මරණ තුනක්‌ දැක දැක අපි පැණි කමුද?

බටහිර අධිරාජ්‍යවාදයටත් එහි සෙවණෙහි වැඩෙන ජාත්‍යන්තර දේශපාලනයටත් ශ්‍රී ලංකාව දෙස වපරැසින් බැලීමට තිබෙන ඇත්ත හේතුව කුමක්‌දැයි බුද්ධිමත්ව තේරුම් ගැනීම ආණ්‌ඩුවේ මෙන්ම විපක්‍ෂයේ ද බරපතල වගකීමක්‌ බව අප මුලින්ම කිව යුතුය. ආණ්‌ඩුව හා විපක්‍ෂය නයි පොළොං වෛරයකින් හැසිරෙද්දී එම බෙදුම් රේඛාව රට බෙදන ඉරණම් රේඛාවක්‌ බවට පත්වන බවද මහජන නියෝජිතයින් ලෙස පත්ව සිටින සියලුම පක්‍ෂවල නායකයන් මෙන්ම සාමාජිකයින්ද තේරුම් ගත යුතුය.

මෙම භේදය ශ්‍රී ලංකාව හුදෙකලා කර දුබල රටක්‌ බවට පත්කිරීමේ දුෂ්ට අරමුණෙන් සිටින සියල්ලන්ටම අනුග්‍රහයකි. ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් පමණක්‌ නොව ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිවල භාරකරුවෝ හා ප්‍රමුඛයෝ ද රට අස්‌ථාවර කිරීමේ කුමන්ත්‍රණයක්‌ සිදු වෙතැයි විපක්‍ෂයටද චෝදනා නඟති. විපක්‍ෂයද ආණ්‌ඩුවටත් එහි ක්‍රියාකාරකම්වලටත් විවිධ විවේචන මෙන්ම චෝදනා ද නඟනු පෙනේ.

මේ දෙපිරිසට සවන් දෙන ඇතැමෙක්‌ කල්පනා කරන්නේ දේශපාලන බලය සඳහා ගෙන යන ක්‍රියාදාමයන් විනා රට ගොඩ නංවන හා එක්‌සත්ව ජාතික අර්බුද විසඳා ගැනීමේ සහජීවන මගක්‌ ලෙස තවමත් අපේ රටේ දේශපාලනය වර්ධනය වී නොමැති බවයි. මේ ප්‍රාථමික හා බාල දේශපාලනය රටටම එපා වී තිබුණත් දේශපාලන නායකයන්ට හා පක්‍ෂවලට ඕනෑ වී තිබේ.

ප්‍රභාකරන් සහ ඔහුගේ ඊනියා ඊළාම් බල සෙනග පරාජය කර ශ්‍රී ලංකාව නිදහස්‌ කර ගැනීම බටහිරට කිසි සේත් ප්‍රසන්න අත්දැකීමක්‌ හෝ අනුබල දිය හැකි තත්ත්වයක්‌ උදා කර නැති බව ඉතා පැහැදිලිය. එහෙත් බටහිරයෝ කිසිවිටෙක ඒ බව නොහඟවති. ඔවුහු ඒ වෙනුවට වෙනත් චෝදනා නඟමින් ශ්‍රී ලංකාව දණගැස්‌වීමට විවිධ උපාය මාර්ග සොයති. යුද්ධයෙන් අවතැන්වූ ජනතාව සිටින කඳවුරු පිළිබඳව හා ඔවුන් නැවත පදිංචි කරවීම අද ජගත් බලවතුන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක්‌ බවට පත්වී තිබේ.

මෙහි තවත් කෙළවරක්‌ දැන් ජී. එස්‌. පී. සහනයටද ඈඳී තිබේ. යුරෝපා ප්‍රජාවේ රටවල් රැසක්‌ම ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන ජී. එස්‌. පී. බදු සහනය අහෝසි කිරීම සඳහා වැරදි එක්‌කාසු කරමින් සිටියි. මෙම සහනය බලපාන්නේ අපේ ඇඟලුම්වලට පමණක්‌ නොවේ. ධීවර නිෂ්පාදන, පිඟන් හා සම්භාණ්‌ඩ ඇතුළු තවත් නිෂ්පාදන රැසකටම එම සහනය ලැබේ. ඇඟලුම් ක්‍ෂෙත්‍රයේ පමණක්‌ දස ලක්‍ෂයකට නොඅඩු පිරිසකගේ ඉරණමට සෘජුව බලපාන ජී. එස්‌. පී සහනය උකසට තබා අලඡ්ජී සූදුවක්‌ කෙළින බංකොලොත් තත්ත්වයකට යුරෝපා රටවල් පත්ව සිටීම අප පුදුමයට පත් කරවන්නකි.

යුරෝපා රටවල් අපට පාඩමක්‌ ඉගැන්වීමට මෙම සහනය තුරුම්පුවක්‌ කරගෙන කොන්දේසි රැසක්‌ද ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. පසුගිය යුද මෙහෙයුම්වලදී අතුරුදන් වී සිටින අයගේ නාම ලේඛනයක්‌ද යුරෝපා ප්‍රජාවට අවශ්‍ය වී තිබේ. මානව හිමිකම් පිළිබඳව තොරතුරුද ඔවුන්ට ලබා දෙන ලෙස ඉල්ලීමක්‌ කර ඇතැයි ද කියති. යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ බරපතල යුද අපරාධ සිදු වී ඇති බවට ජගත් මතයක්‌ ගොඩ නැංවීමටද ඔවුන්ට වුවමනා වී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ගොනු කෙරෙන අයුක්‌ති සහගත චෝදනා පත්‍රයකට රුකුල් දෙන චැනල් 4 නාලිකාවේ අභූත මැවීමද අපට සිහි වේ. මේවා බටහිර අවශ්‍යතා අනුව සිදු වෙද්දී ආණ්‌ඩුව හා විපක්‍ෂය ද එක්‌ව ක්‍රියා කිරීම රටට යහපත් බව අපි හඟිමු. එහෙත් විපක්‍ෂය ද එබඳු චෝදනා ඉදිරිපිට ප්‍රතිචාර දක්‌වන්නේ ආණ්‌ඩුව හුදෙකලා කිරීමටය. ජී. එස්‌. පී. සහනය ලබා ගැනීමට නම් එජාපයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් විය. එය ආදර්ශවත් දේශපාලන ප්‍රතිචාරයක්‌ බව අපි හඟිමු. විපක්‍ෂ නායකවරයාද එම සහනය රටට හිමි විය යුතු බව අවධාරණය කරයි.

ත්‍රස්‌තවාදය නිසා අවතැන්වී සිටින දෙමළ ජනතාව ඔවුන්ගේ ගම්බිම්වලට පදිංචි නොකිරීම පිළිබඳව යුරෝපා ප්‍රජාව මෙන්ම ශ්‍රී ලංකාවේ විපක්‍ෂයද කනස්‌සල්ලට පත්ව සිටියි. බටහිරයන්ගේ සාක්‌කුවල සිටින එන්ජීඕ කුක්‌කෝද මේ ප්‍රශ්නය ඇවිලවීමට දිය යටින් ගින්දර ගෙන යමින් සිටිති.

සැබැවින්ම මෙය අද තිබෙන මුඛ්‍යතම ජාතික ප්‍රශ්නයකි. මෙම කඳවුරු වල සිටින ජනතාවගේ ඉරණම තම අභිමතය පරිදි විසඳිය යුතු යෑයි හෝ එය විපක්‍ෂයට ප්‍රශ්නයක්‌ නොවිය යුතු යෑයි හෝ රජයට සිතීමට ඉඩක්‌ නැත. විපක්‍ෂයද එම ප්‍රශ්නයේ ගැඹුර හා යථාර්ථය නොදැන එයින් දේශපාලන වාසි ලබා ගැනීමද වැරදිය. මේ දොගොල්ලන්ට මැදිවී සිටින ජනතාව බේරා ගැනීමේ මුවාවෙන් අපේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අතදැමීමේ අවස්‌ථාවන් බටහිරයන්ට නිර්මාණය වන්නේ මේ හැල හැප්පීම් නිසාය.

ආණ්‌ඩුවත්, විපක්‍ෂයත් මෙහිදී එක්‌ව ජාතික වගකීමෙන් ක්‍රියා කරන්නේ නම් කිසිවකුට එයට බලපෑම් කිරීමට ඉඩක්‌ නොලැබේ. එහෙත් අපගේ දේශපාලන නෝක්‌කාඩුකම් අද රෙටි ඉරණම තීන්දු කරන ප්‍රශ්න නිර්මාණය කරන බව මේ දෙගොල්ලන් විසින්ම අමතක කරනු ලැබ තිබේ.

මේ ප්‍රශ්න මදිවාට දැන් රත්තරන් ප්‍රශ්නයක්‌ද මතු කර තිබේ. මහ බැංකු සංචිතයේ තිබෙන රත්‍රන් විකිණීමට තරම් ආණ්‌ඩුව බංකොලොත් වී නැති බව ඇමැතිවරු කියති. එහෙත් විපක්‍ෂ නායකවරයා පුන පුනා කියන්නේ එබඳු ගනුදෙනුවක්‌ පිළිබඳ තොරතුරු තමන්ට ලැබී ඇති බවයි. එසේම රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටියදීත් රත්‍රන් විකුණා දමා ඇති බවක්‌ද කියෑවිණි. කුමක්‌ වුවත් ජනතාව නොදන්නා ගනුදෙනු මේ රටේ සිදුවී තිබේද? යළිත් සිදුවේද? යන ප්‍රශ්න ඕපා දූප ලෙසම බැහැර කළ හැකි නොවන බව කිව යුතුය.

කෙසේ හෝ වේවා අද මේ රට තුළ ජාතික ප්‍රශ්න විස¹ ගැනීමේ සම්මුතියක්‌ අවශ්‍ය බව නම් අපට පෙනේ අවතැන්වූවන්ගේ ප්‍රශ්නය, ජී. එස්‌. පී. සහනය හා රත්‍රන් ප්‍රශ්නය මේ රට ඉදිරියේ තිබෙන මරණ තුනක්‌ වැන්න. ඒ මරණ තුනෙන් ගොඩඒම වෙනුවට දේශපාලන පැණි කෑමෙන් ලබන තාවකාලික අස්‌වැසිල්ල රටට හානියක්‌ මෙන්ම ජනතාවට කරන අපරාධයක්‌ බවද අපි සෘජුවම කියමු. රටත්, ආර්ථිකයත් රටේ අභිමානයත් සුරැකීම සඳහා පටු දේශපාලන න්‍යාය පත්‍ර බැහැර කළ යුතු බව ආණ්‌ඩුව මෙන්ම විපක්‌ෂයද පසක්‌ කරගත යුතුය., නැත්නම් විනාශ වන්නේ ආණ්‌ඩුව හෝ විපක්‍ෂය නොව රටත් රටේ පොදු ජනතාවත් බව අපි පැහැදිලිවම කියන්නෙමු.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v