ජාතික අපනයනකරුවන්ගේ මණ්‌ඩලයේ
වාර්ෂික සම්මාන උළෙල 25 වැනිදා


චමින්ද සිල්වා

ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්‌ඩලය මගින් පවත්වනු ලබන 17 වැනි වාර්ෂික සම්මාන උළෙල මෙම මස 25 වැනි සිකුරාදා හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහාම පමණක්‌ සේවය කිරීමට පිහිටුවා ඇති මෙම ජාතික අපනයනකරුවන්ගේ මණ්‌ඩලය 1993 වසරේ සිට අඛණ්‌ඩව පවත්වනු ලබන අතර මෙහි මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය තිරසාර මට්‌ටමින් පවත්වා ගැනීමටත්, පුළුල් කරලීමටත්, ඉහළ දායකත්වයක්‌ ලබාදෙන අපනයනකරුවන්ගේ ආයතන විශිෂ්ටත්වය ඇගයීමට ලක්‌ කරමින් ඉහළ දායකත්වයක්‌ ලබාදෙන අපනයනකරුවන්ගේ අපනයන විශිෂ්ටත්වය ඇගයීමට ලක්‌ කරමින් ඔවුන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමයි.

මෙවරද සම්මානලාභීන් භාණ්‌ඩ අපනයනය, වාණිජ්‍ය සහ වෘත්තීය සේවා අපනයනය, අපනයනකරුවන්ට භාණ්‌ඩ හා සේවා සපයන්නන් වශයෙන් ප්‍රධාන කාණ්‌ඩ තුනක්‌ යටතේ තෝරාගෙන ඇත.

සම්මාන ප්‍රදානය සඳහා ඉදිරිපත් කළ අයෑදුම්පත් රාජ්‍ය අංශයේ උසස්‌ නිලධාරීන් සහ පුද්ගලික අංශයේ වෘත්තීයවේදීන් ගෙන් සමන්විත විද්වත් විනිශ්චය මණ්‌ඩලයක්‌ මගින් ඇගයීමට ලක්‌කර ඇත. එමෙන්ම මෙම වසරේ විනිශ්චය මණ්‌ඩලයේ ප්‍රධානියා ලෙස ප්‍රසිද්ධ අලෙවිකරන විශාරදයෙක්‌ වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්‌ෂ ආචාර්ය උදිත ලියනගේ මහතා කටයුතු කරයි.

සෑම භාණ්‌ඩ හා සේවා අංශයකින්ම ජයග්‍රහණය කළ අපනයනකරුවන්ට ඔවුන්ගේ විශිෂ්ටත්වය අනුව ස්‌වර්ණ, රිදී සහ ලෝකඩ පදක්‌කම් මෙන්ම කුසලතා සහතිකද ප්‍රදානය කරනු ලැබේ. යම් භාණ්‌ඩ හා සේවා කාණ්‌ඩයක සියලු ප්‍රමාණයන්ට අයත් ව්‍යාපාරයන් ගෙන් සමස්‌ත ජයග්‍රහණය ලබා ගන්නා අපනයනකරුවාට එම අංශයේ කැපී පෙනෙන අපනයනකරු ලෙස ස්‌වර්ණ සම්මානය පිරිනමනු ලැබේ.

හොඳම ශ්‍රී ලංකා වෙළෙඳ නාමය යටතේ අපනයනය කරන අපනයනකරුට සහ අපනයනයේ නියෑලි හොඳම කාන්තවාට විශේෂ ස්‌වර්ණ සම්මාන ප්‍රදානය කරනු ලැබේ. මෙම වසරේ දී වඩාත් නම්‍යශීලී අපනයනකරුට සහ වඩාත් අගය එකතු කිරීමේ නියෑලි අපනයකරුටද අතිරේක ස්‌වර්ණ සම්මාන දෙකක්‌ පිරිනැමේ.

මෙම උළෙලේ ගෞරවනීය සම්මානය වන්නේ "වසරේ වඩාත්ම කැපී පෙනෙන අපනයනකරු" ලබා ගන්නා ස්‌වර්ණ සම්මානය වන අතර දෙවැනි තැන හිමි කර ගන්නා අපනයනකරුට රිදී සම්මානය හිමි වේ. ගිය වසරේ මෙම සම්මානය සී/ස කලම්බු ඩොක්‌යාඩ් සමාගම දිනාගනු ලැබීය.

මෙම සම්මාන උළෙල සඳහා ප්‍රධාන අනුග්‍රහය ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සමග මූලික අනුග්‍රාහකයන් ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, ශ්‍රී ලංකා තේ මණ්‌ඩලය, ඒෂියන් එලයන්ස්‌ ඉන්ෂුවරන්ස්‌ පී.එල්.සී., සන්රයිස්‌ ග්ලෝබල් ලොජිස්‌ටික්‌ පී.එල්.සී., සී/ස යුනියන් බැංකුව දරන අතර හිල්ටන් ආයතනය ඇතුළු තවත් ආයතන රැසක්‌ අනුග්‍රාහකයන් ලෙස දායක වේ.

මෙම උත්සවයේ සමස්‌ත සංවිධානය ව්‍යාපෘති අධ්‍යක්‌ෂ සහ ජාතික අපනයනකරුවන්ගේ මණ්‌ඩලයේ විධායක අධ්‍යක්‍ෂ රාසා වීරසිංහම් මහතා විසින් සිදු කරනු ලැබේ. මණ්‌ඩලයේ සාමාජික සේවා සහ නව ව්‍යාපෘති අධ්‍යක්‌ෂ එල්. සී. ජී. තිලකරත්න මහතා අපනයන සම්මාන ප්‍රදානය කිරීමේ කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන අතර මෙම උත්සවය සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ කටයුතු ද බාරව කටයුතු කරයි.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v