අදිකාරම් සිතුවිලි 20
සත්ත්ව හිංසාව සහ අපේ සමාජය

ලෝකයේ වෙනත් සමහර රටවල් සමඟ සංසන්දනය කරන විට ශ්‍රී ලංකාව තවම අමානුෂික තත්ත්වයකට කෲර වී නැත. එහෙත් අප විමසිල්ලෙන් සහ සිහියෙන් යුක්‌තව නොසිටිය හොත් අපේ නුදුරු අනාගතය ද ඉතා නපුරු වනු නිසැකය.

මීට අවුරුදු හතළිහකට පනහකට පෙර තිබුනාට වඩා අද ශ්‍රී ලංකාව නපුරුය. සාහසිකය. අනුකම්පා විරහිතය. මෙය ගණිත විද්‍යාත්මකව පෙන්වීමට තරම් සංඛ්‍යා ලේඛන අපට නොතිබෙන්නට පුළුවන. ජීවිතයේ විවිධ අංශයන් පිළිබඳව විස්‌තරාත්මක සංඛ්‍යා ලේඛන තැබීමක්‌ මෙරට නැති බැවිනි. එහෙත් මෑත කාලයක සිට සත්ත්ව හිංසාවත් සමාජය නරක්‌ වීමත් අත්වැල් බැඳගෙන මෙන් සීග්‍රයෙන් ද එක්‌තරා රටාවකට අනුරූප ව ද වැඩි වේගෙන එන බැව් නම් පැහැදිලිය. බැලූ බැල්මට යම්කිසි ලාභයක්‌ සත්ත්ව හිංසාවෙහි පෙනෙන්නට තිබීම සතුන්ට කරන හිංසාවෙන් මනුෂ්‍යයාට ආපසු සිදුවන හානිය හරිහැටි දැකීමට බාධාවක්‌ව පවතියි. එහෙත් මේ සම්බන්ධව ටිකක්‌ පළලටත් ගැඹුරටත් සිතා බැලුවහොත් එම ලාභය ව්‍යාජ ලාභයක්‌ මිස ඇත්ත වශයෙන් පවතින ලාභයක්‌ නොවන බැව් පැහැදිලිව පෙනෙනවා ඇත.

පැරැණි ගොවියා සත්ත්ව හිංසාවෙන් වැළකීමට හැකිතාක්‌ උත්සාහ කළේය. පැරැණි යන්නෙන් මා මෙහිදී අදහස්‌ කරන්නේ අවුරුදු සිය ගණනකට ඔබ්බෙහි නොව මට හොඳින් මතක ඇති අවුරුදු පනහකට හැටකට තරම් ඉහත කාලයයි. ඔහු ගොඩවෙල් පණුවාගෙන්, ගොයම් මැස්‌සාගෙන් තම කුඹුර ආරක්‍ෂා කරගත්තේ නිසි කලට ගොවිතැන් කිරීමෙන් ය. කලට නිසි වී වර්ගය වැපිරීමෙන් ය. ලාටු කුල්ලෙන් ගොයම් මැස්‌සන් මරන ගොවියෝ අතරින් පතර සිටියහ. එහෙත් සමාජය විසින් ඒ ගොවියන් සලකන ලද්දේ "පව්කාරයන්" හැටියටය.

අද තත්ත්වය කුමක්‌ද? අපේ ගම්බද ගොවියා උදෑසන කුඹුරට යන්නේ කෘමිනාශක බෙහෙත් ද

රැගෙනය. ගොවිතැනට හානිකරන, හානි නොකරන සියලුම කුඩා සත්තු ඒ බෙහෙත් වලින් මැරෙති. අද සමාජය මෙය සලකන්නේ "පව්කාර" වැඩක්‌ හැටියට නොව, දියුණු වූ ගොවියා විසින් අනිවාර්යයෙන් කළ යුතු යුතුකමක්‌ හැටියටය. කෘමිනාශක බෙහෙත් වලින් සතුන් නොමරා ගොවිතැන් කරන්නේ කෙසේ දැයි අසන භික්‍ෂුහු පවා මෙරට සිටිති. කෘමිනාශක බෙහෙත් යෙදීම නිසා සිදුවන හානි දෙකකි. එයින් එකක්‌ ආර්ථිකය. අනික මිනිස්‌ බව පිළිබඳ වූවකි.

ඕනෑම විධියක ගොවිතැනට මූලාධාරය වන්නේ ස්‌වාභාවික ලෙස පසෙහි සෑදී තිබෙන සාරවත් කොටස ය. සාමාන්‍යයෙන් අඟල් හයක්‌ පමණ ඝනකම ඇති උඩ පසේ පස්‌ තට්‌ටුව සාරවත් වන්නේ එහි ඇති "හියුමස්‌" යෑයි කියනු ලබන පස නිසා ය. හියුමස්‌ පස නැතිව ගියහොත් කෘත්‍රිම පොහාර වලින් පමණක්‌ ගොවිතැනක්‌ සාර්ථක ලෙස කිරීමට පුළුවන්කමක්‌ නැත. හියුමස්‌ පස සෑදී තිබෙන්නේ පසෙහි ජීවත්වන අප්‍රමාණ සංඛ්‍යාවක්‌ ක්‍ෂුද්‍ර ජීවීන් නිසා ය. ගැඩවිල් පණුවා පස සාරවත් කිරීමට අතිශයින් ම ආධාරෝපකාරී වන සතෙකි. කෘමිනාශක බෙහෙත් නිසා මැරී යන්නේ ඇසට පෙනෙන ගැඩවිල් පණුවන්, කෘමි සතුන් පමණක්‌ නොවේ. ඊට වඩා ලක්‍ෂ වාර ගණනකින් සිටින ඇසට නොපෙනෙන ක්‍ෂුද්‍ර ජීවීහු ද මැරී යති. නූගත් ගොවියා මේ බව දන්නේ නැත. තාවකාලික පහසුවත් තාවකාලික ලාභයත් සලකා කෘමිනාශක බෙහෙත් විදීමෙන් ගොවියා තම බිම විනාශ කරගනියි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ගොවිතැනට නුසුදුසු කාන්තාරයක්‌ වන දවස එතරම් ඈත විය නොහැකිය.

මේ හානිය රටට ඉතා විශාල එකක්‌ වුවද, අනික්‌ හානිය එනම් මිනිසාගේ මිනිස්‌ බවට සිදුවන හානිය ඊට වඩා විශාලය. බරපතලය.

තාත්තා කෘමිනාශක බෙහෙතෙන් සතුන් මරන බව නිරතුරුව දකින දරුවාගේ ළපැටි සිත දැඩි වනු ගොරෝසු වන, අනුකම්පා විරහිතවනු වැළැක්‌විය නොහැකිය. මෙයින් අනිවාර්යයෙන් ම සිදුවන්නේ හිංසාව වරදක්‌ නොවේ යෑයි සිතට කා වැදුණු ලාබාල පරම්පරාවක්‌ රට පුරාම ඇති වීමය. මේ බාල පරම්පරාව මුලින් ඇති වී දැනට අවුරුදු පනහක්‌ හැටක්‌ පමණය. ඒ දරුවෝ අද වැඩිහිටි මිනිස්‌සුය. අද රටේ සොරකම් කරන, අනුන්ට හිංසා පීඩා කරන දුසිරිතෙහි ගැළුණු, අපරාධකරුවන් සීග්‍රයෙන් වැඩි වී තිබීමට, ළාබාල කාලයේදී සත්ත්ව හිංසාවට එසේ පුරුදු වීම සෑහෙන ප්‍රමාණයකින් හේතු නොවී යෑයි අපට කිව හැකිද?

බාල පරම්පරාව තුළින් අනුකම්පාව තුරන් කිරීමට හේතු වන තවත් බොහෝ දේ ඇත. එයින් තව එක ප්‍රධාන හේතුවක්‌ ගැන සඳහන් කිරීම අවශ්‍යය.

මනුෂ්‍යයන්ගේ ලෙඩ දුක්‌ දුරු කිරීමේ උදාර ෙච්තනාවෙන් හෝ උසස්‌ යෑයි සම්මත වෘත්තියක තැනක්‌ ලබා ගැනීමේ අදහසින් හෝ කලකදී දොස්‌තර කෙනෙකු වීමේ බලාපොරොත්තුවෙන් අද ජීව විද්‍යාව හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආධ්‍යාත්මික වශයෙන් සිදුවන විපතක්‌ තිබේ. එනම් ජීව විද්‍යාව ඉගෙන ගැනීමේදී සතුන් මැරීමත් පණපිටින් සතුන් කපා ඔවුන්ගේ ඇතුළ නිරීක්‍ෂණය කිරීමත් අවශ්‍ය කරවන නිර්දේශයන් අපේ අධ්‍යාපන පරිපාටියෙහි තිබීමය.

වැඩිහිටියන් කෘමිනාශක බෙහෙත් යෙදූ ඉමක්‌ කොනක්‌ නැතුව සතුන් මරනු කුඩා කාලයේදීම දැක පුරුදු ඇති, හිංසක මාර්ගයට කල්තියාම ඇබ්බැහි වීමක්‌ ලබා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පරීක්‍ෂණාගාරයේදී සතෙකු මැරීම හෝ සතෙකු පණ පිටින් කපා බැලීම හෝ එතරම් අමානුෂික වැඩක්‌ හැටියට නොපෙනෙන්නට පුළුවන. එවැනි ගොරෝසුවීමක්‌ නොලබා ඇති අයට මුල් වතාවේදී සතෙකු මේසය උඩ තබාගෙන මැරීමක්‌ අමු අමුවේම පණ ඇති සතෙකු කැපීමක්‌ දැනෙන්නේ ඉතා අමිහිරි එසේම ඉතා බිහිසුණු වැඩක්‌ හැටියටය. දෙවැනි වතාවේදී ඒ සංවේදීභාවය පළමුවැනි වතාවේදී තරම් නැත. කිහිප වාරයක්‌ කිරීමෙන් පසු සංවේදී භාවය කොහෙත්ම නැත. මෙයින් ඒ දරුවාගේ මිනිස්‌ ගතිය පිරිහී යන බව ගුරුවරයාටවත්, සමාජයටවත් නොපෙනී තිබීම අපේ අභාග්‍යය කි. අනුකම්පා සහගත හදවතක්‌ ගොරෝසු වීම අපහසු නැත. එහෙත් ඒ ගොරෝසු වුණු හදවත නැවත මොළොක්‌ වීම පහසුවෙන් සිදුවන්නක්‌ නොවේ.

උගත් සමාජය තුළ පවා මෙම කාරණය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන, ගෙම්බන් මීයන් නොමරා දොස්‌තර කෙනෙකු විය නොහැක යන දෘෂ්ටිය පුදුම මෝහනයකි. ඕනෑම බොරුවක්‌ සෑහෙන වාර ගණනක්‌ නැවත නැවත අසන විට එය සැබෑවක්‌ ලෙස පෙනෙන්ට පටන් ගනියි. එහි ඇත්තක්‌ ඇතැයි ඒ පිළිගැනීම ස්‌වයංමෝහනයේ හෙවත් තමාව රවටා ගැනීමේ ස්‌වභාවයයි. රටවල් දෙකක්‌ අතර කෙරෙන යුද්ධවලදී නොයෙකුත් විදියේ බොරු ප්‍රචාරය කිරීමත් එම බොරු නිතර නිතර ඇසීමෙන් අසන්නවුන් තුළ ස්‌වයං මෝහනය ඇති වීමත් ප්‍රකට දෙයකි. දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙහි දී මේ මෝහනය සියුම් කළ විශේෂයක්‌ තරමට හිsට්‌ලර් දියුණු කර බලවත් යුද්ධ උපකරණයක්‌ වශයෙන් පාවිච්චි කළේය. ගෙම්බන් මියනී නොකපා දොස්‌තර කෙනෙකු විය නොහැක යන මේ බොරුව ලංකාව, බ්‍රිතාන්‍ය විජිතයක්‌ව පැවැති දවසේ සිට අද දක්‌වා වූ දීර්ඝ කලයක්‌ මුළුල්ලේ බහුල ලෙස ප්‍රචාරය වී තිsබීම සහ එය ඇත්තක්‌ ලෙස අනිවාර්යයෙන් පිළිගැනිණ. අද ඒ බොරු ප්‍රචාරයේ අනර්ථකර ස්‌වාභාවය අප විසින් අවබෝධ කරගත යුතුයි. අපේ ශිෂ්ටාචාරයේ පදනම අවිහිංසාවයි. ඒ පදනම මෙවැනි බොරු ප්‍රචාරයන් මහජනයා විසින් පිළිගැනීම නිසා කැඩී බිඳී යමින් පවතියි.

තවත් මෙවැනි අමූලික බොරුවක්‌ නම් මස්‌ පිණිස සතුන් ඇති කිරීමෙන් අපේ ආහාර හිsඟය විස¹ ගත හැකිය යන්නයි. මස්‌ පිණිස ඇති කරනු ලබන ඌරන්, කුකුළන්, හරකුන් වැනි සතුන්ට විශේෂයෙන් පිළියෙල කරන ලද සත්ත්ව ආහාර දිය යුතුයි. ධාන්‍ය වර්ග, සෝයා බෝංචි, විටමින් වර්ග සහ තවත් විශේෂ පෝෂ්‍යදායි ආහාර වර්ග එම ස්‌ත්ත්වාහාර සෑදීමට අවශ්‍ය වෙයි. ඇමෙරිකාවේ ඉරිඟු වචන භූමි ප්‍රමාණය අක්‌කර 100,000,000 (දස කෝටියක්‌) පමණ වන්නේය. එයින් ලැබෙන අස්‌වැන්නෙන් ඉතා වැඩි කොටසක්‌ යොදනු ලබන්නේ මනුෂ්‍යයාගේ ආහාර සඳහා නොව ඌරන්ට, කුකුළන්ට සහ හරකුන්ට දෙන සත්ත්වාහාර සෑදීම පිණිසය. (වර්ල්ඩ් බුක්‌ එන්සයික්‌ලෝපීඩියා" නම් විශ්ව කෝෂයේ 3 වැනි කාණ්‌ඩයේ 1739 වැනි පිටුව) තවද ලෝක ප්‍රසිද්ධියක්‌ උසුලන එංගලන්තයේ වෛද්‍ය විද්‍යා සඟරාවක්‌ වන "බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්" නම් සඟරාවේ 1997 ජූලි මස 9 දින නිකුත් කරන ලද කලාපයෙහි දැක්‌වෙන පරිදි අද ලෝකයේ කෘෂි කර්මාන්තයේ නිපදවනු ලබන ආහාර ප්‍රමාණය ලෝකයේ වත_මාන ජනගහනය මෙන් පස්‌ ගුණයකට සෑහෙන්නේය.

එසේ තිබියදීත් අද කෝටි සංඛ්‍යාත ජනයා බඩගින්නෙන් එසේ නැතිනම් මන්ද පෝෂණයෙන් පෙළෙති. මේ සාපරාධි තත්ත්වය ඇති වීමට හේතුව මනුෂ්‍යයාට කන්ට ලැබෙන ආහාර ප්‍රමාණය මෙන් කිහිප ගුණයක්‌ මස්‌ පිණිස ඇති කරන සතුන්ගේ කෑම සඳහා යෙදවීමය. මස්‌ වශයෙන් එක රාත්තලක්‌ හරකෙකුගෙන් ලබා ගැනීමට සත්ත්වාහාර රාත්තල් තිහක්‌ හරකාට කැවිය යුතු බැව් ඉහත සඳහන් වෛද්‍ය සඟරා ලිපියෙහිම ඇතුළත් වෙයි. ඌරන්, කුකුළන් වැනි අනික්‌ සතුන්ටද දිය යුතු සත්ත්වාහාර ප්‍රමාණය ඔවුන්ගෙන් ආපසු ලබාගත හැකි ප්‍රමාණය මෙන් කිහිප ගුණයකි. මෙවැනි නිදර්ශන තවත් බොහෝ ගණනක්‌ ගෙනහැර දක්‌වත හැකියි.

මෙසේ බලන විට මස්‌ පිණිස සතුන් ඇති කිරීම ආර්ථික වශයෙන් බලවත් පාඩුවක්‌ පමණක්‌ නොව ලෝකයේ අද පවතින ආහාර හිඟයට ප්‍රධාන හේතුව ද වේ. මෙය මගේ අදහසවත් තවත් කෙනෙකුගේ අදහසවත් නොව ලෝකයේ සංඛ්‍යා ලේඛන වලින් අනාවරණය වන සත්‍යයකි.

මිල්ටන් ද සොයිසා

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v