පැරණි ලක්‌දිව ජලබදු ක්‍රමය

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ජනාවාස බිහිවීමේ සිට ම ලාංකිකයා ඇළ දොළ ගංගා ආශ්‍රයෙහි ස්‌වකZSය ගම් දනව් ඉදිකොට තිබේ. එය එසේ සිදු වූයේ එකල ප්‍රධාන ජීවනෝපාය වූ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා ගැනීමේ පහසුව සඳහා ය. අතීතයේ පටන් ම සිංහලයා ජලය ලබා ගැනීමට විශාල ව්‍යාපෘතීන් දියත් කළ බවට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්‍ෂි සුලභය. මේ සඳහා විශාල ශ්‍රමයක්‌ ද යොදවා ඇත. අවුරුදු 2000 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ ලාංකිකයා සමග වැව් පදනම් වූ සංස්‌කෘතියක්‌ පැවැත එයි. ඒ තුළ මනා ජල කළමනාකරණ අංග ද දක්‌නට හැකිය. එහි එක්‌ අංගයකි, විධිමත් ජල බදු අය කිරීමේ ක්‍රමය. පැරණි ලංකාවේ ජල බදු අයකිරීමේ හා ජල කළමනාකරණය පිළිබඳ තොරතුරු සොයා යැමේදී මහා වංශය සෙල්ලිපි හා සමන්තපාසාදිකාව ප්‍රධාන මූලාශ්‍ර වශයෙන් දැකිය හැකිය. මෙයට අමතරව පූජාවලිය හා ජාතක කතා පොත වැනි ආගමික ග්‍රන්ථ ද ඒ අතර ඇත.

ඉහත කී මූලාශ්‍රවල සෘජුවම ජල බදු පිළිබඳව නොකියවෙයි. වෙනත් සිද්ධියක්‌ දැක්‌වීමේ දී ඒ පිළිබඳව සඳහන්ව ඇත. ආගමික පුද පූජාවල දී එනම් වැවක්‌ පන්සලට පූජා කිරීමේදී එහි ජල බද්ද විහාරයේ ඒ ඒ කාර්යයන් සඳහා යොදවා ගතයුතු බව දක්‌වා තිබේ. වසභ රජුගේ කාලයට අයත් (ක්‍රි. ව. 65 - 111) පෙරිමියන්කුලම ලිපියේ වැවේ බද්ද පධානඝරයේ අලුත්වැඩියා සඳහා දුන් බව පෙනේ.

ඉතිහාස හා පුරාවිද්‍යා මූලාශ්‍රවලට අනුව ක්‍රි. පූ. 1 වන සියවසේ සිට ම ලක්‌ රජය ජලබදු අයකළ බව පෙනේ. මේ අයුරින් අයකළ ජල බද්ද ක්‍රි.පූ. 1 හා ක්‍රි. ව. 3, 4 යන කාලවලදී දකපති වශයෙන් හඳුන්වා ඇත. ඉහත කී වසභ රජුගේ පෙරිමියන්කුලම ලිපියේ "පලොනකර වවිය දකපති ම තෙර මජිබක" (පලොනකර වැවේ ජල බද්ද ද මත්ස්‍ය බද්ද ද) වශයෙන් දක්‌වා ඇත්තේ වැවේ ජල බද්ද සුදර්ශන නම් පධානඝරයේ අලුත්වැඩියාවන් සඳහා දෙන ලද බවයි. අභයගිරි විහාරයේ සිදුකළ පර්යේෂණ මගින් පෙරිමියන්කුලම ලිපිය පිහිටි ගල් තලාව ආශ්‍රිත පධානඝර පන්තියක්‌ සොයාගෙන තිබේ. ඉහත ශිලා ලිපියේ සඳහන් සුදර්ශන පධානඝරය එය ම වන බව පුරාවිද්‍යාඥයෝ සඳහන් කරති. මහාකුමරතස රජු විසින් (ක්‍රි.ව. 512 - 520) පිහිටුවන ලද නාගරිකන්ද ශිලා ලේඛනයේ "වෙව චෙ ව චතර වෙවසර දකපෙත කඩය බෙජිපෙත" (වැව ද මේ වැව් සතර ද, කුඹුරු ද, දිය බද්ද ද) යනුවෙන් සඳහන්ය. මෙහි දකපෙත වශයෙන් දක්‌වන්නේ දිය බද්දයි. මහාවංශයෙහි විහාරයකට කළ පූජාවක්‌ පිළිබඳව මෙසේ කියවෙයි. "මුචල විහාරං කාරෙත්වා සෝ තිස්‌ස වඩ්ඩමාන තේ ආලිසාරේ දකභාගං විහාරස්‌ස අදාපයි" විහාරය කරවා එහි නඩත්තු කටයුතු සඳහා දිය බද්ද ද දුන් බව එයින් කියවෙයි මෙහි දකභාගං යනු ජල බද්දයි. ශිලා ලේඛනවල සඳහන් වන දකපෙත, දකබාග, දකපති යන වචන වලට පූර්ව කිසියම් වැවක්‌ හෝ ඇළක්‌ පිළිබඳව සඳහන්කොට තිබේ.

ක්‍රි. ව. 6-7 සියවස්‌ වන විට දිය බද්දේ නාමය වෙනස්‌ වූ බවක්‌ පෙනේ. එකල ශීලා ලේඛනවල එය දියබෙදුම් වශයෙන් සඳහන් කොට තිබේ. ෂඪ වන මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ එය "කණෑ වැව දිය වන්නාක්‌ තන්හි පෙර දෙමෙළ් කලැ පෙරෙ සිරිත් දිය බෙදුම මේ වෙහෙරට්‌ මේ ගතැ යුතු ඉසා මේ වෙහෙර් හි...... " වශයෙන් දක්‌වා ඇත.

ක්‍රි. ව. 12 වන සියවසෙහි හා එයට පසු ශිලා ලේඛනවල මේ දිය බද්ද පිසඹුරුවත වශයෙන් හඳුන්වා දී තිබේ. නිශ්ශංකමල්ල රජුගේ (ක්‍රි. ව. 1187 - 1196) ගල් ආසන ලිපියේ කලිඟු රජ වහන්සේ සිරිලක "පැදකුණු කොටැ අතඹුළු පතක්‌ සේ බලා නිෂ්කණ්‌ට කරවා මහාවද තැන ප්‍රාණින් ට අභය දී පිසඹුරු වත ද...." වශයෙන් දැක්‌වෙයි. මෙහි පිසඹුරුවත යනු දිය බද්දයි.

මෙසේ වූ දිය බද්ද මූලික වශයෙන් කෘෂි කටයුතුවලට පනවන්නට ඇත. වැවේ එක්‌රැස්‌ වූ ජලයෙන් වී ගොවිතැන් කළ අතර විශේෂයෙන් ම මෙම පිසඹුරුවත මඩ ගොවිතැන සඳහා වන්නට ඇත. ගොඩ ගොවිතැනට ද ජලය ලබාදීමේ දී බදු අය කරන්නට ඇත. කොණ්‌ඩවටවාන් ලිපියේ ගස්‌ කොළන් වලින් බදු අය කළ බව කියවෙයි. ගස්‌ කොළන් වලින් බදු ලබා ගැනීම ගොඩඉඩම්වලට ජලය සැපයීම වෙනුවෙන් අයකළ වක්‍ර ජල බද්දක්‌ විය හැකිය. පුරාණ ජල බද්ද පිළිබඳව සාකච්ඡා කරන කථිකාචාරිණී ශ්‍රීයානි හතුරුසිංහ මහත්මිය වැවේ ගොඩසොරොව්ව ගොඩ ඉඩම්වලට ජලය ලබාදුන් සොරොව්වක්‌ වශයෙන් දක්‌වා ඇත. එහෙත් අප රජරට පැරැන්නන් සමග සාකච්ඡා කිරීමේදී එය එවැනි සොරොව්වක්‌ නොවන බව දැනගන්නට හැකි විය. වැව ඉතිරී පිරී තිබෙන විට කුඹුරුවලට වැව් ජලය ජලය ලබා දෙන්නේ වැවේ ගොඩ සොරොව්වෙන් බව එහිදී කියවිණි. වැවේ ජලය හිඟ කාලයේ දී කුඹුරුවලට ජලය ලබා දෙන්නේ මඩ සොරොව්වෙන්ය. එවිට මඩ සොරොව්වට වඩා උසින් පිහිටි කුඹුරු ගොවිතැන් නොකෙරේ. පුරාණ වැව්වල තිබූ මඩසොරොව් අද දක්‌නට නොමැත. තිබුණ ද ඒවා පෙර සේ ක්‍රියාත්මක නොවේ.

මහවැව් හා ඇළවල්වලින් ජලය ලබා ගොවිතැන් කරන්නන්ගෙන් බදු ලබා ගත්ත ද ගම් වැව්වලින් ජලය ලබා ගන්නන් ගෙන් බදු අය නොකරන්නට ඇත. ගම්වැව් ගැමියෝ එකතු වී ඉදිකරති. එබැවිsන් එය ගමේ සියල්ලන්ගේ පොදු දේපළකි. තවද උද්‍යානවලට ජලය සැපයීමේදී ද බදු අය කළ බවක්‌ නොපෙනේ. තවද ඇතැම් විහාර ඉඩම්වලට ලබාදුන් ජලය සඳහා ද බදු අයකොට නැත. ඉරිපින්නියැව රඹෑව සහ බුද්ධන්නේ හෙළ යන ශිලා ලේඛනවල විහාර ඉඩම් වලට සපයන ජලයෙන් බදු නොගත යුතු බව සඳහන් කොට ඇත.

අනුරාධපුර දළදාගෙයි ලිපියේ ළිං වලින් බදු අයකළ බව කියයි. තවද මන්නාරමෙන් හමු වූ ශිලා ලේඛනයක ළිංවලින් බදු අයකළ බව කියවෙන්නේ යෑයි ආර්. සමරකෝන්a මහතා ද පෙන්වා දී ඇත. ළිංවල ජලය කෘෂිකර්මාන්තයට නොව ගෘහ පරිභෝජනය සඳහා ගන්නට ඇත. එහිදී ද සෑම ළිඳකින් ම නොව අනුරාධපුර වැනි ජනාකීර්ණ නාගරික පරිසරයේ දී පමණක්‌ ළිං වලින් ලබා ගන්නා ජලයට බදු නියම කරන්නට ඇත.

ජල බදු අය කළ ආයතන කිහිපයකි. එනම් රජු හෝ රජය, විහා රස්‌ථාන, වැව් සමාගම් හා වැව් හිමි තනි පුද්ගලයන් ආදී ආයතනයි. විශාල වැව් හා ඇළ මාර්ග ඉදිකිරීමට අවශ්‍ය මූල්‍ය සම්පත් හා ශ්‍රම බළකාය රජු සතු විය. රජුගේ මූලිකත්වයෙන් ඉදිවූ වාරිමාර්ග වලින් අයකළ බදු රජය සතු විය.

විහාර ඉඩම්වල වැව් ඉදිකරයි. එයින් ජලය ලබාගන්න පාරිභෝගිකයන් ද විහාරයට ජල බදු ගෙවූ බව මහාචාර්ය රණවීර ගුණවර්ධන (සිවුර සහ නගුල) කියයි. එසේ බදු නොගෙවන ගොවීන්ට ඊළඟ කන්නයේ ජලය නොලැබිණ. දායකයන් සිව් පසය සඳහා විහාරයේ අලුත්වැඩියාවන් සඳහා වැව් පූජාකොට තිබේ. එයින් දායකයා අපේක්‍ෂා කළේ වැවේ ජල බද්ද හා සෙසු බදු විහාරය සතු කොට ඉහත කී දෑ ඉටුකරවා ගැනීමටය.

" කෙතවලක වවිය දකපති තුමහ පිතසතක කොටසහ තිපතිය නහති මජිබිනක සතනහී. මේ දකපති සකොටස එක කොටස" යනුවෙන් පෙරිමියන්කුලම ලිපියේ සඳහන් වන්නේ එක්‌ පුද්ගලයෙක්‌ තම පියාට පරම්පරාවෙන් හිමි වූ උදකපති කොටස විහාරයට පූජා කළ බවයි. එනම් වැව් සමාගමේ එක්‌ සාමාජිකයෙක්‌ තමන්ගේ කොටස විහාරයට පිදීමයි. පෙරිමියන්කුලම ලිපියට අනුව එහි සඳහන් වැව කීප දෙනෙකුට අයත් ව තිබිණ.

පෞද්ගලික වැව් අයිතිකරුවන් ක්‍රි.පූ. යුගයේ සිට සිටි බව ශිලා ලේඛනවලින් පෙනේ. එවැනි පුද්ගලයන් වව්ගමික වපිගමික වශයෙන් හඳුන්වා ඇත. ශිලා ලේඛනවල ඔවුන් සෘජුවම බදු අයකළ බව නොකියවෙයි. එහෙත් ඔවුන් සතු වැව් විහාරයට පූqජා කොට එහි බදු විහාරයට හිමි කළ බව සඳහන් වීමෙන් හැඟෙන්නේ ඔවුන් ද ඒ දේපළ වලින් බදු අය කළ බවයි.

ජල සම්පත පිළිබඳ අයිතිය තිබූ පිරිස්‌ ඒ වැව් අමුණු දියුණු කරමින් නඩත්තු කරමින් පවත්වාගෙන ගිය අතර පාරිභෝගික ගොවියා කුමන මාධ්‍යයකින් ජල බද්ද සහ අනිකුත් බදු ගෙවන ලද්දේ දැයි නිශ්චිතව දැන ගැනීමට අපහසුය. එය මුදලින් හෝ ධාන්‍ය වලින් ගෙවන්නට ඇත. බදුලු ටැම් ලිපියේ ගණලාස්‌සෙන් මිස සෙසු ලාස්‌සෙන් බදු අය නොකළ යුතු බව කියයි. මෙයින් හැඟෙන්නේ බදු ධාන්‍ය වලින් අය කළ බවයි.

අතීතයේ දී බදු අයකිරීමේදී ඉඩමේ වපසරිය නොව ඉඩමේ සරු නිසරු බව සලකා තිබේ. නිශ්ශංකමල්ල රජුගේ ගල්පොත ශිලා ලේඛනයෙහි

1 උත්තේ අමුණු ට (සරු කුඹුරු) අමුණු 1 පෑල් 3 යි මඩරන් 07 ද

2 බැද්දේ අමුණු 1 ට (තරමක්‌ සරු කුඹුරු) අමුණු 1 පෑල් 2 යි මඩරන් 4 ක්‌ ද

3 පැස්‌සේ අමුණු 1 ට (නිසරු කුඹුරු) අමුණු 1 පෑල් 1 යි මඩරන් 3 ක්‌ද වශයෙන් බදු ගත යුතු බව කියයි.

මේ අයුරින් බදු අයකළ අතර ජලය බෙදා හැරීම ද සාධාරණව සිදුවූ බව වෙස්‌සගිරි ශිලා ලිපිය සාක්‍ෂි දරයි. එහි ඉසුරුමුණි විහාරයට ජලය දීමේදී දියකැට පහණ පෙනෙන තෙක්‌ ජලය දුන් බව කියවෙයි. තවද එයින් ජලය පාලනය කරමින් බෙදා හැරිය බව ද පෙනේ.

තවද එම ජලය ලබාදීම, බඳු එකතු කිරීම හා වාරිමාර්ග නඩත්තු කිරීම සඳහා සංවිධානාත්මක නිලධාරී පන්තියක්‌ ද විය. ඒ අතර අඩිකය (ඇළවල් භාර නිලධාරියා) පියොවදාරන්නන් (ජලය පරීක්‍ෂක) දොළොස්‌මහා වෑ තැන් (ජල බදු එකතු කරන්නා) අණනික (වාරි ඉංජිනේරුවා) ආදී නිලධාරීන් ද වූහ.

මේ අනුව බලන විට පැරණි ලක්‌දිව ක්‍රමානුකූලව ජල සම්පත් කළමනාකරණය කළ බව දත හැකිය. තවද ජල මූලාශ්‍ර සංවර්ධනය කරමින් ඒවා ජනතාවට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් නිසි පිළිවෙලට බෙදාහැරීමට හා එම ජල මූලාශ්‍ර නඩත්තු කිරීමට සංවිධානාත්මකව කටයුතු කළ බව පෙනේ.

රංජිත් ගොඩකුඹුර

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v