අඟුලාන ද්විත්ව ඝාතනය
ටී පනස්‌හය ගිනි අවි දහතුන රජයේ රස පරීක්‍ෂකට යවයි

අජිත් අලහකෝන්

අඟුලාන ද්විත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ටී. පනස්‌හය ගිනි අවි දහතුනක්‌ සහ හිස්‌ පතරොම් කොපු එකසිය විසිහයක්‌ රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක්‌ කැඳවන ලෙසට ගල්කිස්‌ස අතිරේක මහෙස්‌ත්‍රාත් ඩී. එන්. ඒ. සෙනෙවිරත්න මහතා ඊයේ (25 දා) නියෝග කළේය.

ඊට අමතරව දිනේෂ් තරංග නමැති තරුණයා ඝාතනය කර දමා තිබූ ස්‌ථානයේ වැටී තිබියදී සොයාගත් ටී. පනස්‌හය වර්ගයේ හිස්‌ පතරොම් ද රස පරීක්‍ෂකවරයා වෙත යවන ලෙසට නියෝග කළ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා දිනේෂ් තරංගගේ මෘත ශරීරයෙන් ලබාගත් ලේ සාම්පලය, ඔහුගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ලබාගත් ලේ සාම්පලය සහ අඟුලාන පොලිසියේ සිරමැදරියේ තිබූ ලේ සාම්පලයක්‌ ද රාගම රෝහලේ අනුක වෛද්‍ය ඒකකයේ ආචාර්ය ඩබ්ලිව්. අබේවික්‍රම මහතා වෙත ඉදිරිපත් කර ඩී. එන්. ඒ. වාර්තාවක්‌ කැඳවන ලෙසට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අඟුලාන මහජන මාවතේ පදිංචිව සිටි ධනුෂ්ක උදයංග අපෝන්සු සහ අඟුලාන පල්ලිය පාරේ පදිංචි දිනේෂ් තරංග නමැති තරුණයන් දෙදෙනා අඟුලාන පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මෙම නඩුව ඊයේ ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන අඟුලාන පොලිසියේ රාජකාරි කළ පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ගයාන් චතුරංග තොටවත්ත, නිරෝෂන් බණ්‌ඩාර නවරත්න, ජී. ජී. එම්. කුමාරසිරි, අනුර ප්‍රදීප් කුමාර, හිටපු පොලිස්‌ ස්‌ථානාධිපති තුඹේදොර වීට්‌ නිව්ටන්, කොස්‌තාපල්වරුන් වන චමිල තුෂාර කුලසිංහ, ධම්මික නිහාල් ජයරත්න, ඩී. එම්. නිශ්ශංක දිසානායක සහ සිවිල් ආරක්‍ෂක නිලධාරි ජනප්‍රිය සේනාරත්න යන අය තවදුරටත් ලබන 09 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයේ තැබීමට අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය සහ ගල්කිස්‌ස පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ විසින් සිදුකළ පරීක්‍ෂණවලදී අත්අඩංගුවට ගත් නඩු භාණ්‌ඩ විසිතුනක්‌ සම්බන්ධයෙන් ද රස පරීක්‍ෂක වාර්තාවක්‌ කැඳවීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

මෙම ඝාතන සිද්ධිය වූ අවස්‌ථාවේදී අඟුලාන පොලිසියේ පැමිණිලි සටහන් පොත් සහ එම පැමිණිලි පොතෙන් ඉවත් කළේ යෑයි කියන පිටු ද අධිකරණයට ඉදිරිපත් කළ රහස්‌ පොලිසිය එම පිටු සැකකටයුතු ලේඛන පිළිබඳ රජයේ පරීක්‍ෂකවරයාට යොමු කර වාර්තාවක්‌ කැඳවීමට ද අවසර ඉල්ලා සිටියේය.

අදාළ ලේඛන නඩු භාණ්‌ඩ වශයෙන් නම් කළ රහස්‌ පොලිසිය අපරාධය සිදු වූ දා හත්වන සැකකරු වන ධම්මික ජයරත්න නමැත්තා ඇඳ සිටි සුදු පැහැති අත්කොට කමිසයක්‌ ද අධිකරණයට ඉදිරිපත් කරමින් එහි ඇති පැල්ලම් පිළිබඳ රස පරීක්‍ෂක වාර්තාවක්‌ කැඳවීමට ද අධිකරණයේ අවසර ඉල්ලා සිටියේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සරත් රංජිත් මුණසිංහ මහතා විසින් අදාළ නඩු භාණ්‌ඩ අධිකරණය වෙත ඉදිරිපත් කරමින් මූලික සාක්‍ෂි ලබා දුන්නේය.

 
Powered By -


       සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.