තේ දල්ලක කඳුළු (2)
(සිර ගෙදරින් පිටතට)

වැඩ වර්ජනය යනු කේ. ඩී. ලාල් කාන්ත මහතාගේ ආහාරයයි. එතුමාගේ පමණක්‌ නොව සියලු වෘත්තීය සමිතිවල ප්‍රධාන ආහාරය වැඩ වර්ජනයයි. අප මෙසේ කියන්නේ වෘත්තීය සමිති හෑල්ලුවට ලක්‌කිරීමට නොවේ. මේ රටේ කම්කරු අයිතීන්ගෙන් වැඩි හරිය දිනා ගන්නා ලද්දේ වැඩ වර්ජන ඇතුළු වෘත්තීය සමිති ක්‍රියා මාර්ග මගිනි. එය අසාර්ථක වූ විශාලතම අවස්‌ථාව 1980 ජූලි වර්ජනයයි. ඒ හැරෙන්නට 1948 න් පසු වැඩ වර්ජන නමැති ආහාරය මඟින් වෘත්තීය සමිති නමැති කය පුෂ්ඨිමත් වූ අවස්‌ථා බොහෝ ය.

දැනට පවත්නා වතු කම්කරු වර්ජනයේදී කම්කරුවන් ඉල්ලන රුපියල් 500 ක දෛනික වැටුප් ඉල්ලීම ඉතා සාධාරණ බව අප ඊයේ ද සඳහන් කළෙමු. එතරම් මුදලක්‌ දීමට නොහැකි බව තේ වතුවල හිමිකරුවෝ කියති. ඔවුන් කියන්නේ තේ දලු කිලෝවක නිෂ්පාදන මිල ඉහළ ගොස්‌ ඇති බවය. මෙවිට වෘත්තීය සමිති කදිම ප්‍රකාශයක්‌ කළහ. ඔවුන් කියා සිටියේ වතු හිමියන් දලු අස්‌වැන්න වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය පොහොර සඳහා මුදල් ආයෝජනය නොකර විධායක නිලධාරීන් ඇතුළු කළමනාකරණ පද්ධතිය සඳහා රුපියල් කෝටි ගණන් වැය කරන බව ය. මෙය මේ රටේ සාමාන්‍ය සිරිත ය.

ටයි එකක්‌ පැළඳගත් ඉංගිරිසියෙන් කතා කරන විධායක නිලධාරියා කෝපි බොමින් කඩදාසියකට අත්සන් කර මාසයකට රුපියල් දෙතුන් ලක්‍ෂයක වේතනයක්‌ ලබාගනී. ඔහුට මෝටර් රථයක්‌ ද ඉන්ධන ද කොම්පැණිය ගානේ ලැබෙයි. මේ නිසා විධායකයන් විසින් ආයතනය නඩත්තු කිරීම වෙනුවට සමස්‌ථ ආයතනයම එකතු වී විධායකයන් දෙතුන් දෙනකු නඩත්තු කිරීම සිදුවෙයි. තේ කර්මාන්තයට ද මේ විපත සිදු වී ඇති බව තේ වත්තක්‌ ඉදිරිපිට පැය තුන හතරක්‌ සිටින විට බලා ගත හැකි ය. වත්තෙන් පිටව යන සහ වත්ත තුළට එන ඩබල් කැබ් හා මොන්ටෙරෝ වැනි වාහනවලින් 75% ක්‌ම වත්තේ කළමනාකරුවන් පාවිච්චි කරන ඒවා ය.

වතු කම්කරු වර්ජනය සාර්ථක වී කම්කරුවන්ගේ වැටුප් වැඩි වේවා යන්න අපගේ ප්‍රාර්ථනය ය. ඒ අතර තේ වත්ත යන සංකල්පයටත් ලයින් කාමර යන සංකල්පයටත් පහර දී පුපුරුවා හැරිය යුතු බව ද කියමු. උඩරට තේ වත්තක්‌ යනු ඉන්දු ලාංකික හෙවත් ඉන්දියානු දෙමළ ජනතාවගේ කඳවුරක්‌ ලෙස පවත්වාගෙන යන්නකි. වතු හිමියා ද වෘත්තීය සමිති ද මෙයට කෙළින්මත් අනියමිනුත් දායක වෙති. මේ දායකත්වය මත 1900 දී වත්තක තේ දලු කැඩූ මුණියන්ඩිගේ පුතා වන සෙල්වන් ද වතු කම්කරුවකු විය. සෙල්වන්ගේ පුතා වන වීරන් ද වතු කම්කරුවකු විය. වීරන්ගේ දුව වන ලෙච්චමිද කම්කරු කාන්තාවක්‌ වන අතර ඇය විසින් ප්‍රසූත කර ඇති දරුවන් හය දෙනා ද අනාගතයේදී කම්කරුවන් වීමට නියමිතය. තේ කර්මාන්තයේ කම්කරු ජනයාගේ මානසික තත්ත්වය වත්තෙන් සහ ලයින් කාමරයෙන් පිටතට ගෙන නිදහස්‌ සමාජයට මුදාහැරිය යුතු ය. තේ වතුවලින් උගතුන් බිහි විය යුතු අතර උසස්‌ වෘත්තිකයන් ද බිහි විය යුතු ය. එහෙත් වෘත්තීය සමිති තුළ ඒ ගැන උනන්දුවක්‌ නැති බව පෙනී යයි.

මන්ද ඔවුන්ගේ පැවැත්ම තීරණය වන්නේ ද කම්කරුවා තේ වත්තේ සහ ලයින් කාමරයේ සිරකරුවන් ලෙස කල්ගත කළ තරමට ය. තේ වත්තේ කම්කරු දරුවාට උගන්වා ඔහු උගතකු කළ විට වත්තේ තේ දලු කඩන්නේ "දිවයින" කර්තෘ මණ්‌ඩලය දැයි දැන් තේ වතු හිමියා ප්‍රශ්න කරනු ඇති. බිය නොවන්න මහත්වරුනිá හොඳ වැටුප් ලබාදිය හැකි නම් ජාති භේදයකින් තොරව ඕනෑම කෙනකු තේ දලු කැඩීමට එනවා ඇත. තේ කර්මාන්තයේ වරද වී ඇත්තේ අඩු වැටුපකට ජනවාර්ගික කුලකයක්‌ ලෙස තේ වත්ත පවත්වා ගෙන යැම ය. මේ නිසා වතු කම්කරුවෝ තේ වත්තේත්, වෘත්තීය සමිතිවලත් හිරකරුවන් ලෙස මාරුවෙන් මාරුවට කල් ගත කරති. මේ දිනවල වතු කම්කරුවා මේ දෙවන සිර ගෙදර රැඳවියෙකි. මේ තත්ත්වය ද වෙනස්‌ වී වතු කම්කරුවන්ට නිදහස ලැබේවාෘ

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v