ඇගේ ආත්මය තොපට සාප කරනු ඇත

නවක වදය පිළිබඳ නීචතම සහ පහත්ම ඉතිහාසය ඇත්තේ ශ්‍රී ලංකාවේ විය යුතුය. මේ බව තහවුරු කෙරෙන කුඩා ඉතිහාස කතාවක්‌ මෙසේයá කරන්දෙනිය ප්‍රදේශයේ මහඒදණ්‌ඩ නමැති ගමේ ජීවත් වූ දිළිඳු පවුලකට අයත් රූපා රත්නසීලි නමැති දැරිය 1975 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළුවීමට සුදුසුකම් ලැබුවා ය. ඇය පේරාදෙණි යන විට කාලකණ්‌නි තිරිසන් ශිෂ්‍ය පිරිසක්‌ නවක වදයේ ඉහළම අවස්‌ථාව ක්‍රියාත්මක කරමින් සිටියහ. රූපා රත්නසීලිට නැවැතීමට පහසුකම් සලසා තිබුණේ විශ්වවිද්‍යාලයේ රාමනාදන් නේවාසිකාගාරයේය.

ඇය එහි යන විට නවක වද යකුන් රැලක්‌ ඇය පසුපසින් එළවන්නට වූහ. පිටිසරබද ගම්මානයක හැදුණ වැඩුණ යහපත් දැරියක වූ ඇය මෙවැනි වල් සතුන් පිරිසක්‌ කිසි කලෙකත් දැක නැති බැවින් ඇය බිය ගෙන රාමනාදන් ශාලාවේ උඩුමහලට දිව ගියාය. වල් සත්තු එතැනට ද ආහ. එයින් පසු උඩුමහලේ සිට රූපා රත්නසීලි බිමට වැටෙයි. ඇගේ කොන්ද බිඳෙයි. සමහරුන් කීවේ ඇය බියගෙන උඩ තට්‌ටුවෙන් පහළට පිනූ බවය.

තවත් සමහරකු කියන්නේ නවක වදය දුන් සිසුන් රැල ඇයට බලහත්කාරකම් කිරීමට තැත් කර එය කරගත නොවුණු බැවින් ඇය බිමට වීසි කළ බවයි. කෙසේ වුවද සුව වී අබ්බගාතයකු බවට පත්ව ගෙදර පැමිණි රූපා රෝද පුටුවක ජීවත් වූවාය. විටෙක ඇය මැහුම් කර්මාන්තයෙන් මුදල් උපයන්නට තැත් කළා ය. එය ද අසාර්ථක විය. අන්තිමේදී ජීවත්වීමට මගක්‌ නැති වූ රූපා රත්නසීලි 1995 දී රෝද පුටුවෙන් ගෙවත්තෙහි පිහිටි ළිඳ වෙත ගොස්‌ එයට පැන සිය දිවි නසා ගත්තා ය.

අප මේ කුඩා කතාව නැවතත් සිහිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ සිසු සිසුවියන් නවක වදය උත්සන්න වීම නිසා බලවත් අපහසුවකට පත්ව සිටින හෙයිනි. තිsරිසන් සතා මද කිපෙන කාලයට ඉවක්‌ බවක්‌ නොබලයි. එවිට උහු සිය වර්ගයා බෝ කිරීමේ කටයුත්ත මහ පාරේ ක්‍රියාත්මක කරති. ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල මෙවැනි තිරිසන් සතුන්ගෙන් පිරී යමින් පවතින බව පෙනේ. ඒ, හැම අවුරුද්දකම නවක වද සිද්ධීන් වැඩි වැඩියෙන් වාර්තා වන හෙයිනි. ශ්‍රී ලංකාවේ නවක වදය වචනයෙන් කෙරෙන අපහරණයේ සිට ලිංගික අපහරණය දක්‌වා විහිදෙයි.

ඇතැම් ළමයි පාසලේදීවත් නෑසූ කුණුහරුප විශ්වවිද්‍යාලයේදී අසතිá පාසලේ ජීව විද්‍යා පාඩම්වලදී රූපසටහන් මගින් දුටු විරුද්ධ ලිංගිකයන්ගේ අවයව හැබැහින් දකිති. ජ්‍යෙෂ්ඨයන් ලෙස සැලකෙන අයියලා සහ අක්‌කලා සංසර්ගයේ සිට ප්‍රසූතිය දක්‌වා පියවරෙන් පියවර අමු කුණුහරුපයෙන් නවක දරු දැරියන්ට කියා දෙති. (පාඨකයා අප කමත්වා. මෙයට වඩා සංවරව මේ ප්‍රශ්නය සාකච්ඡා කළ නො හැක.)

ඉන්දියාවේ නවක වදය තහනම් ය. එය උසාවි තීන්දුවකි. නවක වදය දී පසුවන අයට පළමු කොට පොලිසිය ද දෙවනුව අධිකරණය ද සංග්‍රහ කරයි. පොලිසියේ සංග්‍රහය නිතරම අධිකරණයේ සංග්‍රහයට වඩා ඇඟට දැනෙන සුළුය. ඉන්දියානු පොලිසියේ බැටන් පොල්ල මෙරට පොලිසියේ බැටන් පොල්ල මෙන් අඩි එකහමාරක දිගකින් නවතින්නේ නැත. එය කෙළින්ම අඩි හයක්‌ දක්‌වා යයි. එයින් ලැබෙන පහර ගැන සිතා බලන්නෘ

මෙයට සති කිහිපයකට පෙර, මාලබේ තොරතුරු තාක්‍ෂණ ආයතනයේ රවිඳු ගුණවර්ධන නමැති කනිටු සිසුවා පොලිස්‌කාරයන් පිරිසක්‌ ද ඉස්‌සර කරගෙන ගොස්‌ නිපුන රාමනායක නමැති ජ්‍යෙෂ්ඨ සිසුවා පැහැරගෙන අත් පා තැලීය. මේ සිද්ධියේ මුල නවක වදය හා සම්බන්ධ මුල්කරගත් ආරවුලක්‌ බව ඔබ දන්නෙහිද?

ත්‍රස්‌තවාදය, පාතාලය මෙන්ම නවක වදයද මේ සමාජයෙන් තුරන් කළ යුතු බව ආණ්‌ඩුව කල්පනාවට ගත යුතුය. නැතහොත් මේ අවුරුද්දේ නවක වදයෙන් පහර කන කනිටු සිසුවා ඊළඟ අවුරුද්දේදී ඒ පලිය අලුත් ශිෂ්‍යයන්ගෙන් ගනී. මෙය න්‍යෂ්ටික බලාගාරයක දාම ප්‍රතික්‍රියාව සේ නොනැවතී ඉදිරියට යයි. න්‍යෂ්ටික බලාගාරයක පළමුවන පරමාණුව පුපුරුවන්නේ ඩයිනමයිට්‌ වැනි දෙයක්‌ පිපිරවීමෙනි. එවිට පළමුවන පරමාණුව පුපුරයි. ඒ පිපිරිල්ලට දෙවැන්න පුපුරයි. මෙය නොනවතින ක්‍රියාවලියකි. රූපා රත්නසීලිගේ ආත්මය ඉකිබිඳින හඬ, කාලකණ්‌නි නවක වද නීචයිනි තොපට නෑසේද? ඇගේ ආත්මය තොපට සාප කරනු ඇත.

 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v