ආර්ථික වර්ධනය අඩු වෙයි

ඇතැමුන් මුලදී ප්‍රකාශ කළේ ලෝක ආර්ථික අර්බුදය අපට බලපාන්නේ නැති බව ය. එහෙත් අපට ද එහි අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය. 2008 වසරේ අවසන් කාර්තුවේ පටන් මේ දක්‌වා ම එම අහිතකර බලපෑම් අඩු වැඩි වශයෙන් අපේ ආර්ථික ප්‍රගතිය පහත හෙළන්නට බලපෑවේය. මෑතදී නිකුත් වූ 2009 වසරේ දෙවන කාර්තුවේ ආර්ථික ප්‍රගතිය දෙස බැලීම්දී ද මේ බව අපට පැහැදිලි වෙයි. නමුත් මෙකී ලෝක ආර්ථික අර්බුදයේ අඳුරු සෙවණැලි දැන් කෙමෙන් පහව යමින් තිබේ. මේ හේතුවත් කොටි ත්‍රස්‌තවාදය අවසන්ව රට තුළ උදා වී ඇති සාමකාමී වාතාවරණයත් නිසා ආර්ථිකයේ හෙට දවස පිළිබඳ සුබදායී අපේක්‍ෂා දැල්වී තිබෙන බව ද කිව යුතුය.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ (2009) දෙවන කාර්තුවට අදාළ දළ දේශීය නිෂ්පාදිත දත්ත, ඉකුත්දා (14 දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්‍ෂ ජනරාල් සුරංජනා විද්‍යාරත්න මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ මේ වසරේ (2009) දෙවැනි කාර්තුවේදී සියයට 2.1 ක ආර්ථික වර්ධනයක්‌ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ආර්ථිකය සමත්ව ඇති බවයි. කවරක්‌ නමුත් 2008 වසරේ දෙවන කාර්තුවේදී වාර්තා වූ සියයට 7 ක ආර්ථික වර්ධනය සියයට 2.1 ක්‌ දක්‌වා පසුබෑමට ලක්‌ව ඇත. මේ සඳහා ලෝක ආර්ථික අර්බුදය ඇතුළු විවිධ හේතු බලපා තිබේ. මේ ලිපියෙන් අපේ අවධානය යොමු වන්නේ 2009 දෙවැනි කාර්තුවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳවයි.

මෙම සියයට 2.1 ක ආර්ථික වර්ධනය අප ළඟා කරගෙන ඇත්තේ ආර්ථිකයේ විවිධ උප අංශවල වර්ධනයන් හා පසුබෑම් තුළිනි. මූලික වශයෙන් ම 2009 දෙවැනි කාර්තුවේදී ආර්ථිකයේ ප්‍රධානතම අංශ තුන වන කෘෂිකර්ම අංශය සියයට 4.4 කින් ද, කර්මාන්ත අංශය සියයට 3 කින් සහ සේවා අංශය සියයට 1.1 කින් ද වර්ධනය විය. එහෙත් පසුගිය වසරේ (2008) දෙවන කාර්තුව හා සසඳා බලන විට මේ අංශ තුනේම වර්ධනය සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. මේ සමඟ පළවන වගුව මගින් දක්‌වා ඇති පරිදි 2008 දෙවන කාර්තුවේ කෘෂිකර්ම අංශයේ වර්ධය, 2009 දෙවැනි කාර්තුවේදී සියයට 4.4 දක්‌වා ද, කාර්මික අංශයේ වර්ධනය සියයට 6.9 සිට සියයට 3 දක්‌වා සහ සේවා අංශයේ වර්ධනය සියයට 6.9 සිට 1.1 දක්‌වා ද අඩු වී තිබේ. මේ අතර දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්ම අංශය සියයට 12.2 කින් ද, කර්මාන්ත අංශය සියයට 27.9 කින් සහ සේවා අංශය සියයට 59.9 කින්ද දායක වී ඇති අතර, ආර්ථික වර්ධන අනුපාතයට කෘෂිකර්ම අංශය සියයට 25.9 කින් ද, කර්මාන්ත අංශය සියයට 40.7 කින් සහ සේවා අංශය සියයට 33.4 කින් ද දායක වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මීළඟට අපි මෙම අංශ තුන පිළිබඳව වඩාත් පුළුල් වශයෙන් වෙන වෙනම සාකච්ඡා කරමු.

කෘෂිකර්ම අංශය

කෘෂිකර්ම අංශයට අයත් උප අංශ වන රබර් නිෂ්පාදනය සියයට 4.5 කින්ද, පොල් නිෂ්පාදනය සියයට 2.7 කින් ද, වී නිෂ්පාදනය සියයට 12.2 කින් ද, පශු සම්පත් අංශය සියයට 6.1 කින් ද, අනෙකුත් ආහාර භෝග නිෂ්පාදනය සියයට 7.6 කින් ද, වතු අංශය සියයට 4.5 කින් ද, දැව හා වන සම්පත් අංශය සියයට 6 කින්ද, වෙනත් කෘෂිකාර්මික භෝග සියයට 5 කින් සහ ධීවර නිෂ්පාදනය සියයට 7.6 කින්ද, වර්ධනය වී ඇති අතර තේ නිෂ්පාදනය සියයට 11.7 කින් සහ සුළු අපනයන භෝග නිෂ්පාදනය සියයට 2 කින් පසුබෑමට ලක්‌ව තිබේ.

2008 වසරේ දෙවැනි කාර්තුවේදී සියයට 11.1 කින් වර්ධනය වූ තේ නිෂ්පාදනය 2009 දෙවැනි කාර්තුවේදී සියයට 11.7 කින් පසුබෑමට ලක්‌වීම කැපී පෙනේ. එනම් ශුද්ධ වශයෙන් මේ අංශය සියයට 22.8 කින් පමණ සැළකිය යුතු පසුබෑමකට ලක්‌වී තිබේ. මේ තත්ත්වයට හේතු ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම් නිසා 2008 වසරේ අග භාගයේ හා 2009 වසරේ පළමු කාර්තුවේ කොළඹ තේ වෙන්දේසියෙහි තේ මිල ගණන් පහත වැටීම හේතුවෙන් තේ දලු නෙළීමේ සහ සැකසීමේ කටයුතුවලට බාධා සිදුවීම සහ මේ කාලය තුළ පැවැති වියළි කාලගුණ තත්ත්වය නිසා තේ දලු නිෂ්පාදනය පහත වැටීමයි.

වී නිෂ්පාදනය සියයට 12.2 ක්‌ වැනි ඉතා ඉහළ අගයකින් වර්ධනය වීමට 2008/2009 මහ කන්නයෙහි අස්‌වැන්න නෙළාගත් බිම් ප්‍රමාණය අක්‌කර දහස්‌ 1404.4 සිට අක්‌කර දහස්‌ 1494.5 දක්‌වා සියයට 6.4 කින් වැඩිවීම ද හේතු විය. විශේෂයෙන් සමස්‌ත වී නිෂ්පාදනයට සියයට 24.3 කින් දායක වෙමින් නැගෙනහිර පළාතේ වී නිෂ්පාදනය සියයට 37.4 කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වීම ද මේ තත්ත්වයට බලපෑවේය.

කාර්මික අංශය

කාර්මික අංශයට අයත් උප අංශ වන පතල් හා කැණීම් කටයුතු සියයට 11.1 කින්ද, නිෂ්පාදන කර්මාන්ත අංශය සියයට 1.1 කින්ද, විදුලිය, ගෑස්‌ හා ජල අංශය සියයට 4.3 කින් සහ ඉදිකිරීම් අංශය සියයට 5.4 කින් ද වර්ධනය විය. වර්ධනයක්‌ තිබුණත් පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්‍ෂව මේ සෑම අංශයකම වර්ධනය අඩු වී ඇත. විශේෂයෙන් නිෂ්පාදන කර්මාන්ත අංශයට අයත් රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්ත අංශය සියයට 8.9 කින් පහත වැටීම කැපී පෙනේ. ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම මේ පසුබෑමට ප්‍රධාන හේතුව වී ඇත. මුළු අපනයන ආදායමෙන් සියයට 46.1 ක්‌ වන ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් වටිනාකම අනුව සියයට 13.6 කින් පසුබැසීමට ලක්‌ව ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් ඇමෙරිකාව, එංගලන්තය, ඉතාලිය, ප්‍රංශය සහ නෙදර්ලන්තය යන ප්‍රධාන ඇඟලුම් අපනයනය කරන රටවලින් ලැබුණු අපනයන ආදායම අඩු වී තිබේ.

මේ අතරම දෙවැනි කාර්තුවේදී මැණික්‌ අපනයන ප්‍රමාණය සියයට 2.2 කින් සහ මැණික්‌ අපනයන ආදායම සියයට 20.9 කින් ද අඩු වී ඇත. විශේෂයෙන් අපනයනය කළ ගෙවුඩ ප්‍රමාණය සියයට 73.7 කින් පහත වැටී ගෙවුඩ අපනයන ආදායම සියයට 49.1 කින් අඩු විය.

සේවා අංශය

සුපුරුදු පරිදි රටේ දළ දේශීය නිෂ්පාදිතයට වැඩිම දායකත්වයක්‌ සපයා ඇත්තේ සේවා අංශය වුවත් දෙවැනි කාර්තුවේදී සේවා අංශයේ වර්ධනය අඩු වී ඇත. සේවා අංශයේ උප අංශ වන ප්‍රවාහන හා සන්නිවේන අංශය සියයට 6.3 කින්ද, බැංකු, රක්‍ෂණ හා නිශ්චල දේපොළ වෙළෙ¹ම් අංශය සියයට 5.4 කින් ද, නිවාස අයිතිය සියයට 1.2 කින්ද, රාජ්‍ය සේවා සියයට 6.3 කින් සහ පෞද්ගලික සේවා සියයට 5.9 කින් ද වර්ධනය වන විට තොග හා සිල්ලර වෙළෙ¹ම් අංශය සියයට 5.3 කින් සහ හෝටල් සහ ආපනශාලා අංශය සියයට 0.4 කින් ද පසුබෑමට ලක්‌ව තිබේ.

මෙහිදී තොග හා සිල්ලර වෙළෙ¹මේ වර්ධනය සෘණ අගයක්‌ ගැනීමට හේතු වී ඇත්තේ ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙ¹මට ඇති වූ අහිතකර තත්ත්වයයි. මේ අනුව දෙවැනි කාර්තුවේදී ආනයන වෙළෙ¹මේ වර්ධනය සියයට 15.9 ක සෘණ අගයක්‌ ගෙන ඇති අතර, අපනයන වෙළෙ¹ම ද සියයට 12 කින් පසුබෑමට ලක්‌ව ඇත. මේ හේතුව නිසා දේශීය වෙළෙ¹ම සියයට 6.7 කින් වර්ධනය වුවද, සමස්‌ත තොග හා සිල්ලර වෙළෙ¹මේ වර්ධනය සෘණ අගයක්‌ ගත්තේය. කවරක්‌ නමුත් අපනයන ආදායම අඩුවීමේ වේගයට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් අඩුවීම නිසා මේ කලය තුළ රටේ වෙළෙඳ හිඟය අඩු විය. මේ අනුව 2008 වසරේ දෙවන කාර්තුවේ පැවැති රුපියල් දශලක්‍ෂ 184,889.3 ක වෙළෙඳ හිඟයට සාපේක්‍ෂව මේ වර්ෂයේ වෙළෙඳ හිඟය රුපියල් දශලක්‍ෂ 70,764.2 දක්‌වා සියයට 61.7 කින් අඩු වී තිබේ.

සමස්‌තයක්‌ ලෙස සැලකීමේදී මේ වසරේ (2009) දෙවැනි කාර්තුවේ ආර්ථික ප්‍රගතිය අඩුවීමට ලෝක ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම සැලකිය යුතු ලෙස බලපා තිබේ. ලෝක ආර්ථික අර්බුදය මේ වන විට සමනය වෙමින් තිබේ. මේ නිසා ඉදිරි කාලයේදී ලෝක ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම් අඩු වනු ඇතැයි සිතිය හැකිය. කවරක්‌ නමුත් ලෝක ආර්ථික අර්බුදයේ අහිතකර තත්ත්වයන් හේතුවෙන් මේ වසරේ සමස්‌ත ආර්ථික වර්ධනය සියයට 3 ත් 3.5 ත් අතර අගයක පවතිනු ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත. මේ නිසා අපේ ආර්ථික ක්‍රියාකාරකම් (විශේෂයෙන් අපනයන වෙළෙ¹ම) යහපත් අතට හැරී 2010 වර්ෂයේදී යළිත් අපට ඉහළ ආර්ථික වර්ධනයක්‌ ලබා ගැනීමට හැකි වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v