පක්‍ෂයටත් 58 යි මටත් 58 යි
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම්, අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන

1959 සැප්තැම්බර් 26 වැනිදා බිහිවූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බණ්‌ඩාරනායකවරුන්, රාජපක්‍ෂවරුන්, ඉලංගරත්නවරුන්, තෙන්නකෝන්වරුන්, නිශ්ශංකවරුන්ගෙන් සුපෝෂිත වෙමින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පස්‌පංගුවේද ගුණය ලබමින් වසර 58 ක්‌ පුරාවට මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රමුඛතම පක්‍ෂය බවට පත්වනවාත් සමඟම එම පක්‍ෂයේ මහ ලේකම්වරයාද සිය 58 වැනි ජන්ම දිනය සමරන්නේ ඉතාමත් විරල සිදුවීමක්‌ ලෙසය. පක්‍ෂයේ දේශපාලනික ගමන් මZඟ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම සංවර්ධන ගොවිජන සේවා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ "දිවයින ඉරිදා සංග්‍රහය" කරන ලද සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය -

නව මැතිවරණ සංශෝධන ක්‍රමවලට අදාළව ආගම්වාදී දේශපාලන පක්‍ෂ සහ වසර 2 ක්‌ ඇතුළතදී මැතිවරණයකට මුහුණ නොදුන් දේශපාලන පක්‍ෂ තහනම් වන බවත් කියෑවෙනවා. එසේ වුවහොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් තහනම් වෙනවා.

පිළිතුර -

(සිනහසෙමින්) නෑ, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හැමදාම මැතිවරණවලට තරග කරලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මීට ප්‍රථම පොදු පෙරමුණ විදිහට පෙරමුණක්‌ ගොඩනැගුවා. දැන් ශ්‍රීලනිපය එක්‌සත් ජනතා නිදහස්‌ සංධානය සමඟ මැතිවරණ නීතිරීතිවලට අනුකූලව මැතිවරණවලට ඉදිරිපත් වනවා. එම නිසා මැතිවරණ කොමසාරිස්‌තුමා ඉදිරියේ ලියාපදිංචි වූ පක්‍ෂයක්‌ විදියටයි කොමසාරිස්‌තුමා සලකන්නේ. ඒ නිසා සංධානය තුළ සිටින පක්‍ෂවලට කිසිදු බලපෑමක්‌ සිද්ධ වන්නේ නැහැ. මැතිවරණවලට තරග කරන ක්‍රියාකාරී දේශපාලන පක්‍ෂ විදිහට තමයි මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් මේ පක්‍ෂය පිළිගන්නේ.

ප්‍රශ්නය -

රටේ රාජ්‍ය නායකයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් බිහිවූවෙක්‌. ඒ වගේම තමයි වත්මන් එක්‌සත් ජනතා නිදහස්‌ සංධාන රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයයි. එහෙත් වත්මන් රජය තුළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සැබෑ හඬ නිරූපණය වෙනවාද?

පිළිතුර -

මේ ආණ්‌ඩුවේ නායකයත්, රටේ නායකයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයත් මහින්ද රාජපක්‍ෂ මහතායි. එතකොට ජනාධිපතිතුමාගේ මහින්ද චින්තනය කියන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දර්ශනය තුළින් බිහිවෙච්ච මහින්ද චින්තන වැඩපිළිවෙළ පිළිගන්නා සහ ඊට එකඟවන අය තමයි රජයට එකතු වෙන්නේ. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් පැමිණි අය කිව්වෙත් අපි මහින්ද චින්තනය පිළිගන්නවා. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ පිළිගන්නවා සහ ඊට එකඟවෙනවා කියායි. එතකොට ආණ්‌ඩුව සමඟ සිටින අනෙක්‌ දේශපාලන පක්‍ෂත් එහෙමයි. හෙළ උරුමය, ජාතික නිදහස්‌ පෙරමුණ, සම සමාජ පක්‍ෂය, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, මහජන එක්‌සත් පෙරමුණ මේ සියල්ල මහින්ද චින්තන වැඩපිළිවෙළත් එක්‌කයි ඉන්නේ. එතකොට ඒ තූළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හඬ තමයි නියෝජනය වන්නේ. දැන් අද මහින්ද රාජපක්‍ෂ මහතාගේ යුගය ගත්තහම පසුගිය අවුරුදු 4 කට පමණ ආසන්න කාලයේදී රටේ වෙච්ච ප්‍රධාන ගැටලුව වෙච්ච යුද්ධය අවසන් කිරීම. එය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ ප්‍රතිපත්තියක්‌ වූ කාරණයක්‌. එතකොට දේශීය ආර්ථිකය ශක්‌තිමත් කිරීම, එතකොට අපගේ සංස්‌කෘතිය ආරක්‌ෂා කිරීම, රටේ උරුමකම් පිළිබඳව කතා කිරීම, හඬ නැඟීම සහ රටේ වැඩ කරන ජනතාවට අයිතිවාසිකම් ලබාදීම මේ කියන කාරණා බැලුවහම මේ රජය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිපත්තිත් එක්‌කයි යන්නේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දර්ශනය තුළින් බිහිවූ මේ වැඩසටහන්වලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හඬයි.

ප්‍රශ්නය -

නමුත් පාක්‌ෂිකයන්ගේ අදහසක්‌ තිබෙනවා මේ රජය ශ්‍රී ලංකාකාරයන්ට සලකන්නේ නැහැයි කියන කාරණාව.

පිළිතුර -

එහෙම ඉතින් එක එක්‌කෙනාට පෞද්ගලික මත තිබෙන්න පුළුවන්. හැබැයි අපි කටයුතු කරන්න ඕනේ රටක්‌ විදිහටයි. කෙනෙකුට තිබෙන ප්‍රශ්න, යම් සංවිධානෙකට තිබෙන ප්‍රශ්නවලට වඩා රටේ තිබෙන පොදු ජාතික ගැටලු විසඳමින් අපේ රට ප්‍රෙෘඪ ජාතියක්‌ බවට පත්කිරීම සඳහා මේ ගෙන යන වැඩපිළිවෙළේදී ප්‍රධාන වශයෙන්ම අප සැලකිය යුත්තේ අපේ රට ගැනයි. එතැනදී තිබෙන පටු සීමාවන් ඉවත්කොට කටයුතු කිරීමට අවශ්‍යයි.

ප්‍රශ්නය -

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආරම්භ කොට මේ වනවිට වසර 58 ක්‌ වෙනවා. මෙරට ජාතික නිදහස දිනා ගැනීමේ සටන පටන් ගන්න ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය අද වනවිට එම කාර්යය ඉටුකොට තිබෙනවා. පක්‍ෂයෙන් පොදුවේ රටට සිදුවී ඇති සේවාව ගැන විමසා බලමු.

පිළිතුර -

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බිහිවුණේ 1951 සැප්තැම්බර් මාසේ 2 වැනිදා. මේ පක්‍ෂය ප්‍රධාන වශයෙන් 1952 දී තමයි මුල්ම වතාවට මැතිවරණයක්‌ සඳහා තරග කළේ. 52 ජුලි මාසේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 9 ක්‌ ලබා ගත්තා. ඒ පාර්ලිමේන්තු ආසන 9 න් පස්‌සේදී ආණ්‌ඩුවක්‌ බිහිකිරීමේ හැකියාව ලැබුණා 56 මැතිවරණයේදී. මේ සැප්තැම්බර් 2 වැනිදා වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට වසර 58 ක්‌ සම්පූර්ණ වෙනවා. මේ වසර 58 ක ඉතිහාසය තුළ ආණ්‌ඩු ගණනාවක්‌ පිහිටුවලා තිබෙනවා. ඒ වගේම විපක්‍ෂයේ ඉන්න කාලවලදී විපක්‍ෂයේ කාර්යභාරය නිසි ආකාරව ඉටුකොට තිබෙනවා. මේ වසර 58 තුළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට පුද්ගලයන් හතර දෙනකු නායකත්වය ලබාදී තිබෙනවා. එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිතුමාත්, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියත්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් අද වර්තමානයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාත්. අද රටේ තිබෙන ප්‍රශ්න විසඳීමේ කාර්යයේදී මහින්ද රාජපක්‍ෂ යුගය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ස්‌වර්ණමය යුගය ලෙසට හැඳින්විය හැකියි. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩු කාලවලදී තමයි අපේ රට පිළිබඳව ජාත්‍යන්තරව එන ගැටලුවලට මුහුණදීලා ජයගත්තේ. දැන් කච්චතිව් දූපත පිළිබඳව ඉන්දීය රජය පිළිබඳව බරපතල ගැටලු තිබුණා. එහෙත් සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියට හැකියාව තිබුණා ඉන්දිරා ගාන්ධි සමඟ සාකච්ඡා කරලා ප්‍රශ්නය විසඳගන්න. ඒ වගේම එතුමියගේ කාලයේදී තමයි රට වටේ තිබෙන මුහුදෙන් විශාල ප්‍රමණයකට හිමිකම් කියන්න ලැබුණේ. එවැනි අවස්‌ථාවල් ගණනාවක්‌ තිබෙනවා. බණ්‌ඩාරනායක මහතාගේ කාලයේදී බ්‍රිතාන්‍ය යුද කඳවුරු මෙරටින් ඉවත් කිරීම වගේම අපේ විදේශ ප්‍රතිපත්තිය නිසා විවිධ රටවල් සමඟ තානාපති සබඳතා ඇතිකර ගන්න පුළුවන් වුණා. මේ කාරණාවලට බලපෑවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පැවැති විදේශ ප්‍රතිපත්තිය තමයි. 1976 දී නොබැඳි ජාතීන්ගේ සමුළුවට ලෝකයේ රාජ්‍ය නායකයන් 118 ක්‌ පමණ පැමිණියා. එහිදී අපේ රට කීර්තිමත් රටක්‌ විදිහට ප්‍රකාශයට පත්කිරීමට හැකි වුණා. අද වර්තමාන තත්ත්වය ගත්තහම ලෝකයේ ත්‍රස්‌තවාදී ව්‍යාපාරවල තිබෙන ශක්‌තියත් එක්‌ක ප්‍රබල රාජ්‍යයන්ට මර්දනය කිරීමට නොහැකි වූ ත්‍රස්‌තවාදය අපේ රටේ රාජ්‍ය නායකයා විසින් අවසන් කිරීම ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් ඉතාම වැදගත් ඓතිහාසික සිද්ධියක්‌.

ප්‍රශ්නය -

මේ වනවිට පක්‍ෂයේ වයසත්, පක්‍ෂයේ මහලේකම්වරයා වන ඔබේ වයසත් එක සමානයි. මෙය ඉතාමත් විරල සිදුවීමක්‌ ලෙස දැකිය හැකියි.

පිළිතුර -

ඔව්. පක්‍ෂයේ වයසයි මගේ වයසයි එකයි. පක්‍ෂයටත් 58 යි. මටත් 58 යි. ඒ ගැන හරියට සතුටු වෙනවා. පුද්ගලයකුට ලැබිය හැකි දුර්ලභම අවස්‌ථාවක්‌. දේශපාලන පක්‍ෂයක ලේකම්වරයකු පක්‍ෂය බිහිවෙච්ච පැය ගාණක්‌ ඇතුළත ඉපදෙනවා කියන කාරණාව. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බිහිවීමත්, මගේ උප්පත්තිය සිදුවීමත් එක සමාන්තරව සිදුවෙලා. මම දකින දෙයක්‌ තමයි පක්‍ෂය ශක්‌තිමත් වෙනකොට මම ශක්‌තිමත් වෙනවා. පක්‍ෂය දුර්වල වන විට මාත් දුර්වල වුණා. ඒ සත්‍යය මගේ දේශපාලන ගමන් මග තුළ මම අත්දකිනවා.

ප්‍රශ්නය -

පසුගිය කාලයේ පැවැති මැතිවරණවලදී රජය විශිෂ්ට ජයග්‍රහණ ලබා ගත්තා. ඉදිරියේදී දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වෙනවා. එහිදී සියයට 80 ඉක්‌මවූ ජයග්‍රහණයක්‌ රජය බලාපොරොත්තු වෙනවා.

පිළිතුර -

පසුගිය පළාත් සභා මැතිවරණවලදී රජය විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරා. නැගෙනහිරින් පටන්ගෙන මේ වනවිට අපගේ පළාත් සභා මැතිවරණ කාලසටහන අවසන් වෙනවා දකුණු පළාත් සභා මැතිවරණයෙන්. අපි දැක්‌කා රජයට ඇතැම් පළාත් සභා මැතිවරණවලදී තුනෙන් දෙකක බලයක්‌ හිමිවෙනවා. ඒ වගේම අවසන් වරට ප්‍රතිඵල නිකුත් වූ ඌව පළාත් සභාවේදී අප ලබාගත් ප්‍රතිශතය සියයට 72 ක්‌ වුණා. එය ඓතිහාසික ජයග්‍රහණයක්‌. පවතින මේ මැතිවරණ ක්‍රමය තුළ තුනෙන් දෙකක බලයක්‌ ලබා ගැනීමට නොහැකි කියලා තමයි බොහෝ අය ප්‍රකාශ කළේ. ඒ මතය රටේ ජනතාව තුළත් තිබුණා. ව්‍යවස්‌ථා විශාරදයන් තුළත් තිබුණා. හැබැයි දැන් මේ මැතිවරණ ක්‍රමය නිර්මාණය කළ ව්‍යවස්‌ථා විශාරදයන්ගේ මතයත් වෙනස්‌ වෙලා ජනතාවගේ මතයත් වෙනස්‌වෙලා. මේ මැතිවණ ක්‍රමය තුළින් තුනෙන් දෙකක බලයක්‌ ගන්නට හැකියි කියලා අද ඔප්පු වෙලා තිබෙනවා. ඉතින් මේ පහුගිය මැතිවරණ ජයග්‍රහණවලට වඩා අති විශිෂ්ට ජයග්‍රහණයක්‌ රජය දකුණේදී ලබනවා. දකුණේ ජනතාව කවදත් වාමාංශික ප්‍රගතිශීලී ගතියන්ට බරවීම වැඩියි. ඔවුන් තුළ තිබෙන දේශපාලන මතය සහ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවට සමීප නායකයෙක්‌ විදිහට පිළිගැනීමක්‌ තිබෙනවා. ඒ වගේම ජනතාව තුළත් මතයක්‌ තිබෙනවා ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයත් ආණ්‌ඩුව ජයග්‍රහණය කරනවා විපක්‍ෂය විශාල වශයෙන් පරාජයක්‌ ලබනවා කියන කාරණාව. අපිත් විපක්‍ෂයේ අවුරුදු 17 ක්‌ හිටියා. නමුත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මේ විදිහට විනාශ වුණේ නැහැ. අපි ඉදිරි නොවැම්බර් මාසයේ 15 දා පැවැත්වීමට තිබෙන පක්‍ෂයේ ජාතික සම්මේලනය පවත්වා රටේ ජාතික සංවර්ධනයට අවශ්‍ය දීර්ඝ කාලීන විධිමත් වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කරනවා. දකුණේ මැතිවරණය අවසන් වූ වහාම ජාතික තලයේ විප්ලවීය පරිවර්තනයක්‌ ඇති කිරීමට පුළුල් යෝධ වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කරනවා.

සාකච්ඡා කළේ අකිත පෙරේරා

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v