පරණ නොවන පරණවිතාන මෙහෙවර

තමා දායාද කොට උපන් නිහඬ පරිසරයක තිබූ සීමිත සම්පත් ස්‌වෝත්සාහයෙන්ම උපරිම ලෙස උපයෝගී කර ගනිමින්, තරගකාරී ලොවකට එළඹ නොනැවතී ඉදිරියට යැමේ අභියෝගය අප්‍රතිහත ධෛර්යයකින් ජයගනිමින්, ජාතියකට හිමිව තිබූ යටගිය සෞභාග්‍යයක අසිරිමත් ශ්‍රී විභූතිය අප ජාතියටත් රටටත් හා සෙසු ලෝකයාට විවර කර පෙන්වූ පඬිරුවනක්‌ මෙයට වසර 37 කට පෙර (එනම් 1972 ඔක්‌තොබර් 04 වැනි දින) අවුරුදු 76 ක්‌ ආයු වළ¹ නිහඬවම දැයෙන් සමුගත්තේය. දෙස්‌ විදෙස්‌වල පවා ඉමහත් කීර්තියට හා ප්‍රසාදයට පත්, අපිස්‌ ගුණයෙන් හෙබි ඒ විද්වතා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාය.

පරණවිතාන මහතා උපන්නේ 1896 දෙසැම්බර් 26 වැනි දින ගාලු දිස්‌ත්‍රික්‌කයේ උණවටුන ප්‍රදේශයට යාබදව පිහිටි මැටරඹ නම් ගමෙහිය. ඒ මහතාගේ පවුලේ එක්‌ සහෝදරයකු හා සහෝදරියන් තිදෙනකු සිටි අතර පරණවිතාන මහතා තෙවැන්නාය. පාසල් අධ්‍යාපනය සඳහා කුඩා පරණවිතාන 1901 දී මැටරඹ මෙතෝදිස්‌ත පාසලට ඇතුළත් කරන ලදී. වසර 2 කට පසුq හෙතෙම උණවටුනේ බොනවිස්‌ටා ඉංග්‍රීසි පාසලට ඇතුළත් විය. ඉන් පසුව උදයේ ඉංග්‍රීසි පාසලට ගොස්‌ සවස්‌ වරුවේ පාලි, සංස්‌කෘත හා සිංහල යන ප්‍රාචීණ භාෂා ඉගෙනීමට රන්වලගොඩ පිරිවෙණට යැමට පරණවිතාන මහතා පිළියෙල කරගෙන තිබුණි. 1910 දී බොනවිස්‌ටා විද්‍යාලයෙන් පාසල් හැර යැමේ ඉංග්‍රීසි කනිෂ්ඨ සහතික පත්‍ර විභාගයෙන් ඔහු සමත්a විය. ප්‍රාචීණ භාෂා පිළිබඳ දැනුම වර්ධනය කරගත් පරණවිතාන මහතා 1915 දී ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගයට පෙනී සිට, ඉතිහාසය හා පුරාවිද්‍යාව යන විෂයන් දෙකටම ඉහළම ලකුණු ලැබීම හේතු කොට ගෙන සිංහල තරුණ මණ්‌ඩලය විසින් ලංකා ශිලා ලිපි සංග්‍රහයේ පළමු කාණ්‌ඩය එතුමාට පරිත්‍යාග කරන ලදී. ස්‌වකීය අධ්‍යාපන කටයුතු දිගින් දිගට වැඩි දියුණු කරගැනීමට උත්සාහී වූ එතුමා ප්‍රාචීන මධ්‍යම පරීක්‍ෂණයෙන් ද සමත් වී මාගාල්ලේ සුධර්මා විද්‍යාලයේa ඉංග්‍රීසි ආචාර්යවරයකු වශයෙන් පත්විය.

එවකට යටත්විජිත ඉංග්‍රීසි රජය යටතේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ වශයෙන් සිටි ඉංග්‍රීසි ජාතික ඊ.බී. ඩෙන්හැම් මහතා පාසල් නිරීක්‍ෂණ චාරිකාවක යෙදී සිටියදී පරණවිතාන මහතා ඉගැන්වූ කුඩා පාසලට අවුත් ඒ පන්තියේ පරණවිතාන මහතා ඉගැන්වූ අන්දම හා ඒ සඳහා දැක්‌වූ කැපවීම පිළිබඳව බෙහෙවින් පැහැදුණි. පසුව කොළඹට ආපසු ගිය අධ්‍යක්‍ෂ ඩෙන්හැම් මහතා විසින් උපරිම සේවයක්‌ ලබාගැනීමේ අදහසින් පරණවිතාන මහතා උඩුගම්පළ රජයේ දෙබස්‌ විදුහලට මාරුකර යවන ලදී.

කෙසේ වෙතත් පරණවිතාන මහතාගේ දිවියේ විශාලතම පරිවර්තනය සිදුකළ සිදුවීම් සමුදායක ආරම්භය මේ වකවානුව තුළදී සිදුවෙන ලකුණු පහළ විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලිපි සහකාරවරයකු සඳහා තිබූ පුරප්පාඩුවක්‌ පිරවීමට පුවත්පත්වල දැන්වීමක්‌ පළවිය. එහෙත් අයදුම්පත් කැඳවීම උපාධිධාරී සුදුසුකම් ඇති අයට සීමා වූ හෙයින්, අප්‍රතිහත ධෛර්යකින් යුත් පරණවිතාන මහතා තමාට මාගාල්ලේ පාසලේදී හමු වූ ඩෙන්හැම් මහතාට ලිපියක්‌ යවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති පුරප්පාඩුවට වඩාත් අවශ්‍ය වන්නේ සිංහල, පාලි හා සංස්‌කෘත යන විෂයන් බැවින්, තමන් ප්‍රාචීණ මධ්‍යම පරීක්‍ෂණයෙන් සමත් වී ඇති බව දන්වා, විශේෂ කරුණක්‌ ලෙස සලකා අදාළ තනතුරට අයදුම්පතක්‌ ඉදිරිපත් කිරීමට විශේෂ අවසරයක්‌ ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පරණවිතාන මහතා ඉල්ලා සිටි විශේෂ අවසරය ලැබුණි. තමන් මධ්‍යම ප්‍රාචීණ පරීක්‍ෂණයෙන් සමත් වූ විට තෑග්ගක්‌ වශයෙන් ලැබුණු ලංකා ශිලා ලිපි සංග්‍රහය කියවා එහි ඇති කරුණු හොඳින් අවබෝධ කරගෙන සිටි පරණවිතාන මහතාට සම්මුඛ පරීක්‍ෂණ මඬුල්ල හමුවේ තමන් සතු විශේෂ සුදුසුකම් පිළිබඳව වගකීමෙන් යුතුව කරුණු ඉදිරිපත් කර එහි නිලධාරීන්ට ස්‌වකීය හැකියාවන් පිළිබඳ ඒත්තු ගැන්වීමට පිළිවන් වූයෙන් පරණවිතාන මහතා 1923 දී පුරාවිද්‍යා ශිලා ලිපි විමර්ශන ධුරයට පත්කරනු ලැබීය. අදාළ තනතුරෙහි කාර්යභාරයන් හා වගකීම් මනා අවබෝධයකින් යුතුව සේවය කරන බැව් අවබෝධ කරගත් දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානීන් ඉන්දියාවේ පුරාවිද්‍යාව හැදැරීමට පිරිනමන ලද ශිෂ්‍යත්වයක්‌ පරණවිතාන මහතාට ලබාදී 1923 සිට 1926 දක්‌වා වසර තුනකට ආසන්න කාලයකට පරණවිතාන මහතා ඉන්දියාවට යවන ලදී. එහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය වන විෂයන් වශයෙන් ශිලා ලේඛන විද්‍යාව, ප්‍රතිමා විද්‍යාව, පැරණි කාසි පිළිබඳ නාණක ශාස්‌ත්‍රය, කෞතුකාගාර පාලනය හා සංවර්ධනය, පුරාවිද්‍යා කැණීම් ආදී කාර්යභාරයන් පිළිබඳව මනා පුහුණුවක්‌ ලැබිණ. ඉන්දු ගංගා නිම්නයේ පුරාවිද්‍යා කැණීම් පිළිබඳ චිරප්‍රසිද්ධ නමක්‌ ලබා සිටි ශ්‍රීමත් ජෝන් මාෂල් මහතා යටතේ කැණීම් කටයුතුවලට සහභාගි වීමට ඔහුට ද හැකිවිය.

පරණවිතාන මහතාට ඉන්දියාවේ පුහුණුව සඳහා ලැබුණු මහඟු අවස්‌ථාව ඔස්‌සේ තවත් අතිශයින් ප්‍රයෝජනවත් කාර්යයක මුලපිරීමක්‌ සිදුවිය. ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා ලේඛන විද්‍යාඥයකු වූ කේ. වී. සුබ්‍රමන්‍ය අයියාර් මහතා යටතේ කටයුතු කළ කාලය තුළ දෙමළ භාෂාව පිළිබඳ මනා පරිචයක්‌ ලබාගැනීමට ද පරණවිතාන මහතාට හැකිවිය. ඒ අනුව එතුමා ලංකාවට පැමිණීමෙන් පසු පළමු වැනි විජයබාහු රජතුමා විසින් පිsහිටුවන ලද වැදගත් ඓතිහාසික තොරතුරු අඩංගු දෙමළ බසින් රචිත වේලෙයික්‌කාර ශිලාලේඛනය පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක්‌ කොට, එය ඉන්දීය ශිලාලේඛන සංග්‍රහයේ (එපිග්‍රපියා ඉන්ඩිකා) 1926 දී පළකරන ලදී. ඉන්පසු ලංකාවේදී හමු වූ දෙමළ ශිලාලේඛන ලංකා ශිලා ලිපි සංග්‍රහයේ පළකිරීම නිසා යුගයක ආරම්භයක්‌ ද ඇති විය. සමස්‌තයක්‌ වශයෙන් ගත් කල්හි පරණවිතාන මහතා අතින් ලංකා ශිලාලිපි සංග්‍රහයට ශිලා ලිපි සංස්‌කරණය කිරීම 1926 සිට 1956 දක්‌වා වසර 30 ක කාලයක්‌ තුළ සිදුවී ඇත. දෙමළ ශිලා ලේඛන සංස්‌කරණය හා පළකිරීම නොදියුණු අවදියක තිබූ විටදී, දෙමළ ශිලාලේඛන 9 ක්‌ සංස්‌කරණය කොට පළකිරීමෙන්, ලංකාවේ දෙමළ ශිලාලේඛන විද්‍යාවේ පරණවිතාන මහතා පුරෝගාමියෙකු බව මහාචාර්ය කීර්තිගේසු ඉන්ද්‍රපාලන් මහතා සඳහන් කරයි.

1923 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුණු පරණවිතාන මහතා 1929 දී ලංකා ශිලා ලිපි සංග්‍රහයේ කර්තෘ පදවියට පත් කරනු ලැබ ඒ තනතුරෙහි 1956 දක්‌වා වසර 33 ක අමිල සේවයක්‌ ඉටු කළේය. පුරාවිද්‍යා කොමසාරිස්‌ ධුරයේ වසර 5 ක්‌ වැඩබැලීමට පත්කරනු ලැබූ ඔහු 1940 දී පුරාවිද්‍යා කොමසාරිස්‌ ධුරයට පත් කරනු ලැබූයෙන්, එම තනතුරට පත් ප්‍රථම ලාංකිකයා වීමේ භාග්‍යයද එතුමාට හිමිවිය. පුරාවිද්‍යා කොමසාරිස්‌ වශයෙන් අනභිභවනීය සේවයක්‌ කළ පරණවිතාන මහතා 1956 දෙසැම්බර් මස 25 වැනි දින එම තනතුරෙන් විශ්‍රාම ගෙන සතියක්‌ ඉකුත්වීමට මත්තෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරයට පත්කරනු ලැබිණ. වසර 8 ක්‌ විශ්වවිද්‍යාලයේ සේවය කළ එතුමා ස්‌වකීය භාර්යාවගේ අසනීප තත්ත්වය සලකා එම සේවයෙන් ඉවත් වී පදිංචියට කොළඹට පැමිණියේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගත කළ කාලය තුළ පැරණි ඉන්දියාවේ ලුම්බිණි නුවර අශෝක අධිරාජ්‍යයා විසින් බුදුන්වහන්සේගේ කුමාරෝත්පත්තිය සිදුවූ ස්‌ථානය සනිටුහන් කිරීම සඳහා පිහිටුවන ලද ලිපියක්‌ සහිත ශිලා ස්‌ථම්භය පරණවිතාන මහතාගේ අවධානයට යොමුවිය. එම ලුම්බිණි අශෝක ශිලා ලිපිය පිළිබඳව පෙර අපර දෙදිග විද්වතුන් විසින් විවරණය කර ඇති නමුදු එම ලිපියේ අඩංගු තුන් වැනි වැකිය පිළිබඳව සපයා ඇති අර්ථකථනය ගැන උගතුන් සෑහීමකට පත් වී නොතිබිණි. ලිපිය ඇති ස්‌ථම්භයේ කුළුණු මත අශ්වයෙකුගේ රුවක්‌ තබා තිබූ බව ඓතිහාසික තොරතුරුවලින් පැහැදිලි වන නමුදු යථෝක්‌ත ලිපියේ දැක්‌වෙන අදහස්‌ හා අස්‌ රුව පිළිබඳ ප්‍රවෘත්තිය එකිනෙකට ගැලපීම අපහසු නිසා අශෝක අධිරාජ්‍යයා ප්‍රකාශ කිරීමට අදහස්‌ කළ පණිවිඩය විකෘත වන බව පැහැදිලි විය.

ඒ හේතුකොටගෙන පරණවිතාන මහතා තෙවැනි වැකියේ මුල් වචන යුගල "සිලා විගඩබී වා කලාපිත" යන වාක්‍යාංශයේ "සිලා විගඩබී" යන වචන වෙන් කොට ඒ වෙනුවට "සිලාවි ගඩබී" යනුවෙන් නව අර්ථකථනයක්‌ ඉදිරිපත් කළේය. මෙහිදී සිලාවි යන වචනය "ශ්‍රැත්වා" යන සංස්‌කෘත වචනයෙන් ප්‍රාකෘත භාෂාව ඔස්‌සේ බිඳී ආ "සැලවි" යන සිංහල අර්ථය උද්දීපනය කර දක්‌වන වචනයක්‌ ලෙස පරණවිතාන මහතා දක්‌වයි. ඒ හා සම්බන්ධ වී ඇති "ගඩබී" යන වචනයෙහි "ගඩ" යන්න ප්‍රබල ලෙස යනුවෙන් අර්ථ විවරණය කර ඇති අතර "අභීච" යන්න අභිලාෂය හෝ කැමැත්ත යන අරුත ප්‍රකාශ වන බව පරණවිතාන මහතා නිගමනය කරයි. ඉහත කී සංශෝධනයන් සමග අශෝක අධිරාජ්‍යයා අපේක්‍ෂා කළ අදහස පහත සඳහන් අන්දමින් ඒ ලිපියේ නව අර්ථ විවරණය තුළින් පැහැදිලි වනු ඇත. දේවානම්පිය ප්‍රියදර්ශන රජතුමා රාජ්‍යත්වයෙන් විසි වසරක්‌ ඉකුත් වීමෙන් පසු තමාම මෙම ස්‌ථානයට පැමිණ වැඳ පුදා ගත්තේය. ශාක්‍යමුණි බුදුරජාණන්වහන්සේ මෙතැන්හි උත්පත්තිය ලද බව (එතුමාම) ප්‍රකාශයට පත්කරවීමෙන් (ඒ ස්‌ථානයේ) මහජනයා අතර මහත් අභිලාෂයක්‌ උපදවා ඇත. තවද බුදුන්වහන්සේ (මේ ස්‌ථානයේ) උපන් බව (දැක්‌වීමට) එතුමා ශිලා ස්‌ථම්භයක්‌ පිහිටුවීය. ලුම්බිණි ගම බදුවලින් නිදහස්‌ කිරීමෙන් එහි සෞභාග්‍යය උදාකර දීමට එය (සාධකයක්‌ බවට) පත් කරවීය."

පරණවිතාන මහතාගේ ඉහත සඳහන් අර්ථ විවරණය දැක්‌වෙන ලිපිය 1962 අප්‍රේල් - ජුනි කාලය තුළ පළ කරන ලද ඇමරිකාවේ ප්‍රාචීණ විද්‍යා සංගමය මඟින් පළකරන සඟරාවේ අඩංගු වී ඇත. අප දන්නා පරිදි ඉහත දැක්‌වූ අර්ථකථනය පිළිබඳ වෙනත් අදහසක්‌ කවර හෝ විද්වතෙකු විසින් දක්‌වා ඇත්දැයි නොදනිමු. එබැවින් පරණවිතාන මහතාගේ සංශෝධිත අර්ථය විද්වත් ලෝකයා විසින් පිළිගෙන ඇතැයි හඟිමු.

පරණවිතාන මහතා පිළිබඳ මෙතෙක්‌ අප දැක්‌වූ විස්‌තරවලින් ගම්‍ය වන්නේ ඒ මහතාට ඉතාමත් ශක්‌තිමත් පදනමක්‌ එතුමා ලද මූලික අධ්‍යාපනය තුළින් ලැබී ඇති බවයි. ප්‍රාචීන භාෂා පිළිබඳ ප්‍රශස්‌ථ අධ්‍යාපන ක්‍රමයක්‌ පිරිවෙන් අධ්‍යාපනය සතුව තිබූ බව මෙයින් පැහැදිලි වේ. මේ බව ඔහුගේ සමකාලිනයන් වශයෙන් විසූ සමහර බෞද්ධ යතිවරයන් විසින් ලියූ චරිතාපදානවලින් සනාථ වේ.

පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ පරණවිතාන මහතා විසින් නොමැකෙන කීර්තිනාමයක්‌ හිමි කරගෙන ඇති බව දක්‌වන ස්‌ථාන කීපයක්‌ වශයෙන් අනුරාධපුර කැණීම් හා පිළිසකර කටයුතු සීගිරිය, මැදිරිගිරිය, ඉසුරුමුණියේ මඟුල් උයන, එළාර සොහොන වශයෙන් දැක්‌වෙන දක්‍ෂිණ විහාරය, සීගිරි ගල මුදුනේ හා අවට තැනිතලා බිම්වල උද්‍යාන හා පොකුණු පිළිසකර කිරීම හා අලංකරණය කිරීම යන අංගයන්ය. මේ හේතුකොටගෙන ඒ ඒ ස්‌ථාන මුල් කරගත් දේශීය සංචාරක ක්‍රමයක්‌ පණ ගැන්වී ඇත. මෙහිදී වඩාත් වැදගත් වන්නේ එතුමාගේ නිසර්ඝ කුසලතා හා ප්‍රතිභානයන් තුළින් ඉහත කී ස්‌ථානවල අලංකාරය උද්දීපනය වී ඇති ආකාරයයි. ඒ සියලුම කාර්යයන් මධ්‍යයේ හා දෙපාර්තමේන්තු පාලනයට අයත් සෑම කරුණක්‌ පිළිබඳව නිබන්ධයක්‌ හෝ වාර්තාවක්‌ පළකිරීමට තරම් අවකාශයක්‌ ලබාගැනීම එතුමා පෙන්වූ කුසලතාවකි. කිසිදිනෙක අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයකට ඇතුල් නොවූ පරණවිතාන මහතාට ස්‌වකීය පර්යේෂණ කෘතියක්‌ වූ ලංකා ස්‌ථූපය නම් ග්‍රන්ථයට 1936 දී ඔහුගේ දී ලයිඩන් විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද උපාධිය පිරිනමනු ලැබීය. ලංකා ස්‌ථූපය නම් වූ ග්‍රන්ථය මුල් අවධියේ සිටම පරණවිතාන මහතා පෙන්වූ සහජ බුද්ධිය, ස්‌වාධීන විනිශ්චය හා ස්‌ව ශක්‌තියෙන් ඉදිරිපත් කළ නිර්මාණ කුසලතා විදහාපාන ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයකි. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් පළ කරනු ලැබූ ලංකා ඉතිහාස නම් වූ ග්‍රන්ථාවලියේ පළමු වැනි හා දෙවැනි වෙළුම සඳහා සංස්‌කාර පදවියට පරණවිතාන මහතා පත්කිරීම හා විශ්වවිද්‍යාලයීය සංක්‍ෂිප්ත ලංකා ඉතිහාසය නම් වූ ග්‍රන්ථයේ සම සංස්‌කාරක පදවියට ද පත්කිරීමත් නිසා ශ්‍රී ලංකාවේ පැරණි ඉතිහාසය පිළිබඳ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථාවලියක්‌ බිහිකිරීමට පිළිවන් විය.

පරණවිතාන මහතා තමන් ලද දැනුම හා ඥනය සරසවි සිසුන්ට බෙදා හදාදීමට ගත කළ කාලය අවුරුදු 07 ක්‌ පමණ කෙටි කාලයක්‌ වුවද එය එතුමාට අතිශයින් ප්‍රියජනක හා ආශ්වාදජනක අත්දැකීමක්‌ වූ බව පන්තිවලට පැමිණෙන විට ඔහුගේ මුහුණින් දිස්‌වෙන සිනහවෙන් සක්‌ සුදක්‌ සේ පැහැදිලි වන බව ඒ අත්දැකීම් විඳි අපට පසක්‌ විය. සිංහල විශේෂ උපාධිය සඳහා පෙනී සිටින සිසුන්ට හා පුරාවිද්‍යාව හදාරන සිසුන්ට අවශ්‍ය පැරණි ලංකා කලා ශිල්ප, ගෘහනිර්මාණ ශිල්ප, පැරණි සිංහල ශිලා ලේඛන ආදී විෂයයන් පිළිබඳ දේශනා ඒ මහතා විසින් පවත්වන ලදී. එතුමා දේශන ශාලාවට ඇතුල් වී තමා රැගෙන ආ පොත්පත් මේසය මත තබා දෑත් ඉන මත රුවාගෙන සෑම ශිෂ්‍යයෙක්‌ දෙස සිනාමුසු මුහුණින් බැලීම එතුමාගේ සිරිත විය. එයින් ගම්‍ය වූයේ එතුමා ඒ අවස්‌ථාව ලබාගැනීමට එතෙක්‌ මහත් අපේක්‍ෂාවෙන් සිටි බවකි.

පරණවිතාන මහතාගේ දේශන ආවරණය කෙරෙන සෑම විෂයයක්‌ පිළිබඳවම මුළු ලොවටම පහළ වූ විශිෂ්ටතම විද්වතාට සවන්දීමට සූදානම් බව එහි සිටින සෑම සිසුවෙකුගේම මුහුණෙහි නෙත් දැල්වී තිබෙන අයුරින් දැක්‌වේ. ඒ ඒ විෂයයන් පිළිබඳ පරිශීලනයට ඇති හොඳම පොත්පත් වුවද එතුමා අතින්ම නිර්මාණය වූ කෘතීන් බවද අපි දැන සිටියෙමු. සිසුවෝ පරණවිතාන මහතාගේ දේශනයෙහි දැහැනක වැදුණාක්‌ මෙන් නිමග්නව සිටිති. සමහර අවස්‌ථාවලදී ශාස්‌ත්‍රීය පදනමක්‌ ඔස්‌සේ ගලා හැලෙන දේශනවල විරාමයක්‌ සඳහා ඉඳහිට පරණවිතාන මහතා සියුම් උපහාසාත්මක සරදමක්‌ කිරීමෙන් මුළු පන්තියම සිනා සයුරේ ගිල්වනු ඇත.

එක්‌ දිනෙක ලංකා ස්‌ථූප පිළිබඳ දේශන මාලාව ආරම්භ කිරීමට පෙර පරණවිතාන මහතා කළුලෑල්ල දෙසට හැරී එහි "තෙප්" යන වචනය ලෑල්ලේ ලියා පන්තිය දෙසට හැරී මේ වචනය කුමක්‌දැයි ඇසීය. ඒ වචනය ස්‌ථූපය සඳහා සිංහල භාෂාවේ යෙදෙන වචනය බැව් සිසුවෝ ප්‍රකාශ කළහ. ඉන්පසු පරණවිතාන මහතා "ථූප" යන වචනය ලියා පන්තිය දෙසට හැරුණු විට එය ස්‌තූපය සඳහා ඇති පාලි වචනය බව දැක්‌විණ. ඉන්පසුව පරණවිතාන මහතා ස්‌තූපය යන වචනය ලිවීය. එය සංස්‌කෘත වචනය බැව් සිසුවෝ පැවැසූහ. අවසානයට පරණවිතාන මහතා "ස්‌තූප" යන්න ලෑල්ලේ ලියා එය කුමක්‌දැයි පන්තියෙන් ඇසීය. ශිෂ්‍යයෝ විමතියට පත්වී නිහඬ වූහ. එවිට පරණවිතාන මහතා සිනාසෙමින් ඒ වචනය ස්‌වභාෂාවට අයත් යෑයි කීමත් සමගම මුළු පන්තියම සිනා සයුරේ ගිලිණි.

හෙළ බස වහර අත්හදා බැලීමක්‌ වශයෙන් සලකා බැලීමට 1961 පළවූ විශ්වවිද්‍යාලයීය සිංහල සමිතියේ පියවර සඟරාවට අපගේ ඉල්ලීමක්‌ පරිදි කාලිදාස කිවිඳුන්ගේ ජානකීහරණය පිළිබඳ ව්‍යවහාර බස්‌ වහර උපයෝගී කරගනිමින් පරණවිතාන මහතා ලිපියක්‌ සකස්‌ කළේය. එයට පෙර එවැන්නක්‌ පරණවිතාන මහතා අතින් ලියවුණු බව අප නොදුටු හෙයින්, ඉහතින් සඳහන් ලිපිය ව්‍යවහාර බස්‌වහර උපයෝගී කර ගනිමින් එතුමා ලියූ ප්‍රථම ලිපිය වශයෙන් සැලකිය හැක. ඊට පසු එම බස්‌ වහරින්ම "සිංහලයෝ" (1968) නම් ග්‍රන්ථය හා "පුරාවිදු පරියේසන" (1972) නමින් නිබන්ධයන් පළකරන ලදී. මේ බස්‌වහර උපයෝගී කරගනිමින් පරණවිතාන මහතා නව ආරකින් ලිපි ලිවීම ආරම්භ කළේ සිංහල ව්‍යවහාර බසෙහිද ව්‍යාකරණ ක්‍රමයක්‌ ඇති බවත්, එය උපයෝගී කරගනිමින් ශාස්‌ත්‍රීය ලිපි වුවද ලිවීමට හැකි බවත් රටට පෙන්වාදීමට යෑයි මම සිතමි.

මේ සා විශාල ශාස්‌ත්‍රීය හා ගවේෂණ පිළිබඳ ශ්‍රේෂ්ඨ මෙහෙයක්‌ කිරීමට පරණවිතාන මහතාට හැකි වූයේ එතුමා ඒවායේ නිරත වීමෙන් මහත් තෘප්තියක්‌ ද ලද නිසා යෑයි සිතමි. ඒ නිසා නිතැතින්ම හුදකලා දිවියකට එතුමා ප්‍රිය කළේය. එහෙත් කීර්තිය ඔහු පස්‌සේ හඹා ආයේය. එවැනි කීර්ති කදම්බයක්‌ ඔහු අවට තිබියදී පවා ඒවායින් නොසෙල්වී සාමාන්‍ය ගති පැවතුම් අනුව ජීවත්වීම එතුමාට ප්‍රශ්නයක්‌ නොවීය. පරණවිතාන මහතා අතින් සිදුවූ අනුපම මෙහෙය ගැන නොදන්නා වර්තමාන පරම්පරාවට දැනගැනීම සඳහා එතුමාගේ ලියකියවිලි හා පරිහරණය කළ භාණ්‌ඩ වැදගත් ස්‌ථානයක ස්‌ථිර ප්‍රදර්ශනයකට තැබීම අගනේය.

ඡේ. අල්විස්‌

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v