඇති කළ පළාත් සභාවල නියෝජිතයකුත් නැහැ.

අද විශාල මුදලක්‌ නැතුව මැර බලයක්‌ නැතුව ඡන්දයක්‌ දිනා ගන්න අපහසුයි. සාමාන්‍ය පුද්ගලයකුට පාර්ලිමේන්තු නියෝජිතයකු වීමට තිබුණු අයිතිය මේ ව්‍යවස්‌ථාවෙන් නැති කරල තියෙනවා. මුදල් හා මැරබලය තියෙන අයට තමයි අද පහසුවෙන් පාර්ලිමේන්තුවට එන්න ඉඩ ලැබිලා තියෙන්නෙ. රටේ යහපාලනය කඩාවැටිල තියෙන්නේ මේ නිසයි. මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ නොකර රටේ යහපාලනයක්‌ ඇතිකරන්න බැහැ. 1977 ට පෙර ජනතාවට තිබුණු බලයටත් වඩා වැඩිබලයක්‌ ලබාදීමට කටයුතු කළ යුතුයි යන්න මේ යෝජනාවලිය තුළ අප සඳහන් කර තිබෙනවා.

එය ගමේ ජනතාවට බලය ලැබෙන ක්‍රමයක්‌. ගමේ ජනතාවට බලය ලැබෙනවා, පරිපාලන යන්ත්‍රයක්‌ ලැබෙනවා මුදල් ලැබෙනවා. කවුරුවත් පස්‌සෙ යන්නෙ නැතිව ගමේම ඉඳගෙන ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරගන්න අවස්‌ථාව ලැබෙනවා. අපේ රටට අවශ්‍ය යහ පාලනයක්‌ ඇති කිරීමටත් සිංහල දෙමළ මුස්‌ලිම් සියලු ජනකොටස්‌ පිළිගන්න එකම ලාංකික ජාතියක්‌ ලෙස වැඩ කළ හැකි වාතාවරණයක්‌ ගොඩනැඟීමේ පසුබිමක්‌ මේ සර්ව පාක්‍ෂික කමිටු යෝජනාමාලාව තුළින් ඇතිකර තිබෙනවා.

සාකච්ඡා කළේ  පාලිත සේනානායක
ඡායාරූප ගාමිණී මුණසිංහ

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v