කෘෂිකර්මයේ දර්ශනය

ආචාර්ය ටී. එස්‌. බී. වීරසේකර
වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයේ උපදේශක ජ්‍යෙෂ්ඨ විශේෂඥ නිලධාරී,

අද දවසේ වාරිමාර්ග ව්‍යාපෘති සඳහා විස්‌තරාත්මක ඉඩම් පරිහරණ සැලසුම් සකස්‌කොට ඒවා ක්‍රියාවේ යෙදවීම සඳහා ඉදිරිපත් කරනු ලබන විට සැලසුම්කරුවන්ගේත් ක්‍රියාවේ යොදවන්නන්ගේත් සිත් තුළ එක්‌තරා අපහසුතාවක්‌ හටගනී. මෙම අපහසුතාව අන් කිසිවක්‌ නොව "තමන්ගේ නිර්දේශ අනුව ඉඩම් පරිහරණ සැලසුම් ක්‍රියාත්මක කළහොත් ඉඩම්ලාභීන් අසතුටට පත්වීමටත්, එහි ප්‍රතිඵලයක්‌ ලෙස ස්‌ථානීය අර්බුදයක්‌ ඇතිවීමටත් ඉඩ ඇති බව" සිතට දැනීමෙන් ඇතිවන චකිතයයි. එවැනි අසතුටක්‌ ඉඩම් ලාභීන් තුළ ඇතිවුවහොත්ද, එයටත් වඩා එය සුලු හෝ අර්බුදයකට මග පෑදුවහොත් ද සියලු දෙනාගේ ඒකාබද්ධ කෝපය තමන් වෙත එල්ල වන බැවින් මෙම මානසික අසහනය, සැලසුම්කරුවන් හට හා ක්‍රියාවේ යොදවන්නන් හට ඇතිවීම ස්‌වභාවිකය.

වාරිමාර්ග ව්‍යාපෘතියක වාරි ජලය සැපයෙන ප්‍රදේශයේ ඉඩම් පරිහරණ සැලසුම් කිරීම එම ව්‍යාපෘතියේ අවශ්‍යතම අංගයක්‌ වේ. මෙහිදී ඉඩම්වල යෝග්‍යතාවය අනුව වාරි ජල සැපයුම සහිතව එම ඉඩම්වල වගාකිරීම සඳහා සුදුසු භෝග නිර්දේශ කොට, එම භෝග සඳහා සුදුසු ඉඩම් පරිහරණ කළමනාකරණය නිර්දේශ කොට, ඒ අනුව ඉඩම් පරිහරණ සැලසුම් සකස්‌ කරනු ලැබේ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මඩ වී වගාවට, වාර්ෂික භෝග වගාවට, බහු වාර්ෂික භෝග වගාවට සහ වෙනත් කෘෂිකාර්මික කටයුතුවලට සුදුසු ප්‍රදේශ සිතියම් ආකාරයට ඉදිරිපත් කෙරේ. ජල සැපයුම් ඇළ මාර්ග හා ජලාපවහන මාර්ග සැලසුම් කරනු ලබන්නේ එම ඉඩම් පරිහරණ සැලසුමට අනුකූල වන අයුරිනි. තවද එක්‌ එක්‌ ඉඩම් පරිහරණයේ ජල අවශ්‍යතා අනුව ජලය සැපයීම සඳහා සාර්ථක ජල කළමනාකරණයක්‌ පවත්වාගෙන යැමටද මෙම ඉඩම් පරිහරණ සැලසුම් අතිශයින් වැදගත් වේ.

මෙම සැලසුම් පිළියෙල කරනු ලබන්නේ මනා අධ්‍යයනයකින් පසු විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුවයි. එමෙන්ම ඉඩම් පරිහරණ නිර්දේශ කරනු ලබන්නේ නිසැකවම ප්‍රධාන වශයෙන් මෙරට පාරිභෝගිකයන්ට අවශ්‍ය වන කෘෂි ද්‍රව්‍ය නිපදවීම සඳහා වේ. අපනයන කෘෂි නිෂ්පාදන සඳහා ද සමහර අවස්‌ථාවලදී ඉඩම් පරිහරණ නිර්දේශ කරනු ලැබේ. වාරි ජල සැපයුමක්‌ යටතේ භෝග වර්ග විශාල පරාසයක්‌ වැවිය හැකි බැවිනුත් එම භෝගවලින් ලැබෙන නිෂ්පාදන සඳහා පාරිභෝගිකයන්ගෙන් නිත්‍ය ඉල්ලුමක්‌ ඇති බැවිනුත් නිර්දේශිත ඉඩම් පරිහරණ සැලසුම් ක්‍රියාවේ යෙදවීමේදී යම් චකිතයක්‌ හෝ භීතියක්‌ ඇතිවීම යමෙකුගේ පුදුමයට කරුණක්‌ විය හැක. එබැවින්, මෙතරම් ක්‍රමානුකූලව මහත් පරිශ්‍රමයක්‌ දරා පිළියෙල කරන ලද ඉඩම් පරිහරණ සැලසුම් ඉඩම් ලාභීන්ගේ අසතුටට හේතුවනු ඇත්තේ මන්දැයි විමසා බැලීම යෝග්‍යය.

වාරිමාර්ග යෝජනාක්‍රමයක ඉඩම් පරිහරණ සැලසුම්කරණයේදී පළමුවෙන්ම මඩ වී වගාවට ඉතාම සුදුසු ප්‍රදේශ වෙන්කරනු ලැබේ. මෙම ප්‍රදේශවල විශේෂිත ලක්‍ෂණය වන්නේ මතුපිට හා අභ්‍යන්තර ජල බැස යැමේ ශීඝ්‍රතාවය ඉතාම අඩුවීමයි. මෙම ලක්‍ෂණය මඩ වී වගාවට ඉතාම හිතකර වේ. මන්දයත්, මඩ වී වගාව සඳහා යොදාගනු ලබන වී වර්ග වඩාත් හොඳින් පෝෂණය වන්නේ අඩු ඔක්‌සිජන් ප්‍රමාණයක්‌ සහිත නිතර ජලයෙන් සන්තෘප්තවූ පසක බැවිනි. මෙයට අමතරව ජලයෙන් සන්තෘප්ත මෙවැනි පසක ඇති වාසිය නම් වෙනත් පැළෑටි වැඩීමට පසෙහි එම තත්ත්වය අහිතකරවීම නිසා නිතැතින් සිදුවන වල් පැළෑටි මර්දනයයි. තවද මෙම බිම්වල ජල ඌනතාවයක්‌ ඇතිවීමට ඇති ප්‍රවණතාවය අඩු බැවින් ජල ඌනතාවයකින් සිදුවිය හැකි අස්‌වැන්න අඩුවීම අවම වේ.

මඩ වී වගාව සඳහා සුදුසු ප්‍රදේශ එසේ වෙන් කළ පසු, ප්‍රධාන වැසි සමයේ, එනම් "මහ කන්නයේ" පමණක්‌ වී වගාව සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන ඒවා වෙන්කරනු ලැබේ. මෙම ඉඩම්වල දිය බැස යැමේ ශීඝ්‍රතාවය තරමක්‌ අධික වුවත් පසෙන් ජලය ඉවත්වී යන ප්‍රමාණයට සරිලන සේ මහ කන්නයේ වැසි ජලය ලැබීමත්, අවශ්‍ය වුවහොත් වාරිජලය සැපයීමට හැකිවන බැවිනුත් මඩ වී ගොවිතැනට සුදුසු පරිසරයක්‌ එම කාලයේදී පසෙහි ඇතිවේ. දෙවැනි වැසි කාලයේදී, එනම් "යල කන්නයේ"දී ලැබෙන වැසි ප්‍රමාණය මඳ බැවින් මෙම බිම්වල මඩ වී ගොවිතැන් කිරීමට නම් ඉතා විශාල වාරිජල ප්‍රමාණයක්‌ යෙදීම අවශ්‍ය වේ. එසේ සීමාරහිතව වාරි ජලය සැපයිය හැකි නම් යල කන්නයේ මඩ වී වගාව සඳහා එම ඉඩම් භාවිත කළ හැක. නමුත් සැපයිය හැකි වාරිජල ප්‍රමාණය සීමා සහිත නම් එලෙස යල කන්නයේ මෙම ඉඩම්වල වී වගාකිරීම ජල ඌනතාවක්‌ නිසා සිදුවන අස්‌වැන්න අඩුවීමේ අවදානමක්‌ සහිත වේ. වාරි ව්‍යාපෘතිවල විශේෂයෙන්ම ප්‍රධාන ජල සැපයුම් මාර්ගවල අන්තයට වන්නට පවතින ඉඩම්වල මෙය නිතර දැකිය හැකි ලක්‍ෂණයකි.

වී වගාව සඳහා ගොවීන්ගේ වැඩි කැමැත්තක්‌ ඇති බව පෙනී යන නමුත් වී වගාවේ යෙදෙන ඔවුන්ගේ ආදායම් තත්ත්වය එතරම් සතුටුදායක නොවන බවද පැහැදිලි කරුණකි. ජාතික මට්‌ටමින් සැලකූවිට මෙරට වී වගාවෙන් ලැබෙන සාමාන්‍ය අස්‌වැන්න හෙක්‌ටයාර් එකකට කිලෝග්‍රෑම් 4000 ක්‌ තරම් පමණි. යල කන්නය හා මහ කන්නය දෙකම වගා කරන ගොවියකුට ලැබෙන වී කිලෝග්‍රෑම් 8000 ක අස්‌වැන්න කිලෝග්‍රෑම් එකක්‌ රුපියල් හතළිහකට විකිණීමට හැකිවන වාතාවරණයකදී වුව නිෂ්පාදන වියදම සැලකූවිට (සහනාධාර සහිතව වුවද) ඔහුට ලැබෙන ශුද්ධ ආදායම සතුටුදායක නොවේ. ඔවුන්ගේ ජීවන තත්ත්වය එතරම් යහපත් නොවන බව සියලු දෙනාම දන්නා කරුණකි. මේ නිසා වී වගාවේ නිෂ්පාදන වියදම අඩුකිරීමටත් අස්‌වැන්න අඩුම වශයෙන් හෙක්‌ටෙයාර් එකකට කිලෝග්‍රෑම් 6000 ක්‌ වනතෙක්‌ ඉහළ නැංවීමටත් ක්‍රියාකළ හොත් වී ගොවියාගේ ආදායම තරමක්‌වත් සතුටුදායක මට්‌ටමකට ගෙන ආ හැක. නමුත් වර්තමානයේ ප්‍රවණතාව වී ඇත්තේ නිෂ්පාදන වියදම අඩු කිරීමටත් අස්‌වැන්න ඉහළ දැමීමටත් උත්සාහ දැරීම නොව වාරිජල සැපයුම සහිතව වැඩි වැඩියෙන් වී වගාව සඳහා ඉඩම් උපයෝගි කරගැනීමයි. මෙයින් සිදුවන්නේ තව තවත් යෑපීම් මට්‌ටමේ ගොවීන් බිහි වීමයි. ආහාර රක්‍ෂිතතාව මෙයින් තහවුරු වේ යෑයි කෙනකුට මෙහිදී තර්ක කළ හැක. ආහාර රක්‍ෂිතතාව ඉතා වැදගත් වේ. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2008 යල හා මහ කන්නවලදී වී අස්‌වැන්න නෙළන ලද මුළු බිම් ප්‍රමාණය හෙක්‌ටෙයාර් 951598 කි. ලැබුණු අස්‌වැන්න ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් 4109741 ක්‌ විය. සාමාන්‍ය අස්‌වැන්න හෙක්‌ටෙයාරයකට කිලෝග්‍රෑම් 6000 ක්‌ වූයේ නම් ලැබෙන්නට තිබූ අස්‌වැන්න ආහාර රක්‍ෂිතතාව මැනවින් තහවුරු කරගැනීමට ප්‍රමාණවත් වේ. අස්‌වැන්න වැඩිකර ගැනීමත් සමග උසස්‌ තත්ත්වයේ ගබඩා කිරීමේ පහසුකම් තිබුණි නම් තත්ත්වය වඩාත් යහපත් වනු ඇත.

වී ගොවිතැන යම් තරමකට ස්‌ථිර යෑපීම් ක්‍රමයක්‌ වීමත්, එයට ලැබෙන සහනාධාරත් යන කරුණුවලට අමතරව, ගොවීන් වෙනත් භෝග වගා කිරීමට අකමැත්තක්‌ දැක්‌වීමට ප්‍රධාන හේතුව නම් එම භෝග නිෂ්පාදන සඳහා නිතර පවතින වෙළෙඳ පළ මිල අවිනිශ්චිතභාවයේ ප්‍රතිඵලයක්‌ ලෙස ගොවීන් නිරන්තරයෙන් අත්විඳින ආදායම පිළිබඳ ඇති අවාදානමයි. එම අවදානම සත්‍ය ලෝකයේ පවතින බවට සාධක නිතිපතා අසන්නට දකින්නට ලැබේ. තම නිෂ්පාදන ඉතා අඩු මිලට විකුණා දැමීමට සිදුවී පාඩු ලැබීමෙන් වික්‍ෂෝප වන ගොවීන්, "කෙසේවත් අඩු මිලට නොවිකුණම්හ" යි උරණවී තම නිෂ්පාදන ප්‍රසිද්ධියේ තමන් විසින්ම විනාශ කොට දමන ගොවීන් පිළිබඳ වාර්තා වර්තමානයේ තරමක්‌ සුලභය. සමහරවිට, ගැනුම්කරුවන් නොමැති බැවින් නිෂ්පාදනය කෙසේවත් විකිණිය නොහැකි වන අවස්‌ථාද වාර්තාවේ.

මේ කියන ලද කෘෂි නිෂ්පාදන පාරිභෝගික ඉල්ලුමක්‌ රහිත එසේත් නොමැති නම් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ඉල්ලුමක්‌ හෝ නොමැති ඒවා නොවේ. එසේනම් ගොවියාට ආදායම පිළිබඳ අවදානමක්‌ පැවැතිය නොහැක. නමුත් අවදානම පවතී. මෙම අවදානමට මූලික වන එක්‌ ප්‍රධාන හේතුවක්‌ නම් ආනයනකරුවන්, අපනයනකරුවන් ඇතුළු සුලු හා විශාල නොයෙකුත් මට්‌ටමේ වෙළෙඳුන් ගොවීන්ගේ නිෂ්පාදන අඩුම මිලට මිලදී ගැනීම පිණිස උපක්‍රමශීලීව වෙළෙඳ පළ පාලනය කිරීමයි. දෙවන ප්‍රධාන හේතුව නම් කිසිම ආකාරයක ඉඩම් පරිහරණ යාමනයක්‌ නොමැති වීම කරණකොට ගෙන ගොවීන් සියලු දෙනාම එකම භෝගයක්‌ යම් වාරයකදී වගාකිරීම නිසා ඇතිවන නිෂ්පාදන අතිරික්‌තයයි. මේ කෘෂි නිෂ්පාදන සාමාන්‍ය තත්ත්වයන් යටතේ කල්තබාගත හැකි නොවන බැවින්, ගොවීන් හට සතුටුදායක ප්‍රවාහන පහසුකම් නොමැතිවීම, ශීත ගබඩා වැනි පහසුකම් නොතිබීම, කෘෂි නිෂ්පාදන ආශ්‍රීත කර්මාන්ත අවශ්‍ය තරම් නොමැතිවීම වැනි කරුණු ඉහත සඳහන් කළ වෙළෙඳ පළ අවදානම ශක්‌තිමත් කිරීමට කෙලින්ම බලපායි.

මෙවැනි තත්ත්වයන් යටතේ ගොවීන් වී වගාවට වැඩි කැමැත්තක්‌ දැක්‌වීම පුදුමයට කරුණක්‌ නොවේ. මේ පිළිබඳ ඔවුනට දොස්‌ පැවැරීම ද අසාධාරණය. ආහාර රක්‍ෂිතතාව මනාව පවත්වා ගෙනයැම සඳහා සහ වී ගොවිතැන යෑපීම් කෘෂිකර්මයෙන් ඉහළට එසවීම සඳහා වී ගොවිතැනෙහි ඵලදායිතාව ඉහළ නංවන අතර වෙනත් භෝග වැවීම සඳහා ද ගොවියන් නැඹුරුකරවීම පිණිස උසස්‌ තත්ත්වයේ වෙළෙඳ පළ කළමනාකරණයක්‌ හා ඉඩම් පරිහරණයේ ප්‍රශස්‌ථ යාමනයන්ද අවශ්‍ය වේ. ඒ අතරම ප්‍රවාහනයටත් ගබඩා කිරීමටත් යටිතල පහසුකම් ද, කෘෂිකර්මය හා කෙලින්ම බැඳුණු කර්මාන්ත ද අවශ්‍ය වේ. වෙළෙඳ පළ කළමනාකරණය ගැන සලකන විට කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම හා බෙදාහැරීම සඳහා මහා පරිමාණ මිලදී ගන්නන් ඉතා සුලු ප්‍රමාණයක්‌ පැවතීම ප්‍රශස්‌ථ තත්ත්වය වේ. මන්දයත්, මෙහිදී නිෂ්පාදන මිලදී ගැනීම සිදුකළ යුත්තේ තරගකාරී මිලකට නොව, ගොවීන් හට අවිනිශ්චිත තාවයකින් තොරව තම නිෂ්පාදන යම් තරමකට නිශ්චිත මිලකට අලෙවි කර ගැනීමටත් ඔවුන් හට ප්‍රමාණවත් ලාභයක්‌ අත්වන ලෙසටත් බැවිනි. මිලදී ගන්නන් විශාල ප්‍රමාණයක්‌ සිටී නම් වෙළෙඳ පළ කළමනාකරණය දුර්වල විය හැක. වෙනත් භෝග නිෂ්පාදනය සඳහා සමහර පෞද්ගලික සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන කෘෂිකාර්මික ව්‍යාපාරවල මූලික ලක්‍ෂණය වන්නේ සමාගම විසින් පවත්වාගෙන යනු ලබන ගොවිබිම් වලට අමතරව සුලුපරිමාණ ගොවීන් හට ද එම භෝග වගාකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලකා ඔවුන්ගේ නිෂ්පාදන සමාගම විසින් නිශ්චිත මිලකට මිලදී ගැනීමයි.

ශ්‍රී ලංකා සීනි සංයුක්‌ත මණ්‌ඩලය ක්‍රියාකාරීව පැවති 1970 දශකයේ මෙවැනි ක්‍රමයකට සුලු ගොවීන් උක්‌ වගාවට සම්බන්ධ කරගැනීම ඉතා සාර්ථකව සිදුකළේය. එහිදී මණ්‌ඩලය සතුව පැවැති උක්‌ වගා බිම්ද සුලු ගොවීන්ට අයත් උක්‌ වගා බිම්ද පැවැති අතර සීනි නිෂ්පාදනය සඳහා සුලු ගොවීන්ගේ දායකත්වය සැලකිය යුතු තරම් විය. එක්‌ ගොවියකුට සාමාන්‍යයෙන් හෙක්‌ටෙයාර් එකක පමණ උක්‌ වගාවක්‌ අයත්ව තිබූ අතර ගොවීන්ගේ අස්‌වැන්න නිශ්චිත මිලකට සංස්‌ථාව විසින් මිලදී ගනු ලැබීය. හෙක්‌ටෙයාරයකට ටොන් පනහක අස්‌වැන්නක්‌ ලැබූ ගොවියකුගේ වාර්ෂික ශුද්ධ ආදායම එවකට ඉහළ මට්‌ටමේ විධායක නිලධාරියකු ලැබූ වාර්ෂික වැටුපට සමාන විය.

සමාජයීය හා පාරිසරික හේතු කරණකොට ගෙන වර්තමානයේ වැඩි වශයෙන් දක්‌නට නොලැබුණත් කලකට ඉහත මෙරට නොයෙකුත් ප්‍රදේශවල ව්‍යාප්තව පැවැති දුම්කොළ වගාව ඉතා සාර්ථකව පවත්වාගෙන යැමට හැකිවූයේ එක්‌ සමාගමක්‌ විසින් දුම්කොළ ගොවීන් හට අවශ්‍ය තාක්‍ෂණික උපදෙස්‌ ලබාදෙන අතර ගොවියකුට වාසිදායක නිශ්චිත මිලකට සියලුම අස්‌වැන්න එම සමාගම විසින් මිලට ගැනීම සහතික වී තිබූ බැවිනි.

නොයෙකුත් ආකාරයේ අහිතකර තත්ත්වයන් මධ්‍යයේ වුවත් උඩරට එළවළු වගාකරන ගොවීන් ද වෙළෙඳ පළ අවිනිශ්චිතතාවයන්ගෙන් සාපේක්‍ෂ ලෙස අඩුවෙන් හිරිහැර ලබන බව කිවහැක. මෙයට එක්‌ ප්‍රදාන හේතුවක්‌ නම් උඩරට එළවළු වගාව සඳහා යෝග්‍ය ප්‍රදේශවල ඉඩම් පරිහරණය යම් ප්‍රමාණයකට පාලනය වී තිබීමයි. මේ හේතුව නිසා අධි නිෂ්පාදනය තරමක්‌ දුරට පාලනය වී ඇති අතර මෙම එළවළු සඳහා ඇති ඉල්ලුමට සරිලන ලෙස සැපයුම යාමනය වී ඇත. එළවළු ප්‍රවාහනය හා ගබඩා කිරීම සඳහා වඩාත් උචිත පහසුකම් සැපයේ නම්, උඩරට එළවළු ගොවීන් හට මෙයටත් වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිවනු ඇත.

මෙහිදී සඳහන් කළයුතු තවත් කරුණක්‌ නම් ආහාර රක්‍ෂිතතාව මෙන්ම පෝෂණ රක්‍ෂිතතාව ද එතරම්ම වැදගත් වන බවයි. සියලු වැසියන් හට ඉහළ ප්‍රමිතියක පෝෂණ තත්ත්වයක්‌ පවත්වාගෙන යැම සඳහා වී වගාවට මෙන්ම වෙනත් භෝග හා සත්ව නිෂ්පාදන සඳහා ඉඩම් පරිහරණ සැලසුම්කරණයෙහි අවශ්‍යතාවය සුලු කොට තැකිය නොහේ. යම් වාරිමාර්ග ව්‍යාපෘතියක්‌ ගැන සලකන විට බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන්නේ පෙනෙන තෙක්‌ මානයට දිවයන ගොයම් කෙත් යායකින් සැදුම්ලත් සිතට ප්‍රිය උපදවන දර්ශනයකි. මෙය අපගේ ශිෂ්ටාචාරය සමග බැඳුණු වී ගොවිතැන ප්‍රධාන කොටගත් වාරි කර්මාන්තයේ සියවස්‌ ගණනාවක කාලය විසින් අප සිත් තුළ තැන්පත් කරනු ලැබූ දර්ශනයක්‌ මිස අනෙකක්‌ නොවේ. වර්තමානයෙහි මෙම දර්ශනයට වුවත් නියම අරුතක්‌ ලැබෙන්නේ වී ගොවිතැනෙහි ඵලදායිතාව ඉහළට ගෙන ඒමටත්, එමගින් ගොවියාගේ ආදායම ඉහළ නංවා ඔහුගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමටත්, වී නිෂ්පාදනය රටෙහි අවශ්‍යතාවයට සරිලන ලෙස පවත්වාගෙන යැමටත් හැකිනම් පමණි.

මේ සමගම වෙළෙඳ පළ හා ඉඩම් පරිහරණය වර්තමානයේ පවතින අසංවිධානාත්මක තත්ත්වයෙන් ඉහළට ගෙන ඒවා නිසි පරිදි නියාමනය කිරීමත් නිෂ්පාදන ප්‍රවාහනය හා ගබඩාකිරීම සඳහා පහසුකම් හඳුන්වා දීමත් අවශ්‍යවේ. මෙහිදී වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් ඉතා විශාල කාර්යභාරයක්‌ හා වගකීමක්‌ පැවරේ.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v