"සෙසු රටවලට අභියෝගයක්‌ වීමට
පන්දු රැකීම ඉහළ මට්‌ටමක තිබිය යුතුයි"

චමිල කරවිට

මෙම මස 22 වැනිදා දකුණු අප්‍රිකාවේ ආරම්භ වීමට නියමිත චැම්පියන්ස්‌ කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ (16 දා) ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේදී ආගමික වතාවත් වලට සහභාගි වූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.
ඡායාරූප නිශාන් එස්‌. ප්‍රියන්ත

එළැඹෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී සෙසු කණ්‌ඩායම් සමගින් එකම මට්‌ටමකින් ක්‍රීඩා කොට දක්‍ෂතා දැක්‌වීමට නම් පන්දු රැකීමේ අංශය උපරිම තලයක තබාගත යුතු බව පවසන ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්‌කාර, තමන්ගේ යුතුකම් කොටස නිසියාකාරව ඉටු කළ හොත් මෙවර තරගාවලිදීයේ සෑහෙන දුරකට යැමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට හැකියාව තිබේ යෑයි තමන් විශ්වාස කරන බව පැවැසීය.

ලබන 22 වැනිදා දකුණු අප්‍රිකාවේදී ආරම්භ වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යැමට පෙර ඊයේ (16 දා) උදැසන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය ඇමතූ සංගක්‌කාර ඉහත අදහස්‌ පළ කර සිටියේය.

පසුගියදා එංගලන්තයේදී පැවැති පන්දුවාර 20-20 ලෝක කුසලාන අනුශූරතාව දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්‌ඩායම සිය මව්බිමේදී එක්‌දින සහ ටෙස්‌ට්‌ තරගාවලි කිහිපයකටම සහභාගි වූ අතර එහිදී සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට සමත්විය. එහෙත් අවසන් වරට පැවැති තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ශූරතාව අහිමි වූයේ අනපේක්‍ෂිත අයුරින් අවසන් මහ තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 46 ක පරාජයක්‌ ලැබීම නිසාවෙනි.

"ඒ පරාජයට වඩා අපි වඩා සැලකිලිමත් වෙන්න ඕන ඉදිරි තරගාවලිය ගැන. එහිදී පිතිකරුවන් ලකුණු අතර සිටින එක හෝ පන්දු යවන්නන් හොඳින් සෑම වෙලාවකම පන්දු යවයිද කියන එක හරියටම කියන්න බැහැ. නමුත් අපේ පන්දු රැකීම හැම වෙලාවකම උපරිම තත්ත්වයකින් තියාගන්න උත්සාහ කරන්න ඕන. එහෙම වුණොත් අපිට ඉතිරි කණ්‌ඩායම් සමගින් එකම මට්‌ටමකට ක්‍රීඩා කිරීමට හැකි වේවි."

"හැම ක්‍රීඩකයෙක්‌ම හිතන්න ඕන මේ පන්දුව එන්නේ මට, එතකොට මම මොකද කරන්නේ කියලා. ඒ වගේ වෙලාවකදී අසාර්ථකත්වයට පත්වුණොත් අපිට මුලු තරගාවලිය පුරාම දැඩි අසීරුතාවන්ට මුහුණ දෙන්න වෙනවා" යනුවෙන් ශ්‍රී ලංකා නායකයා පවසා සිටියි.

අදාළ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පන්දු රැකීම ඉතාම දුර්වල මට්‌ටමක පැවැතීම මත ඉන්දීය කණ්‌ඩායමට ලකුණු 319 ක්‌ දක්‌වා යැමට පහසුවෙන්ම ඉඩ ලැබිණ. එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක්‌ ලකුණු පුවරුවට එක්‌වන අතරවාරයේදී රාහුල් ඩ්‍රාවිඩ් විසින් කවර්ස්‌ කළාපයේ පන්දු රකිමින් සිටි ඩිල්ෂාන් අතට උඩ පන්දුවක්‌ ලබා දුන් අතර එහ ගිලිහී යැමෙන් එම සම්බන්ධතාව ලකුණු 95 දක්‌වා ඉදිරියට යැම ශ්‍රී ලංකාව දෙසින් ප්‍රබල පාඩුවක්‌ විය.

දිගු කාලයක්‌ තිස්‌සේ දේශීය තණතීරු හා දේශීය දේශගුණය යටතේ ක්‍රීඩා කර සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම, දකුණු අප්‍රිකාවේදී එම අභියෝගයට මුහුණ දීම පිළිබඳව අදහස්‌ දැක්‌වූ සංගක්‌කාර, හොඳ කණ්‌ඩායමක්‌ නම් අමාරු දේ කිරීමට ඉක්‌මනින්ම හුරු විය යුතු වන බව පවසා සිටියේය.

"මම හැම වෙලාවෙම කියන්නේ හොඳ කණ්‌ඩායමක්‌ නම් අමාරු දේ කරන්න ඉක්‌මනටම හුරු වෙන්න ඕන කියලා. අමාරු තණතීරු, අමාරු දේශගුණ, අපිට ඒවා වෙනස්‌ කරන්න බැහැ. කොහොම හරි ඒ මානසිකත්වයට අපි හුරුවෙන්න ඕන. එය අපේ දස්‌කම් වලට විශාල වශයෙන් බලපානවා." යනුවෙනි. ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌වී සිටින නවක ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්‌, තිළිණ කණ්‌ඩම්බි, තිලාන් සමරවීර සහ චාමර කපුගෙදරගේ දක්‍ෂතා පිළිබඳව ඉහළ විශ්වාසයක්‌ තබා සිටින ශ්‍රී ලංකා නායකයා ඔවුන්ගේ දක්‍ෂතා තවත් වැඩිදියුණු කරගනිමින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමගින් තරගාවලියේ ඉදිරියට යැමට බලාපොරොත්තු වෙන් පසුවෙයි.

"අලුත් ක්‍රීඩකයන් ඔවුන්ගේ කාර්ය හරියට කරනවා. අපිට හයියක්‌ වෙලා තියෙන්නෙත් ඔවුනුයි. මම හිතන්නේ නවක/ජ්‍යෙෂ්ඨ සියලු දෙනාම කණ්‌ඩායමක්‌ වශයෙන් හොඳින් ක්‍රීඩා කළ හොත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුලුවන්".

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායකයා, තරගාවලියට පෙර පුහුණු තරග 2 කට ක්‍රීඩා කිරීමට ලැබීමෙන් තණතීරු වල පන්දුව හැසිරීම, දේශගුණය, පන්දුවට පහර දෙන්නේ කෙසේද, පන්දු යවන්නේ කෙසේද යන්න අත්හදා බැලීමට හැකියාවක්‌ තිබෙන බව විශ්වාසය පළ කළේය.

කණ්‌ඩායමට එකවී සිටින නවක ක්‍රීඩකයන්ට එම තත්ත්වය අභියෝගයක්‌ නොවේදැයි මාධ්‍ය නැගූ පැනයකට අවසාන වශයෙන් පිළිතුරු දුන් ශ්‍රී ලංකා නායකයා, එය එසේ වීම එක අතකින් සුබ බවත්, එහිදී ඔවුන්ට චකිතයකින් හා කිසිදු භයකින් තොරව ක්‍රීඩා කිරීමට ලැබීම, තරගාවලියේ සාර්ථකත් වයට හොඳ රුකුලක්‌ බවත් තමාගේ පෞද්ගලික විශ්වාසය බව පවසා සිටියේය. එමෙන්ම තිළිණ කණ්‌ඩම්බි සහ ඇන්ජලෝ මැතිව්ස්‌ පසුගියදා අවසන් වුණු ශ්‍රී ලංකා "ඒ" දකුණු අප්‍රිකානු සංචාරයේදී හොඳින් ලකුණු අතර සිටි ක්‍රීඩකයන් බවද ඔහු මෙහිදී සිහිපත් කළේය.

"එක අතකට කණ්‌ඩායමකට අත්දැකීම් අඩු අයත් සිටීම හොඳ දෙයක්‌. මොකද ඔවුන්ට චකිතයකට හෝ බියවීමකට දෙයක්‌ නැහැ. ඔවුන්ට රිසී සේ ක්‍රීඩා කිරීමට පුලුවන්. එයත් සුබ දායක දෙයක්‌ කියලයි මගේ හැඟීම."

ශ්‍රී ලංකා කණ්‌ඩායම මුහුණ දෙනු ලබන පළමු පුහුණු තරගය පාකිස්‌තානු කණ්‌ඩායම සමගින් ලබන 18 වැනිදා බෙනෝනි හිදී සහභාගි වන අතර දෙවැනි තරගයට 20 දා බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමගින් ප්‍රිටෝරියා හිදී පැවැතවෙනු ඇත.

තරගාවලිය ලබන 22 වැනිදා ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්‌ඩායම සමගින් සෙන්චූරියන්හිදී ආරම්භ වේ.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v