මේ නවකතා කියවලා
නාස්‌ති කරන්න කාලයක්‌ මට නැහැ

මහාචාර්ය සුචරිත ගම්ලත්

සාහිත්‍ය උත්සව රැසක ප්‍රතිඵල නිකුත් වී ඇත. සම්මාන ලද්දෝ කුල්මත්ව අදහස්‌ පළ කරන අතර සම්මාන නොලද්දෝ අප්‍රසාදයෙන් අදහස්‌ පළ කරති. කෙසේ වෙතත් මෙවර සම්මනා ලද කෘති සම්බන්ධයෙන් වුව විචාරකයන් තුළ ඇත්තේ සුබවාදී අදහස්‌ නොවේ. මේ මහාචාර්ය සුචරිත ගම්ලත් ඒ පිළිබඳව දක්‌වන අදහස්‌ය.

ප්‍රශ්නය - සාහිත්‍ය සම්මාන ගැන ඔබ කුමක්‌ද සිතන්නේ.......?

පිළිතුර - අද සාහිත්‍ය සම්මානවලට කිසිම මිනුම්දඬුවක්‌ නැහැ. ඔහේ නවකතා බලලා හිතුණු හිතුණු අයට තෑගි දෙනවා. ඒ ගැන කතා කරන්න දෙයක්‌ නැහැ.

ප්‍රශ්නය -ඔබට අනුව නවකතාවෙන් වියයුත්තේ කුමක්‌ද?

පිළිතුර - නවකතාවට විෂය විය යුත්තේ කිසියම් සමාජ පන්තියකුයි. නැත්නම් සමාජ කොට්‌ඨාසයකුයි. ඒත් කවර සමාජ පන්තියක්‌ හෝ පන්ති ඛණ්‌ඩයක්‌ විෂය කර ගත්තත් ඒ පන්ති ඛණ්‌ඩයේ සත්‍යය අපට නවකතාව තුළින් හෙළිදරව් වෙන්න ඕන. අපට පිටින් බැලුවාම සත්‍යය පෙනෙන්නෙ නැහැනෙ.. ඒ නිසා තමයි විද්‍යාව අවශ්‍ය වෙන්නේ. විද්‍යාව තුළින් පිටින් පෙනෙන දේහි ඇති නොපෙනෙන දේ බලනවා. නවකතාවෙන් කරන්නෙත් මේ විද්‍යාවෙන් කරන දේමයි. යථාර්ථ කියන්නෙ පෙනෙන්න තියෙන දේ නෙවෙයි. පෙනෙන දේහි නොපෙනෙන, සැඟවුණු දේයි. ඒ අනුව යථාර්ථවාදය කියන්නේ ඒ නොපෙනෙන දේ පෙන්වීමයි.

විද්‍යාවෙන් කරන්නේ නොපෙනෙන දේ පෙන්වීම වුණත් එය ඉන් ගෙනහැර පාන්නේ කිසියම් න්‍යාය පද්ධතියක්‌ ලෙසයි. නවකතාවේදී එහෙම වෙන්නේ නැහැ. ඉන් යථාර්ථය ගෙන හැර පාන්නෙ සංකල්ප රූප පොකුරක්‌ හැටියටයි. එය විද්‍යාවෙන් ඒ දේ කරනවාට වඩා විශදයි. පැහැදිලියි. තීව්‍රයි.

ප්‍රශ්නය - සාහිත්‍ය විචාර මිනුම්දඬු ගැන බැලූ විට එය ඉතිහාසය තුළ ක්‍රම ක්‍රමයෙන් වෙනස්‌ වූ බව පෙනෙනවා. ඔබ කියන මිනුමත් එසේ වෙනස්‌ විය නොහැකිද?

පිළිතුර - ලෝකයේ සාහිත්‍ය විචාරයේ යථාර්ථවාදී මිනුම් දඬු වෙනස්‌ වී නැහැ. යථාර්ථය නිරූපණය කරන ක්‍රම නම් නොයෙකුත් ලෙස වෙනස්‌ වී තිබෙනවා. උදාහරණයකට තෝල්ස්‌තොයි, ලෝරන්ස්‌ එය එක්‌ විධියකට නිරූපණය කළා. ස්‌පාඤ්ඤ භාෂාවෙන් ලියන ලේඛකයො එය තව විධියකට නිරූපණය කළා. පුරාණ ගී්‍රක්‌ ලේඛකයො එය තවත් විධියකට නිරූපණය කළා.

ප්‍රශ්නය - ඔබට අනුව අධි යථාර්ථවාදී රීතියේදී මේ මිනුම් වෙනස්‌ වෙනවාද?

පිළිතුර - ඔය දෙක අතර වෙනසක්‌ මම දකින්නෙ නැහැ. එකම විෂය ක්‍ෂේත්‍රයකුයි දෙගොල්ලම ඉදිරිපත් කරන්නෙ. ඒත් රීති පිළිබඳව වෙනසක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - සාහිත්‍ය රචනය හැදෑරිය යුතු ප්‍රමාණය ගැන ඔබ නිතර අදහස්‌ දක්‌වනවා...?

පිළිතුර - සාහිත්‍යය කියන එක ක්‍රමයෙන් වර්ධනය වෙමින් යන දෙයක්‌. කිසියම් කාලයක සාහිත්‍යය මූලාරම්භය වුණාද එතැන් සිට විවිධ සාහිත්‍යකරුවන් හා ගුරුකුල එය පෝෂණය කළා. සම්ප්‍රදානයන් කළා. අද සාහිත්‍යය දෙස හොඳට බැලුවාම එහි පුරාණ සාහිත්‍යයක්‌ තිබෙනවා පෙනෙනවා. නමුත් අද එය ක්‍රමයෙන් වෙනස්‌ වී සංවර්ධනය වී තිබෙනවා. මේ සංවර්ධනය, විකාශය දැන ගැනීම තමයි සම්ප්‍රදාය දැන ගැනීම කියන්නෙ. ඕනෑම සාහිත්‍යකරුවකු මේ සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ. අපේ සාහිත්‍ය සම්ප්‍රදාය විතරක්‌ නෙවෙයි. බටහිර නවකතා, රුසියානු නවකතා, භාරතීය නවකතා යන සියලු නවකතා හා ඒ යුගවල ශෛලීන් ආදියත් ඔහු හදාරා තියෙන්න ඕන.

පැරැණි සංස්‌කෘත විචාරකයනුත් මේ ගැන කියා තිබෙනවා. ඔවුන් කියනවා කලා නිර්මාණයේ නීති තුනක්‌ තිබෙනවා කියල. එකක්‌, සහජයෙන් එන සාහිත්‍ය ලැදියාව. දෙවැන්න සතතාභ්‍යාසය. ඒ කියන්නෙ වෙනත් කලාකරුවන් කළ කලා නිර්මාණ ඇසුරු කරමින් නිරන්තර අභ්‍යාසය. ඊළඟට ව්‍යqත්පත්තිය. එනම් බොහෝ කොට හැදෑරීම, දැන ගැනීම. Edමජ්එසදබ. උදාහරණයකට මම අද උදේ "ශාර්ංගධර" කියා සංගීතය ගැන මධ්‍යකාලීන යුගයේ ලියෑවුණු පොතක්‌ කියවමින් සිටියා. ඒ පොතේ කියනවා ගේය පද රචකයා දැන ගත යුතු විෂය විසි හතක්‌ ගැන. යමෙක්‌ සාහිත්‍යයේ නිරත වෙන්නට අදහස්‌ කරනවා නම් ඔහු බටහිර නවකතාවේ සිට සහ සිංහල සාහිත්‍යයේ මුල සිට හැදෑරිය යුතුයි. ඒ හැදෑරීම තුළින් අර සම්ප්‍රදාය ඔහුගේ ස්‌නායු පද්ධතියට ආවාමයි කාව්‍යාත්මක විධියට ඔහුට යථාර්ථය ග්‍රහණය කර ගත හැක්‌කේ. දැන් අපේ නවකතාකාරයො මේ සම්ප්‍රදාය දැන ගෙන තිබෙනවාද? බටහිර නවකතා කියවා තිබෙනවාද? සිංහල චිරන්තන සම්භාව්‍ය සාහිත්‍යය කියවා තිබෙනවාද? හැබැයි සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ වැන්නන් දෙස බැලුවාම ඔවුන් ඒ සම්ප්‍රදාය හදාරා තිබෙනවා.

අද ඔය සම්මාන දිනා සිටින ලේඛකයන්ගෙන් ඔවුන් කියෑවූ බටහිර සාහිත්‍ය කෘති ගැන අහන්න. පැරැණි සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෘති ගැන අහන්න. කිසි දෙයක්‌ දන්නෙ නැහැනෙ. ඉංගී්‍රසි දන්නෙත් නැතුව පාලි - සංස්‌කෘතික භාෂා දන්නෙත් නැතුව ඒ සියලු දේ අද ඉවරවෙලානෙ. පැරැණි සිංහල සාහිත්‍යය තියා වර්තමාන සිංහල සාහිත්‍යයවත් ඔවුන් දන්නේ නැහැ. දැන් මගේ ඉංගී්‍රසි සිංහල ශබ්ද කෝෂය පළ කරන ප්‍රකාශන ආයතනයේ ළමයකුගෙන් මම ඇහුවා පිතාමහ කියන්නෙ මොකක්‌ද කියල. මේ ළමයි උසස්‌ පෙළ සමත් වෙච්ච ළමයි. "සිංහබාහු" නාට්‍යයේ පවා පිතාමහ ගැන කියා තිබෙනවා. ළමයි නාට්‍යය බලලා තියෙනවා. නාට්‍ය පොතත් කියවලා තියෙනවා. නමුත් පිතාමහ දන්නෙ නැහැ. පිතාමහ කියන්නෙ සීයාට.

ප්‍රශ්නය - පසුගිය වසරේ රාජ්‍ය සාහිත්‍යය සම්මානය ලත් ලියනගේ අමරකීර්තිගේ "අටවක පුත්තු" ගැන ඔබ නිර්දය ලෙස කතා කළා...?

පිළිතුර - නවකතාවක භාෂාව නිරන්තයෙන් මානව හැඟීම් ස්‌පර්ෂ කළ යුතුයි. ඒත් "අටවක පුත්තු" වල තියෙන්නෙ හැඟීම් මැරුණු කතා කරන බාල බස. මේ ගොල්ලො නවකතාව කියල සිතන්නෙ හුදෙක්‌ මොකක්‌ හෝ කතාවක්‌ අටවලා ඉදිරිපත් කිරීම විතරයි. ඔවුන් නවකතාකරුවාගේ කාර්ය භාරය අවබෝධ කර ගෙන නැහැ.

මේ ගැන කථා කරද්දී හුඟක්‌ දෙනෙක්‌ මට විවිධ අයුරින් චෝදනා නඟනවා. සේන තෝරදෙණිය කියල තියෙනවා සුචරිත ගම්ලත් නවකතා කියවන්නෙ නැහැ. ඒ නිසා ඔය මිනිහා නවකතා ගැන දන්නෙ නැහැ කියල. ඔව්. මම මේ නවකතා කියවන්නෙ නැහැ. මොකද තෝරදෙණියට වගේ මට නාස්‌ති කරන්න වෙලාව නැහැ. මේ නවකතා කියවල නාස්‌ති කරන කාලයේදී මම "දාස්‌ කැපිටාල්" කියවනවා.

ප්‍රශ්නය - නවකතාවක ප්‍රධාන අංගය විශ්වසනීයත්වය යෑයි සරච්චන්ද්‍ර සඳහන් කරනවා. නමුත් අධියථාර්ථවාදයේදී මුලින්ම බිඳී යන්නේ විශ්වසනීයත්වය...?

පිළිතුර- සරච්චන්ද්‍ර නවකතාව මැනවින් තේරුම් ගැනීමට හැකි මිනුම් දණ්‌ඩක්‌ සම්පාදනය කළේ නැහැ. නිදර්ශනයක්‌ හැටියට ඔහු "ගම්පෙරළිය" ගැන කියන දේ බලන්න. ඔහු කියනවා "ගම් පෙරළියෙන්" ජීවිතයේ අනිත්‍යය නිරූපණය කරනවා කියල. නවකතාවෙන් ඕක නම් කරන්නෙ ඕකට "ගම්පෙරළිය" ඕන නැහැනෙ. ධම්මපදය තියෙනවානෙ. "ගම් පෙරළියෙන්" ඇත්තටම කියන්නෙ ශ්‍රී ලංකා ඉතිහාසයේ එක්‌තරා සන්ධිස්‌ථානයේදී ඇති වූ විශාල සමාජ විපර්යාසයක්‌ ගැනයි. ඒ සමාජ විsපර්යාසයට "ගම් පෙරළියෙන්" හේතූත් පෙන්වනවා. බටහර ධනවාදය මෙරට එවකට තිබූ වැඩවසම් සමාජය ඇතුළට කාගෙන ගොස්‌ ඒ ජීවන ක්‍රමය විනාශ කර දැමීම පමණක්‌ නොවෙයි, ඒ ජීවන ක්‍රමයට පාදක වූ කරුණාව, මෛත්‍රිය, ඥාති මිත්‍ර සබඳතා, උපේක්‍ෂාව ආදී සියලුදේත් විනාශ කර දමා හුදෙක්‌ මුදල් ඉපැයීමේ ධනවාදී ක්‍රමයක්‌ ස්‌ථාපනය කරන අයුරු ඉන් පෙන්වනවා. ඒත් සරච්චන්ද්‍රට මේ යථාර්ථවාදී නවකතාව විවේචනය කිරීමට හෝ ඒ ගැන අනෙක්‌ අය මෙහෙයවීමට හෝ න්‍යායක්‌ තිබුණේ නැහැ. සරච්චන්ද්‍රට අවුරුදු 75 ක්‌ සපිරුණු වෙලාවෙ කළ කථාවේදී - සරත්චන්ද්‍රdභිනන්දන -මම මේ ගැන කියා තිබෙනවා.

කොහොම වුණත් නවකතාව තාත්වික විය යුතුයි කියා සටන් පාඨයක්‌ සරච්චන්ද්‍ර ගෙනාවා. ඒ සටන් පාඨයේ ඒ වෙලාව ඓතිහාසික අර්ථයක්‌ තිබුණා. මොකක්‌ද අර්ථය? බලන්න, ඒ වෙලාවෙ මොනවාද නවකතා වශයෙන් ලියෑවුණේ කියල. ඒ පියදාස සිරිසේනගේ නවකතා, ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නවකතා, සයිමන් ද සිල්වාගේ නවකතා ආදියයි. ඒවායේ තිබුණේ අමු අද්භූත ලෝකවලට පාඨකයො ගෙන යන දේ. ගල්ගුහාවල ඉන්න දෙවි දේවතාවො, අදෘෂ්‍යමාන බලවේග විසින් මිනිසුන් මෙහෙයවීම, ආදි දේ. ඉතින්, මේ මිථ්‍යාවට එරෙහිව පළමු වෙඩිමුරය මාර්ටින් වික්‍රමසිංහ පත්තු කළා. සරච්චන්ද්‍රට මේ ප්‍රශ්නය පැහැදිලි කරන්න ඕනකම තිබුණා. නවකතාව කියන්නෙ ගල්ලෙන්වල අද්භූත කතා නොව. මේ අද අප ජීවත් වන ලෝකයේ කතාවයි කියල කියන්න ඔහුට වුවමනාව තිබුණා. ඉතින් මේක පැහැදිලි කරන්න සරච්චන්ද්‍රට තිබුණු එකම වචනය තමයි තාත්වික යන වචනය. ඉන් කියා සිටියේ අද්භූත දේ නොව අපේ ජීවිතවලට වන දේයි ඉදිරිපත් කළ යුත්තේ කියන එක. ඉතින් ඓතිහාසිකව එහි එබඳු වැදගත්, අර්ථයක්‌ තිබුණා. ඒත් ඒ අර්ථය තවදුරටත් වලංගු ද? නැහැ. ඒ කියන්නෙ තාත්වික වූ පලියට නවකතාවක්‌ වෙන්නෙ නැහැ.

ඊළඟට සරච්චන්ද්‍ර කල්පනා ලෝකවාදයක්‌ ගෙන ආවා. ඒත් කල්පනා ලෝකවාදය අර තරම් වත් වැදගත් එකක්‌ නෙවෙයි. ඉන් සාහිත්‍යයේ කාර්ය භාරය සුන් කර දමනවා.

ප්‍රශ්නය - ඉන්ද්‍රජාලික යථාර්ථවාදය තුළ තාත්වික වාදය, යථාර්ථවාදය තවදුරටත් නිෂේධනය වෙනවා......?

පිළිතුර - ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ ඇතැම් සිද්ධි ඉන්ද්‍රජාලික වුණාට ඉන් නිරූපණය කරන්නේ යථාර්ථවාදී තත්ත්වයයි. දැන් බලන්න, කෆ්කාගේ කතා. ඒවා මේ ලෝකයේ වෙන්න පුළුවන්ද කියල සිතුණට අවසානයේ එළැඹෙන්නෙ යථාර්ථවාදයටනේ.

ප්‍රශ්නය - විඥන ධාරා රීතිය ගැන ඔබේ අදහස....?

පිළිතුර - විඥන ධාරා රීතිය ගෙනාවේ ඡේම්ස්‌ ජොයිස්‌. ඉන් කරන්නෙ සිතන හැටියට කතා කිරීමයි. (Sචැaන as සඑ ජදපැs එද හදම) මනසට සිතිවිලි පිවිසෙන හැටියට ලිවීමයි. සිතුවිලි දම කියා ඊට කිව හැකියි.

ප්‍රශ්නය - විඥන ධාරා රීතියෙන් ලිවීම ආරම්භ කළ බටහිර රචකයන් අතර ජොයිස්‌ වගේම වර්ජිනියා වුල්ෆ්ද සිටිනව.d. නමුත් වර්ජනීයා හෝ අනෙක්‌ ලේඛකයකු ගැන අපේ සාහිත්‍යයට පැමිණ නැහැ.......?

පිළිතුර - එහෙම එනවා නම් එන්න තියෙන්නේ පරිවර්තන මාර්ගයෙන්. ඒත් පරිවර්තන සාහිත්‍ය කෘතියක්‌ හරියට කරන්න නම් කෙනකුට භාෂා දෙකම ගැන මනා පරිචයක්‌ තියෙන්නෙ ඕන. එපමණක්‌ නොවෙයි. ඔහු කවියෙක්‌, සාහිත්‍යකාරයෙක්‌ වෙන්නත් ඕන. එහෙම මිනිස්‌සු අපට නැහැ. එහෙම හිටපු එක්‌ පරිවර්තකයෙක්‌ මම දන්නවා. ඒ, ඒ. පී. ගුණරත්න.

ප්‍රශ්නය - සිරිල් සී. පෙරේරා ගැන ඔබ කුමක්‌ද සිතන්නේ...........?

පිළිතුර - මට කියන්න වෙන්නෙ ඔහු මෙවලම් පරිවර්තකයෙක්‌ කියලයි. ඔහු නිර්මාණාත්මක පරිවර්තකයෙක්‌ නෙවෙයි. හුදෙක්‌ කතාව පරිවර්තනය කරන්නෙක්‌.

මට මෙහිදී කතාවක්‌ මතක්‌ වෙනවා. තෝල්ස්‌තෝයිගේ "ඇනා කැරනිනා" මම පසුගිය දවස්‌වල පරිවර්තනය කරමින් සිටියා. ඒත් ඒක කරගෙන යද්දී මෙන්න, සරසවි ප්‍රකාශකයන් ඒකෙ පරිවර්තනයක්‌ එළියට දැම්මා. ඒක මෙවලම් පරිවර්තනයක්‌. මම වැඩේ අතෑරලා දැම්මා.

ප්‍රශ්නය - නමුත් ඒ පරිවර්තනයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වුණා.....?

පිළිතුර - වෙන්න ඇති. සම්මාන දෙන එවුනුත් එකයි. ගන්න එවුනුත් එකයි. විනිශ්චය කරන එවුනුත් එකයි. ඒ විනිශ්චය මණ්‌ඩල පත් කරන එවුනුත් එකයි. ඔය පොත පරිවර්තනය කරල තියෙන්නේ ස්‌වර්ණකාන්ති රාජපක්‍ෂ කියල දෙනෙක්‌. මම පොත ගෙන්න ගෙන බැලුවා. තනිකර මෙවලම් පරිවර්තනයක්‌. "ඇනා කැරනිනා" කියන්නෙ තෝල්ස්‌තෝයිගේ ශේ්‍රෂ්ඨම කෘතියයි. ඔහුගේ "යුද්ධය හා සාමය " ටත් වඩා මනුෂ්‍ය ජීවිතය ගැන, එහි සංකීර්ණතා ගැන ඉන් නිරූපණය කරනවා. ඒත් ඒ සියලු දේ ර¹ පවතින්නේ භාෂාව උඩයි. ඒ ඒ චරිතවල භාවයන් සියල්ල මතු කරන්නෙ භාෂාවෙනුයි. ඒත් මේ පරිවර්තිකාවට ඒ භාෂා අවබෝධය නැහැ.

ප්‍රශ්නය - ඇයි ඔබ කරමින් සිටි පරිවර්තනය අතරමග නතර කළේ....?

පිළිතුර - මට ඒක එපා වුණා.

ප්‍රශ්නය - "ඇනා කැරනිනා" මීට පෙර මුනිදාස සෙනරත් යාපා මහතාත් පරිවර්තනය කර තිබෙනවා.....

පිළිතුර - ඔව්. ඒකත් මෙවලම් පරිවර්තනයක්‌. කොටින් ම ඒකෙ අග පරිච්ඡේදය හයත් නැහැ. කපලා දාලා. මම ඇහුවා "යාපා ඇයි මේ පරිච්ඡේද හළලා?"කියල. මිනිහා කියනවා "ඕවා දිග වැඩිනේ ඕයි" කියලා.

ප්‍රශ්නය - ගාමිණී වියන්ගොඩ ගැන ඔබේ අදහස?

පිළිතුර - මෙවලම් පරිවර්තකයෙක්‌ම තමයි. ඉස්‌සෙල්ලා පරිවර්තකයා සාහිත්‍යකාරයෙක්‌ වෙන්න ඕනෙ. දැන් නිදර්ශනයක්‌ මට මතක්‌ වෙනවා. කේ. ජී. කරුණාතිලකගෙ පරිවර්තනයක්‌ තියෙනවා. "බල්ලා සහිත කාන්තාව" කියල. ඒක ඉංගී්‍රසියේ තියෙන්නේ ඔයෑ ඛ්dහ අසඑය එයෑ Dදට කියල. චෙකොෆ් රසියන්වලින් ඒක කොහොම දැම්මද කියල අපි දන්නෙ නැහැ. නමුත් ඔතන බල්ලෙක්‌ කිව්වට ඌ වල් බල්ලෙක්‌, කුක්‌කෙක්‌ද? එහෙම එකෙක්‌ නෙවෙයි. පූඩ්ල් බල්ලෙක්‌. සිංහලයෙන් බල්ලා කිව්වාම එන්නෙ නිකන් බලු හැඟීමක්‌නෙ. ඒත් රසියන්වලදී එන්නේ හුරුබුහුටි පූඩ්ල් බල්ලෙක්‌ගෙ හැඟීමක්‌. ඒ නිසා "බල්ලා සහිත කාන්තාව" කිව්වාම අර මුල් අර්ථය සම්පූර්ණයෙන් විකෘති වෙනවා. ඊට පස්‌සෙ කවුදෝ ඒක "බල්ලා සමඟ යන කාන්තාව" කියල පරිවර්තනය කළා. ඒත් එතැනදීත් අර මුල් හැඟීම විකෘති වෙනවා. මම ඕකට දැම්මෙ "බල්ලා සමග සරන ලිය" කියල. ඒකෙන් වුණත් මුල් අරුතම ගන්න බැරුව ඇති.

ප්‍රශ්නය - අපට සුදුසු විචාර ක්‍රමයක්‌ ගොඩනඟා ගන්නේ කෙසේද කියා මාර්ටින් වික්‍රමසිංහ මහතා නිතර ලියා තිබෙනවා. ඔබට හැඟෙන පරිදි අපට උචිත විචාර ක්‍රමය කුමක්‌ද?

පිළිතුර - වික්‍රමසිංහ මහතා "සිංහල සාහිත්‍යයේ නැඟීම" ලියූ කාලයේ සිට දුර්මතයක්‌ දරා ගෙන සිටියා. ඒ තමයි අපට ස්‌වාධීන චින්තනයක්‌ තිබුණා කියන එක. එය පදනම් වී ඇත්තේ බුද්ධාගම උඩය කියලත් කිව්වා. ඒක තමයි ප්‍රධාන අවිද්‍යාව. අපට කවදාවත් දේශීය චින්තනයක්‌ තිබුණෙ නැහැ.. ඉන්දියාවෙන් ආපු චින්තනයක්‌ අපට තිබුණෙ. බුද්ධාගම ආවෙත් අපට ඉන්දියාවෙන්. දැන් සාහිත්‍ය කලා යනාදිය අපට බුද්ධාගමෙන් ආවෙ නැහැනෙ. ආවෙ සංස්‌කෘතවලින්. වික්‍රමසිංහ සංස්‌කෘතයට ගහන්න පටන් ගත්තේ "කව්සිළුමිණ"ට ගහමින්. මොකද ඒකෙ මත්පැන් පානය ගැන වර්ණනා කරනවා. මේක හරිම කුහක ත්වයක්‌නේ. වික්‍රමසිංහ සැබෑ ජීවිතයේදී මත්පැන් බොනවා. ඒත් කව් සිළුමිණේ බොනවාට ගහනවා.

වික්‍රමසිංහ කියනවා බෞද්ධ විචාර කලාවක්‌ තියෙනවා කියලා. ජාතක කතා පොතෙන් ඒ විචාර කලාව ගොඩනගන්න පුළුවන්ලු. මට නම් එහෙම කළ හැකියි කියල පේන්නෙ නැහැ. අනෙක බෞද්ධාගම තුළ බොහෝ කලා ප්‍රතික්‍ෂේප වෙනවා. සංගීතය, නැටුම් බෞද්ධාගම තුළ හඳුන්වන්නේ ගර්හිත කලා වශයෙන්. චිත්‍ර කලාවට පමණයි බෞද්ධාගම තුළ ඉඩක්‌ තිබුණේ.

සරච්චන්ද්‍ර භාවිත විචාරය ගැන කතා කළා. ඒත් මට සිතෙන්නේ ඒක යම් කාලයක අවශ්‍ය වුණා විතරයි. කාව්‍යයෙන් බණ කියන්නයි උපදේශ දෙන්නයි පටන් ගත්තාමයි භාවිත විචාරය භාවිතයට ගැනුණෙ. අයි. ඒ. රිවර්ඩ්ස්‌ එහිදී කිව්වේ ඔeංඑ එක තියා ගන්න, එයින් පිට ඒවා අදාළ නැහැ කියල. ඒ කියන්නෙ ඔeංඑ ඒකෙ වචන විග්‍රහ කිරීමෙන් ඒ ඒ අර්ථ ගන්න පුළුවන් කියල කිව්වා. සරච්චන්ද්‍රත් මේකම කිව්වා. ඒක කාව්‍ය විචාරයට හරි. ඒත් අද අපට ඒක විතරක්‌ ප්‍රමාණවත් නැහැ. ඊට තව දේවල් එකතු කරන්න ඕන. විශේෂයෙන් සංස්‌කෘත කාව්‍ය විචාරයෙන් අපට බොහෝ දේ ගත හැකිය.s ඇත්තටම කිව්වොත් අයි. ඒ. රිච්ඩ්ස්‌ කියූ දේ කෙළින්ම සංස්‌කෘතයේ තියෙනවා.

ප්‍රශ්නය - මෙරට සාහිත්‍ය ඉතිහාසයේ අඩ සියවසක පමණ කාලයක්‌ පුරා සිදුවූ දේ ඔබ සියෑසින් දකින්න ඇති. එදා සාහිත්‍ය සම්මාන සහ අද සාහිත්‍ය සම්මාන ගැන ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර - මීට අවුරුදු පණහකට ඉස්‌සෙල්ලා මෙරට සාහිත්‍යයේ ඉහළ මට්‌ටමක්‌ තිබුණා. බොහෝවිට සාහිත්‍යය නිර්මාණය කළේ ත්‍රිභාෂික උගත්තු. එකල සාහිත්‍යකරුවන්ගේ භාෂාව පිරිහිලා තිබුණෙ නැහැ. අද තියෙන භාෂාවෙන් එදා ලිව්වා නම් කවුරුවත් ඒ පොත් පිළිගන්නේ නැහැ. ඒ නිසා එදා දුන්නු සම්මානවලත් හොඳ මට්‌ටමක්‌a තිබුණා. උදාහරණයකට 1959 අවුරුද්දෙ සාහිත්‍ය සම්මානයක්‌ මටත් ලැබුණා. ඒ, මගේ "කව් සිළුමිණි විනිස"ට අනුක්‍රමයෙන් ඒ තත්ත්වය පිරිහුණා. දැන් බලන්න අද කවුද සාහිත්‍ය මණ්‌ඩලයේ සභාපතිරෑ ඉස්‌සෙල්ලාම සාහිත්‍ය මණ්‌ඩලයේ සභාපතිව සිටියේ කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර හාමුදුරුවො. උන්වහන්සේ විද්‍යංලාකාර පිරිවෙනේ නායක හාමුදුරුවෝ. පාලි, සංස්‌කෘත, ප්‍රකෘත දන්නා මහා ඉහළ පණ්‌ඩිත හාමුදුරුවරු නමක්‌. උන්වහන්සේ නවකතා විවේචනය කරන්න ගියේ නැහැ. සාහිත්‍ය මණ්‌ඩල සභාපති පුටුවේ වාඩිවෙලා හිටියා. ඒත් දැන් ඒ පුටුවල ඉන්නේ කවුද?

ප්‍රශ්නය - කුමක්‌ද ඊට හේතුව.......

පිළිතුර - හේතුව පරිහානිය. බලන්න, අපේ පාසල් අධ්‍යාපනයෙන් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය නැති කළේ නැද්ද? ඉංගී්‍රසි භාෂාව නැති කළේ නැද්ද? ප්‍රාචීන භාෂා නැති කළේ නැද්ද? නැති කළාම මොක්‌කුද එන්නෙ? පුස්‌සො. පුස්‌සො තමයි විචාරකයො වෙන්නෙත්, නවකතා ලියන්නෙත්, කෘති විනිශ්චය කරන්නෙත්a.

ප්‍රශ්නය - මෙවර සම්මාන ලද කෘති සම්බන්ධයෙන් ඔබ විචාරාත්මක මැදිහත් වීමක්‌ කරන්න අදහස්‌ කර සිටිනවාද?

පිළිතුර - ඔව්. සාහිත්‍ය උත්සවයට පසුවදනක්‌ ලෙස සම්මන්ත්‍රණයක්‌ කරන්න අපි අදහස්‌ කර සිටිනවා.

සාකච්ඡා කළේ රවීන්ද්‍ර විඡේවර්ධන

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v