දක්‍ෂතා ඇති තරුණ ක්‍රීඩකයන් රැසක්‌ සිටින නිසා
අයිසීසී කුසලාන අපට අභියෝගයක්‌ නොවෙයි

මහේල


චමිල කරවිට

එළැඹෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඇති ප්‍රධානම අභියෝගය, එහි තණතිලිවලට සහ දේශගුණයට හුරුවීම වුවත්, කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ එක්‌ එක්‌ දක්‍ෂතා ගෙන බැලීමේදී එය එතරම් අභියෝගයක්‌ නොවන බව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.

සිය කණ්‌ඩායමේ පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ ශක්‌තිය පිළිබඳව අදහස්‌ දක්‌වා සිටින හිටපු නායකයා, සෙසු කණ්‌ඩායම්වලට සාපේක්‍ෂව වෙනස්‌ම දක්‍ෂතා ඇති ක්‍රීඩකයන්ගෙන් යුතු සංයුතියක්‌ තම කණ්‌ඩායමේ සිටීම අතිරේක වාසියක්‌ බවද සඳහන් කර සිටියි.

"අපිට තියෙන ප්‍රධානම අභියෝගය තමයි දකුණු අප්‍රිකාවේ තණතීරුවලට සහ දේශගුණයට හුරුවීම. නමුත් අපේ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් ගෙන බැලීමේදී එම අභියෝගය ජය ගැනීමට නොහැකි වන එකක්‌ නෑ. ඒත් එක්‌කම අපේ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා ගෙන බැලුවාම සෙසු ක්‍රීඩකයන්ට වඩා වෙනස්‌ම දක්‍ෂතා තිබීම අපිට අතිරේක වාසියක්‌" යනුවෙනි.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ආරම්භක පිතිකරුවන් වන සනත් ජයසූරිය සහ ටී. එම්. ඩිල්ෂාන් ප්‍රහාරාත්මක පිතිකරුවන් වශයෙන් ලකුණු අතරට පැමිණ සිටීම ශ්‍රී ලංකා කණ්‌ඩායමට සතුටු දායක කරුණක්‌ බව ජයවර්ධන පවසයි.

මේ වන විටත් 40 වැනි වියේ පසුවන සනත් ජයසූරිය කම්පැක්‌ කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ඉන්දියාව සමග පැවැති තරගයේදී පන්දු 79 කදී ලකුණු 98 ක්‌ වාර්තා කරමින් සුපුරුදු රිද්මයට පැමිණීමට සමත්විය. ටී. එම්. ඩිල්ෂාන්ද පසුගිය වකවානුව පුරාම පිතිකරණයෙන් දක්‍ෂතා දක්‌වමින් වැඩි දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්වී සිටීම ශ්‍රී ලංකා කණ්‌ඩායමට සතුටු විය හැකි තවත් කරුණක්‌ වී තිබේ.

"කණ්‌ඩායමට එක්‌වූ තරුණ ක්‍රීඩකයන් හොඳ අවබෝධයකින් ක්‍රීඩා කරනවා. ඔවුන් දන්නව ඔවුන්ගෙන් කණ්‌ඩායමට සිදුවෙන්න ඕන මොකක්‌ද කියලා".

"මෙය එක පාරටම ඇති වෙච්ච දෙයක්‌ නොවෙයි. පසුගිය වසර 2 ක කාලය තිස්‌සේම අලුත් ක්‍රීඩකයන් පිළිබඳ කළ අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක්‌" යනුවෙන් කණ්‌ඩායමට එක්‌වී සිටින තරුණ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා පිළිබඳව ජයවර්ධන සඳහන් කර සිටියි.

අවසන් වරට 2006 වසරේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකයා වශයෙන් ජයවර්ධන කටයුතු කළ අතර එහිදී දෙවැනි වටයෙන්ම ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසි විය.

මේ වන විටත් එක්‌දින තරග 307 කට ක්‍රීඩා කොට ඇති ජයවර්ධන එහිදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 31.96 ක්‌ රඳවා තබාගනිමින් මුලු ලකුණු 8278 ක්‌ ලබා ගැනීමට සමත්වී සිටියි.

අවසන් වරට පාකිස්‌තානය සමගින් දඹුල්ලේදී පැවැති දෙවැනි එක්‌දින තරගයේදී වාර්තා කළ ශතකය හැරෙන්නට ඔහු ක්‍රීඩා කළ අවසන් ඉනිම 25 දීම ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වී සිටියි.

32 වැනි වියේ පසුවන මහේල ජයවර්ධන මෙවර තරගාවලියේදී යළිත් ලකුණු අතරට පැමිණීමට අපේක්‍ෂාවෙන් පසුවෙයි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v