මැජික්‌ බලයෙන් ලොව ජයගත් රෝලින්

සාමාන්‍යයෙන් පෝස්‌ටර් දකින්නට ලැබෙන්නේ තාප්පවලය. ගෙවල් ඇතුළේ පෝස්‌ටර් දකින්නට නොලැබේ. එහෙත් දිනක්‌ ගෙදර මා ලියන මේසය ඉදිරිපිට බිත්තියේ පෝස්‌ටරයක්‌ ඇලවී තිබිණි. එහි සඳහන් ව තිබුණේ නිදහස්‌ අධ්‍යාපනයට අත නොතබනු හෝ කම්කරු අයිතිවාසිකම්වලට අත නොතබනු කියා නොව හැරී පෝටර්ට අත නොතබනු ලෙසිනි. එය මැජික්‌ බලයෙන් ඇලවුණු පෝස්‌ටරයකි. එයට දිනකට පෙර දියණියගේ කුඩා අල්මාරියේ එක්‌ පැත්තක්‌ පුරා හැරී පෝටර් ස්‌ටිකර් ඇලවී තිබෙනු දැක ඒ ගැන තරවටු කර එම ස්‌ටිකරයක්‌ දෙකක්‌ ගලවා දැමීමට මා උත්සාහ කළා පමණි.

1995 වර්ෂයේ දී ස්‌වකීය කුඩා බිළිඳා ද සමඟ රජයෙන් ගෙවනු ලබන සුබසාධන ආධාරයෙන් ජීවත් වූ මවක්‌ ජනසවියෙන් ජීවත් වූ මවක්‌, ස්‌කොට්‌ලන්තයේ එඩින්බර්ග් නුවර වාසය කළාය. ඇගේ නම ජොඈන් රෝලින් නම් විය. ඉන් අවුරුදු පහකට පසුව ඇය එංගලන්තයේ මහරැජිනට වඩා පෝසත් විය. එය සිදු වූයේ ද මැජික්‌ බලයෙනි.

2000 ජුලි 8 වනදා පොතක්‌ නිකුත් විය. එදින එංගලන්තයේදී එම පොතේ පිටපත් 372,775 ක්‌ අලෙවි විය. එය සිදුවූයේ මැජික්‌ බලයෙනි. 2005 ජූලි 16 තවත් පොතක්‌ නිකුත් විය. පැය 24 ක්‌ ඇතුළත එම පොතෙන් පිටපත් මිලියන 9 ක්‌ එනම් කෝටියකට කිට්‌ටු ප්‍රමාණයක්‌ අලෙවි විය. එය සිදුවූයේ ද මැජික්‌ බලය නිසාය. 2007 ජූලි 21 දින තවත් පොතක්‌ නිකුත් විය. එම දිනය තුළදී පමණක්‌ එම පොතේ පිටපත් කෝටියකුත් ලක්‍ෂ දහයක්‌ අලෙවි විය. ඒද මැජික්‌ බලයෙනි.

ඉහත කී ලෙස ජොඈන් රෝලින් නම් කාන්තාව 1995 වර්ෂයේදී ජීවත්වූයේ "ජනසවියෙනි" 2008 වර්ෂය වන විට ඇගේ වත්කම කෝටියේ ඒවා අටදාහක්‌ විය. ඒ වෙනස සිදුවූයේ මැජික්‌ බලයෙනි. ඇය මැජික්‌ බලයෙන් ලොව ජයලගත් ගැහැනියකි. මේ මැජික්‌ බලයෙන් ලොව ජයගත් ජොඈන් රෝලින් උපත ලැබූවේ 1965 ජූල 13 දා එංගලන්තයේ ග්ලොසෙස්‌ටෂයර් ප්‍රාන්තයේ කේට්‌ නම් ගම්මානයේ සාමාන්‍ය පවුලකය. එනම් රස්‌සාවක්‌ නැතිව බූදලයෙන් ජීවත්වීමට හැකි තරම් දේපළක්‌ නැති පවුලකය. මෙවන් පවුලක ඉපදුණොත් අනිවාර්යයෙන්ම ඉගෙනගන්නට සිදුවේ. ඒ අධ්‍යාපනයේ වටිනාකම නිසාම නොව ඉගෙනගෙන රස්‌සාවක්‌ ලබාගත්තේ නැතිනම් ජීවත්වන්නට ක්‍රමයක්‌ නැතිවන බැවිනි. ඒ අනුව ජොඈන් රෝලින් ද සාර්ථක ලෙස ඉගෙනුම නිමකර සරසවියට පිවිසියාය.

ජොඈන්ගේ දෙමාපියන් බලාපොරොත්තු වූයේ ඇය විශ්වවිද්‍යාලයේදී කළමනාකරණය හෝ වෙනත් වෙළඳපොළ තුළ ඉහළ රැකියාවකට උපකාර වන විෂයයන් හදාරනු ඇතැයි කියාය. එහෙත් ඈ හැදෑරුවේ පුරාණ සාහිත්‍ය හා භාෂාවන්ය. ඒ ඈ ලේඛන කලාවට ආසා කළ බැවිනි. එහෙත් ඒ පාපය හේතුවෙන් උපාධිය ලැබීමෙන් පසුව රැකියාවක්‌ ලබාගැනීමට නොහැකිව ඇයට සෑහෙන කාලයක්‌ නොවිඳිනා දුක්‌ විඳින්නට සිදුවිය.

1991 දී ඈ රස්‌සාවක්‌ නැති නිසා ඉංගීසි ගුරුවරියක්‌ ලෙස කටයුතු කිරීමට පෘතුගාලයට ගියාය. එහිදී හමුවූ පෘතුගාල ජාතික මාධ්‍යවේදියෙකු සමග විවාහ වූවාය. ඔවුන් දෙදෙනාට දාව ජෙසිකා නම් දියණිය උපන්නේ 1993 ජූලි 23 වෙනිදාය. එහෙත් 1993 නොවැම්බර් මාසය වන විට මේ යුවළ දික්‌කසාද වූහ. එය වැළැක්‌වීමට හැකි මැජික්‌ බලයක්‌ද රෝලින් මහත්මිය සතු වූයේ නැත. ඉන්පසුව ඈ තම හයමස්‌ වියෑති බිළිඳිය රැගෙන ස්‌කොට්‌ලන්තයේ එඩින්බර්ග් නුවරට පැමිණියාය.

එඩින්බර්ග් නුවර දී ඇයත් බිළිඳාත් ජීවත්වූයේ රජයෙන් ලබන සහනාධාර දීමනාවෙනි. හැරී පෝටර් පළමු පොත ලියන්නට පටන් ගත්තේ එසේ සිටින අතරදීය. ඒ පොතෙන් වැඩි ප්‍රමාණයක්‌ ඈ ලියා ඇත්තේ අවහන්හල් තුළ දී බව කියෑවේ. මෙයට හේතුව වශයෙන් සමහර මාධ්‍යවේදීන් පවසා ඇත්තේ ඈ කුලියට ගෙන වාසය කළ කාමරයේ කාමර උණුසුම් කරන පහසුකම් නොවීම නිසා අවහන්හල් තුළදී පොත් ලියූ බවය. එහෙත් පසුව රූපවාහිනී සාකච්ඡාවකදී ඈ එයට ඇත්ත හේතුව හෙළි කළාය.

ඇයට ලියන්නට ඇගේ බිළිඳා නිදාගන්නා තුරු සිටීමට සිදුවිය. ස්‌වකීය බිළිඳා නිදිකරවීමට හැකි මැජික්‌ බලයක්‌ ඇයට තිබුණේ නැත. ඒ නිසා ඇය කළේ බිළිඳා වඩාගෙන ඇවිදීමට යැමයි. ජෙසිකා නිදිකරවීමට හැකි හොඳම ක්‍රමය එය විය. ඒ අනුව එසේ අතරමගදී කුඩා දැරියට නින්ද ගියවිට ඇය නගරයේ අවන්හලකට ගොඩවැදී දැරිය අසලින් තබාගෙන ඇගේ පොත ලීවාය. හැරී පොත් මාලාව මෙතරම් ලස්‌සන වී ඇත්තේ ඒ පොත් සමඟ ඇගේ දහදිය හා කඳුළු ද එසේ මුසු වී තිබීම නිසාය. මැජික්‌ බලයට අමතරව අපට හැරී පෝටර් පොත් මාලාව තුළ දුක, වේදනාව, කඳුළ, මනුස්‌සකම මෙන්ම දුෂ්ටත්වය ද හමුවේ. ඒ සියල්ල එහි ඇත්තේ ජොඈන් රෝලින් ඒ සියල්ල එසේම අත්වින්ද හෙයිනි. එහෙත් ඒ සියල්ලම ජයගෙන නැගී සිටීමට ඈ සමත් වූවාය. සැබවින්ම ඇගේ ජීවිතය හැරී පෝටර් සියලුම පොත්වල ඇති මැජික්‌වලට වඩා මැජික්‌ එකකි.

එහෙත් මෙසේ අමාරුවෙන් ලිවූ හැරී පෝටර් පළමු පොත ප්‍රකාශන සමාගම් 12 ක්‌ ම විසින් ප්‍රතික්‌ෂේප කරනු ලැබිණි. එහෙත් අවසානයේ බ්ලුම්ස්‌බරී සමාගම එය බාරගත්තේය. මැජික්‌ බලයෙන් විස්‌කම් කරන හැරී පෝටර් ලොව ජනප්‍රියම චරිතය බවට පත්විය. ඉන්ද්‍රජාල හා මායාබලය උගන්වන පාසල ලොවම ප්‍රකට විය. හැරී පෝටර් පොත් මාලාවක්‌ බිහිවිය. ඒ පොත් සියල්ල විසින් එතෙක්‌ පැවති පොත් අලෙවියේ සියලුම වාර්තා බිඳ දමනු ලැබිණි. ජොඈන් රෝලින්ට මැජික්‌ ලෝකයක්‌ විවර විය. ඒ මැජික්‌ බලයෙන් ඇගේ ජීවිතය තුළ වු දිළිඳුකම සැණෙකින් අතුරුදන් වී ගියේය. ඇය කෝටිපතිනියක්‌ බවට පත්විය. හැරී පෝටර් පොත් මාලාව පමණක්‌ නොව ඒ පොත් අනුව නිෂ්පාදනය වු හැරී පෝටර් චිත්‍රපට ද බොක්‌ස්‌ ඔපිස්‌ වාර්තා බිඳිමින් ලොව පුරා තිරගත විය.

කෙසේ වුවත් ජොඈන් රෝලින් ධනවත්වීම සඳහා අනුගමනය කළ උපායමාර්ගය නිසාද අද අපට අපේම දරුවන් අහිමි වී ඇත. මක්‌නිසාද යත් ඔවුහු අපට වඩා හැරී පෝටර්ට ආදරය කරන බැවිනි. අවසාන වශයෙන් කියන්නට ඇත්තේ ජොඈන් රෝලින් ඡේ. කේ. රෝලින් බවට පත්වීමද මැජික්‌ එකක්‌ බවය. හැරී පෝටර් පළමු පොත ගැසීමට බාර ගත් ප්‍රකාශකයා කීවේ ජොඈන් රෝලින් යන ගැහැනු නමකින් පොත ප්‍රකාශයට පත් කළහොත් කුඩා ළමුන් එයට අකමැති විය හැකි බවයි. ඒ වෙනුවට කතුවරයාගේ ගැහැනු පිරිමි බව හඳුනාගැනීමට නොහැකි වන ලෙස මුලකුරු දෙකක්‌ ඇති නමක්‌ යොදන ලෙස ප්‍රකාශකයා ජොඈන් රෝලින්ගෙන් ඉල්ලා සිටියේය. ජොඈන් කොටසට අමුතුවෙන්ම කැත්ලීන් කොටසක්‌ එකතුකර ජොඈන් කැත්ලීන් රෝලින් හෙවත් ඡේ. කේ. රෝලින් යන නම යොදනු ලැබුවේ ඒ අනුවය. ඔබ අද හැරී පෝටර් කතුවරිය (කතුවරයා?) ලෙස හඳුනන්ගේ ජොඈන් රෝලින් නොව ඡේ. කේ. රෝලින්ය. ඒ අනුව කිවහැක්‌කේ පොත් අලෙවි කරගැනීමට නම් පොත් ලිවීමේ හැකියාවට අමතරව නම් වෙනස්‌ කරගැනීමේ හැකියාව ද තිබිය යුතු බවය.

උදයසිරි වික්‍රමරත්න

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v