|
|
|
|

එජාපය පමණක් නොව එදා
අප සමග සිටි සමහර අයත් අද රටට එරෙහි බලවේගවල අතකොළු බවට
පත්වෙලා
ඒත්
ලබාගත් ජයග්‍රහණය යළි පාවාදෙන්න අප කිසිවිටෙක සූදානම් නැහැ
මාතර ශ්‍රීලනිප ක්‍රියාකාරීන් හමුවේදී ජනාධිපති මහින්ද
රාජපක්‌ෂ කියයි
අවුරුදු 30 කට වැඩි කාලයක් තිබුණ යුද්ධය අවසන් කරන්නට අපට
ශක්‌තිය ලැබුණේ මේ රටේ අහිංසක ජනතාවගෙන්. එදා ජනපතිවරණයේදී
තමුන්නාන්සේලාගේ කැපවීම, මැදිහත්වීම තුළ අප ලබාගත්
ජයග්‍රහණය අද අපට රැකගන්න වෙලා තියෙනවා. මේක ආපසු
පාවාදෙන්න පුළුවන්කමක් නැහැ. තමුන්නාන්සේලා දන්නවා
ඉතිහාසයේ නොයෙකුත් පාවාදීම් සිදුවුණා. නමුත් අද අපි ලබාගත්
ජයග්‍රහණය පාවාදෙන්න සූදානම් නැතැයි ජනාධිපති මහින්ද
රාජපක්‌ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර දිස්‌ත්‍රික්
ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ගේ හමුව ඊයේ (16) අරලියගහ
මන්දිරයේදී පැවති අවස්‌ථාවේදීය.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
අද අපේ රටේම පිරිසක් රට රටවල්වලට ගිහිල්ලා මේ ජයග්‍රහණය
විතරක් නෙවේ මේ රට පාවා දෙනවා. අපේ රණවිරුවන් පාවා දෙනවා.
අද මේක ඔවුන්ට සෙල්ලමක්. රටකට විපක්‌ෂයක් තියෙන්න ඕන.
ආණ්‌ඩුවකට විපක්‌ෂයක් තියෙන්න ඕන. එයට හේතුව ආණ්‌ඩුව යම්
වැරදි මාවතක යනවා නම් එය පෙන්වා දෙන්න. ඒ ගැන සාකච්ඡා
කරන්න. ඒ ගැන රටේ ජනතාවගේ අවධානය යොමු කරලා නිවරැදි මාවතකට
රට ගෙන යන්න. අද අවාසනාවකට අපට විපක්‌ෂයක් තියෙනවද.
විපක්‌ෂය තමන්ගේ යුතුකම හරියාකාරව ඉටුකරනවද කියන ප්‍රශ්නය
අපට තියෙනවා.
රට නිදහස් කර ගැනීම සඳහා මහා යුද්ධයක් ගෙනයද්දී කකුලෙන්
ඇදපු උදවිය, ඒ සටන නතර කරලා මේ රට කෑලිවලට කඩන්න හදපු
උදවියම අද එයින් නැවතෙන්නේ නැතිව රටටම විපක්‌ෂයක් වෙලා.
විපක්‌ෂ නායකයා ආණ්‌ඩුවට නෙවේ මේ රටට විපක්‌ෂ නායකයා බවට
පත්වෙලා ඉන්නවා. ඒ නිසා තමයි පිටරට ගිහිල්ලා නොයෙක්
විදිහේ චෝදනා ඉදිරිපත් කරමින් රණවිරුවන් ලබාගත් මේ
ජයග්‍රහණය අවතක්‌සේරු කරලා ඔවුන් යුද අධිකරණයට ගෙනයාම
සඳහාත් මේ රටට ලැබෙන ආධාර කපා දැමීම සඳහාත් මේ රටේ
සංවර්ධනය වළක්‌වන්න පියවර ගන්න සූදානම් වෙලා ඉන්නේ.
මේවා පිළිබඳ මේ රටේ ජනතාව අවබෝධයක් ලැබිය යුතුයි. අපට
ජාත්‍යන්තර සහයෝගය අද ලැබෙනවා. මේවා පිළිබඳ තමුන්නාන්සේලාට
හෙළිදරව් වෙයි ඉදිරියේ දී, අපි ස්‌වාධීන රටක්. එහෙනම්
තවත් රටකට පුළුවන්කමක් නැහැ අපේ රට පාලනය කරන්න. එයට ඉඩ
දෙන්න පුළුවන්කමකුත් නෑ.
අද එක්‌සත් ජාතික පක්‌ෂයේ සමහර උදවිය විතරක් නෙවේ අපි
බලයට පත් කරන්න කටයුතු කරපු සමහර කොටස් අද ඔවුන්ගේ අතකොළු
බවට පත්වෙලා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරන්න ඉදිරිපත්
වෙලා. මෙය රටට ආදරය කරන මිනිස්‌සුන් කරන වැඩක් නෙවේ. ඒ
නිසා මේවා පිළිබඳ අපේ ජනතාව ඉතා විමසිල්ලෙන් සිටිය යුතුයි.
අපි දන්නවා අද සමහර උදවිය ඔවුන්ගේ මුළු කාලයම යොදන්නේ
කුමන්ත්‍රණවලට. කුමන්ත්‍රණවලට නොයෙක් විදිහේ
වැඩපිළිවෙළවල් කරගෙන යන විත්තිය අපි දන්නවා. නොයෙක් මතවාද
ඉදිරිපත් කරනවා. තමන්ගේ ගොඩ එක්‌කරගන්න උත්සාහ කරනවා.
ඒ නිසා අපි මේ ලබාගත් ජයග්‍රහණය, මේ රට ලබාගත් ජයග්‍රහණය
ආපසු හරවන්න පුළුවන්කමක් අපට නැහැ කියන එක තමුන්නාන්සේලා
ලෝකයාට කියන්න ඕන.
අපි මේ ගමන යා යුතුයි. අද අපි රට නිදහස් කරගෙන තියෙනවා.
සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යනවා. මේ රට නිදහස්
කරගන්න කියලා අපි රටේ සංවර්ධන වැඩපිළිවෙළ අඩපණ කළේ නැහැ.
ඉතිහාසයේ කවදාවත් නැති විදහට අද ගම්වල පාරවල් ටික හැදෙනවා.
කොන්ක්‍රීට් පාරවල් හැදෙනවා. ඉතිහාසයේ කවදාවත් නැති
විදිහට වරායන් 05 ක් හැදෙනවා. ගමේ පාරවල් හැදෙනවා.
විදුලිය ලැබෙනවා. පාලම් ටික ලංකාව පුරාම හැදෙනවා. මේ
වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයනවා.
මේ රටේ අධ්‍යාපනය වගේම රාජ්‍ය සේවය ශක්‌තිමත් කරලා
තියෙනවා. රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කළා. කෘෂිකර්මාන්තයට
කවදාවත් නැති තැනක් ලබා දුන්නා. පොහොර සහනාධාරය ලබා
දුන්නා. අපි වවමු රට නගමු වැඩපිළිවෙළ දියත් කරලා මේ රටේ
කවදාවත් නැති විදිහට කෘෂිකර්මාන්තය දියුණු කළා. අද තේවලට
හොඳ මිලක් ලැබෙනවා. රබර්වලට හොඳ මිලක් ලැබෙනවා. පසුගිය
කාලය තුළ රටේ ආර්ථිකය දියුණු කරලා තියෙනවා.
අද සන්ධානයේ ජයග්‍රහණය බොහොම පැහැදිලිව ලෝකයට පෙනිලා
ඉවරයි. නැවත එජාපය එක්‌ක සටන් කරන්න වුවමනා නැහැ. අද
එජාපයට සටනක් තියනවා. ඒ දෙවැනි තැන ලබාගන්න.
අද මේ රටේ ආර්ථිකය ශක්‌තිමත්. කොටස් වෙළඳපොළ ඉතාමත්
සාර්ථකව ඉදිරියට යනවා. ඉතා ඉහළට නැගලා තිබුණු පොලිය
ක්‍රමානුකූලව අඩු වෙලා. මුළු ලෝකයේම ආර්ථිකයන් කඩා හැළෙන
කොට එංගලන්තේ බැංකු වැටෙනකොට අපි අපේ බැංකු ටික රැක ගත්තා.
සෙලාන් බැංකුව කඩා හැළෙනකොට අපට සිද්ධ වුණා එයට
මැදිහත්වෙන්න. ඒ එක පාරක් බැංකුව කඩා හැළුනානම් රටටම
පාඩුයි. ඇමරිකාවේ, එංගලන්තේ, රෝමයේ ජපානයේ කර්මාන්ත ශාලා
වහලා මිනිස්‌සු එළියට දානකොට අපට එහෙම වුණේ නැහැ. අපි
කර්මාන්ත ශාලා වැහුවේ නැහැ. මේක කරන්න තමයි අද විපක්‌ෂයට
අවශ්‍ය වෙලා තියෙන්නේ.
මේ රට විනාශ කරන්න ඉඩ තියන්න අපට පුළුවන්කමක් නැහැ. අපි
පැහැදිලිව කියනවා අපි රට නිදහස් කරගෙන තියෙනවා. අපි ජනතාව
ඉදිරියට යන්න ඕන. අද මහින්ද චින්තනයෙන් සියයට 80 ක්
අවසන්කරලා තියෙනවා. ජනතාව ඉදිරියට ගිහිල්ලා අපි කරපු වැඩේ
හරිද වැරදිද කියලා බලන්න ඕන. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය.
ඒකට අපි සූදානම්. අපි ජනතාව කෙරෙහි විශ්වාසය තියලා තියනවා.
ජනතාව අපිව එපා කියපු දවසක අපි යනවා.
එහෙනම් මේ රටේ කුමන්ත්‍රණකාරයින් හඳුනාගෙන ඔවුන්ට
රැවටෙන්නේ නැතිව මේ රට ඉදිරියට ගෙන යන්න ඕන. මේ රටේ
රණවිරුවන් තමුන්නාන්සේලාට දිනා දුන්න නිදහස රැක ගන්න . ඒ
අම්මලා විඳපු දුක, ඒ බිරින්දැවරුන් විඳපු දුක, ඒ
සහෝදරවරුන් විඳපු දුක මම දන්නවා. ඒ අත්දැකීම් මට තියනවා.
මේ රණවිරුවන් විඳපු දුක් ගැහැට අපි දන්නවා. අපේ රණවිරුවන්
26,000 ක් ජීවිත පූජා කරලා මේ භූමිය අපට නිදහස් කරලා
දුන්නා. මේක පාවා දෙන්න පුළුවන්කමක් නැහැ.
කුමන්ත්‍රණකාරයෝ කිහිප දෙනෙකුට මේක යටකරන්න ඉඩ දෙන්න
පුළුවන්කමක් නැහැ. මේ සටන නවත්වන්න අපට මොනතරම් බලපෑම්
එල්ල කළාද, ලෝකයේ සියලු බලවත්තු අපට කතා කළා දුරකථනයෙන්.
ලංකාවට ආවා, තවම ඉවර නැහැ.
මේ අය කියනවා වහාම උතුරේ අවතැන් වූවන් පදිංචි කරවන්න
කියලා. අපි ඒක තමයි මේ කරන්නේ. තවම නිදහස ලබාගෙන මාස 03
යි. මේ අයට කන්න බොන්න දෙන්න ඕන. මේ නැවත පදිංචි කරවීම්
ක්‍රමානුකූලව කරන්න ඕන. බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු
කරන්න ඕන. උතුරේ වේවා නැගෙනහිර වේවා දකුණේ වේවා මේ සියලු
දෙනා එක හා සමානව මගේ දරුවන් වශයෙන් සහෝදරවරුන් වශයෙන්
පියවරුන් වශයෙන් සළකන්න මා බැඳී සිටිනවා. ඒ සඳහා මට ඔබෙන්
වරම ඕනේ. මට තියනවා යුතුකමක් ඔවුන් රැක ගන්න. ඔවුන් බිලි
දෙන්න නෙවේ. කොටියා විනාශ කරන එක අපි නතර කරන්නේ නැහැ. ඒ
සම්බන්ධකම් ඔක්‌කොම අපි විනාශ කරනවා. මේ ජනතාව නැවත පදිංචි
කිරීමේ වගකීම අපට තියනවා. මේ පිළිබඳ නොයෙක් අය ප්‍රශ්න
අහනවා.
අපි දන්නවා සුනාමියෙන් අවතැන් වුණු ගැහැනු ළමයි අවසානයේ
ඉතිරි වුණේ කොහේද කියලා. අවසානයේ ඒ ළමයි අනාථ වුණා. ඒ
තත්ත්වය ඇති කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපට ලොකු
වගකීමක් තියෙනවා. සියලු ජනතාව ක්‍රමානුකූලව පදිංචි කරන්න.
ඒ සඳහා අපට කාලයක් අවශ්‍යයි.
අපි ආරක්‌ෂාව ගැන හිතන්න ඕන. ත්‍රස්‌තවාදය හැමතැනම
ව්‍යාප්ත වෙලා තිබුණා. ඔවුන් මේ දකුණටත් ආවා. ඒ එක්‌කගෙන
ආවේ අපේම පිරිස්. මට බෝම්බ ප්‍රහාර එල්ල කරන්න අවස්‌ථා
කිහිපයක බලාගෙන හිටියා. අපි දැන් මේ රටට නිදහස ලබා දීලා
තියෙනවා. මේ රටට නිදහස ලබා දුන්නා. අවාසනාවකට මට ඒ නිදහස
ලැබිල නැහැ. මට නැතත් මේ රටේ ජනතාවට ලැබුණු නිදහස පාවා
දෙන්න මට පුළුවන්කමක් නැහැ. අපි අපේ යුතුකම් ඉටුකරමු.
විශේෂයෙන් දකුණේ ජනතාව. ඔබ අපි අත්වැල් බැඳගෙන ඉදිරියට
යමු.
අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා - දකුණු පළාත විශේෂයෙන්ම
මාතර දිස්‌ත්‍රික්‌කය දේශපාලන ඉතිහාසයේ පසුගිය වසර 50, 60
ක කාලය ගත්විට වාමාංශික ව්‍යාපාරයේ ඉතාම ප්‍රබුද්ධ දේශපාලන
භූමියක්. ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය විදිහට ගත් විට පක්‌ෂ
ඉතිහාසයේ ඉතා කීර්තිමත් නාමයක් මාතර දිස්‌ත්‍රික්‌කයට
හිමි වෙනවා. අද ජනාධිපතිතුමා ඔබව අරලියගහ මන්දිරයට
ගෙන්නුවේ මැතිවරණ කරන හැටි ඔබට කියා දෙන්න නෙවේ. මැතිවරණ
සටන්, මැතිවරණ ජයග්‍රහණය ඔබේ අත්දැකීම් තුළ තියෙනවා. ඔබට
කරන ගෞරවයක් ලෙස අරලියගහ මැඳුරට ඔබ කැඳවූ ජනාධිපතිතුමා
ඔබෙන් බලාපොරොත්තු වන ඔක්‌තෝබර් 10 වෙනිදා ප්‍රතිඵලය.
විශේෂයෙන්ම දකුණු පළාත්සභාවට ප්‍රධාන ඇමැතිවරයෙක් සහ
මන්ත්‍රී කණ්‌ඩායමක් තෝරාගැනීම සඳහා පමණක් නෙවේ.
නැගෙනහිර පළාත්සභා මැතිවරණයේ මැතිවරණ කාල සටහන අවසන් වන්නේ
දකුණෙන්.
අද තමුන්නාන්සේලාගේ යුතුකම් ඉටුකළ යුතු කාලය ඇවිල්ලා. මේ
මැතිවරණ ප්‍රතිඵලය දකුණේ ප්‍රතිඵලය දෙස රටේ ජනතාව පමණක්
නොවේ මුළු ලෝකයම බලාගෙන ඉන්නවා. තමුන්නාන්සේලා මාතර
දිස්‌ත්‍රික්‌කයේ ජනතාව විදිහට මේ අභියෝගය ඉතා විශිෂ්ට ලෙස
ජයග්‍රහණය කරයි කියලා අපි විශ්වාස කරනවා.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා - මාතර කියන්නේ ලාංකීය
දේශපාලන ශබ්ද කෝෂයේ වෙනම ව්‍යාකරණයක්. ලාංකීය දේශපාලන
ශබ්දකෝෂයේ වෙනම ලකුණක් තියෙනවා මාතර කියලා. මෙන්න මේ මාතර
ලකුණ වඩාත් ඔපවත් වෙලා තියෙනවා අපේ පුරවරයේ ඉපදුන ප්‍රථම
රාජ්‍ය නායකයාගෙන්. මාතර දිස්‌ත්‍රික්‌කයේ ඉපදීලා පළමු
පුරවැසියා වුණ කිසිවෙක් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පුරාම
හිටියේ නැහැ. වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයේ පළමුවෙනි
වතාවටයි අපේ ආදරණීය පුරවරයෙන්, නිල්වලා මිටියාවතෙන් මේ රටට
නායකයෙක් තිළිණ කළේ. ඒ මහින්ද රාජපක්‌ෂ නායකයා. ඒ අපි
විසින් බිහිකරපු නායකයා අපේ බිම විසින් බිහි කරපු නායකයා.
ඒ වගේම දකුණේ අපි මාතර අපි ඉතාම ගෞරවයෙන් ආදරයෙන්.
සෙනෙහසින් බලාගන්න නායකයා. ඒ නිසා පළාත් සභා මැතිවරණය
වෙන්න පුළුවන්. වෙනත් මැතිවරණයක් වෙන්න පුළුවන් මේ
මැතිවරණයේ දී අපි බිහි කරපු නායකයා. අපිව ආදරයෙන් බලාගන්න
නායකයා පෙරටු කරගෙන මාතර ඓතිහාසික දේශපාලන මුද්‍රdව නැවත
වතාවක් තහවුරු කරන්නයි අපි ඔක්‌තෝබර් මාසේ 10 වෙනිදා
ලෑස්‌ති වෙලා ඉන්නේ.
මාතර පුරවරය ගැන අවිශ්වාසයක් නැහැ. හාමුදුරුවනේ නිදහස හා
දකුණ කියන්නේ එකම තේරුම් දෙන වචන. සමාන අරුත් දෙන වචන
කිහිපයක් අවුරුදු 30 ක් පුරා මේ රට මතින් ගලාගෙන ගියපු
රුධි ර ගංගාව නවත්තලා, කඳුළු ගංගාව නවත්තලා මේ රටේ නිදහස
නැවත තහවුරු කළේ මේ මහින්ද රාජපක්‌ෂ නායකයා විසින්. ඒ නිසා
මේ ඔක්‌තෝම්බර් 10 වෙනිදා අපි මුහුණ දෙන්නේ ඒ නායකයා
වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න.
|
|
|
|