ලිබියානු මිත්‍රත්වයේ උණුසුම

චතුර පමුණුව

1969 සැප්තැම්බර් 01 වැනිදා අරුණෝදය පැතිරෙද්දී කර්නල් මුහමර් ගඩාෆි ලිබියානු රජුට එරෙහිව සිය කැරැල්ල ආරම්භ කළේය. එවිට ඔහුගේ වයස අවුරුදු 27 ක්‌ විය. එවක අප්‍රිකානු ෙච්ගුවේරා වූයේ ගඩාෆිය. ඉද්රිස්‌ රජුගේ පාලනය පෙරළා දැමීමෙන් පසු තමන්ට එරෙහිව නැවත කැරැල්ලක්‌ ඇතිවේදැයි ගඩාෆි සැකයෙන් පසු වුවද එවැන්නක්‌ සිදු වූයේ නැත. ඉද්රිස්‌ රජු තුර්කියට පලා ගියේය. කාලයක්‌ යනතුරු බටහිර ලෝකයට ලිබියාව හිසරදයක්‌ විය. වරෙක ඇමරිකානු ජනපති ගඩාෆි හඳුන්වා දුන්නේ පිස්‌සු බල්ලකු ලෙසය. එහෙත් දැන් බටහිර ලෝකයට ලිබියාව නැතිවම බැරිය. එම නිසාම 1988 ලෝකර්බි ගුවන් අනතුරේ ප්‍රධාන සැකකරු ඇබ්ඩෙල්බැසෙට්‌ට අලි මොහොමඩ් අල් මෙග්‍රාහී ස්‌කොට්‌ලන්ත සිරගෙදරින් නිදහස්‌ කර නැවත ටි්‍රපොලි නුවරට යෑවුවේ ද ලිබියාව හා බටහිර ලෝකය අතර පවතින සම්බන්ධතාව නිසාය. ඇමරිකානු ජනපති බැරක්‌ ඔබාමා නම් මේ සිරකරු නිදහස්‌ කිරීම ගැන සතුටු වූයේ නැත. නමුත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙන්ම විදේශ ඇමැතිවරයා ද යුරෝපා කටයුතු පිළිබඳ ලිබියානු ඇමැති අබ්දුල්ලානි අබ්දුල්ලානි සමග පැවැති සාකච්ඡාවේදී මේ සිරකරු ස්‌කොට්‌ලන්තයේ ගි්‍රන්නොක්‌ සිරගෙදරින් නිදහස්‌ කිරීම ගැන කිසිම විරෝධයක්‌ ප්‍රකාශ කර නැත. 80 දශකයේ නම් ඇමරිකාව විසින් ලිබියාව හැඳින්වූයේ යක්‍ෂයාගේ රාජ්‍යයක්‌ ලෙසිනි. රොනල්ඩ් රේගන්ගේ අණ පරිදි 1986 දී ගඩාෆිගේ නිවස්‌නයට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු හදාගත් දියණියක වූ හැනා මරණයට පත් වුවත් ලිබියානු නායකයා බේරිණි.

ඇත්තෙන්ම කර්නල් ගඩාෆි බලයට පත්වී මාස කිහිපයක්‌ ගතවෙත්ම එරට ස්‌ථාපනය කර තිබූ ඇමරිකානු, බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඉවත් කෙරිණි. 1980 දී ටි්‍රපොලි නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ලිබියානු උද්ඝෝෂකයන් විසින් ප්‍රහාර එල්ල කරන ලදී. කෙසේ නමුත් 2001 නිව්යෝර්ක්‌ ප්‍රහාරයත් සමගම ලිබියානු නායකයා බටහිර ලෝකය සමග එකට එක කරන්නට ගියේ නැත. 2003 දී ලිබියාව, ඇමරිකාව හා බ්‍රිතාන්‍යය සමග එකඟතාවකට පැමිණ ලොකර්බි සිද්ධියෙන් මියගිය සෑම දෙනා වෙනුවෙන්ම ඩොලර් මිලියන දහය බැගින් ගෙවීමට එකඟ විය. 2003 දෙසැම්බර් මාසයේදී තමන් න්‍යෂ්ටික අවි හා සමූහ ඝාතක අවි නිෂ්පාදනය කිරීම නතර කළ බවද නිවේදනය කළේය. එම නිසාම 2004 අප්‍රේල් මාසයේදී ටෝනි බ්ලෙයාර් ලිබියාවේ සංචාරයක නිරත විය. ඇමරිකානු හමුදා ඉරාකය ආක්‍රමණය කරද්දී බ්‍රිතාන්‍යය හරහා ජෝර්ඡ් බුෂ් පාලනය සමග රහස්‌ සබඳතාවක්‌ පැවැත්වූ ලිබියානු නායකයා තමන්ට න්‍යෂ්ටික අවි සැපයූ එAජන්තයන්ගේ තොරතුරු ඇමරිකාවට ලබාදුන්නේය. මෙය ලිබියාව හා බුෂ් පාලනය අතර හොඳ හිත වර්ධනය වන්නට ඉවහල් විය. ඇමරිකාව ත්‍රස්‌තවාදයට එරෙහි සටන ගෙන යද්දී හදිසියේ තමන්ට ද පහර දුනහොත් එය විශාල අර්බුදයක්‌ වන බව දැනගත් කර්නල් ගඩාෆි ඇමරිකාව සමග බුද්ධි තොරතුරු හුවමාරු කරගත්තේය. කවරක්‌ නමුත් 1986 දී ටි්‍රපොලි නුවරට එල්ල කළ ඇමරිකානු ගුවන් ප්‍රහාර නිසා මියගිය පිරිස හතළිහකි.

1996 දී ගඩාෆිගේ මෝටර් රථ පෙළට පහරදී ඔහු මරා දැමීමට උත්සාහ කරන ලදැයි බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවන්ට චෝදනා එල්ල විය. එවක බ්‍රිතාන්‍ය විදේශ ලේකම් රොබින් කුක්‌ ප්‍රකාශ කර සිටියේ මේ ඝාතන සැලැස්‌ම ගැන කිසිවක්‌ නොදන්නේ යෑයි තමා ප්‍රකාශ නොකරන බවය. 1996 දී ගඩාෆි ඝාතනය කිරීමට තරම් කේන්තියකින් සිටි බ්‍රිතාන්‍යය අද කුමක්‌ කරන්නේද? සිය ආර්ථිකය රැකගැනීමට තෙල් ලබාගැනීමට බ්‍රිතාන්‍ය ආයෝජකයන් රැක ගැනීමට ගඩාෆි සමග මිත්‍රශීලීව කටයුතු කිරීමට බ්‍රිතාන්‍යයට මෙන්ම බටහිර ලෝකයට අවශ්‍යව තිබේ. 2003 දී බ්‍රිතාන්‍ය ඔත්තු සේවා නිලධාරීන් පිරිසක්‌ මුල්වරට ටි්‍රපොලි නුවරට ළඟා විය. එයින් පසුව බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියා ගඩාෆිගේ ඉල්ලීම පිට ටි්‍රපොලි නුවරට ළඟා විය. එහිදී ගඩාෆි තමාට න්‍යෂ්ටික අවි ලැබුණු රහසිගත ආකාරය එම ක්‍රියාවල නිරත වන ලෝක මාෆියා කල්ලි පිළිබඳ විස්‌තර ලබාදුන්නේය. සැබවින්ම බුෂ් පරිපාලනයට ද මේ විස්‌තර ගෙන ගියේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවය හරහාය. මේ තොරතුරු ඇමරිකාව දැන ගැනීම ගැන ගඩාෆි කිසිම අකැමැත්තක්‌ පළ නොකළ අතර එය බුෂ් පරිපාලනයට ගඩාෆි කෙරෙහි ඇති සැක දුරුකර ගැනීමට ප්‍රබල කාරණයක්‌ විය. 1951 දී ලිබියාව නිදහස්‌ රාජ්‍යයක්‌ බවට පත්වීම සඳහා වූ එක්‌සත් ජාතීන්ගේ යෝජනාවට ඇමරිකාවේ සහාය පළ විය. එහෙත් ගඩාෆිගේ කුමන්ත්‍රණයෙන් පසු එA සබඳතා සම්පූර්ණයෙන්ම ඇන හිටියේය. එහෙත් න්‍යෂ්ටික රහස්‌ නොපැකිළිව ලබාදීමෙන් පසුව ජනපති බුෂ් 2004 දී ලිබියාවට එරෙහිව පනවා තිබූ ආර්ථික සම්බාධක ලිහිල් කළ අතර 2005 දී ඇමරිකානු විද්‍යාලයක්‌ ද ටි්‍රපොලි නුවර පිහිටුවනු ලැබීය. එයින්ම ලිබියාවේ ඇමරිකානු ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි වේ. ලිබියාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2006 මැයි 31 වැනිදා සිටය.

ලොකර්බි සිද්ධියේ ප්‍රධාන විත්තිකරුවා ටි්‍රපොලි ගුවන්තොටුපළේදී ගඩාෆිගේ පුත්‍රයා විසින්ම මහත් හරසරින් පිළිගත් ආකාරය දුටු බටහිර ලෝකයේ ඇස්‌ රතු විය. එම නිසාම බ්‍රිතාන්‍ය ආරාධිතයන්ට ලිබියාවේ 40 වැනි නිදහස්‌ උළෙලට සහභාගි වීම තහනම් කෙරිණි. කවරක්‌ නමුත් බ්‍රිතාන්‍ය අධිකරණ ඇමැති ජැක්‌ ස්‌ට්‍රොa ප්‍රකාශ කර තිබුණේ න්‍යෂ්ටික රහස්‌ හෙළි කළ ලිබියානු පාලනය වෙනුවෙන් බ්‍රිතාන්‍යය ද උදව්වක්‌ කළ යුතු බවය. එA අනුව බටහිර ලෝකය ද ලිබියාවට කළගුණ සලකා ඇති අතර, දැන් බටහිර ලෝකය තමන්ගේ කඩාවැටෙන ආර්ථිකය ශක්‌තිමත් කිරීමට ලිබියානු ධන උල්පත් දෙස කෑදරකමින් බලා සිටී. 2003 දී ගඩාෆි බටහිර ලෝකය සමග ආරවුලක්‌ ඇති කර නොගැනීමට න්‍යෂ්ටික රහස්‌ ලබාදී තම රටට ඇමරිකානු ප්‍රහාරයක්‌ එල්ලවීම වළක්‌වා ගත්තේය. නමුත් දැන් ආර්ථික අර්බුදයත් සමග බටහිර ලෝකයම උත්සාහ කරන්නේ ගඩාෆිගේ මුහුණ සිඹින්නටය. නොඑසේනම් ඔහුගෙන් උදව්වක්‌ ලබාගන්නටය.

 

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v