රට බෙදීමට පෙරළි කළ ජෝති පලායයි

පොලොන්නරුවේ මහ විජයබා මහ පැරකුම්බා මෙන්ම කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල යනාදී පාලකයන්ගේ කාලවලදී ඔවුන් විසින් මුළු රටම එක්‌සේසත් කර තිබුණත්, එහි අවසාන කාලයෙහි නායකයන් මෙන් ම ඇමැතියන් අතර නිතර ඇති වූ අරගල නිසා බලය දුර්වල වී රජරට ආක්‍රමණිකයකු වූ මාඝට යටත් වීය. අනතුරුව රුහුණ, දඹදෙණිය, යාපහුව මේ ආදී ලෙසින් රටේ බොහෝ තැන්වල එක්‌ එක්‌ නායකයන් බලවත් වී ස්‌වාධීන වී බලය පතුරුවාගෙන සිටියහ. අනතුරුව 1232 දී තෙවන විජයබා දඹදෙණිය මුල් කොටගෙන රාජ්‍යයක්‌ ආරම්භ කළද ඔහුට මුළු රටම එක්‌සේසත් කිරීමට නොහැකි විය. 1260 ගණන්වලදී උතුරේ යාපන අර්ධද්වීපය මුල් කොටගෙන වෙනම රාජ්‍යයක්‌ ආරම්භ කිරීම මේ තත්ත්වය තවත් තීව්‍ර කරන්නක්‌ වීය. ඉන්පසුව උතුරේ බලය දකුණේ ව්‍යාප්ත වීම ගම්පල, දැදිගම කාලවලදී දක්‌නට ලැබෙන අතර පොලොන්නරු යුගයේ දී මෙන් නැවත රට එක්‌සේසත් කළේ ක්‍රි.ව. 1412 රජ පැමිණි ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ සවැනි පැරකුම්බා විසින් ය. එතුමා රාජ්‍ය භාර ගන්නා විට යාපනය, වන්නි හා උඩරට යන සියලු ප්‍රදේශ ස්‌වාධීන පාලන ප්‍රදේශ වීය. එහෙත් පොලොන්නරු යුගයේ මහ පැරකුම්බා රට එක්‌සේසත් කළේ යම් සේද එතුමා ද මෙම ප්‍රදේශ හමුදා බලය යොදා යටත් කොට රට එක්‌සේසත් කළේය. එසේ ඒකීය රාජ්‍යයක්‌ ඇති කිරීමෙන් අනතුරුව නිදහස්‌ කරගත් සමහර ප්‍රදේශවලට රජතුමා වෙනුවෙන් රට පාලනය කිරීමට නිලධාරීන් පත්කොට තිබූ අතර එම ප්‍රදේශවලින් රජතුමා විසින් වාර්ෂිකව බදු ලබාගත් බව රාජාවලියෙන් තහවුරු වේ. උදාහරණ වශයෙන් උඩරටින් බදු මෙන්ම වැඩවසම් ශ්‍රම සේවයද සැපයීමට තිබූ බව එහි සඳහන් ය.

මේ ආකාරයෙන් යාපනය පාලනය කිරීමට එම ප්‍රදේශය යුද්ධ බලයෙන් දිනාගත් හමුදා නිලධාරියා වූ සපුමල් කුමර පත්කරන ලදී. සපුමල් කුමරු රජගෙයි ම හැදී වැඩී සිටියෙකු බව මූලාශ්‍රයන්හි සඳහන් අතර පසුව සවන බුවනෙකබාහු යනුවෙන් රජ වන්නේ ද ඔහුය. මේ ආකාරයෙන්ම උඩරට ප්‍රදේශයේ පාලකයා වශයෙන් පත්කර සිටියේ ජෝතිය සිටාණ නමැත්තෙකු බව රාජාවලිය, පැරකුම්බා සිරිත, වැලන්ටයින් ගේ විස්‌තරය ඇතුළු මූලාශ්‍රයන්හි සඳහන් වේ. දුම්බර ප්‍රදේශයේ මඩවල පිහිටි ශිලා ලිපියේ මොහු සමග රාජවංශික කුමාරයෙකුද පාලනයට සම්බන්ධව සිටි බවත් ඔහු ඈපාණ නම් වූ බවත් මඩවල ලිපියෙන් පැහැදිලි වේ. ඈපා යන්න පිළිවෙළින් රාජ්‍ය හිමිවන කුමරුවන්ට යෙදූ තනතුරු නාමයකි. මේ ජෝතිය සිටු කවරෙකු දැයි පැහැදිලි නැතත් උඩරට පාලනය භාරදීමට තරම් පවුල් වැදගත්කමකින් යුක්‌ත වූ පුද්ගලයෙකු බව නම් නිසැකය. රාජාවලියේ සඳහන් පරිදි පැරකුම්බා රජුගේ අවසාන කාලයේ උඩරට ස්‌වාධීන රාජ්‍යයක්‌ බිහි කිරීමට පෙරළි කොට ඇත්තේ මෙම ජෝතිය සිටු හෙයින් ඔහු සමකාලීනව රාජ්‍ය තන්ත්‍රයේ බලවත් පුද්ගලයකුව සිට ඇත. මඩවල සෙල් ලිපියේ අවසානයට මොහු හඳුන්වා ඇත්තේ දිවානවත්ත ලංකා අධිකාර නමිනි. දිවානවත්ත යනු හාරිස්‌පත්තුවේ පිහිටි ගමකි. සිටාණ යන තනතුර මීට පෙර ගම්පොල යුගයේද දක්‌නට ලැබෙන්නකි. උදාහරණයක්‌ වශයෙන් මයුර සංදේශයේ රාජ සභාවේ සිටි නඟරම් සිටු නම් තනතුරක්‌ ගැන කියෑවෙන අතර මේ වෙළඳ ඇමැති විය හැකි බව මහාචාර්ය පරණවිතානගේ අදහසයි. කෙසේ වෙතත් නිරිත දිග ශිෂ්ටාචාර සමයේ දී කුරුඳු කුළුබඩු ආදී ද්‍රව්‍ය සම්බන්ධ විදේශ වෙළෙ¹ම දියුණු වීමත් සමගම වාණිජ කටයුතුවල යෙදී සිටි පවුල් බලසම්පන්න වී ඇති බව පෙනෙන්නේ ගම්පල යුගයේ 4 වන බුවනෙකබාහු රජුගේ අග්‍රාමාත්‍ය ව ප්‍රභූරාජ අලකේශ්වර වෙළඳ කුලයට සිළුමිණක්‌ බඳු වූ (වණික්‌ වංශ ශිඛාමණී) යනුවෙන් නියම්ගම්පාය ලිපියේ සඳහන් වීමෙනි. එම ලිපියේ ම කියෑවෙන පරිදි ඔවුන් ඉන් ඉතා බොහෝ කලකට පෙර දකුණු ඉන්දියාවේ වංජිපුරයෙන් පැමිණි අය බව පෙනෙන්නේ වංජිපුර පුරාධීසො යනුවෙන් සඳහන් වීමෙනි. එහෙයින් ශ්‍රී ජයවර්ධනපුරයේ සවැනි පැරකුම්බාට විරුද්ධව නැගී සිටි ජෝතිය සිටුද මෙම වාණිජ පවුලක සාමාජිකයකු යෑයි සැලකිය හැකිය. ඉහත කී අලකේශ්වර ගම්පොල පාලන සමයේ රැඳී සිටියේ පේරාදෙණියේ බැවින් ද එම පවුල් හා සමහර විට සම්බන්ධතාවක්‌ තිබීම අපහසු නැත. අනෙක්‌ අතට ඔහුගේ නිජබිම වූ දිවානවත්ත අසල ම බමුණුපොල නමින් ගමක්‌ ඇත. තවද ඊට ආසන්න මැදවල විහාරයේ පර්වතයක කොටා ඇති ශිලා ලිපියක ගම්පොල යුගයේ ආරම්භයේ දී එම ස්‌ථානයේ යාපනේ පාලකයා වෙනුවෙන් බදු රැස්‌කරන නිලධාරියෙකු සිටි බවද සඳහන් ය. ඒ අනුව බලන කල්හි පුරාණ හාරිස්‌පත්තුවේ මෙම ප්‍රදේශය 14, 15 සියවස්‌වලදී ඉතා වැදගත් තැනක්‌ ගෙන ඇති බව පෙනේ. කෙසේ වෙතත් රාජාවලිය දක්‌වන පරිදි පැරකුම්බා රජතුමා වසර පනස්‌ දෙකක්‌ රජ කළ තන්හි උඩරට පාලනය භාරව සිටි ජෝතිය සිටු උඩරටින් කෝට්‌ටේ රජතුමාට එවිය යුතු වාර්ෂික බදු ගෙවීම්ද රාජකාරී සේවය සඳහා මිනිසුන් එවීමද නවතා දමා ස්‌වාධීන පාලකයකු මෙන් කටයුතු කිරීමට තැත් දරා ඇත. මේ ඇසූ රජතුමා සතර කෝරළේ භාරව සිටි අම්බුලුගල කුමාරයා යටතේ උඩරටට විශාල හමුදාවක්‌ යෑවූ තැනේදී ජෝතිය සිටු ප්‍රදේශය හැර පලාගොස්‌ ඇත. මොහු පලාගිය පෙදෙසක්‌ සඳහන් වන්නේ නැති අතර ඔහු සොයා ගැනීමට නොහැකි පෙදෙසකට ගිය බවක්‌ පෙනෙන්නේ පැරකුම්බා සිරිතෙහි ඔහුගේ පලායැම සඳහන් කිරීමේදී

ජෝතිය සිටු නරවර ගනදර කඳ

බීතිය කර ගියෙ පරසක්‌වල වැද

යනුවෙන් මෙම සිද්ධිය පැරකුම්බා සිරිතේ 48 වැනි කවියේ සඳහන් වීමෙනි. අම්බුලුගල කුමාරයා උඩරට ජෝතිය සිටුගේ ස්‌වාධීන වීම වළක්‌ලූවා පමණක්‌ නොව ඔහුගේ ඥතීන්ද සිරකරුවන් සේ අල්ලාගෙන කෝට්‌ටේ රජු වෙත ගෙනවුත් භාරදී තිබේ. මෙසේ ගෙන ආ ඥතීන් කවුරුන්දැයි මූලාශ්‍රයන්හි සඳහන් නැත. එහෙත් පුරාණයේ සතුරෙකු අල්ලා ගැනීමත් සමගම ඔහුගේ ඥතීන්ද සිරකරුවන් ලෙස අල්ලා ගැනීමේ සම්ප්‍රදායක්‌ තිබී ඇත්තේ සතුරාගෙන් පසුව ලේ ඥතියෙකු නැවත නායකත්වය ගෙන රජුට විරුද්ධව නැගී සිටීමට හැකි හෙයින් එම තත්ත්වය වළකාලීමටය. ජෝතිය සිටු සමකාලීන උඩරට සමාජයේ සිටි බලවත් හා වංශවත් පවුලක සාමාජිකයකු විය යුතු බව ඉහත සඳහන් කළෙමු. ඉහත කී මඩවල සෙල් ලිපියේ අවසානයේ දී ඔහු හඳුන්වා ඇත්තේ ලංකා අධිකාර යනුවෙන් වීමත් එය සනාථ කරවන්නකි. ලංකා අධිකාර තනතුර හෝ අභිදානය මීට පෙර පොලොන්නරු යුගයේ මහ පැරකුම්බා රජතුමාගේ සටන් ව්‍යාපාරයේ දී හමුදා කණ්‌ඩායමක ප්‍රධානත්වය ලැබූ නිලධාරියෙකුට යොදා තිබේ. එ සමයේ හමුදාවේ ලංකාධිකාරී මෙන්ම ද්‍රවිඩාධිකාරි නම් තනතුරක්‌ද සඳහන් ය. මේ යුගයේ යුදමය අංශයෙන් රටේ ප්‍රධාන සේනාපතිට දෙවනුව දක්‌නට ඇත්තේ අධිකාරය. දොරටියාව සන්නසේද තනතුරු දැක්‌වීමේදී යුවරජු සෙනෙවිරත් හා අනතුරුව අධිකාරී දක්‌වා තිබේ. සහාසමල්ල රජතුමා විසින් තමා රජ කරවීමේ දස්‌කමට ලංකාධිකාරී ලොළු පැලෑකුළු දුත්තැටි ආබෝනාට සෙනෙවිරත්කම හා අගමැතිකම දී ඇත. අදිකරි යන්නෙන් හමුදාපති වැනි අරුතක්‌ ලබාදෙන බව විල්හෙල්ම් ගයිගර් සිය මධ්‍යකාලීන ලංකා සංස්‌කෘතිය ග්‍රන්ථයේ සඳහන් කරයි. එහෙත් අධිකාර තනතුර යෙදී ඇති තැන් සියල්ල සැලකිල්ලට ගැනීමේදී ඉන් යම් කාර්යයක ප්‍රධානියා හැඳින්වූ බවද සිතිය හැකිය. ද්‍රවිඪාධිකාරි තනතුරු පිළිබඳ විස්‌තරවල දී ඔහු දෙමළ හමුදා හෝ පිරිස්‌ භාරව සිටි බවට සාක්‌ෂ්‍ය ඇත. සද්ධර්ම රත්නාවලියේද රජතුමා වෙනත් ප්‍රදේශයකට යැමේදී ඔහු කැටුව ගිය නිලධාරීන් දෙදෙනකු වශයෙන් ද්‍රවිඪාධිකාරි හා ලංකාධිකාරී සඳහන් වීමෙන් එය පිරිස්‌ භාරව සිටි ඉහළ නිල දෙකක්‌ බව සැලකිය හැකිය. ඡේතිය සිටු උඩරට ඔහු යටතේ කෝට්‌ටේ රාජ්‍යයෙන් නිදහස්‌ කර ගැනීමට උත්සාහ කළේ කුමක්‌ නිසාදැයි පිරික්‌සීමේදී මේ සිද්ධිය සිදුවී ඇත්තේ පැරකුම්බා රජතුමාගේ පනස්‌ දෙවැනි රාජ්‍ය වර්ෂයේ බව රාජාවලියේ සඳහන් වේ. ඒ වර්ෂය වන විට රජතුමා බොහෝ සෙයින් වියපත්ව සිටි හෙයින් තම රාජ්‍යය තම දියණිය වූ උලකුඩය දේවියගේ පුත් වීර පරාක්‍රමබාහු හෙවත් දෙවැනි ජයබාහුට පැවරූ වර්ෂයයි. සවැනි පැරකුම්බා විසින් මුළු රටම යටත් කරගෙන සිටීමේදී බෙහෙවින් උපකාර වූ යාපනය අල්ලාගෙන එය පාලනය කරමින් සිටි සපුමල් කුමාරයා ඊට අකමැති වී කෝට්‌ටේ රාජ්‍ය බලය ලබා ගත්තා සේ කෝට්‌ටේ රජුගේ මේ දුර්වල වූ අවස්‌ථාව තමාට රාජ්‍ය පැහැර ගැනීමට සුදුසුම අවස්‌ථාව වූ බව ජෝතිය සිටු සලකා ඇති බව පෙනේ. පෘතුගීසි ලේඛකයකු වූ වැලන්ටයින්ද ජෝතිය සිටු නමින් මෙම විස්‌තරය සිය ග්‍රන්ථයට ඇතුළත් කර තිබේ.

ජෝතිය සිටාණ සමග මඩවල සෙල් ලිපියේ සඳහන් ඈපාණ යනු එම ලිපියේ ම අග දන්තොටුවතුරේ දෙවන් යනුවෙන් නම් කොට තිබේ. උඩරට ප්‍රදේශයේ යටිනුවර පිහිටා ඇති දන්තුරේ යන්න නම් පොතෙහි සටහන්ව ඇත්තේ දන්තොටවතුර යනුවෙන් හෙයින් මෙකී ඈපාණගේ මුල්බිම දන්තුරේ විය හැකිය. ජෝතිය සිටුගේ පලායැමෙන් අනතුරුව උඩරට පාලනය ඈපාණ හෙවත් දන්තෙටුවතුරේ දෙවන්ට ලැබුණද උඩරට ස්‌වාධීන වීමට ගත් උත්සාහය අතහැරී නැත. ජෝතිය සිටාණට එය නොහැකිවුවද ඉතා සුළු කලකින් සේනා සම්මත වික්‍රමබාහු නමින් රජ වූ තැනැත්තා යටතේ උඩරට, කෝට්‌ටේ රජයෙන් නිදහස්‌ කරගත්තද ජෝතිය මෙන් ම ඔහු ද කාගේ කවුරුන්දැයි නිශ්චිතව ඉතිහාසයේ සඳහන් නොවේ.

අනුෂි තිසාරා කාරියවසම්

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v