මාර යුද්දෙ දී බුදුන් රැකි උපුල්වන්

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්‌ථාවේ දී එය වැළැක්‌වීම සඳහා මාරයා සිය පිරිවරක්‌ සමඟ පැමිණි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන මාර පරාජය කථාවෙන් අනාවරණය වේ. මෙම සාහිත්‍යයේ මාර පරාජය නමින් පිළිඹිබු කරන්නේ කෙළෙසුන් නැසීම බව පසක්‌ වන්නේ තණ්‌හා, රතී ආදී මාර දූතිකාවන් ගැනද සඳහන් වීමෙනි. කෙසේ වෙතත් ඒ වන විටත් පෙර දිග ශිෂ්ටාචාරයේ විශ්වාසයට පාත්‍ර වී තිබූ දේව හා යක්‍ෂ විශ්වාසයන් මෙකී කථා පෝෂණයවීමේදී උපස්‌ථම්භක වී ඇති බව පෙනේ. සත් ක්‍රියා සම්බන්ධයෙන් දෙවිවරුන් ද අධර්මවාදී ක්‍රියා සම්බන්ධයෙන් යක්‍ෂයන්ද සම්බන්ධ කිරීම මෙම පුරාණ සම්ප්‍රදායේ ලක්‍ෂණයක්‌ විය. බුදුන් වහන්සේ බුදුවන අවස්‌ථාවේ දෙවි දේවාතාවුන් උන් වහන්සේට පුද සත්කාර පවත්වමින් ප්‍රීති ඝෝෂා නැගූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහනි. මහාවස්‌ථුවේ සඳහන් පරිදි මෙම දෙවිවරුන් මල්දම් ආදිය රැගෙන බෝධිය වටා සිටි බව පවසන අතර කිස්‌තු පූර්ව 3-2 සියවස්‌වලට අයත් සාඤaචි හා භාර්හුත් කැටයම්වලද බුද්ධත්වය හා එම දෙවිදේවතාවුන්ගේ හැසිරීම් කැටයමට නඟා ඇත. මෙම අවස්‌ථාවේ සිදුහත් කුමරු බුදුවීම වළක්‌වාලීමට පැමිණි මාර සෙනග දුටු දෙවිවරුන් පලා ගිය බවත් උපුල්වන් දෙවියන් පමණක්‌ එසේ පලා නොගොස්‌ බුදුන් වහන්සේගේ ආරක්‍ෂාවට සිටි බවත් බෞද්ධ කථා අතර ඇත. මයුර සංදේශයේ එය සඳහන් වන්නේ මෙසේය.

සිව්දිගු බිත කිරණෙව් යස උපුල්වන
සැව් බල පෑ එදිනෙව් බුදු මඟුල් වන
දෙව් නුවරෙහි දෙව් රජ හට උපුලුවන
දෙව් මෙහසුන් සව් සිරි මතු උපුල්වන

මෙම උපුල්වන් දෙවිඳු පිළිබඳ භාරතීය ආගමික ඉතිහාසයේ කිසිම තැනක සඳහන් නොවේ. උපුල්වන් දෙවිඳු පිළිබඳ පළමුවෙන් ම සඳහන් වන්නේ විජය කුමරු පිරිවර සමඟ මෙරටට පැමිණීම ගැන කියන දීපවංසයේ හා මහාවංසයේය. මෙකී ග්‍රන්ථවල සඳහන් පරිදි විජය ඇතුළු පිරිස මෙරටට පැමිණියේ බුද්ධ පරිණිර්වාන දිනයේදීය. බුදුන් වහන්සේ සක්‌දෙව් රජ අමතා අනාගතයේ තම දහම පිහිටන්නේ සිරිලකෙහි බවත් එහෙයින් එරට රකින ලෙසත් දැන් වූයෙන් සක්‌ දෙව් රජ උපුල්වන් දෙවිඳුන්ට සිරිලක රැකීමේ වගකීම භාර කළේය. පරිබ්‍රාජක වේශයෙන් පෙනී සිටි උපුලුවන් දෙවි විජය ඇතුළු පිරිසට පැන් ඉස නූල්බැද ආරක්‍ෂාව සැළසීය. මෙසේ සිරිලක හා බුදු සස්‌න රැකීමේ කාර්යය උපුල්වන් දෙවිඳුන්ට පැවැරී ඇති බව කොතෙක්‌ දුරට මෙරට ජන විඥානයට කිඳා බැස ඇත්දයත් මහනුවර සමයේ බුදු සස්‌න පිරිහීමේදී

තෙදැති උපුල්වන් දෙවි හාමුදරුවනේ
එදත් බැරි දේට ඇයි ඔබ බාරවුනේ

ආදී වශයෙන් ලියා ඇති කවි පදවලින් පෙනී යයි. කෙසේ වෙතත් දීපවංස, මහාවංසයාදී ග්‍රන්ථ රචනා වූ 4-5 සියවස්‌වල දී මෙරට උපුල්වන් දෙවි විශ්වාසය පැවැති බව එම ග්‍රන්ථ වල සඳහන් වලින් තහවුරු වේ. තවද දීපවංස මහාවංසාදී ග්‍රන්ථ රචනා කිරීමේදී ඊට පෙර තිබූ සීහලට්‌ඨකථා මහාවංස ආදී ග්‍රන්ථ ප්‍රයෝජනයට ගෙන ඇති බව මහාවංස ටීකාවෙන් ද පෙනී යන හෙයින් ඉහත කී කාලයට පෙර සිය මෙරට මෙම විශ්වාසය පැවැති බව සැලකිය හැකිය. එහෙත් එම කාලයට මෙම දෙවියන් ගේ ප්‍රතිමාවක්‌ හෝ චිත්‍රයක්‌ හෝ වෙනත් විස්‌තරයක්‌ සොයා ගැනීම අපහසුය.

ක්‍රි.පු. පළමුවැනි සිය වසේ දී වළගම්බා රජතුමාගේ සමයේ දී තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ලෙන් පීඩාවට පත් වූ භික්‍ෂූන් ආරක්‍ෂාව පතා ඇත්තේ සක්‌ දෙවිඳුගෙන් මිස උපුල්වන් දෙවියන්ගෙන් නොවේ. සම්මෝහ විනෝදනියේ සඳහන් පරිදි මෙම භික්‍ෂූන් ඇමතූ සක්‌ දෙවිඳු තීය බ්‍රාහ්මණයා බලවත් බවත් එහෙයින් එතර ගොස්‌ ආරක්‍ෂාව සළසා ගැනීම සඳහා නැව් ලබාදීමත් මුහුදේ ආරක්‍ෂාව ලබාදීමටත් හැකි බව පවසා තිබේ. මෙසේ වරින් වර රටටත් ආගමටත් ජාතියටත් ඇතිවූ සතුරු ආක්‍රමණ තර්ජන අවස්‌ථාවල දී උපුල්වන් දෙවි ආරක්‍ෂාව සළසා දීමට ඉදිරිපත් නොවීම නිසා ඉහත කී අයුරු කවියෙකු විසින් එදත් බැරි දේට ඇයි ඔබ බාර වුණේ යනුවෙන් රචනා කර ඇති බව පෙනේ.

භාරතයේ කිසිදු මූලාශ්‍රයක සඳහන් නැති මෙම උප්පලවණ්‌ණා දෙවිඳු කවරෙක්‌ දැයි යන්න පැහැදිලි නැතත් මෙම දෙවියන්ගේ මූලස්‌ථානය වූයේ දෙවුන්දර (දේව නගරය, දෙව් නුවර බවට සාධක ක්‍රි.ව. 7-8 සියවස්‌වලත් පොලොන්නරු යුගයේ දීත් මහාවංසයේ සඳහන් වේ. 15 වැනි සිය වසේ සංදේශ කාව්‍ය වල දෙවිනුවරට අධිපති දෙවියන් වූ කලී උපුල්වන් බව ඉතා පැහැදිලිව දක්‌වා තිබේ. එහෙයින් අනුරාධපුර සමයේදී මෙම දෙවියන් ඇදහිල්ල වඩාත් ජනප්‍රියව තිබෙන්නට ඇත්තේ රුහුණු ප්‍රදේශයේ බවද සිතිය හැකිය. එම ප්‍රදේශයේ සුවිශේෂී ව සළකුණු තෙද බල ඇති දෙවි කෙනෙකු වූ බවට තවත් සාක්‌කියක්‌ වන්නේ රජරට ශිෂ්ටාචාර සමය අවසාන වී නිරත දිග ශිෂ්ටාචාර සමය ඇරඹෙත්ම රජරට සමයේ පිළිගත් සතර වරම් දෙවිවරු විශ්වාසය නැති වී ගොස්‌ දේශීය සතර වරම් දෙවිවරු කණ්‌ඩායමක්‌ ඇති වීමත් ඒ සියලු දෙනාගේ මූලස්‌ථානයන් රජරටෙන් පරිබාහිරව රුහුණේ හා නිරිත දිග පිහිටා තිබීමත් උපුල්වන් එහි ප්‍රමුඛත්වයක්‌ ගෙන තිබීමත්ය. එහෙත් දෙවිනුවර සිටි උපුල්වන් දෙවි කෙනෙකු පිළිබඳ ව සෙවීමේ දී අද දෙවිනුවර ඇත්තේ විෂ්ණු දේවාලයක්‌ හා විෂ්ණු දෙවි ඇදහීමක්‌ නිසා එක්‌තරා පැටලීමක්‌ ඇති වී තිබේ. මේ ගැටලුව විසඳීම සඳහා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ද ගෝඩ් ඔෆ් උපුල්වන් ඇට්‌ දෙවිනුවර මැයෙන් ප්‍රශස්‌ත ශාස්‌ත්‍රීය ග්‍රන්ථයක්‌ ප්‍රකාශයට පත්කොට තිබේ.

නිරිත දිග ශිෂ්ටාචාර සමයේ එනම් දඹදෙණි සමයේ සිට දක්‌නට ඇති මෙරට මූලාශ්‍රයන්හි දෙවි නුවරට අධිපති උපුල්වන් දෙවි කෙනෙකු ගැන සඳහන් වන අතර පරෙවි සංදේශ ආදියේ කිහිරැළි උපුල්වන් දෙවි රජුනි ගිරිහෙලපුර යනාදී වශයෙන් දැක්‌වේ. මෙහි දී උපුල්වන් දෙවියන්ට විශේෂණයක්‌ වශයෙන් කිහිරැළි යන වචනයක්‌ තිබීමත් උන් වහන්සේගේ මූලස්‌ථානය දෙවිනුවර යනුවෙන් නොදක්‌වා ගිරිහෙළ පුර යනුවෙන් දක්‌වා තිබීමත් පැහැදිළි කර ගත යුතුව ඇත. 1344 දී ගම්පොල 4 වැනි බුවනෙක බාහු රජු කාලයේදී රචිත ලංකාතිලක ශිලාලිපියේ ලංකාවට අරක්‌ ගත් කිහිරැළි උපුල්වන් දෙවි රඡ්ජුරුවන් වහන්සේ යනුවෙන් සඳහන් වීම තවත් උදාහරණයකි.

පළමුqවැනි දප්පුල හෙවත් දාපුළු සෙන් රජු කල දෙවුන්දර වෙරළට ප්‍රාතිහාර්යයෙන් යුක්‌ත කිහිරි කඳක්‌ පාවී ආ බවත් එය ලබාගැනීමට හැකි වූයේ රජුට පමණක්‌ බවද රජතුමා එයින් දෙව්රුවක්‌ කරවීමට ශිල්පියෙකු සොයා ගැනීමට නොහැකි ව සිටින කල්හි විස්‌කම් දෙව්රජ බ්‍රාහ්මණ වේශයකින් පැමිණ දෙව් රුව කරවා දුන් බවත් රජු දෙව් මැඳුරක්‌ කරවා දෙවියන්ට පුද පූජා පැවැත් වූ බවත් ජනප්‍රවාදයේ එන අතර මහාවංසයේද දප්පුල කදිරාලි විහාරය කර වූ බව සඳහන්ව ඇත්තේ මෙම ප්‍රවෘත්තිය විය යුතුය. දෙවිනුවරින් සොයාගෙන ඇති ක්‍රි.ව. 8 වැනි සියවසට අයත් ඈපා කිත්තග්ගබෝධියේ ලිපියක ද ගිරියෙළ කිහිරැළි පිරිවෙන යන්න සඳහන්ය. ගිරියෙළ වනු දෙවිනුවර පුරාණ නාමය විය යුතු යෑයි විශ්වාස කෙරේ. පළමුවැනි දප්පුල රුහුණේ බොහෝ කටයුතු කිරීමෙන් පසු මෙම දේවාල විස්‌තරය සඳහන්ය. එසේ ම රුහුණේ බොහෝ කාලයක්‌ සිටි කීර්ති කුමරු (මහ විජයබා) රජවීමෙන් පසු දේවනගරයේ විහාර කරවීම සඳහන්ය. මෙසේ දිගින් දිගටම රුහුණ හා කටයුතු කළ අයත් සමඟ මෙම දෙවියන් සඳහන් වීමෙන් මුල්කාලයේ සිටම රුහුණු දේශයේ බලවත් දෙවි කෙනෙකු උපුල්වන් සැලකෙන්නට ඇත. මුල් කාලයේ රුහුණේ කතරගම දෙවියන් ගැන එතරම් ප්‍රසිධියක්‌ දක්‌නට නොමැත. කෙසේ වෙතත් පළමුවෙන්ම දෙවිනුවර යන සිංහල නාමය දක්‌නට ඇත්තේ පොලොන්නරු සමයේ නිශ්ශංකමල්ල රජුගේ ශිලා ලිපියක වූවද පාලි බසින් දේවනගර යනුවෙන් යොදා ඇත්තේ එම සිංහල නම බවට විවාදයක්‌ නැත.

දඹදෙණියේ දෙවැනි පැරකුම්බා රජුගේ කාලයේ මැලේසියානු චන්ද්‍රභානුගේ ආක්‍රමණයක්‌ මෙරටට ඇති වූ කල්හි එයමැඬ පැවැත් වූ වීරබාහු කුමරු දෙවිනුවරට ගොස්‌ උපුල්වන් දෙවියන්ට පුද පූජා පවත්වා ඇත. තව ද එම පැරකුම්බා රජුගේ මහලු වයසේ ඇතිවූ ගොත ගැසීමක්‌ නිසා ප්‍රතිරාජ දේව ඇමතියා දෙවිනුවර ගොස්‌ පෙරහැර පවත්වා පුදපූජා කොට වැතිරී සිටි කල්හි උපුල්වන් දෙවි සිහිනෙන් පෙනී කෙකටිය මලේ වක හැරුණත් තොපගේ රජතුමාගේ වික්‌කලේ නොහැරේ යනුවෙන් කී බවත් අලුත් නුවර දේවාලය කරවීම යන ලියවිල්ලේ ඇත. සතර කෝරළේ උග්ගල් අලුත් නුවර දේවාලය කරවීම ගැන කියවෙන මෙම ලිපිය ඩී. බී. ජයතිලක මැතිඳුන් විසින් ලන්ඩන් කෞතුකාගාරයේ තිබී සොයා ගන්නා ලදුව ප්‍රකාශයට පත් කොට තිබේ. අලුත් නුවර දේවාලය ඉදිවෙන්නේ මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. එතුමාගේ පුත් යාපහුවේ බුවනෙකබාහු රජු විසින් පද්දාවෙල දෙමහල් දෙව් මැඳුරක්‌ කරවා විජයසුන්දර මුලාචාරීන් ලවා පසු කඳකින් දෙව්රුව සදවා අලුත්නුවර යෑයි නම් තබා අලුත්නුවර පැවැත්වෙන පුදසිරිත් පැවැත් වූ බව එම ලිපියේ තව දුරටත් විස්‌තර වේ.

අද අලුත්නුවර දේවාලය දැඩිමුණ්‌ඩ දේවායන්ට කැප වී අතර ඒ කතරගම දෙවියන්ගේ ඇමතිවරයෙකු වශයෙන් ද සමහරුද විසින් සළකනු ලැබේ. එසේ පුරාණ සිව්පද වලින් පැවැසෙන්නේ උපුල්වන් දෙවියන්ගේ අවසරයෙන් දැඩිමුණ්‌ඩ එහි සිටින බවකි.

සුරත් ඉසුරු දෙවියන් රැස්‌වී සිට
වරන් ඇතිව ලක්‌දිව පන්දහසට
නරන් රකින ලෙස මතු පන්දහසට
එරන්දතී කුස පිළිසිඳ එම විට යනු ඒ කවියකි.

පන්දහසක්‌ කලට ලක්‌දිව රැකීම භාර දුන්නේ උපුල්වන්ටය. එහෙයින් උපුල්වන්ගේ අවසරය පිට සිටීමේ කථාව පිළිගත හැකිවේ. විධුර ජාතිකයේ දැඩිමුණ්‌ඩ බුදුන්ගේ මාර පරාජයේදී පලා නොගොසින් සිටි එකම දෙවියා ලෙස සඳහන් අතර එම කථාව මීට පෙර සඳහන් කර ඇත්තේ උපුල්වන් දෙවියන්ට හෙයින් දැඩිමුණ්‌ඩ සම්බන්ධය ඇත්තේ උපුල්වන් සමඟ බව තව දුරටත් සනාථ වෙයි. විධුර ජාතකයේම දැඩිමුණ්‌ඩ වූ කලී වරුණ දෙවියාගේ මුණුපුරා ලෙස දැක්‌වෙන අතර මහාචාර්ය පරණවිතාන විසින් උපුල්වන් යනු පුරාණ භාරතයේ සිටි වරුණ දෙවියන් ම බව ඉහත දී දැක්‌ වූ ග්‍රන්ථයේ සාක්‍ෂි සහිතව ඔප්පු කර පෙන්වා දී ඇත. කෙසේ වෙතත් අලුත් නුවර දේවාලය කරවීම ගලකැපූ සැහැල්ල නම් වූ කුඩා කාව්‍ය සංග්‍රහයෙහි ද මනාව විස්‌තර වේ.

1670 දී ලංකාව ගැන පොතක්‌ ලියන පෘතුගීසි කේරෝස්‌ දෙවිනුවර සිටින්නේ විෂ්ණු දෙවි බව පවසයි. විෂ්ණු නිල්වන් පාට ඇත්තේ වන අතර උපුල්වන් යන්නෙන් නිල්වන් පාට යන අර්ථය ලැබෙන බවත් එනිසා උපුල්වන් හා විෂ්ණු යනු එක දෙවියකු බවත් සමහරු සළකා ඇත.
එහෙත් උපුල්වන් යන්නෙහි අර්ථය එය නොවන බව පරණවිතාන පැහැදිලි කොට තිබේ. 1344 දෙවිනුවරට පැමිණි ඉබන් බතූකා දක්‌වා ඇත්තේ ත් එහි වූ දෙවිරුව නිල්වන් නොව ඝණ රණින් නිමවා තිබූවක්‌ බවය. වර්තමානයේ දෙවිනුවර ඇදහීමට ලක්‌ව ඇත්තේ විෂ්ණු දෙවියන් වීම නිසා කිසියම් කාලයක සිට විෂ්ණු හා උපුල්වන් යනු එකම දෙවියකු බවට සමහරු විශ්වාස කළත් ඒ එසේ නොව එම දෙදෙනා දෙදෙනකු බව පරෙවි සංදේශයේ ඇති කවියක්‌ උපුටා දක්‌වන ඩී. බී. ජයතිලක, වාසල, මුදලි ගුණසේකර මෙන්ම මහාචාර්ය පරණවිතාන පෙන්වා දෙති. එහි උපුල්වන් දෙවි වර්ණනාවේ දී

සතොසින් වසන සිරි සරසවිය මොහු කෙරේ
වියොවින් පැමිණි දුක්‌ නොම වින්ද එඅවසරේ
රැකියෙන් මිසක්‌ බඹසර ම අරතරේ
සොවගින් තැවී කළු නොම වේද වෙනයුරේ,

එනම් විෂ්ණු දෙවියන්ගේ භාර්යාව වූ ලක්‍ෂ්මීයත් මහා බ්‍රහ්මයාගේ භාර්යාව වූ සරසවියත් ඔවුන් අතහැර උපුල්වන් වෙත වාසය කරන බවත් මහ බඹා බඹසර රැක සිත සන්සුන් කර ගත් නමුත් විෂ්ණු ඒ සොවින් තැවී කළු පැහැ වී සිටින බවකි. මෙයින් විෂ්ණු හා උපුල්වන් යනු දෙදෙනකු වශයෙන් කෝට්‌ටේ යුගයේදී සැළකී ඇති බව මනාව පසක්‌ වේ. පරණවිතාන දක්‌වන ලෙස මෙම වෙනස සිදුවන්නට ඇත්තේ ඉන් පසු කාලයේ මෙම දේවාල වල සේවයේ යෙදුන දකුණු ඉන්දියාවෙන් පැමිණි පූජකයන්ගේ බලපෑම නිසා විය යුතුය.

මහාචාර්ය පරණවිතාන මහතා සිය ගෝඩ් ඔෆ් උපුල්වන් ඇට්‌ දෙවිනුවර ග්‍රන්ථයෙන් ඔප්පු කර පෙන්වා දී ඇත්තේ ලංකාවේ දී උපුල්වන් නමින් වන්දනාවට පාත්‍රා වී ඇත්තේ උත්තර භාරතයේ පැසුළු වෛදික යුගයේ වන්දනාවට පත්වූ වරුණ දෙවියා බවය. වෛදික මූලාශ්‍ර අනුව ඔහු ජලයට අධිපතිය, ජලය පාලනය කරන යන අර්ථය දෙන උදපාල (උප්පල - උත්පල) යන්න හා වරුණ යන්න එක්‌ වීමෙන් පසුව උප්පල වණ්‌ණ යන නාමය සැදී ඇති බව දක්‌වා තිබේ. මෙය සනාථ කිරීම සඳහා එතුමා සාක්‍ෂි විශාල ප්‍රමාණයක්‌ සවිස්‌තරව එහි ඉදිරිපත් කොට ඇත. කෙසේ වෙතත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ සමය ආරම්භ වන විටත් මෙම දෙවියන්ගේ තෙද බල පිළිබඳ විදේශයන්හි පවා ප්‍රසිද්ධියක්‌ ලබා තිබූ පැහැදිලි වන්නේ චීන අධිරාජයාගේ නියෝජිතයකු වශයෙන් කීප වරක්‌ මෙරටට ආ චෙං හෝ සෙනෙවියා චීන අධිරාජ්‍ය විසින් දුන් පුදපඬුරු මෙම දෙවියන්ට පුදා කටයුතු කිරීම ගැන ඔහු විසින් පිහිටු වූ ගාල්ලේ දැනට ඇති ත්‍රී භාෂා සෙල්ලිපියෙන් අනාවරණය වීමෙනි. නාවුක ගමනාගමනයේ යෙදුණ වෙළෙඳුන් හෝ වෙතත් අය තම මුහුදු ගමන් සාර්ථකව හා ආරක්‍ෂා සහිතව නිම කිරීමට හැකිවීම පිළිබඳ ඒ පිළිබඳ විශ්වාස කළ දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීම පුරාණයේ සිට දක්‌නට ලැබුණකි. ඒ අනුව මුහුදු අසළ දේවාලය සෑදු උපුල්වන් දෙවියන් ද මුහුදට එනම් ජලයට අධිපති බව සැළකෙන්නට ඇති බව විශ්වාස කළ හැකිය. වැලිගම කුෂ්ටරාජගල ප්‍රතිමාව ද එසේ මුහුදෙන් පැමිණෙන අයට ආරක්‍ෂාව සළසා දුන් අවලෝකිතේශ්වර ප්‍රතිමාවක්‌ බව පන් ලෝ හුයිසන් පරණවිතාන ලෛසිටේෂන් ග්‍රන්ථයට ලිපියක්‌ සපයමින් පෙන්වා දී ඇත. පාහායන්ගේ වාර්තාවේද ඔවුන් ගමන් කළ නැව අනතුරට පාත්‍ර වූ කල්හි අවලෝකිතේශ්වර දෙවියන්ට කී බවත් ඉන් ආරක්‍ෂාව ලැබුණු බවත් දක්‌වා තිබේ. පුරාණ මාතොට වරායේද මෙස්‌ම මුහුදෙන් පැමිණි ඉන්දියාණු ආදී වෙළෙදුන් එළුවන් මරා එහි කිසියම් දෙවි කෙනෙකුට පූජා පැවැත් වූ බවට සිතිය හැකි සෙල්ලිපි සාක්‍ෂි හමු වී ඇත. එසේ ම තවත් අදහසක්‌ වන්නේ මෙම දෙවියන් වැඳීම සිංහලයන් මෙරටට පැමිණි ඉන්දියාවේ මුල් ප්‍රදේශයේ තිබෙන්නට ඇති බවය.

අනුෂි තිසාරා කාරියවසම්

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v