ගාසුගේ ඓතිහාසික ඇරඹුම-කරුණු අසත්‍යයි

පසුගිය ඉරිදා "දිවයින" සංග්‍රහයේ "කලා සටහන්" යටතේ "විෙද්‍යාදය සාහිත්‍ය උළෙලේ ඓතිහාසික ඇරඹුම" යන හිසින් පළවූ ගාසුගේ ලිපියෙහි සංස්‌කෘතික ලේකම්වරයා ඉලක්‌ක කොට අගතිගාමී ලෙස කර ඇති පහරදීම් පිළිබඳව සංස්‌කෘතික ලේකම්වරයා ලෙස මගේ බලවත් විරෝධය ගාසු වෙත පළකරමි. මා දුරකථනයෙන් මේ පිළිබඳ ගාසුට විරෝධය පළකරන ලද අවස්‌ථාවේදී සඳහන් කරන ලද පරිදි මගේ මේ සටහන කිසිදු සංශෝධනයකින් තොරව පළකරනු ඇතැයිද මම උදක්‌ම බලාපොරොත්තු වෙමි.

මා ඉලක්‌ක කොට රාජ්‍ය සාහිත්‍ය උළෙලත්, රාජ්‍ය සාහිත්‍ය සම්මාන වැඩපිළිවෙළත් ඔහු විසින් නිර්දය ලෙස අපහාසයට ලක්‌ කරන්නේ 2006 වර්ෂයේ ප්‍රකාශිත (මට මතක හැටියට) ඔහුගේ තීරු ලිපි එකතුවක්‌ වූ කෘතියට සම්මානයක්‌ද නොලැබී ගියේ මා විසින් එය වැළැක්‌ වූ නිසා යෑයි යන වැරදි ආකල්පයක්‌ පදනම් කරගෙනය. විෙද්‍යාදය සාහිත්‍ය උළෙල ගැන කතා කිරීම හොඳය. එහෙත් ඒ මුවාවෙන් අසත්‍ය තොරතුරු මත වෙනත් පාර්ශ්වයන් වෙත අවලාද ගැනීම හෝ අපහාස කිරීම නරකය.

ඔහු විසින් එය විවෘත ලෙසම ප්‍රකාශ කිරීම තුළ සිය පුවත්පත මඟින් මුළු රටටම ඒත්තු ගන්වා ඇත්තේ සංස්‌කෘතික ලේකම්වරයා සෘජුවම සාහිත්‍ය සම්මාන සඳහා බලපෑම් කරන බවයි. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය මෙන්ම පදනම් විරහිත චෝදනාවකි. 2006 වර්ෂයේ සිට මේ දක්‌වාම කිසිදු ලෙසකින් සංස්‌කෘතික ලේකම්වරයා හෝ අමාත්‍යාංශයේ වෙනත් කිසිදු කෙනකු සම්මාන වැඩසටහනට බලපෑම් කොට තමන්ට අවශ්‍ය පොත්වලට සම්මාන ලබාදීමට හෝ ඒවා වැළැක්‌වීමට ක්‍රියා කර නැත. සම්මාන සඳහා පොත් තේරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය තනිකොටම සාහිත්‍ය අනුමණ්‌ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද්දකි. සාහිත්‍ය අනුමණ්‌ඩලයේ සභාපතිවරයාට හෝ කිසිදු සාමාජිකයකුට හෝ එසේත් නොමැතිනම් පොත් සමීක්‍ෂණය සඳහා යොදාගත් කිසිදු සමීක්‍ෂකයකුට අප විසින් කිසිදු ආකාරයක බලපෑමක්‌ කර නැත. සම්මාන සඳහා පොත් තේරීම පිළිබඳ සම්පූර්ණ වගකීම පැවරී තිබුණේ සාහිත්‍ය අනුමණ්‌ඩලයටය. අදද එය එසේම සිදුවෙයි. තීරු ලිපි එකතු සඳහා සම්මාන දීම පිළිබඳ මගේ ස්‌ථාවරය ගාසුගේ ලිපිය පළවූ දිනම සිළුමිණ පුවත්පතෙහි මවිසින් දෙන ලද සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලිව සඳහන් වේ.

තත්ත්වය එසේම තිබියදී ලේකම්වරයා ගාසු සමග උරණව සිටි හෙයින් ලේකම්වරයාගේ නියමයෙන් ගාසුනේ පොත ඉවතට දැමූ බවට කරන ප්‍රකාශය කොතරම් සාහසිකද? ගාසු සමග උරණවීමට සංස්‌කෘතික ලේකම්වරයාට හේතු වූ කාරණාවක්‌ තිබුණේ නැත. අදාළ වර්ෂයේ සම්මාන සඳහා පොත් තෝරන අතරතුර ගාසු තමාගේ පොත සම්බන්ධයෙන් මට දුරකථනයෙන් කතා කළ අවස්‌ථාවේදී ද මවිසින් පැහැදිලිව ඔහුට සඳහන් කරන ලද්දේ සම්මාන සඳහා පොත් තේරීමට අදාළව මවිසින් සාහිත්‍ය අනුමණ්‌ඩලයට කිසිදු බලපෑමක්‌ නොකරන බවයි. එය එසේම සිදුවිය. සංස්‌කෘතික ලේකම්වරයා ගාසු සමග උරණ වී සිටි බවට ඔහු තුළ ඇති අවිශ්වාසය පිළිබඳ හේතුවක්‌ද ඉදිරිපත් කරයි. "සාහිත්‍ය සංස්‌කෘතික කටයුතු අරබයා මවිසින් කරනු ලබන විවේචනය නිසා ඔවුන් මා සමග උරණව සිටි බව" යනුවෙන් ගාසු කියන්නේ තමා විසින් ගොඩනඟාගත් හිතලුවක්‌ මත පිහිටා නිසා මිස අන් කිසිවක්‌ නිසා නොවේ. ඔහුගේ පොත සමීක්‍ෂණය කෙරෙන වර්ෂය වන විට ගාසුට අපේ කටයුතු විවේචනය කරන්නට තරම් කාලයක්‌ තිබුණේ නැත. ඒ අප රාජකාරි භාරගත් මුල් වකවානුවයි. විවේචන ඇති වූවා නම් ඇති වූවේ ඉන් පසු කලය. ඒනිසා ඔහුගේ විවේචනය පදනම් විරහිතය. කෙසේ වුවද පුවත්පත්වල පළවූ විවිධ විවේචන නිසා අපි කිසිවකු හා උරණ නොවූයෙමු. අපි ඉන් ධෛර්යමත් වීමු. සංවර්ධනශීලී කරුණු සැළකිල්ලට ගත්තෙමු. අසත්‍ය කරුණු මත කෙරුණු අගතිගාමී විවේචනයන්ට හා සම්මාන අපේක්‍ෂාවෙන් සිට නොලැබුණු ඇතැම් ලේඛක ප්‍රතිරූපකයන්ගෙන් අවලාදමය විවේචනයන්ට පවා අපි සත්‍ය කරුණු හෙළිකරමින් බොහෝ විට සෘජු ලෙස පිළිතුරු දී ඇත්තෙමු. ඒ හැර වෙනත් කිසිවක්‌ අප අතර සිදුවී නැත.

විමලදාස සමරසිංහ
ලේකම්

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v