|
|
|
|

බෞද්ධ සංස්‌කෘතික
අධ්‍යාත්මය කිසිම දේකින් යටපත් කරන්න බෑ
වැලමිටියාවේ කුසලධම්ම නාහිමි
චමින්ද සිල්වා
බෞද්ධ මහා සම්මේලනය ආරම්භ වූයේ බෞද්ධ ප්‍රබෝධය ඇති
කිරීමටයි. එදා ශ්‍රීමත් ඩී. බී. ජයතිලක සූරීන්ගේ
මූලිකත්වයෙන් පටන් ගත් මෙම බෞද්ධ ව්‍යාපාරය අදත් ජාතික
සංස්‌කෘතික මෙහෙවරකට කැපවී සිටිනවා. බෞද්ධකම සුරැකීමට
ක්‍රියා කරනවා. අපේ සාහිත්‍ය කලාව උපන්නේ බෞද්ධ
සංස්‌කෘතියෙන්. සිංහල සංස්‌කෘතිය බෞද්ධ සංස්‌කෘතියේ බව මා
පවසන්නේ එනිසයි. සිංහල බෞද්ධයා මේ රට ගැන හිතුවා. ඒ
ව්‍යාපාරය කාටවත් පාඩු කළේ නෑ. කිතුනුවන්ට හෝ අන් ආගම්වලට
හෝ අප බාධා නොකළේ සිංහල බෞද්ධ සංස්‌කෘතිය අපට දුන් දායාද
නිසා. බෞද්ධ ඉතිහාසය වසර දහස් ගණනක් පැරණියි.
ඉංග්‍රීසින්ට වගේම වෙනත් ජාතීන්ට අප යටත් වුවත් අපේ බෞද්ධ
සංස්‌කෘතික අධ්‍යාත්මය යටත් වූයේ නැහැ. නිවහල් චින්තනයක්
අපට දුන්නේ එයින් සිංහලකමයි බෞද්ධකමයි ගහට පොත්ත වගේ.
බුත්සරණ, අමාවතුර, පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය, ජාතක පොත,
කව්සිළුමිණ, ගුත්තිලය, ලෝවැඩ සඟරාව මේ වගේ මුළු සාහිත්‍යම
බෞද්ධ සාහිත්‍යයක්. යතිවරුන්, විද්වතුන් ගත්තේ බුදුසිරිත,
ලිව්වෙ බුදුගුණ නව අරහදි බුදුගුණ, බුදුවරු කිව්ව බුදුබණ
ලිව්ව ශ්‍රේෂ්ඨ පරපුරක් අපට හිටියා. අද ඉන්නේ ඒ අයගෙ දරු
මුණුබුරෝ.
අපේකම, අපේ ගුණධර්ම, සියල්ල බෞද්ධ උරුමයෙන් ලැබුණු දේවල්,
අපේ අධිෂ්ඨාන බලය උපන්නෙ එයින්. ඒකයි අපි අද රටක් ලෙස
යළිත් හිස ඔසවා නැගී හිටින්නේ. මහාචාර්ය මලලසේකර මැතිතුමා
2500 බුද්ධ ජයන්තියට ලෑස්‌ති වුණේ අවුරුදු 10 ක ඉඳලයි. තව
අවුරුදු දෙකකින් 2600 බුද්ධ ජයන්තිය එනවා. අපි එය සැමරිය
යුතුයි. බෞද්ධ සම්මේලනය එයට නායකත්වය ගන්න ඕනෑ. මේ වගේ
ලේඛකයන් ඉදිරියට එන්න ඕනෑ. නැතිවී ගිය උරුමය මතු කර ගැනීම
අපේ වගකීමයි.
අද තිබෙන පරිහානිය ගැන කතා කරලා පලක් නෑ. අපට ලොව නැගී
සිටිය හැක්‌කේ බුදු දහමේ සෙවණ යටින්. එහි ආනුභාවයෙන්.
බෞද්ධ සාහිත්‍ය අපේ විෂය මාලාවට ඇතුල් විය යුතුයි. මා
වරක් නායකයකුගෙන් ඇහුවා සාහිත්‍ය පාසලෙන් ඉවත් කළේ ඇයි
කියලා. එතුමාගේ පිළිතුර වුණේ සාහිත්‍යයෙන් මෝටර් බයිසිකල්
එකක්‌වත් ගන්න බැරි බවයි.
අද අලුත් යුගයක්. අලුත් නිදහසක්. මේ නිදහස අර්ථවත්
කිරීමට සංඝ රත්නය උපදෙස් දෙනවා. ඒ උපදෙස් අහන
නායකත්වයක් අපට තිබෙනවා. භේද නැති, විසමතා නැති රටක්
නිමවීම අද තිබෙන අභියෝගයයි. සම කරුණා ගුණය අප උපතින් ලද
දෙයක්. එනිසා අපට මේ ගමන යා හැකියි.
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති හා විද්‍යාලංකාර
පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක
වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් එසේ සඳහන් කළේ 2009
සාහිත්‍ය මාසය නිමිතිකොට ගෙන ආගමික කටයුතු හා සදාචාර වර්ධන
අමාත්‍යාංශයේ අනුග්‍රහය සහිතව සමස්‌ත ලංකා බෞද්ධ මහා
සම්මේලනය විසින් කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ
ශාලාවේ පැවැති බෞද්ධ සාහිත්‍ය උත්සවය අමතමිනි.
තෙවැනි වරටත් සංවිධානය කර තිබු උත්සවයට පැමිණි ආරාධිත
අමුත්තන් නැටුම් කණ්‌ඩායමක් පෙරටු කොටගෙන පෙරහැරකින්
උත්සව ශාලාවට කැඳවාගෙන ඒම සිදුවිය. අනතුරුව පැමිණ සිටි
සම්භාවනීය ආරාධිතයන් පන්සිල් සමාදන් කරවීම පූජ්‍ය කොටුගොඩ
ධම්මාවාස අනුනායක හිමියන් විසින් සිදු කරන ලදී.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වන මහාචාර්ය
කුසුමා කරුණාරත්න මහත්මිය විසින් රචිත "බුදු දහමෙන් ඔප්
නැංවෙන බෞද්ධ සාහිත්‍ය" ග්‍රන්ථය බෞද්ධ කටයුතු කොමසාරිස්
චන්ද්‍රප්‍රේම ගමගේ මහතා විසින් සමස්‌ත ලංකා බෞද්ධ
සම්මේලනයේ සභාපති ජගත් ප්‍රිය අනුර සුමතිපාල මහතා වෙත
පිරිනමන ලද අතර ඒ මහතා විසින් එම ග්‍රන්ථය මූලාසනයේ වැඩ
හිටි අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, පූජ්‍ය කොටුගොඩ
ධම්මාවාස, පූජ්‍ය වරාගොඩ ප්‍රේමරතන යන නාහිමිවරුන් වෙත
පිළිගැන්වීමත්, ඉන් අනතුරුව සංස්‌කෘතික ඇමැති පියසිරි
විඡේනායක මහතා වෙත පිරිනැමීමද සිදුවිය.
2008 වසරේ අප බෞද්ධ සාහිත්‍යයේ උන්නතිය උදෙසා කෘති පළ
කිරීම සම්බන්ධයෙන් භද්‍රජි මහින්ද ජයතිලක විසින් ලියන ලද
"දිනෙක කුසිනාරාවෝ" නව කතාව හොඳම බෞද්ධ නවකතාව ලෙසත්,
මහාචාර්ය සුනන්ද මහෙන්ද්‍ර විසින් නිර්මාණිත "සුතකවි
සංග්‍රහය" හොඳම බෞද්ධ පද්‍ය සංග්‍රහය ලෙසත්, ගාමිණි
සුමනසේකර විසින් ලියන ලද "තෙරණි කතා පොත" හොඳම කෘතිය
ලෙසත්, පූජ්‍ය ගැමුණුපුර සෝමවංශ හිමියන් විසින් ලියන ලද
"බුදු සමය හා පාප සංකල්පය" හොඳම ධර්ම ශාස්‌ත්‍රිය ග්‍රන්ථය
ලෙස සහ අති පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් විසින්
සම්පාදිත අයි. බී. විමලවංශසූර්ය විසින් සංස්‌කරණය කරන ලද
කල්පලතා, ව්‍යාඛ්‍යා සහිත මහා කවි අශ්වඝෝෂපාදයන් විසින්
චිරචිත සෞන්දර්ය නන්ද මහා කාව්‍ය යන ග්‍රන්ථ ගෞරව
තිළිණවලින්ද මෙහිදී පිදුම් ලැබූහ.
අනතුරුව සම්මානනීය ග්‍රන්ථයන් එකතුව සමස්‌ත ලංකා බෞද්ධ මහා
සම්මේලනයේ උපසභාපති සහ එම සම්මේලනයේ ජාතික සමාජසේවා
මණ්‌ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍ර නිමල්
වාකිෂ්ඨ මහතා විසින් අමරපුර සංඝ සභාවේ සභාපති ධර්මපාල
වංශාලංකාර සද්ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා
පණ්‌ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, ශ්‍රී ලංකා රාමඤaඤ මහා
නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මහාචාර්ය වරාගොඩ පේමරතන,
කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති හා විද්‍යාලංකාර
පරිවෙණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය
වැලමිටියාවේ කුසලධම්ම යන නාහිමිවරුන්, ඇතුළු මහා සංඝරත්නයට
සහ එම සම්මේලනයේ සභාපති ජගත් ප්‍රිය අනුර සුමනපාල මහතාට
පිළිගැන්වීම සිදුවිය.
දෙස් විදෙස් හි බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රචලිත කිරීම
වෙනුවෙන් තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය බෝදාගම
චන්දිම, පූජ්‍ය කිරම විමලජෝති, පූජ්‍ය වේරගොඩ සාරද යන නායක
ස්‌වාමීන්වහන්සේලාද මෙහිදී ගෞරවයට පාත්‍ර වූහ.
උත්සව අවස්‌ථාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්‌වු පූජ්‍ය
වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ මෙසේද පැවසූහ.
බෞද්ධ මහා සම්මේලනය ආරම්භ වුණේ මේ රටේ නැතිවී ගිය බෞද්ධ
ප්‍රබෝධය නැවත ඇතිකිරීම සඳහායි. සර් ඩී. බී. ජයතිලක මහතාගේ
සභාපතිත්වයෙන් ආරම්භ කළ බෞද්ධ මහා සම්මේලනයේ වර්තමාන
සභාපතිතුමාගේ මූලිකත්වයෙන් විශාල වැඩකොටසක් කෙරෙමින්
පවතිනවා.
ඇතැමුන්ගේ හිතේ මෙරට බෞද්ධ ප්‍රබෝධය ඇතිවුණේ වර්ෂ 1505 හේ
සහ 1815 න් පසුව කියලයි. නමුත් බෞද්ධ සංස්‌කෘතිය මේ රටේ ඊට
පෙර සිට පැවතියා. ඒ වගේම බෞද්ධ සංකෘතිය සහ සිංහල
සංස්‌කෘතිය කියලා දෙයක් නැහැ. මේ දෙකම හරියට ගහට පොත්ත
වගේ එකට බැඳිලා තිබෙන්නේ.
මේ රටේ මිනිසුන් තුළ සදාචාර සම්zපන්න ජීවිත ඇතිවුණේ අපේ
බෞද්ධ සාහිත්‍ය නිසයි. අපේ බෞද්ධ සාහිත්‍යයේ තිබෙන
අමාවතුර, පූජාවලිය, බුත්සරණ වැනි ග්‍රන්ථවල අඩංගු දෑ බණ
මඩුවකදී ඉගෙන ගන්නත් පුළුවන්. පංතියට ගිහින් ඉගෙන ගන්නත්
පුළුවන්. මේවා ළමා මනසට ඇතුළත් කළ යුතුයි.
ලේඛකයකුට ජීවිතයේ එක්‌වරක් පමණක් ලැබිය හැකි සාහිත්‍ය
රත්න සම්මානයෙන් පිදුම් ලැබ සිටින මහාචාර්ය තිස්‌ස
කාරියවසම් මහතා "ලාංකික සාහිත්‍ය හා බොදු සමය මැයෙන්"
දේශනයක් පවත්වමින් මෙසේ පැවසීය.
බෞද්ධ මහා සම්මේලනය අති විශිෂ්ට කර්තව්‍යක් ඉටුකරලා
තියෙනවා. අද සිංහල සාහිත්‍ය ගැන විශ්වවිද්‍යාලවල පවා කථා
වෙනවා අඩුයි. ඒවා ගැන ලියවෙනවත් අඩුයි. නමුත් සෝමවීර
සේනානායක, ගාමිණි සුමසේකර වැනි අය අපේ පැරණි බෞද්ධ
සාහිත්‍ය සිංහලෙන් සරලව සමාජයට දෙන්න උත්සාහ කරනවා. මෙය
යුගයේ අවශ්‍යතාවයක් ලෙස මා දකිනවා.
අපේ තරුණ පරපුරට ජාතක කතා නියම කරන්න ඕන. අපොස උසස් පෙළ
විභාගයේ "නන්දි විශාල" ජාතකයෙන් ප්‍රශ්න දෙකක් මෙවර අහලා
තියෙනවා. පිළිතුරු ලිවීමේදී අපේ ශිෂ්‍යයෝ බොහෝ පිරිසක් මේ
ප්‍රශ්න දෙකට පිළිතුරු ලියල නැහැ. නමුත් අපේ දරුවන්ට
ධනාත්මක චින්තනය උගන්වනවා. පොසිටිව් තිංකිං කියනවා. ඇයි
අපේ ජාතක කථා පොතේ තියන දේ උගන්වන්නේ නැතිව ඇමෙරිකාවේ
පට්‌ට ගහපු පොසිටිව් තින්කිං" ගන්නේ.
අපේ උසස් පෙළ ශිෂ්‍යාවන්ගෙන් ඇහුවොත් ඉගෙන ගෙන ඉවර වෙලා
මොකද කරන්නේ කියලා අරමුණක් නැහැ. නමුත් බටහිර රටවල
දරුවන්ට පාසල් අධ්‍යාපනයේදීම අරමුණක් දෙනවා යා යුත්තේ
කොහාටද කියලා.
අපේ ජාතක කතා පොතේ "අපන්තක" වන්නුපත" ජාතකවලින් අපිට
කියලදීලා තියෙනවා ජීවිතය සරුකරගන්නේ කොහොමද කියලා. මේවා
ගැන දරුවන්ට කියලා දෙන්න ඕන. තෙරණියන්ගේ ජීවිත කොච්චර
ප්‍රබලද? අද අපේ සෝමවීර සේනානායක, ගාමිණි සුමනසේකර වැනි
ලේඛකයන් මේ කාර්යයට අත ගසා තිබෙනවා. ඒවා තරුණයන්ට කියවීම
සඳහා දිය යුතුයි. කතා රසය, සාහිත්‍ය රසය පිරී ගිය ඒවා
මිනිසුන් පිළිබඳ වීර කතා ලෙස අප හැදෑරිය යුතු යුගය
ඇවිල්ලා. බෞද්ධ සම්මේලනයටත් අප කෘතඥතාව පළකළ යුතුයි.
සමාජ විද්‍යාත්මකව බැලුවොත් අපිට රටවල්වල සංස්‌කෘතිය
සංසන්දනය කර ඒ රටවල් ගැන තක්‌සේරු කරන්න බැහැ. නමුත් රටක
සංස්‌කෘතිය, ඇගයීම්, සිරිත්විරිත් අනුව යම් රටකට මිනුමක්
දෙන්න පුළුවන්.
ඒ අනුව අපේ සංස්‌කෘතිය ගැන අභිමානයක් හිතෙනවා. අපේ තියෙන
විශේෂත්වය තමයි අපි කිසිම විටෙක අනුන්ගේ කිසිවක්
හෙළාදකින්නේ නැහැ. ඒ ඒ බෞද්ධ සංස්‌කෘතියේ විශේෂත්වයක්.
සංස්‌කෘතික ඇමැති පියසිරි විඡේනායක මහතා - අද යුද්ධයෙන්
නිදහස් වූ රටක් අපිට හිමිව තිබෙනවා. ඒ නිසා යුද්ධයෙන්
නිදහස් වූ ජාතියක් බවට අපි පත් වී සිටිනවා.
සංස්‌කෘතික ඇමැතිවරයා ලෙස සංස්‌කෘතික අමාත්‍යාංශය හරහා අපේ
පැරණි පොත් ජාතික උරුමයන් ලෙස නම් කිරීමට අදහස් කර
තිබෙනවා. ඒ වගේම අනෙකුත් වන්නම් වැනි වෙනත් පැරණි සාහිත්‍ය
කෘතීන්, ජාතක පොත්වහන්සේ ඇතුළු ජාතික උරුමයන් ආරක්‍ෂා කර
රැකගන්නත් අපි කටයුතු කරනවා.
ලබන වසරේදි සාහිත්‍ය උළෙල වනවිට අපේ පැරණි සාහිත්‍ය සරල
බසින් පරිශීලනය කර සාමාන්‍ය ජනතාව අතට යෑවීමටත් ඒ සඳහා අපේ
අමාත්‍යාංශය සහාය ලබාදීමටද කටයුතු කරනවා.
මෙම උත්සව අවස්‌ථාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ, ආචාර්ය
ප්‍රනීත් අභයසුන්දර, සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ
සභාපති ජගත් ප්‍රිය අනුර සුමතිපාල යන මහත්වරුන්ද මහාචාර්ය
කුසුමා කරුණාරත්න මහත්මියද අදහස් දැක්‌වූ අතර මහා
සංඝරත්නය, සම්භාවනීය ආරාධිතයන්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද
සහභාගි වී සිටියහ.
|
|
|
|