උඩරට නැටුමේ වෙස්‌ තට්‌ටුව නව නිර්මාණයකි

වර්තමානය වන විට ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇති උඩරට නැට්‌ටුවා පළඳින වෙස්‌තට්‌ටුව "රාවනා ඔටුන්නේ" නීරූපණයක්‌ද යන තේමාව යටතේ පොල්ගහවෙල අයි. ගුණරත්න මහතා විසින් "දිවයින" බදාදා අතිරේකයට ලියන ලද ලිපිය දුටු මා සංවාදයට යෝග්‍ය පරිදි මෙම ලිපිය ලිවීමට අදහස්‌ කළෙමි.

සිංහල නැටුම් කලාව පිළිබඳ වර්ෂ 50 ක්‌ තරම් කාලයක්‌ තිස්‌සේ පර්යේෂණ අධ්‍යයනයක යෙදුණු පාරම්පරික නර්තන ශිල්පියකු හා නර්තන උපදේශකයකු වශයෙන් සිංහල නැටුම් කලාවේ හා රංග වස්‌ත්‍රාභරණවල ප්‍රභවය පිළිබඳ කෙටි සාරාංශයක්‌ ලිවීමට අදහස්‌ කළෙමි.

වර්තමාන උඩරට නැට්‌ටුවා පළඳින වෙස්‌ තට්‌ටුව ක්‍රි. ව. 1815 න් පසු කෑගල්ලේ හිග්ගොඩ පරපුරෙන් නේරංගම පරපුරටත් ඒකාබද්ධව 1817 දී නිර්මාණය කොට තනිකච්චියේ නෙයියාඩි ඇඳුමට බද්ධ කළ නව නිර්මාණයක්‌ හෙවත් මලල් වෙස්‌ ඇඳුමට විකල්පයක්‌ ලෙස අරනායක පොල් අඹේගොඩ දේවාලයේ කංකාරි නැටුමට එක්‌කළ නවාංගයක්‌ ලෙස හැඳින්විය හැකිය.

උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් කිසිදු ශිල්පියෙක්‌ හෝ පරපුරක්‌ මේ ගැන උරණ විය යුතු නොවේ. පුවත්පතක ලිපියක්‌ වැනි කෙටි සටහනකින් මේ බව තහවුරු කළ හැකි නොවේ. එහෙත් සංවාදයට තුඩුදෙන අයුරින් සංක්‍ෂිප්ත සටහන් පමණක්‌ ඉදිරිපත් කරමි.

පඬුවස්‌ දෙව් රජුට හටගත් දිවිදොස්‌ දුරු කර ගැනීම සඳහා මලය රජ තුන්කට්‌ටුවම විසින් කරුනු ලැබු ශාන්ති කර්මය හැටපස්‌ මංගල්‍යය වශයෙන් උඩරට ශිල්පීන් හඳුන්වන අතර සපරගමු ගුරු කුල ගී මඩු ශාන්තිය ලෙස හඳුන්වති. මෙයින් ගී මඩු ශාන්තිකර්මය තුළ හැටපස්‌ මංගල්‍යයට අයත් වත් පිළිවෙත් අන්තර්ගත වන නිසාත් ගී මඩු පුරාණය නමැති පැරණි පුස්‌කොළ පොතේ සඳහන් ආකාරයටත් පඬුවස්‌ දෙව් රජුට කර ඇත්තේ ගී මඩු ශාන්ති කර්මයකි. ඒ බව පහත සඳහන් කවියෙන් පැහැදිලි වේ.

පළමුව කන්නන් පුර ගී මඩු උපතක්‌ සැදුනා

දෙවෙනුව පඬුවස්‌ දෙවිඳුට වන් දිවිදොස්‌ දුර හරිනා

තෙවෙනුව සේරමන් රජු හට එලෙසම මඩු හැරුනා

එදා පටන් නරලොව ගී මඩු උපතක්‌ සැදුනා

(ශ්‍රී මඬු පුරාණය)

මේ සඳහා මලය රටින් මලය රජු ඇතුළු පිරිසක්‌ ගෙන්වා ගත් බව ගී මඩු පුරාණයේත් කංකාරි සාහිත්‍යයේත් අන්තර්ගතව ඇත. කුවේනි අස්‌නේ සඳහන් ආකාරයට හයවන පරාක්‍රමබාහු රජුට කරුනු ලැබු ශාන්තිකර්මය කොහොඹා යක්‌ කංකාරියයි. ගී මඩු ශාන්තිය හැටපස්‌ මංගල්‍ය යන කුමන නමකින් හැඳින්වුවද ඒ සියල්ලම පත්තිනි දේවිය වටා ගෙතී ඇති පන්තිස්‌ කෝල් මුර සහිත 65 ක්‌ පෙළපාලියෝය. ප්‍රාදේශීය වශයෙන් පවතින වෙනස්‌කම් හැරුණු විට පරමාර්ථය එකමය. මෙම දේවශාන්ති කර්මය ලාංකික ජන ජීවිතයට සම්බන්ධ වී ඇත්තේ පඬුවස්‌ දෙව් රජුට කළ ගී මඩු ශාන්තිය පසුබිම්කොටගෙනය.

මේ සඳහා යාගකරුවන් ගෙන්වා ඇත්තේ ප්‍රාග් ඓතිහාසික මහා රාවනයන්ගේ කොණ්‌ඩාගල බලකොටුන්න පිsහිටා තිබුණු වර්තමාන ඉන්ද්‍රගිරි රාජධානියට අයත් රක්‌වානට නුදුරු ආරුක්‌කු ගොඩනම් පැරණි රාජවංශික යක්‌ තොවිල් පරපුරකිනි. "සෙයියාර්නි" කර්මය නමැති පිදවිලි ක්‍රමය රාජ්‍ය නායකයා විසින් කරුනු ලැබීම මෙහි විශේෂත්වයක්‌ වන අතර පූර්ණ භද්‍ර, මනී භද්‍ර, කඩෝර භද්‍ර යන යක්‌ භූත චිකිත්සකයන්ගේ ගුප්ත බලයෙන් කාන්තාවන්ට හෝ පුරුෂයින්ට වැළඳෙන සියලුම කායික හා මානසික රෝග සුවපත් කිරීම රාවන යුගයේ පටන් සමාජ විද්‍යාත්මක පදනමක්‌ මත ජන ජීවිතයට ආබද්ධව පැවතුණි. රාවනයෝද මෙහි කෙළ පැමිණියෙකු යයි ද ඊශ්වරයන්ගේ උග්‍ර තණ්‌ඩව නම් රංග ශෛලීය පවා දැන සිටි බව කුමාර තන්ත්‍රයේ සඳහන් වේ.

සිවුහෙළයන්, සතුව පැවැති මෙම පිදවිලි ක්‍රමය විජය රජු කල පවා කාලතිත්තපුර හා ඉන්ද්‍රගිරි කොණ්‌ඩාගල සමනල කඳු ආශ්‍රිත බඹරබොටුව, වේවැල්වත්ත, රක්‌වාන යන ප්‍රදේශවල ප්‍රභූ රජ පරපුරුවල ගුප්ත විද්‍යාවක්‌ ලෙස පැවත ඇති බව මලය රජ කතා පුවතින්ම පැහැදිලි වේ. කංකාර පුරාණයේ සඳහන් ආකාරයට මලය රට වෙනත් රටක්‌ නොව මේ හෙළදිවට අයත් මායා රට කඳුකර වැසි මලය රට නමින් හඳුන්වනු ලැබීය. එය සිංහරාජ කඳුවැටියෙන් උතුරු සීමාවේ පිහිටි මහාරාවනයන්ගේ සඳගිරි හා ඉන්ද්‍රගිරි රාජධානිවලට අයත් වර්තමාන සපරගමුවට අයත් වේ. අදත් ජීවමානව දැක ගත හැකි ආරුක්‌කුගොඩ දේවාලය එදා පඬුවස්‌ දෙව් රජුට හටගත් දිවි දොස්‌ දුරලා ආපසු පැමිණෙන අතරතුර පැන් ගෙන ගිය කළුවානේ සෙම්බුව පුනාව" හා පහන "පූනාව" දිය බුබුලට දමා සෙසු පූජා භාණ්‌ඩ අරුග්ගොඩ ගල් ලෙනෙහි තැන්පත් කර ඇත. පහත තැන්පත් කළ දිය බුබුල තිබුණු ස්‌ථානය අදත් පානවල කන්ද නමින් පොතුපිටියේ පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ ගී මඩු ශාන්තිකර්මය කරන එකම පත්තිනි දේවාලය වන්නේද අරුග්ගොඩ රජමහා පත්තිනි දේවාලයයි.

විජය කුමරු මෙරටට ගොඩබසින විට හෙළදිව පාලනය කළ රජ පෙළපත කුම්බා රජ පරපුරයි, බම්බා, හොබ්බා, කුම්බා වශයෙන් රාජ්‍ය කොටස්‌ තුනකට පාලනය කර ඇත. මෙයින් කතරගම ප්‍රදේශය පාලනය කළ කුම්බා රජු යටතේ වැඩුණු කුවේනිය නමින් අද අප හඳුන්වන බම්බා රජුගේ දියණිය නමින් කූවන්නා, කීවන්නා, ශිෂ්‍යපතිකා වූවාය. මෙම කුමරිය විසින් කරුනු ලැබූ ශාපයක්‌ හේතුකොටගෙන පඬුවස්‌ දෙව් රජුට කළ හැට පස්‌ මංගල්‍යය හෙවත් ගී මඩුව මෙම ගී මඩු පුරාණයේ ආරම්භය විය.

කුම්බා රජුට රත්නාවල්ලී නම් දියණියන් හා කාලසේන නම් පුතෙක්‌ විය. රජවාසල සේවය කළ රොඩී තරුණයෙකුට කිරි කෝප්පයක්‌ දුන් සිද්ධියක්‌ පිළිබඳ කෝප වූ රජු රත්නාවල්ලී කුමරිය රජවාසලින් පිටකරන ලදී. මෙම සිද්ධියට තදින් විරුද්ධ වූ කාලසේන කුමරු රජවාසලින් පිටව වලවේ මිටියාවත හරහා ඉන්ද්‍රගිරියට අවුත් මහාරාවන රජු ශිල්ප හැදෑරූ රක්‌වානේ මිත්‍ර නම් සෘෂිවරයා යටතේ ආත්ම ආරක්‌ෂක සටන් ක්‍රම සහිත ගුප්ත බල යාගක්‍රම සහිත යන්ත්‍ර මන්ත්‍ර හදාරා මහත් බලයක්‌ ලබාගෙන ප්‍රාදේශීය රජකු ලෙස මලේරට හෙවත් මායාරට පාලනය කර ඇත.

කොහොඹ යක්‌ කංකාරියේ සඳහන් ඌරායත්කමේ ප්‍රවෘත්තියට අනුව රාහු අසුරේන්ද්‍රයා ඌරු වෙසක්‌ මවාගෙන රජුගේ උයන පාළු කළ සිද්ධියෙන් ගී මඩු ශාන්ති කර්මයේ එන හාතා රජුගේ කතා පුවතිනුත් උපායෙන් මලේ රජු සහිත පිරිවර අනුරාධපුරයට රැගෙන ගිය කතා පුවතත් විචාරාත්මකව සලකා බලන විට මෙහි යථාර්ථය පැහැදිලි වේ.

එදා පඬුවස්‌ දෙව් රජුට කළ ගී මඩුවට හෙවත් හැටපස්‌ මංගල්‍යයකට මලේ රජු අඳින ලද ඇඳුම වලල් වෙස්‌ ඇඳුමය. එය වර්තමානය දක්‌වාම සපරගමු ප්‍රභූ ගුරු පරපුරුවල රැකියාවකි. මෙම සම්භාව්‍ය ඇඳුම් කට්‌ටලය එදා පටන් විවිධ පූජාකර්මවලට යොදා ගනිමින් පසුව බෞද්ධ වත් පිළිවෙත්වලටද විශේෂයෙන් දන්තධාතුන් වහන්සේගේ පූජෝපහාරවලටද දායක වී ඇත. දෙල්ගමු රජමහා විහාරයෙන් ශ්‍රී දළදා පෙරහැරට සම්බන්ධ වූ මෙම රාජකීය නැටුම් පරපුර 1926 දක්‌වාම මහනුවර ශ්‍රී දළදා පෙරහැරට ආරක්‌ෂාව හා විශේෂ ගායනා සහිත නර්ථනාංග ඉදිරිපත් කොට ඇත.

1815 දී උඩරට ගිවිසුමෙන් මේ රට බටහිරයන්ට බාරදෙන තුරු මෙම ජාතික උරුමය රැකී පැවතුණි. ඉන්පසු බටහිට පාලකයෝ ගිවිසුමේ සමහර කොන්දේසි උල්ලංඝනය කරමින් හා නොසලකා හැරීමෙන් බෞද්ධ වත් පිළිවෙත් හා සංස්‌කෘතික අංග පැවැත්වීමෙන් චිරාගත සම්ප්‍රදායන් උස්‌ලංඝනය කරමින් උත්සව පැවැත්වීමට ඉඩ නොදෙන ලදී. මෙහි ප්‍රධානතම කාර්ය වූයේ ශ්‍රී දළදා පෙරහැර නතර කිරීමයි. මෙම සිද්ධිවලින් කෝපාවිෂ්ඨ වූ සිංහල ප්‍රජා නායකයෝ විවිධ පැතිකඩ ඔස්‌සේ රජයට විරුද්ධව කැරලි ගැසූහ. 1818 වෙල්ලස්‌ස කැරැල්ලේ නායකත්වය දැරූ වීර කැප්පෙට්‌ටිපොළ මහ නිලමේ තුමාගේ මරණින් පසු සපරගමු අංගම් සටන්කරුවන් සහිත ප්‍රභූ ගුරු පරපුරු සපරගමු මහ සමන් දේවාලයට සීමා විය. මෙයින් කම්පාවට පත් කපුවත්තේ අධිකාරම් දියවඩන නිලමේතුමා කෙසේ හෝ දළදා පෙරහැර පැවැත්වීමේ අටියෙන් දළදා තේවා භාරව සිටි කාර්ය කෝරාළ මෙහෙයවා සතර කෝරළය හා හඟුරන්කෙත ප්‍රදේශවල පදිංචිව සිටි සබරගමු කපු නිලමේවරු දෙදෙනකු කැඳවා ඇතුල් කට්‌ටලයේ පෙරහැර පැවැත්වීමට අවශ්‍ය නැටුම් ශිල්පීන් දස දෙනකු සකස්‌ කර දෙන ලෙස ඉල්වා ඇත. මේ වන විට සෙංකඩගල නුවර පැවැති නොසංසුන් වාතාවරණය මත මලල් වෙස්‌ කණ්‌ඩායමක්‌ සොයා ගැනීමට ඔවුන් අපොහොසත් විය. මේ අවස්‌ථාවේ සතර කෝරළයේ නේරංගම් පරපුරක්‌, හිග්ගොඩ හා පොල්අඹේගොඩ පරපුර දෙකක්‌ ඒකාබද්ධව හෙයියාඩ් හනි කච්චියේ ඇඳුමට ඇඟිලි 5 න් සමන්විත වෙස්‌ තට්‌ටුවක්‌ නිර්මාණය කරන ලදී.

නේරංගම පරපුර වනාහි රාජාධී රාජසිංහ රජ ගෙදර ප්‍රධාන නැටුම් පරපුර විය. සේනාධිපති හා රණාචාර්ය යන නම්බුනාම ලබා සිටි රාජකීය ශිල්පී පරපුරකි. මේ පිළිබඳ වෛරයෙන් සිටි රදල පිරිස්‌ රජුට කේළාම් කියා මොහු රජවාසලින් පිටුවහල් කරන ලදී. පසුව ඔහු කෑගල්ල ප්‍රදේශයේ ඉද්දමල්පාන නම් ගමේ අප්‍රසිද්ධව වාසය කොට ඇත. ඉන්පසු රජවාසල පවත්වන්නට දෙනු නැටුම් හා වාදන තරගවලදී රාජ්‍ය ශිල්පීන් පරාජයට පත්වීමත් රජුට රදලයින් විසින් කියනු ලැබූ කේළම් පිළිබඳ යථාර්ථය අවබෝධ කරගත් රාජාධි රාජසිංහ රජු නේරංගම ශිල්පියා නැවතත් ගෙන්වා රාජකීය සේනාධිපති තනතුර ලබාදී ඇත. නේරංගමට සහාය දැක්‌වූ තවත් සතර කෝරළයේ පරපුරු කීපයක්‌ විය. හික්‌ගොඩ පරපුර, පොල්අඹේගොඩ හා හලාගිරිය පරපුරු මීට අයත් වේ.

1817 දී මෙම පරපුරු ඒකාබද්ධව නිර්මාණය කළ වෙස්‌තට්‌ටුව එවකට දියවඩන නිලමේ තනතුර දැරූ කපුවත්තේ අධිකාරමට දන්වා ඇතුල්කට්‌ටලේ පෙරහැර පැවැත්වීමට කටයුතු සූදානම් කළහ. එහෙත් දළදා පුදට අවශ්‍ය පෙළ ගායනා කිසිවක්‌ දැන නොසිටි මෙම ශිල්පීන් පන්තේරු, උඩැක්‌කි වැනි ජනගායනා සහිත එයට අදාළ වූර්ණිකා, ටිප්පනි මිස දළදා පුදට අවශ්‍ය ස්‌තෝත්‍රයන් හෝ ගායනයක්‌ ඉදිරිපත් කිරීමට අපොහොසත් විය. මේ හේතුව නිසා එවකට මල්වතු මහානායක ධුරය හෙබ වූ කොබ්බෑකඩුව සිරිනිවාස මහ නාහිමියන් වහන්සේ මෙම නව වෙස්‌ නැටුම් කණ්‌ඩායම් බැහැර කොට සේවා කටයුතු පමණක්‌ ඉටුකරමින් පෙරහැර සංකේතවත් කළහ. මෙසේ වර්ෂ 08 පමණ කාලයක්‌ තුළ පෙරහැර සංකේතවත් කරමින් ඇතුල් කට්‌ටලයේ පූජා කටයුතු පවත්වා ඇසළ උත්සවය නිමා කරන ලදී.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුකාර ධුරය හෙබ වූ සර් එඩ්වඩ් බාන්ස්‌ බෞද්ධයන්ට සිදු වී ඇති අසාධාරණයත්, ඒ නිසා ගිහි පැවිදි ප්‍රභූන් තුළ හටගත් අප්‍රසාදයත් උඩරට ගිවිසුමෙන් පොරොන්දු වී ඇති කොන්දේසි සිහිපත් කොට නැවත දාළදා පෙරහැර වීථි සංචාරය සඳහා අවසර දෙන ලදී. ඒ අනුව 1828 මැයි මස දළදා පෙරහැර ආරම්භ කොට ඇත.

මේ සඳහා අවශ්‍ය නැටුම් ශිල්පීන් ගෙන්වා ගැනීමට සබරගමු මහ සමන් දේවාලයේ බස්‌නායක නිලමේ තනතුර හෙබ වූ එක්‌නැලිගොඩ නිලමේ හා මඩුවන්වෙල කොඩිතුවක්‌කු මුදියන්සේ රාළහාමි යන අය වෙත යවන ලද තල්පත අනුව තිස්‌ දෙනකුගෙන් සමන්විත සපරගමු මලල් වෙස්‌ කණ්‌ඩායමක්‌ ගෙන්වා 1828 මැයි 15 වන දින අංගසම්පූර්ණ පෙරහැරක්‌ වීථි සංචාරය කොට ඇත. එයින් පසු 1926 දක්‌වාම පුරා වර්ෂ 92 ක්‌ පමණ කල් සපරගමු නර්තන ශිල්පීන් පෙරහැර චාරිත්‍ර සිදුකොට ඇති අතර 1919 වර්ෂයේදී එවකට දියවඩන නිලමේ තනතුර හෙබ වූ පුංචි බණ්‌ඩා නුගවෙල නිලමේ විසින් උඩරට වෙස්‌ කණ්‌ඩායමක්‌ තමා ඉදිරියට යොදා ගැනීමෙන් වර්තමාන වෙස්‌ නැට්‌ටුවා කරළියට පැමිණ ඇත. මේ පුවත පිළිබඳ තොරතුරු මා ලබාගත්තේ 1965 අස්‌ගිරි පාර්ශ්වයේ හිටපු මහානායක පලිපාලන ශ්‍රී චන්ද්‍රdනන්ද මාහිමිපාණන් වහන්සේගෙන්ය. උන්වහන්සේ විසින් මා වෙත ලබා දෙන ලද සපරගමු මලල් වෙස්‌ කණ්‌ඩායමේ ඡායාරූපයක්‌ මේ සමඟ ඉදිරිපත් කරමි.

දේශබන්දු ජී. වී. අබයරත්න
අධ්‍යක්‍ෂ/සපරගමු නැටුම් පර්යේෂණ අංශය
ප්‍රධාන අමාත්‍යාංශය,සබරගමු පළාත් සභාව
 

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v