පෘතුගීසින්ගෙන් රට බේරාගත් සකලකලා
වල්ලභයන්ගේ උඩුගම්පොළ රාජධානිය


අතීතයේ සිට පැවත එන උත්තරාරාම විහාර භූමියේ පිහිටි පිංතාලය

අතීතයේ පාවිච්චි කරන ලද ශෛලමය වැසිකිළි පාදමක්‌

රජතුමා විසින් පොකුණ පිහිටි ප්‍රදේශය කාලයක්‌ ඇවෑමෙන් සශ්‍රීක කෙත්යායක්‌ බවට පත්වුවද අද තත්ත්වය වන්නේ මෙලෙස පුරන්ව ගිය මුඩු බිමකි.

රජතුමා පාවිච්චි කළ
පොකුණ පිහිටි භූමියේ
වල්බිහිවී ඇති ගල් බැම්මේ
කොටසක්‌....


සිංහල රාජාවලියට මූලාශ්‍ර කෘතියක්‌ වශයෙන් සැලකෙන අලකේශ්වර යුද්ධය නම් ග්‍රන්ථයට අනුව අටවන වීර පරාක්‍රමබාහු රජුගේ රාජ සභාවේ පරාක්‍රමබාහු, විජයබාහු, රාජසිංහ, සකලකලාවල්ලභ හා තානිය වල්ලභ නමින් රාජ කුමාරවරු පස්‌දෙනකු අසුන් ගෙන තිබේ. රජුතුමාගේ අවසාන කාලයේදී මේ පස්‌දෙන දිවයිනේ ප්‍රදේශ පහකට පත්කොට ඇත. ඒ වැඩිමහලු පුත් පරාක්‍රමබාහු කොළඹ ආශ්‍රිත ප්‍රදේශයටද දෙවන පුත් විජයබාහු දෙවුන්දර ආශ්‍රිත දකුණටද රාජසිංහ මැණික්‌කඩවර ආශ්‍රිත සතර කෝරළයටද සකල කලා වල්ලභ ගම්පහ ප්‍රදේශයේ උඩුගම්පලටද තානියවල්ලභ හලාවත මාදම්පේ ප්‍රදේශයටද ලෙසින්ය. මෙම උඩුගම්පොළ රාජධානිය උතුරින් කැලණි ගඟ සහ දකුණින් මාඔය බටහිරින් සාගරය නැගෙනහිරන් සබරගමුව හා බටහිර මායිම් කරන කඳුවැටිය දක්‌වාත් විහිද ගොස්‌ ඇත.

මෙම රාජධානිය පිළිබඳ වැදගත් ඓතිහාසික ලිත තොරතුරු හමු නොවුවද ඈත අතීතයේ පටන් මෙම ප්‍රදේශය ජනාවාසව පැවැති බවට ජනප්‍රවාද හා තොරතුරු හමුවේ. උඩුගම්පලට නුදුරු බෙම්මුල්ල, යකහටුව, යක්‌කල, නයිවල, නාලපහ, නාවාන වැනි ග්‍රාම නාම තුළින් යක්‍ෂ හා නාග ගෝත්‍රිකයන් පවා මෙම ප්‍රදේශවල වාසය කර ඇති බව පැහැදිලිවේ. කැලණි විහාරයද උඩුගම්පොල උපරාජධානියට අයත්ව තිබූ සිද්ධස්‌ථානයකි. යක්‌ෂ හා නාග ගෝත්‍රිකයන්ගෙන් පසු මෙම ප්‍රදේශ ආර්ය ජනාවාසයක්‌ බවට පත්ව ඇත. උඩුගම්පලට නුදුරු කොරස ගමෙන් හමුවූ කාසි අතර අනුරාධපුර යුගයේ ශ්‍රී ලාංකිකයන් විසින් භාවිත කරන්නට ඇතැයි සැලකෙන ඉරහඳ ලාංඡනය සහිත කාසි මෙහි ජනාවාස තිබූ බව සනාත කරන කදිම සාධකයන්ය. එපමණක්‌ ද නොව වාරණ, පිළිකුත්තුව, වැනි ඓතිහාසික සිද්ධස්‌ථාන වලින් සොයාගත් ලෙන් ලිපි වලින්ද අපට ප්‍රදේශ ආර්ය ජනාවාස ලෙසින් පැවැති බව සනාථ කරති.

මෙම රාජධානිය පිළිබඳ පුරාවෘත්තය අනුරපුර යුගය දක්‌වා දිවයන ඉතිහාසයකට හිමිකම් කියාපාන බව පෙනේ. අනුරපුර යුගයේදී තුන් සිංහලයේ මායාරට පාලනය කළ කැලණිතිස්‌ස මහරජුගේ සොහොයුරු උත්තිය කුමරු අගබිසව හා පැවති නොමනා සම්බන්ධයක්‌ හෙළිවීමෙන් පසු රජුට බියෙන් පලාවිත් සැඟව ජීවත්වූ ප්‍රදේශය වශයෙන්ද උඩගුම්පල හඳුන්වාදී තිබේ. උතිය+ගම්පල = උතිගම්පොල = උඩුගම්පොල වීය යන්න මතයයි.

සකලකලා වල්ලභ කුමරු තම ප්‍රදේශය බත බුලතින් සශ්‍රීක කරවීමට මහත්, පරිශ්‍රමයක්‌ දැරූ අයකු ලෙසින් ප්‍රචලිතව ඇත. මිසරයේ නයිල් නදිය හරස්‌කොට ඉදිකරන ලද ලොව ප්‍රසිද්ධ අස්‌වාන් වේල්ල හා සමානවූ යෝධ වේල්ලක්‌ මිනුවන්ගොඩ වෑගොව්ව හරහා දිවෙන ඔය හරස්‌කොට තනවා එය අස්‌වාන් වේල්ල ලෙසින් නම්කර එම ජලාශයෙන් පෝෂිත වූ ප්‍රදේශ මහා සශ්‍රීකත්වයෙන් යුතුවූ බවද කියෑවේ. රජුගේ නාන පොකුණ තැනුණේ දැනට මාලිගාගොඩැල්ල උත්තරරාම විහාරය ආසන්නයේ පිහිටි පතහ යන ප්‍රදේශයේයි. එය දැනට පුරන් වී ගිය වෙල්යායක්‌ බවට පත්ව ඇත. මෙම ජල තඩාගයට ජලය ලබා ගත්තේද අස්‌වාන් වැවෙනි. ඒ හා සම්බන්ධ වූ දියුණු වාරි නෂ්ඨාවශේෂ ඇති ප්‍රදේශ පිළිබඳ ප්‍රදේශවාසීහු දැනුවත්ව සිටිති. එතුමා විසින් තැනූ වැවි රාශියක්‌ මේ ප්‍රදේශයේ තිබූ බව දැනට පවතින වැව් නටබුන් වලින් තහවුරු වේ. කොරස වැව, ගොඩවැව නිදසුන් කීපයකි. අකරවිට, කොස්‌ඕවිට, දික්‌ඕවිට, මාකේවිට, තම්මිට, ඕපාත, වෑපොල, වෑලිය, වෑගොව්ව වැනි ප්‍රදේශ දියුණු වාරි තාක්‌ෂණයෙන් පෝෂිතවූ ප්‍රදේශ ලෙසින් හැඳින්විය හැකිය.

වල්ගම්පොත ඉතිහාසයෙහි එන තොරතුරු සකලකලාවල්ලභයන් පුත් කුමරුවන් සත්දෙනකුගේ පියෙකු බව පැහැදිලි කරත් පියරජුගේ නොමනා ක්‍රියාවන් ගැන කලකිරී පුතුන් පියරජු මැරවීමට කුමන්ත්‍රණය කර ඇත.

එක්‌ සුන්දර උදෑසනක පිය රජු ජලස්‌නානයට සැරසෙමින් සිටිනා කළ කළු බඹරෙකු හිස වටා ඉගිල ගොස්‌ ජලය මත වැසීම මහත් ප්‍රහේලිකාවක්‌ විය. නාන පොකුණේ උල් සිටවා තමා මරාදමන්නට පුත් කුමරුවන් විසින් අටවන ලද උගුල රජු විසින්ම අවබෝධකර ගැනීමට බඹරා ජලය මත වැසීම ප්‍රමාණවත් විය. එයින් කෝපාවිෂ්ඨවූ රජු තම පුතුන් මරා දැමීමට තීරණය කළ නමුත් දරු සෙනෙහසින් පිරී ගිය බිසව තම පුත්කුමරුවන්ට රහසින් මාලිගයෙන් පිටවී යන ලෙස උපදෙස්‌දී තිබිණි. මාළිගයෙන් පිටවූ දරුවන් අත්තනගල්ලේ අලවලට නුදුරු කෑගලු හා ගම්පහ දිස්‌ත්‍රික්‌ක මායිමේ පිහිටි ගිsරිදුර්ග සහිත වනගත ප්‍රදේශයක්‌ වූ මහකන්දට පැන දොළොස්‌ අවුරුද්දක්‌ ජීවත්වූ බව වල්ගම්පොත ඉතිහාසයේ එන තොරතුරුවලින් පැහැදිලිවේ.

මෙසේ වනගත වූ එක්‌ කුමාරයකු යක්‌ෂ ආත්මයක්‌ ප්‍රාර්ථනා කරමින් තමන්ට පුද සත්කාර කරන්නාවූ ජනතාව වෙනුවෙන් සේවය කරන්නෙමියි යන තිර අදිටනින් කුණු දිය පර්වතයෙන් පැන දිවි නසාගෙන ඇත. එලෙසින් අවසන් හුස්‌ම හෙළුE එතුමා "කළුකුමාර" ලෙසින් දේවත්වයට පත්ව ඇත. අලුත්වී අස්‌වනු කපා ගෙට ගන්නා කල කපුරාලලා නිවෙස්‌වලට විත් අලුත්වී ඇට හපමින් යදින යාතිකාව කළුකුමාර යාදින්න ලෙසින් වත්මනෙහි පවා ප්‍රදේශවාසීන් අතර විශ්වාසී ලෙසින් ප්‍රචලිතව පවතී.

කළුකුමාර කන්නලව්ව

අවසර පස්‌වාන් දහසකට තිරහත් කාලයක්‌ කප්පන්තිරයක්‌ අහස පොළව පවතිනාතේකට ඉරහඳ පවතිනාතේකට කළුකුමාර දේවතාබණ්‌ඩාර දේවයන්වහන්ස, ඔබ වහන්සේ සකලකලා වල්ලකබාහු රඡ්ජුරුවන්ගේ කුමාරයා බව සැබෑ සත්තනම් පියරඡ්ජුරුවන්ට හදිකං කරවා පතහේ උල් හිටෝලා සලු අපුල්ලන ඇමැත්තෙක්‌ එක්‌ක හිමේ හත්ගව්ව බලා වදාරාළා කුණුදිය පර්වතේ පල්ලේ පැන මියයත් වී වදාරළා මෙරට මහත් දෙවියන්ට තෙද කේර්තියක්‌ පාගෙන ඊරිය ගමට වැඩම කර වදාරාලා ඊරියගම යක්‌ෂයාට කොටා, ඊරියගම මළුවේ තිබුණු තල්ගස්‌ දෙක එකට ලණු අඹරවාපු තෙද කේර්තියක්‌ පාගෙන අඩුක්‌කු මුරුතැන් මංගල්ලවල් ඔප්පු අරගෙන කළුකුමාර දෙවියන් වහන්සේගේත් වන්නාවූ යක්‌ෂ උපද්‍රවල් දුරුකරවලා ආයෙත් එන අවුරුද්දේ අඟුරු දුම්මල අතක්‌ අල්ලන තුරා කිසියම් යක්‌ෂ දෝෂයක්‌ දේවදෝෂයක්‌ පේන්ඩ ඉඩක්‌ තියන්නේ නැතිව සකල ශරීර පංචස්‌කන්ධවල් දේවාරක්‌ෂාව බන්දවා දෙන්ඩ කළුකුමාර දෙවියන් වහන්සේගෙන් අවසර කප්පාන් තිරයකටම ආයුබෝවේවා.

රජුගේ මාළිගය තිබුණේ යෑයි සැලකෙන භූමි ප්‍රදේශය අදත් මාළිගාගොඩැල්ල නමින් හැඳින්වේ. උඩුගම්පොළට නුදුරු කොරසේ ගමේ ඵක්‌ කොට්‌ඨාසයක්‌ වූ මල්කෝන මල්වනාගාරය පිටකොටුව යන ව්‍යවහාරයෙන් රජුගේ මල් ගොමු හා උයන් වතු පිහිටි ප්‍රදේශ නිසාම ඇතිවී ඇති බව අනුමාන කළ හැකිය.

රාජ උදහසින් මාළිගයෙන් පිටවී ගිය පුත් කුමරුවන්ගෙන් බාලම පුතණුවන් කිරිබොන ඈපානෝ ලෙසින් හඳුන්වා ඇත. තරුණ වියට එළැඹි මෙපුත් ඉතා අසරණ තත්ත්වයට පත්විය. විවාහ දිවියට පිවිසිය යුතු කාලය එළැඹියෙන් අසල ගමකින් සරණයක්‌ සඳහා විමසූ නමුත් කාත් කවුරුත් නැති නොදන්නා කෙනෙකුට තම දියණිය නොදෙන බව පවසා ඇත. එකල පැවැති චාරිත්‍රය අනුව තමා තරුණියගේ දෙමාපියනට පිළිගැන්වූ මාලයද ප්‍රතික්‍ෂේප කළෝය. මෙයින් මහත් කලකිරීමකට පත්වුවද මාලය දොරේ එල්ලා ආපසු යැමට කුමාරු තීරණය කළේය. මේසිද්ධිය මෙගම දුන්නමාලේ - දුනුමාලේ ලෙසින් නම් වීමට මග පෑදුණේලු.

තමා අධිෂ්ඨානය අත් නොහැළ මෙකුමරු මහකන්දේ වාසය අතහැර දමා මෙම නිවස අසල කැලයේ දිවි ගෙවීමට තීරණය කර ඇත. මෙලෙස වනයේ වෙසෙමින් ගමේ සිටින හරකුන් සොරා කැලයට ගෙන ගොස්‌ තබා රාත්‍රී කාලයේදී නිවස්‌ අසල අවතාරයක්‌ ලෙසින් පෙනී සිට අසවල් ගස මුල බත්තලියක්‌ තබන්නේ නම් නැතිවූ හරකා ලැබෙන බව පවසමින් අතුරුදන් වෙයි. අවතාරය ප්‍රකාශ කළ අන්දමට බත්තලිය තැබූ පසු හරකා ලැබීමෙන් පසු මෙම දේව හෝ යක්‌ෂ අවතාරයක්‌ම විය යුතුම යෑයි දැඩි විශ්වාසයක්‌ ගම්මුන් අතර ප්‍රචලිත විය. කල්යැමේදී ගැමියන් ගේ දැඩි විශ්වාසය දිනාගත් මෙකුමරු මේ අන්දමින්ම තමා ප්‍රතික්‍ෂේප කළ තරුණිය ලබාගැනීමට සැළසුම් කළේය. රාත්‍රී කාලයේ එම නිවසින් ළමයකු සොරා විත් කැලයේ සැඟවීම පළමු පියවර විය. රාත්‍රීයේ අසවල් ගසමුලට බත් තලියක්‌ රැගත් අසවල් තරුණිය කෙසේ හෝ පැමිණිය යුතුය. එසේ නොමැති වුවහොත් ගමේ ළමුන් සියල්ලටම වසංගත රෝග සෑදී විනාශ වන බව අවතාරය ලෙසින් හඬගා පැවසීම දෙවන අදියර විය. නියමිත රාත්‍රියේ බත්තලිය සහිත කාන්තාව ගසමුල පෙනී සිටියාය. ළමයාට අභය දානය ලැබිණි. අවතාරය පිළිබඳ ඇති විශ්වාසය තවතවත් තහවුරු විය. එදා පටන් අද දක්‌වාම එම ප්‍රදේශය දුනුමාලේ දෙවියන් වෙනුවෙන් කැපවූ ප්‍රදේශයක්‌ ලෙසින් හඳුන්වා ඇත. එපමණක්‌ද නොව එම ප්‍රදේශවාසීන් දුනුමාලේ දෙවියන් පිදීමේ චාරිත්‍රයද එලෙසින්ම ඉටුකරන්නාහ.

උඩුගම්පොළ රාජධානිය හා බැඳී පවතින අර්ථාන්විත ග්‍රාම නාමයන්ගෙන් යුතු ප්‍රදේශ ගණනාවක්‌ මෙහිලා සඳහන් කළ හැකිය. පතහවත්ත, වීදියවත්ත, ගොවිගම, පෙතියාගොඩ, කෙහෙල්බද්දර, දෙවලපොල ඉන් කිහිපයකි. ඒ අතරම මෙම ප්‍රදේශයේ පවතින විහාරස්‌ථාන පවා මෙරජු සමයේ කිනම් හෝ සිද්ධියක්‌ පසුබිම් කර ඇරඹී ඇති බවද මනාව පිළිබිඹු වේ. මෙරජුගේ රාජ සභාව පැවැති ස්‌ථානය සභාව පන්සලවී ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

රජතුමා ඉදිකළ අස්‌වාන් වේල්ල කිහිපවරක්‌ම බිඳී යැමෙන්ද ප්‍රතිසංස්‌කරණය කිරීමට අපොහොසත් වීමෙන්ද මහත් සිත් තැවුලට පත් එතුමා එම සැඩ දිය පහරටම පැන දිවි නසාගත් බවද පැවසේ. එලෙසින්ම එතුමාගේ බිසෝවරුන්ද එම සැඩපහරටම පැන දිවිනසාගත් බවත් කියෑවේ.

(වේල්ල ප්‍රතිසංස්‌කරණය කර ගැනීමට වූ භාරයක්‌ ඔප්පු කිරීම සඳහා කුමාරිකාවන් සත්දෙනකු සැඩපහරට බිළිදුන් බවත් පැවසේ.)

කෙසේ වෙතත් මෙලෙසින් බිළිවූ කුමරියන්ගේ මළ සිරුරු හා ආභරණ පාවී ගොස්‌ රැඳුණු ස්‌ථානයන් මිණීවරුන්ගොඩ මිනිවන්ගොඩ ගල්ඔළුව බොක්‌කමුල්ල ලෙසින් හඳුන්වා ඇත. මෙරජතුමා තම පාලන බල ප්‍රදේශය බත බුලතින් සශ්‍රීක කර ස්‌වංපෝෂිත කිරීමට මහත් පරිශ්‍රමයක්‌ දැරුයෙන් මරණින් පසු අස්‌වානේ දෙවියන් ලෙසින් පූජනීය දේවත්වයට පත්ව ඇති බවටත් විශ්වාසයක්‌ පවතී.

පියකු හා පුතුන් දෙදෙනෙකු දේවත්වයෙහිලා සලකන මෙවන් දුර්ලභ අවස්‌ථාලත් ඉතිහාසයෙහි වෙනත් තැනෙක නැත.

මුතු කිමිදීමට හලාවතට හොරොන් ඇතුළුවීම කෝට්‌ටේ රජුට විරුදAධව සතර කෝරළයෙන් පැන නැගුණු කැරැල්ල ක්‍රි. ව. 1505 දී පෘතුගීසීන් ලංකාවට කඩා වැදීම වැනි රට අභ්‍යන්තරික ආරාවුල් සකලකලා වල්ලභයන් හා තානිය වල්ලභ යන රණශූර දෙසොහොයුරන් මර්දනය නොකළේ නම් සිංහලයේ ඉතිහාසය වංශ කතාව මීට වෙනස්‌ අයුරකින් ලියෑවෙන බව ඉතිහාසගත මූලාශ්‍රවල සඳහන් වේ.

උඩුගම්පොළ රාජධානිය හා සම්බන්ධව පවතින ඉතිහාසය සනාථ කළ හැකි ස්‌ථාන හා පැරණි දේ අතර රජු මැරවීමට සිටවූ යහුල් පවා ජාතික කෞතුකාගාරයෙහි සුරක්‌ෂිතව පවතී. දියනෑමට ජලයට පැනීමට උපයෝගී කරගත් ගල්පුවරුවද දැකගත හැකිය.

බර්ටි මඩවල - උඩුගම්පල

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v