උදාර චරිත ඇත්තන්ට
මිහිකත එකම පවුලකි


ජීවිතය යනු කුමක්‌දැයි අවබෝධකර ගන්නට මිනිසා උත්සාහ කළේ බොහෝ ඈත අතීතයේ සිටය. මහා කලා කෘති ලොවට බිහිවන්නේ සුන්දරත්වය, ප්‍රේමය ආදරය, දයාව, කරුණාව වැනි හැඟීම් තුළින් ජීවිතයට අරුතක්‌ සපයන්නට මිනිසා වෑයම් කිරීමේ ප්‍රතිඵලයක්‌ හැටියටය. මේ විශිෂ්ට කලා කෘති ලොව විවිධ භාෂාවන්ගෙන් නිර්මිතව පවතියි.

සංස්‌කෘතය ද ලෝකයට බොහෝ සුන්දර අරුත් එකතු කළ එක්‌කරන එවන් භාෂාවකි. සංස්‌කෘත සාහිත්‍යය තුළ ජීවිතය අරුත් ගැන්වී ඇති සැටි විමසා බලන්නට අපත් සමඟ මේ සංවාදයක යෙදෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා හා සංස්‌කෘත අධ්‍යයන අංශාධිපති ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහයන්ය.

මිතුරු ඇසින් ලෝකය දෙස බලන්නට ඔබටද කරන ආරාධනයකි මේ.

නූතන ගෝලීයකරණ සංකල්පයෙන් මුළු ලෝකයම එකම ගම්මානයක්‌ ලෙස හඳුන්වයි. ලෝකය එකම වෙළෙඳපොළක්‌ බවට පත්කරලීමේ අරමුණ ද එය තුළ වෙයි. නමුත් ලෝකය එකම පවුලක්‌ යන අදහස සංස්‌කෘත සාහිත්‍යයෙන් ඉදිරිපත් කෙරෙන්නේ නූතන ගෝලීයකරණ සංකල්පයට බොහෝ ඉහතදීය.

අයං නිජං පරෝ වේති ගණනා ලඝූ ෙච්තසාං
උදාර චරිතානං තු වසුධෛව කුටුම්භකම්

යනුවෙන් මෙය මගේය අනුන්ගේය ආදී වශයෙන් සිතීම නොගැඹුරු අදහස්‌ ඇති අයගේ කල්පනාවකි. උදාර චරිත ඇති අයට මුළු මිහිකතම එකම පවුලකි යනුවෙන් සංස්‌කෘත සාහිත්‍යය එම අදහස ප්‍රකාශ කරයි.

නූතන ගෝලීයකරණයත් සංස්‌කෘත සාහිත්‍යය ප්‍රකට කරන විශ්ව මිත්‍රත්වයත් අතර පැහැදිලි වෙනසක්‌ තිබේ. සංස්‌කෘතය මෙබඳු අදහස්‌ සඟවාගත් මහා සාගරයක්‌ බඳුය.

සංස්‌කෘත සාහිත්‍යයේ මුල්ම කෘතිය ලෙස සැලකෙන්නේ රාමායනයය - වාල්මිකී සෘෂිවරයා ලියූ මෙම නාට්‍යය කොටස්‌ හතකින් යුක්‌තයි. බාල, අයෝද්‍යා අරන්‍ය, කිශ්කින්ඩා, සුන්දර, යුද්ධ සහ උත්තර එම කාණ්‌ඩ හතයි.

රාමායනය බිහිවන්නේ එක්‌තරා සිදුවීමක්‌ පදනම් කරගෙනය. වාල්මිකී සෘෂිවරයා කවි ලියූවකු නොවේ. දිනක්‌ ඔහු දැඩි ආදරයෙන් වෙලී සිටින කොස්‌වාලිහිණි යුවළක්‌ දකියි. මේ අවස්‌ථාවේ දඩයමේ යන වැද්දකු මේ ලිහිණි යුවළ දැක ලිහිණියාට හීයක්‌ විදියි. ඉන් මරණයට පත්වන කොස්‌වාලිහිණියාගේ නිසල දේහය වැළඳගෙන වැළපෙන කොස්‌වාලිහිණිය දකින වාල්මිකීගේ සිත බලවත් සේ කම්පනය වෙයි. කම්පිත සිතින් වාල්මිකී වැද්දා හමුවේ ප්‍රකාශයක්‌ කරයි.

එම්බා වැද්ද, නුඹ කිසිදිනක ප්‍රතිෂ්ඨාවකට, යහපතකට පැමිණෙන්න එපා. මන්ද නුඹ දැඩි ප්‍රේමයෙන් වෙළී සිටි මේ කොස්‌වාලිහිණි යුවළගෙන් එකෙකුගේ දිවි තොර කළෙහිය. නුඹට යහපතක්‌ නොවේවා.

මෙය සලකන්නේ ශෝකය නමැති භාවය සිතට නැඟී ඉන් උපන් හැඟීම පෙරදැරි කරගත් ප්‍රකාශයක්‌ ලෙසටය. එනම් ලොව කවියෙහි උපත ලෙස සැලකෙන රාමායනය බිහිවන්නේ තවකෙකු ගේ දුක දැනී උපන් කම්පාවෙනි. එනයින් කවියෙහි උපතද එතුළින් බිහිවූ බව සැලකෙයි. රාමායනය නමින් මහා වීර කාව්‍යයක්‌ බවට පත්වන්නේ වාල්මිකීගේ සිත තුළ උපන් මේ කම්පනයයි.

බොහෝ සංස්‌කෘත කාව්‍ය තුළ ජීවිතය පිළිබඳ ගැඹුරු විග්‍රහයක්‌ හමුවෙයි. රාමායනයද අප නිතර අත්දකින ජීවිතයේ දුක සතුට හමුවීම් සහ වෙනස්‌වීම් ද පිරුණු මහා කාව්‍යයකි. එය උපතේ සිට මරණය දක්‌වා වන අපේ ජීවිතයම වෙනත් මානයකින් ඉදිරිපත් කිරීමකි. ඇතමෙකුට මෙය සාහිත්‍යයකි. සාහිත්‍යය යනු සහිත බවයි. යමක්‌ අර්ථවත් කරන ජීවිතය වඩාත් රසවත් කරන දෙය සාහිත්‍යයයි.

රාමායනය රචනා කරන වාල්මිකී පාදක කරගන්නා සිදුවීම මෙරට සමාජයට ආගන්තුක නොවේ. මෙය ලංකා කාණ්‌ඩය නමින් ද හැඳින්වෙයි. ඇතැමුන් එය මේ අපේ රට නොවේ යෑයි පවසන අතර ඇතමුන් එය ශ්‍රී ලංකාවම බව ද කියති. නමුත් එහි එන වර්ණනා හා විස්‌තර රාමායනයම මූලාශ්‍රකොට ගෙන බැලූ විට ඉන් කියවන්නේ ශ්‍රී ලංකාවම බව පැහැදිලිය. රාමායනයේ ප්‍රධාන කතා පුවත වන්නේ රාම - සීතා ආදරයෙන් පසුවෙද්දී රාවණා ගොස්‌ සීතා පැහැරගෙන ඒමේ කතා පුවතයි. රාවණා එසේ කරන්නට පෙළඹුණු හේතුව නැතහොත් ඊට පාදක වූ සිදුවීම ද වැදගත් වෙයි. මුළු කාව්‍යය පුරාම එය ගමන් කරන්නකි. යමෙකු තම ජීවිතයේ උපතේ සිට මරණය දක්‌වාම අත්විඳින යමක්‌ වෙයි. ඒ භරතමුණි විස්‌තර කළ රසවාදයයි. අද කලාව කළත් විද්‍යාව කළත් වාණිජ කළත් ඒ බයිබලය සැවොම රසවාදය අත්දකිති.

රාමායනයේ රාවණ හැඳින්වෙන්නේ මුහුණු දහයක්‌ ඇති ගෙල දහයක්‌ ඇති පුද්ගලයකු ලෙසයි. රාවණ අද්භූත සත්ත්වයකු නොවේ. මින් සංකේතාත්මකව හඟවන්නේ ඔහු රාජ්‍ය දහයක්‌ පාලනය කළ රජකෙ= බවය. ඔහු ආරක්‌ෂකයෙකි. ඇතමුන් මෙහිදී රාක්‍ෂස යන්න වරදවා භාවිත කරන බව පෙනේ. අප භාවිත කරන රකුසා යන වචනය රාක්‌ෂස යන සංස්‌කෘත වදනින් බිඳී ආවකි. එහි මූලය රක්‌ ධාතුවයි - එනම් රකිනවා ආරක්‌ෂා කරනවා යන්නයි. රාක්‌ෂයා ජීවිත රකින සොබා දහම රකින ආරක්‌ෂකයෙක්‌. නමුත් ඔහු ජීවිත වනසන, සොබා දහම වනසන සංහාරකයන්ට එරෙහි වෙයි. රාමායනයේ රාවණ එය පැහැදිලිව නියෝජනය කරයි. යක්‍ෂයා ද අප අදහස්‌ කරන දරුණු පුද්ගලයකු නොවේ. යක්‍ෂයා යන්න යඡ් යන ධාතුවෙන් බිඳී ආවෙකි. එනම් යාග කරන්නා යන අරුත එහි යෙදේ. ආගමික ක්‍රියාවන්හි නිරතවූ පුද්ගලයා යක්‍ෂයෙකි.

රාමායනයේ රාවණා නියෝජනය කරන්නේ රකුස්‌ නායකයාගේ භූමිකාවයි. ඔහු ආරක්‌ෂාව සම්බන්ධයෙන් කවර පුද්ගලයෙක්‌ද යන්න රාමායනයෙහිම විස්‌තර කෙරෙනවා. රාමායනයෙහි ලංකා රාජධානිය ගැන කෙරෙන වර්ණනාව සහ වර්තමාන සීගිරිය අතර තිබෙන්නේ විශාල සමානකමක්‌. රාමායනයේ ලංකා රාජධානිය ගැන කරන විස්‌තරයේ එන දිය අගල, වනාන්තර ප්‍රදේශයේ වෙසෙන සතුන්, ආරක්‌ෂාව, ගල් පර්වත මේ සියල්ල එක්‌ව සකස්‌ වූ පරිසරයක්‌ ගැන කියෑවෙනවා. විභීෂණගේ සහය නොලැබුණා නම් රාමායනයේ එන තොරතුරු අනුව රාමට රාවණ ජයගන්න ලැබෙන්නේ නැහැ. කිසිම මොහොතක රාම රාවණාගෙ බලය අවතක්‌සේරුවට ලක්‌කරන්නේ නැහැ. එසේම රාවණත් රාමගෙ බලය අවතක්‌සේරුවට ලක්‌කරන්නේ නැහැ. ඔවුන් දෙදෙනා තුළම එකිනෙකා කෙරහි අෙන්‍යාන්‍ය ගෞරවයක්‌ තිබෙනවා.

රාම රාවණා යුද්ධය පවතින අවස්‌ථාවද වාල්මිකි විස්‌තර කරන්නේ එය කිසිවකට සමාන කළ හැකි අවස්‌ථාවක්‌ නොවන බව පවසමිනි.

අහස අහස වගෙයි
සයුර සයුර වගෙයි
රාම රාවණ යුද්ධය
රාම රාවණ යුද්ධයම වගෙයි

(තව කොටසක්‌ ලබන සතියේ)
සාකච්ඡාවකින් සකස්‌ කළේ
පාලිත සේනානායක

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v