අනුරාධපුර ගුවන් කඳවුරට පහරදීමේ සිද්ධිය
ප්‍රධාන සැකකරුගේ පාපොච්චාරණය
ලබා ගැනීම තාවකාලිකව ප්‍රතික්‌ෂේප කෙරේ

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ගුවනින් සහ ගොඩබිමින් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන තබෝ රූබන් නමැත්තාගෙන් පාපොච්චාරණය ලබා ගැනීම අධිකරණය තාවකාලිකව ප්‍රතික්‌ෂේප කළේය.

මේ පිළිබඳව නඩුව පෙරේදා අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය හමුවේ යළි කැඳවූ අවස්‌ථාවේ අධිකරණය එම තීරණයට එළඹුණේය.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට 2007 වසරේ සැප්තැම්බර් 22 වැනිදා අලුයම් කාලයේදී ගුවනින් හා ගොඩබිමින් ප්‍රහාර එල්ලකිරීමේ සිද්ධිය සැලසුම් කළ මහ මොළකරු වන තබෝ රූබන් නමැත්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් මෙම සැකකරු අධිකරණයට විශේෂ පාපොච්චාරණයක්‌ කිරීමට සූදානමින් සිටින බවට මහනුවර මධ්‍යම පොලිස්‌ බුද්ධි තොරතුරු ඒකකයෙහි නිලධාරීහු දැනුම් දුන්හ.

කෙසේ වුවද සැකකරු සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව ද පොලිසිය මෙහිදී දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම සැකකරු පාපොච්චාරණයෙන් පසු යළිත් තම ඒකකය භාරයට පත් කරන ලෙසට මහනුවර මධ්‍යම පොලිස්‌ බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, මෙහිදී ප්‍රධාන මහෙස්‌ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය විශේෂ දැනුම් දීමක්‌ කරමින් සැකකරුගෙන් පාපොච්ඡාරණය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු යළිත් පොලිසිය භාරයට පත් කිරීමට අධිකරණයට නීතිමය ඉඩක්‌ නොමැති බව ප්‍රකාශ කළාය. මේ අනුව අදාළ පාපොච්චාරණය ලබා ගැනීම අධිකරණය තාවකාලිකව ප්‍රතික්‌ෂේප කළ්ය.

මහෙස්‌ත්‍රාත්වරිය මෙහිදී මහනුවර මධ්‍යම පොලිස්‌ බුද්ධි තොරතුරු ඒකකයට නියෝග කරමින් කියා සිටියේ තවමත් සැකකරු සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ අවසන් නොමැති නම් ඒ පිළිබඳ පරීක්‍ෂණ අඛණ්‌ඩව මෙහෙයවන ලෙසයි.

මේ අනුව මේ පිළිබඳ නඩුවේ වැඩිදුර විභාගය මෙම 25 දා දක්‌වා කල් දැමූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය රඳවා තබා ගනිමින් සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දුන්නාය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v