නායකත්වය සතර අගතියෙන් තොර වෙන්න ඕන

එඩ්මන්ඩ් රණසිංහ
දිස්‌නා බණ්‌ඩාර
සංස්‌කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය.


අද අප රටේ සෑම ක්‍ෂේත්‍රයකම පැතිරී ගිය අපැහැදිලිභාවයක්‌ දක්‌නට හැකිය. ඒ නිසාම රටෙහි හෙට දවස වඩාත් අභියෝගයට ලක්‌ව ඇති බව පෙනෙයි. මේ අභියෝගයට මුහුණ දීමට නම් පැහැදිලි භාවය ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. සමාජයේ විවිධ අංශවල දක්‌නට ලැබෙන මෙම අපැහැදිලිභාවය හා අවුල් සහගතභාවය ඉවත් කොට නිරවුල් හා නිවැරැදි මාවතකට සමාජය අවතීර්ණ කර ගැනීමට ඇති එකම මඟ බුද්ධ දර්ශනයයි. ඒ අරමුණ ඇතිව සමාජයේ ප්‍රශ්න බුදුදහම තුළින් බලා පැහැදිලිභාවය ඇතිකර ගැනීමට දරණ උත්සාහයකි මේ. රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්‌සි හිමියන් සමඟ දිවයින ආරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතා සහ සන්නස අන්තර්ජාල පුවත්පතේ දිස්‌නා බණ්‌ඩාර පවත්වන සාකච්ඡා මාලාවක පළමු කොටසයි මේ. මෙම ලිපිය
www.sannasa.org වෙබ් අඩවියට පිවිසීමෙන් ද කියවිය හැකිය.

එඩ්මන්ඩ් රණසිංහ - ස්‌වාමීන් වහන්ස, අපි දැන් එනකොට එක්‌තරා ගුවන්විදුලි නාලිකාවක්‌ පිස්‌සු නටන දේශපාලනඥයන් කියලා තේමාවක්‌ තියෙන වැඩසටහනක්‌ කරනවා. අද පොලිසිය ක්‍රියාකරන අන්දම, දැන් සමාජයට මොකද වෙලා තියෙන්නේ වගේ කාරණාත් සාකච්ඡා කෙරෙනවා. සාකච්ඡාව එහෙම යන ගමන් ශ්‍රාවකයන්ගේ මතවලටත් ඉඩ දෙනවා. මේකට සහභාගි වෙච්ච සමහර අය කිව්වේ අලුත් නායකත්වයක්‌ ඕන කියලා. මේ වැරදි කරන අයට ජනාධිපතිතුමා බය නැතිව දඬුවම් දෙන්න ඕන කියලත් මෙහිදී කියෑවුණා. එතකොට මේ රටේ මේ වගේ අපැහැදිලිබවක්‌ මතුවෙලා තියෙනවා කියලා පැහැදිලිව පේනවා. හාමුදුරුවනේ, ආගමික පදනමක්‌ මත පැහැදිලි බව ඇතිකර ගැනීම විග්‍රහ කළොත්?

විපස්‌සි හිමි - විවෘත භාවය, බුදු දහමේ ප්‍රධාන ලක්‍ෂණයක්‌. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා දහම බබලන්නේ විවෘත වූ තරමට කියලා. කාන්තාව සැඟවෙන්න ඕන. මන්ත්‍ර සැඟවුනාම තමයි ඒකේ තිබෙන ගුප්ත භාවය වැඩිවෙන්නේ. ඒ වගේම මිත්‍යා දෘෂ්ඨ§ය සැඟවෙච්ච තරමට ඒක පවතිනවා. හාරලා විවෘත කළොත් ඒක පවතින්නේ නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළා දහමේ එහෙම ස්‌වභාවයක්‌ නෑ. සඳ බබළන්නේ පැහැදිලි වෙච්ච තරමට. ආවරණය වුණොත් සඳ බබලන්නේ නෑ. ඒ වගේම තමයි සූර්යයා. සූර්යයා බබලන්නෙත් පැහැදිලි වූ තරමට. අන්න ඒ වගේ තමයි "තථාගතබ්බවේදිතෝ භික්‌ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ" උන්වහන්සේ දේශනා කළා ධර්මය සහ විනය විවෘත වූ තරමට බබලනවා. සැඟවුනොත් බැබලෙන්නේ නෑ කියලා. ඒ නිසා පැහැදිලි බව කියලා බුදු දහමින් දේශනා කරන්නේ විවෘත භාවයයි. එතකොට විවෘත භාවය තුළදී ඕන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්න කිරීමේදී හොඳ නරක තේරුම් ගන්නත් පුළුවන්. නරක දේවල් අයින් කරන්න පුළුවන්. හොඳ දේවල් නම් එකතු කරගන්න පුළුවන් සාකච්ඡා කිරීමෙන්. සාකච්ඡා කිරීම තුළින් තමයි යම් කිසි එකඟතාවකට එන්න පුළුවන්.

බෞද්ධ චින්තනයේ තියෙන මේ පදනම අපි විවිධ අංශවලට ඒකාබද්ධ කරගන්න ඕනේ. ඒකාබද්ධ කරගත්තොත් තමයි නිවැරැදි දර්ශනයක්‌ ගොඩනැගෙන්නේ. මම හිතනවා රණසිංහ මහත්තයා යොමු කරපු ප්‍රශ්නයට විවෘතභාවය නැතිවීම තමයි මේ ගැටලුවලට හේතුව වී තිබෙන්නේ. ඇයි විවෘත භාවය නැතිවෙලා තිබෙන්නේ. අපි ඡන්දයෙන් අගතියට යනවා. ද්වේශයෙන් අගතියට යනවා. භයෙන් අගතියට යනවා. මෝහයෙන් අගතියට යනවා. යුතුකම හා වගකීම් ඉෂ්ඨ කරන්නේ නැති එක තමයි අගතියට යනවා කියන්නේ. ඡන්දය කියන්නේ රුචිය. තමන්ට පක්‍ෂපාතීභාවය. පක්‍ෂපාතී භාවය අනුව තමයි වැඩ කරන්නේ. ඒ වගේම සමහර විට ද්වේශ සහගතව බලනවා. ද්වේශ සහගත කියන්නේ විරුද්ධ බව. විරුද්ධ මතයන් පිළිබඳ ඒ ගොල්ලෝ හිතන්නේ මේක අපිට එල්ලවන අභියෝගයක්‌ කියලා. මතය ජයග්‍රහණය කරන්න නම් ද්වේශ සහගතවම ඒවා යටපත් කරන්න ඕන. ඒකත් විශාල ගැටලුවක්‌. ඒ වාගේම භය, අපි විවෘතව කතා කළොත් අපට මොන අලාභයක්‌ වෙයිද? මොන මතයක්‌ ගොඩනැගෙයිද ඊට වැඩිය හොඳයි ඒක වහල දාන එක. ඒ භය නිසා, මෝහය කියන්නේ නොදන්නකම. ඒ යම්කිසි ආයතනයක්‌ අපි පවත්වාගෙන යන්න නායකත්වය දෙන්න ඕන. ඒ නායකත්වය දීමේදි අප බලාපොරොත්තු වෙන්න ඕන අපි මොනවද කරන්න ඕන දේ. තමන්ගේ වගකීම තමන්ගේ යුතුකම ඒ දේවල් ගැන වැටහීමක්‌ තියෙන්න ඕන. නොදන්නකම නිසා මේ දේවල් යටපත් වෙනවා.

බුදුහාමුදුරුවෝ දේශනා කළා ඡන්දා, දෝශා, භයා, මෝහා. සසර අගතියට පත්වීම නිසා මේ අය මුලාවට පත්වෙලා මේ දේවල් විනාශ කරනවා. මූලිකම දේ තමයි ඕනෑම ආයතනයක නායකත්වයක්‌ ගොඩනැගෙනවා නම් ඒ නායකත්වය සතර අගතියෙන් තොර වෙන්න ඕන. අන්න ඒ තුළ අප ක්‍රියාත්මක වන්නේ නෑ. බුදුදහමේ බෞද්ධ චින්තනයේ මූලික පදනම අපට නෑ. අප ඒ පදනමට පටහැනිවයි ක්‍රියා කරන්නේ. පටහැනිව ක්‍රියා කරන්න හේතු රාශීන් ගොඩක්‌ තියෙනවා. කුමක්‌ හෝ තීරණයක්‌ ගන්නා විට අප සුභවාදී වෙන්න ඕන. බුදුදහමේ පෙන්වන සුභවාදී බව තමයි මධ්‍යස්‌ථභාවය. සුභවාදී ආකල්පය ගොඩනගා ගන්නා ක්‍රමවේද තියෙනවා. ගැඹුරින් හිතන්න ඕනේ නෑ. යම්කිසි ක්‍රියාවලියක්‌ සිද්ධ කරන විට ඒක තමන්ට හිතකාමීද තමන්ට විතරක්‌ හිතකාමී නම් ඒක කරන්න බෑ. ඒ වගේම සමහර විට අනුන්ට හිතකාමී වෙන්න පුළුවන්. ඒක තවත් පැත්තක්‌. තමන්ටත් අනුන්ටත් දෙපක්‍ෂයටම ඒ තමන් ගන්නා ක්‍රියාමාර්ගය නිවැරැදි වෙන්න ඕන. නිවැරැදි නම් තමයි එය ක්‍රියාත්මක කරන්න ඕන. බොහෝ විට ආත්මාර්ථකාමී පසුබිම යටතේ තමන්ගේ පැත්ත විතරයි බලන්නේ. ඒ නිසා මේක තුලනය කරන්න ඕන. මං මේ ගන්නා ක්‍රියාමාර්ගයෙන් සමස්‌තයට වෙන්නේ මොකක්‌ද? අපි ඒ වගේ විවෘත පසුබිමක නෑ. ඒ පසුබිම නැතිවීම නිසා තමයි යම් යම් තීන්දු අසාධාරණ විදියට ගන්නේ.

එඩ්මන්ඩ් රණසිංහ - දැන් එතකොට ඔබවහන්සේ කියන කරුණු අනුව අපි දහමින් ඈත්වෙලා. දේශපාලනඥයොත් පරිහානියට ලක්‌වෙලා. පාලන තන්ත්‍රයත් පරිහානියට ගිහින්. පොලිසිය පරිහානියට පත්වෙලා. දැන් සමාජය බලපුවාම විකෘති බව හරියට පේනවා. හුඟක්‌ එහෙම වෙන්නේ ජාත්‍යන්තර වශයෙන් හමා එන නොයෙකුත් බලවේග නිසා. එහෙම තත්ත්වයකට මුහුණ දෙන්න ආගමික පරිසරයක්‌ ඕන නම් ඒක ඇතිකරන්න පුළුවන් කාටද? කවුරුහරි ස්‌වාධීන බලසම්පන්න කණ්‌ඩායමක්‌, පිරිසක්‌, නැත්නම් ආයතනයක්‌, ධර්මයක්‌ තිබිය යුතුයි. ඒ ධර්මය පෙන්වා දෙන කොටසක්‌ ඉන්නවයි කියමුකො. කොහොමද ඒක කරන්නේ.

විපස්‌සි හිමි - ධර්මය තියෙනවා. ධර්මය තිබුණට මදි ධර්මය පෙන්නුම් කරන්න ඕන පැහැදිලිව. අපේ රටේ රටාවේ හැටියට නම් ධර්මය පැහැදිලි කරන ප්‍රධානතම ආයතනය භික්‍ෂුන් වහන්සේ. එ නිසා භික්‍ෂුන් වහන්සේට මධ්‍යස්‌ථව, මධ්‍යස්‌ථව කියන්නේ අඩුම තරමේ බෞද්ධ චින්තනය මත ක්‍රියාත්මක වෙලා. ඒ මතම ඉඳගෙන මේක සමාජයට පෙන්නුම් කරන්න පුළුවන් නම් බොහෝ දුරට මෙය සමනය වෙනවා. අද සන්නිවේදනයක්‌ ලංකාවේ කෙරෙන්නේ නෑ. ඒක තමයි ප්‍රබලතම දුර්වලකම.

එඩ්මන්ඩ් රණසිංහ - ඒ කියන්නේ ඔබ වහන්සේ කලින් කිව්වා වගේ සංඝ සංවිධානයට පැවරිලා තියෙන වගකීම ඉටුවන්නේ නෑ.

විපස්‌සි හිමි - මොන හේතුවක්‌ නිසාද මං දන්නේ නෑ. ඒක තමයි නොවෙන දේ

එඩ්මන්ඩ් රණසිංහ - සංඝ සංවිධානය මේ විදියට පත්වීමට හේතු වෙලා ඇත්තේ සංඝ සංවිධානය දේශපාලනයට යටවීමයි කියලා මට හිතෙන්නේ.

විපස්‌සි හිමි - ඔව්. යටවීමට වඩා දේශපාලන මත ක්‍රියාත්මක වීමයි. ඇත්ත වශයෙන්ම දේශපාලන මත ක්‍රියාත්මක වෙනවා. අනෙක්‌ පැත්තෙන් හැම දේම බොහොම සරලව හිතන්නේ. දැන් අපි ගත්තොතින් තමන්ට යමිකිසි දෙයක්‌ වෙනව නම් ඒක සරලව හිතන්න හොඳ නෑ. ඒක සංකීර්ණ ප්‍රශ්නයක්‌. ඒකට තමයි බෞද්ධ චින්තනයේ හේතුඵලවාදය කියන්නේ. ඇයි මේ ප්‍රශ්නය ගොඩනැගෙන්නේ. මේ ප්‍රශ්නයට විසඳුම මොකක්‌ද? උදාහරණයක්‌ වශයෙන් ගත්තොතින් දැන් මේ දවස්‌වල දිගින් දිගටම කතා කරන ඩෙංගු උවදුර ගැන. ඒ කතා කරන්නේ ප්‍රතිඵලය පේන තැන. ප්‍රතිඵලයේ ආදිනව දකින කොට මේ ගොල්ලන් කතා කරනවා. එතකොට අපි අධ්‍යයනය කරලා නෑ. මේ ඩෙංගු උවදුර ගොඩනැගීමට හේතුවන පරිසරය මොකක්‌ද කියන එක. හේතුව අවම කරනව නම් අර ප්‍රතිඵලය නැතිවෙනවා. ඒ නිසා අපි හැම වෙලාවකම භික්‍ෂුන් වහන්සේ වශයෙන් අපට උරුම වෙච්ච සීමාව ගෝචර භූමිය, ගොදුරු බිම කියලා කියනවා. අපි ගොදුරු බිම ඉඳන් අපට ආයතනයක්‌ තියෙනවා. ඒ හිමි වෙච්ච ගොදුරු බිම තුළ ඉඳගෙන මේ ප්‍රශ්න දිහා බලනව නම් ගොඩක්‌ මේ ප්‍රශ්න නිරාකරණය කරන්න පුළුවන්. හැබැයි ඒකට ලොකු කතිකාවතක්‌ අවශ්‍යයි. අද එක එක භූමිකා මතුවෙනවා. පුද්ගලයා මතුවෙන්නයි බලන්නේ. මේ සමාජයේ පුද්ගලයා මතු කරන්නයි සමාජය උත්සහ කරන්නේ. සාමූහිකව, සංඝ කියන වචනය තුළ අපි එළියට ඒමක්‌ දකින්න නැහැ.

එඩ්මන්ඩ් රණසිංහ - දැන් එතකොට සංඝ සංවිධානයට වුනත් තියෙන්න ඕන ස්‌වාධීන බලය කියන දේ. දැනුවත්කමින් ලැබෙන තත්ත්වය. ඒ අනුව රට අද යන අත විග්‍රහ කරන්න පුළුවන් ඥනයක්‌, බුද්ධියක්‌, බුද්ධිමය තත්ත්වයකට සංඝ සංවිධානය පත්වෙලා නෑ වගේ මට හිතෙන්නේ.

විපස්‌සි හිමි - සංඝ සංවිධානයක්‌ වශයෙන් නම් ඒ වගේ නැහැ. නමුත් අපි භික්‍ෂු කියන වචනයේ ඉඳන් කතා කළොත් බොහෝම බුද්ධිමත් ලෙස බලලා වැඩ කරන භික්‍ෂුන් වහන්සේ ඉන්නවා. විවිධ ප්‍රශ්න දිහා මැදිහත් සිතින් බලලා කටයුකු කරන්න පුළුවන් භික්‍ෂුන් වහන්සේ මේ සමාජයේ ඉන්නවා. ඒ කියන්නේ භාෂා ඥනය තිබෙනවා. මේ සියල්ලටම වඩා වැදගත් විනය ගරුත්වය. ඒ වගේම සීලවන්තකමටත්, අංග සම්පූර්ණත්වය, පරිපූරණත්වයට පත් මහ තෙරුණ්‌ වහන්සේ මේ රටේ වැඩ හිටිනවා. ඒ වගේම උන්වහන්සේලාට නිවහල් මානසිකත්වයෙන් මේ සියල්ල දෙස බලන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ ඒකරාශීභාවයක්‌ නැහැ. අන්න ඒ ඒකරාශීභාව ඇති කරන්න පුළුවන් වුණොත්, විශාල ජයග්‍රහණයක්‌ ලබන්න පුළුවන් වෙයි මේ ප්‍රශ්න හමුවේ.

එඩ්මන්ඩ් රණසිංහ - දැන් ඔතන මට පේන හැටියට ස්‌වාධීනත්වයක්‌ නෑ. භික්‍ෂූන්ට අන් බලවේගවලට යටත් නොවී ඉන්න තියෙන වාතාවරණය මොකක්‌ද? අද ගොඩක්‌ ආගමික දේවල් ව්‍යාපාරකරණය වෙලා. එතනත් පැහැදිලි බවක්‌ නෑ. හැම අංශයක්‌ම හැම අංශයකටම කාන්දු වෙලා ගිහින්. දේශපාලනය භික්‍ෂූන් අතරට ගිහිල්ලා. භික්‍ෂූන් දේශපාලනයට ගිහිල්ලා.

දිස්‌නා බණ්‌ඩාර - ඔව්. ඒ වගේම තව දෙයක්‌ එතනට එකතු වෙන්න ඕන කියලයි මං හිතන්නේ. අපිට පේන දෙයක්‌ තමයි හැම ක්‍ෂේත්‍රයකම පැහැදිලි බව නැති කරලා තියෙන්නෙත් දේශපාලනය තමයි කියන කාරණාව.

එඩ්මන්ඩ් රණසිංහ - එවැනි තත්ත්වයක්‌ තිබුණත්, අපි ඒකෙන් මිදෙන්න එපෑ. නැත්නම් අපිට විමුක්‌තියක්‌ නෑ. සුගතියක්‌ නෑ. එතකොට මේ දේශපාලන ක්‍රමයෙන් බේරෙන්නට විනය ඕනෑ. බුද්ධිමත් බව ඕනෑ. සමගිය ඕනෑ. එතකොට මං කලින් කිව්වා වගේ භික්‍ෂූන් වහන්සේට තමයි මේ කාරණාව කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද? ඔබ වහන්සේ කලින් කිව්වා වගේම විවෘත වෙන්න ඕනැ. ඒත් අපිට යම් මැලි බවක්‌ පේන්න තියෙනවා කියලා මට හිතෙනවා.

විපස්‌සි හිමි - මන්දගාමී බවක්‌ තියෙනවා තමයි. මං හිතන්නේ ගොඩක්‌ වෙලාවට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා හමුවේ ඇතැම් අය යම් යම් නම්‍යශීලී ස්‌වභාවයක්‌ දක්‌වනවා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා පිළිබඳ බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍ර ගණනාවක්‌ තියෙනවා. ඒ තුළ ජීවත් වෙනවා නම් අපට මේවා ප්‍රතික්‍ෂේප කරන්න පුළුවන්. එතකොට අපි පෙනී සිටින්නේ සමස්‌තය වෙනුවෙන්. අනිත් එක හැම වෙලාවෙම දේශපාලනඥයා තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකරගන්න මෙවලමක්‌ විදිහට භික්‍ෂූන් වහන්සේ යොදා ගන්නවා. මෙතන තමයි ලොකුම අභියෝගය. ඒ අභියෝග ජය ගන්න නම් ලොකු පෙරලියක්‌ කරන්න වෙයි.

එඩ්මන්ඩ් රණසිංහ - ඒ අනුව බලන කොට දේශපාලනඥයන් නීතිය අතට ගැනීම, නීතියට අවනත නොවීම, අද ලොකු ප්‍රශ්නයක්‌. මේ තුළ භික්‍ෂූන් වහන්සේට ලොකු වගකීමක්‌ තියෙනවා ඉටුකරන්න.

විපස්‌සි හිමි - ඒක ඇත්ත. මේ නායකයෝ කියන අයට තමන් මොනවද කරන්නේ කියලා පැහැදිලි අරමුණක්‌ නෑනේ. බලය රැක ගන්නට තමයි ඒ අය උත්සාහ කරන්නේ. මේ අයට ධර්මයක්‌ නෑ. ධර්මය නැති සමාජයක ධර්මය ඇති කරන්න ඕන. ඒ ඇතිකරවීමට සියුම් ව්‍යාපෘති ඇති කරන්න ඕන. මොකද හේතුව නීතියක්‌ හැම විටම අවශ්‍ය වෙන්නේ සදාචාරය පිරිහුනාම. සදාචාරය රැකුනා නම් එතන නීතියක්‌ අවශ්‍ය වෙන්නෑ. වඩාත් බලගතු වෙන්නේ නීතිය නොවෙයි සදාචාරයයි. අද ඒ සදාචාරය බරපතල ලෙස පිරිහීමට පත්වෙලා. අපිට ලොකු විප්ලවයක්‌ කරන්න වෙනවා මේ සදාචාරය යථා තත්ත්වයට ගන්න. සමාජයක සදාචාරය පිරිහුනොත් ඒක යථා තත්ත්වයට ගන්නවයි කියන එක පහසු කාරණයක්‌ නොවෙයි. ඒක යථා තත්ත්වයට ගැනීමේ හැකියාව තිබෙන්නේ රජයකට. රජය දැනුවත් කරන්න ස්‌වාධීන ආයතනයක්‌ ඕන. ඒ ස්‌වාධීන බලය හිමිවන්නේ භික්‍ෂූන් වහන්සේට.

එඩ්මන්ඩ් රණසිංහ - මාධ්‍යයට ලොකු වගකීමක්‌ කාර්යභාරයක්‌ තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉෂ්ඨ කරන්න. මට පේන්නෙ දැන් මාධ්‍යයත් අතරමං වෙලා වගේ. මං කල්පනා කරන්නේ චින්තන විප්ලවයක්‌ තුළින් මේක හැදෙන්න ඕන කියලා.

විපස්‌සි හිමි - පැහැදිලිවම අපේ අදහසත් ඒකයි. මේ සියලුම දේට ප්‍රවාහකයා වෙන්න ඕන මාධ්‍යය. ඒ නිසා මාධ්‍යය මෙහෙයවන අයට නිසි දර්ශනයක්‌ තියෙන්න ඕන. අපි දකිනවා අද ඒ අයට දර්ශනයක්‌ නෑ. ඒ අය දැනීම සම්බන්ධව මන්දපෝෂණයෙන් පෙළෙන්නේ. මාධ්‍යවේදීන් මීට වඩා දැනුවත් වෙන්න ඕන. මීට වඩා නීති ගරුක වෙන්න ඕන. එහෙම නැත්නම් මේ ප්‍රවාහය වෙනස්‌ කරන්න අමාරුයි. අපි මොනවා කළත් අපට මේ දේවල් දෙන්න පුළුවන් වෙන්නේ මාධ්‍යයෙන්. අපි මොනවද දෙන්නේ. අද මේ ඉල්ලන දේවල්නේ දෙන්නේ. ඒ හරහා මං හිතනවා අලෙවිකරණය එක්‌ක තමයි මේ දේවල් වෙන්නේ. දැන් මාධ්‍යයෙන් කරන්නේ අවශ්‍යතාවන් හදන එක. සමහර විට පංෙච්Jද්‍රියන් පිනවන්න ඇතැම් දේවල් අපට අවශ්‍ය වෙන්නේ නෑ. අවශ්‍යතාවය හැදුවම පාරිභෝගිකයෝ මේක ගන්න උත්සාහ කරනවා. මේ රටාව තුළ තමයි මාධ්‍යකරුවා හැසිරෙන්නේ. මාධ්‍යකරුවා වගකීම තේරුම් අරගෙන නෑ.

දිස්‌නා බණ්‌ඩාර - ස්‌වාධීනත්වය කියන දේ නැත්තටම නැතිවෙලා තියෙනවා නේද හාමුදුරුවනේ.

විපස්‌සි හිමි - ඇත්තටම නැතිකරගෙන තියෙනවා. ඇතිකර ගන්නත් පුළුවන්. ඇතිකරගන්න නම් අපි චින්තනයක්‌ ගොඩ නගාගන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා සූත්‍රයකදී සංයුක්‌ත නිකායේ සත්ථජටිල සූත්‍රයේදී යම්කිසි දෙයක්‌ හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගන්න ක්‍රමවේද කීපයක්‌ තියෙනවා.

"සංවාසේනකෝ මහා රාජ සීලං වේදි තබ්බං" රජතුමනි, ආශ්‍රය කිරීමෙන් තමයි කෙනෙකුගේ සීලය හඳුනාගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒක දිගු කාලයකින්, කෙටි කාලයකින් නොවෙයි. ඒ වගේම මෙනෙහි කරන්නන්ට පමණක්‌ නොමෙනෙහි කරන්නෙකුට නෙවෙයි. ප්‍රඥව ඇති කෙනෙකුටයි නුවන නැති කෙනෙකුටයි නෙවෙයි. අපි කෙනෙකුගේ සීලය හඳුනාගන්න නම් එයා දීර්ඝ කාලයක්‌ ආශ්‍රය කරන්න ඕන. ආශ්‍රය කරන්න ඕන මං මෙයා හැබෑ ලෙසම මේ සීලය රකිනවාද කියලා මෙනෙහි කරමින්. ඒ තුළ ජීවත් වෙන්න ඕන. ඒ තුළ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ පරිණත පුද්ගලයෙකුට පමණයි. ඒ තත්ත්වය අද මාධ්‍යයට නෑ. ඒ තුළ ජීවත් වෙනකොට තමයි චින්තනය ගොඩනැගෙන්නේ. නවකතාකරුවෙක්‌ වස්‌තු බීජයක්‌ අරගෙන කාලාන්තරයක්‌ තිස්‌සේ කල්පනා කරනවා. ගීත රචනා කරනකොටත් එලෙසමයි. අද එහෙම නොවෙයි. වචන දෙකක්‌ එහා මෙහා කරලා ගීතයක්‌ රචනා කරනවා. නමුත් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා වගේ අයෙකුගේ නවකතා දිහා බලපුවාම එක වචනය දහ දොළොස්‌ වතාවක්‌වත් කපලා කොටලා තියෙනවා.

එඩ්මන්ඩ් රණසිංහ - දැන් එතකොට මේ හැම දේකින්ම පේනේනේ අපැහැදිලිභාවය තමයි. ඒ නිසා තමයි මේ පිරීහීමක්‌ වෙලා තියෙන්නේ. ඔය තුළ කාන්තාවගේ කාර්යභාරයක්‌ තියෙනවද?.

දිස්‌නා බණ්‌ඩාර - හාමුදුරුවනේ ඔබ වහන්සේ කීවා අපේ සමාජය නොයෙක්‌ දේවල් සරලව හිතනවා කියන එක. දැන් අපිට පේනවා නේද හාමුදුරුවනේ අපේ සමාජය සරලව හිතන්න පුරුදු කරන්නේ මාධ්‍ය කියන දේ.

විපස්‌සි හිමි - කාන්තාවෝ නම්‍යශීලියි. කාන්තාව ඉතා ඉක්‌මනින් මේ දේවල්වලට හසුවෙනවා. හසුනොවෙන්න නම් කාන්තාව කල්පනා කරන්න ඕන මේ අය මොකේටද එන්නේ කියලා. කාන්තාව විචාරශීලීව බලන සම්ප්‍රදායක්‌ ඇත්වෙන්න ඕන. මෙහෙම බලන්න නම් ඒකට ධර්මයක්‌ අවශ්‍යයි. ධර්මය හුදෙක්‌ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයම නොවෙයි. ධර්මය කියන්නේ ලෝක ප්‍රවාහය. හොඳ නරක තේරුම් අරගෙන ඒ දේවල් ග්‍රහණය කර ගැනීමේ ශක්‌තිය කාන්තාවන්ට තිබිය යුතුයි.

දිස්‌නා බණ්‌ඩාර - අනෙක්‌ කාරණාව හාමුදුරුවනේ අපි දකිනවා සමාජයේ යම් යම් ආයතන තමන්ගේ භූමිකාව හරියට හඳුනාගෙන නැහැ. දේශපාලනඥයෙක්‌ දන්නෑ තමන්ගේ භූමිකාව. පොලිසිය දන්නෑ පොලිසියේ භූමිකාව මොකක්‌ද කියලා. සමහර විට භික්‍ෂුන් වහන්සේත්. අපි හිතනවා උන්වහන්සේ දන්නේ නෑ උන්වහන්සේගේ භූමිකාව මොකක්‌ද කියලා. ඒ වගේම තමයි හාමුදුරුවනේ අද ජීවත්වන කාන්තාව දන්නේ නෑ තමන්ගේ භූමිකාව මොකක්‌ද කියලා.

විපස්‌සි හිමි - එතන තමයි වැරැද්ද. ප්‍රශ්නයත් විසඳුමත් එතැනයි. ඒ අය දන්නෙ නෑ තමන්ගේ භූමිකාව මොකක්‌ද කියලා. අපි ඇත්ත වශයෙන්ම ඒ තුළ ජීවත් වෙන්නේ නෑනේ. කාන්තාවන් කාන්තාවන්ගේ භූමිකාව තුළ ජීවත් වෙන්නේ නෑනේ. තම තමන්ට ආවේණික වූ කාර්යභාරය ඉෂ්ඨ සිද්ධ කරනවා නම් මේ දේවල් එක්‌තරා හොඳ තත්ත්වයකට යොමුවේවි..

දිස්‌නා බණ්‌ඩාර - එතකොට අපි කියන පැහැදිලිභාවය කියන දේටත් ඒක හේතුවක්‌ වෙනවා.

විපස්‌සි හිමි - පැහැදිලිභාවය කියන්නේ දැනුවත්භාවය. දැනුවත් බව කියන්නේ මං කවුද කියලා තේරුම් ගන්න එක. මගෙන් මොනවද කෙරෙන්න ඕන. මේවාට පිළිතුරු තියෙනවා. එහෙම වුනාම පැහැදිලියි. අපි සමාජය අදහන මිනිස්‌සු වෙලා. දහම නොවෙයි අදහන්නේ. අන්ධ රැලක්‌ වගේ තමයි පිළිගන්නේ. මේ තියෙන වහල්භාවය, අන්ධභාවය නැතුව අපට බලන්න පුළුවන් නම් අපිට ගොඩක්‌ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න පුළුවන්.


 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v