හත්වැනි බුවනෙකබාහුගේ වටිනාපහ පුවරු ලිපිය

බස්‌නාහිර පළාත් සභාවට අයත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වටිනාපහ පලියටියන ග්‍රාමයෙහි තිබී මෑත හමුවූ පුවරු ලිපිය පිළිබඳ විවරණයක්‌ මෙහි අඩංගු වෙයි.

මෙකී ශිලා ලේඛනය පිළිබඳව අප දැනුවත් වූයේ වටිනාපහ විජයාරාමාධිපති ගරු පොතානේ උපාලි ස්‌වාමින් වහන්සේගේ දැනුම් දීම මතයි.

වසර දොළහක්‌ තරම් කාලයක්‌ අම්බලන්කුඹුර නම් ස්‌ථානයේ මහජනයාගේ දැනුවත්භාවය ඇතිව ඒ මේ අතට විසිවෙමින් පැවැති මෙය අප හට දැනුම් දීමෙන් අනතුරුව නිවැරැදි පර්යේෂණයක්‌ උදෙසා යොමු කිරීමට හැකි වූ බව සඳහන් කළ යුතුය. දැනට වටිනාපහ විජයාරාමයේ එය සුරක්‌ෂිතව තැන්පත් කොට තිබේ. එකී ශිලා ලේඛණය හා ඒ තුළින් හෙළි වන ඉතිහාසය විවරණය කිරීම මෙහි අරමුණ වෙයි.

පුවරු ලිපියක්‌ වන මෙහි දෙපැත්තම ප්‍රයෝජනයට ගනිමින් අක්‌ෂර සටහන් කොට ඇත.

මෙහි ලාංඡන දෙකක්‌ දැකිය හැකිය. එනම් හිරු සඳු ලාංජනයන්ය.

ලිපියේ පෙළ ප්‍රමාණයෙන් මෙය උස අඩි 02 අඟල් 04 ක්‌ ද පළල අඩි 01 අඟල් 05 ක්‌ පමණ ද වෙයි. දෙපැත්තම ප්‍රයෝජනයට ගෙන සකස්‌ කරන ලද ගල් පුවරුවක මෙය සටහන් කොට ඇත.

අකුරක උස අඟල් 01 ක්‌ හා පළල අඟල් එක හමාරක්‌ පමණ ද වෙයි. මෙහි යටම පේළි තුන කුඩා අකුරින් සටහන් කොට ඇත. ඒ ඉඩ මඳ වීම නිසාය. මෙය පැහැදිලිවම පහළොස්‌වන සියවසට අයත් සිංහල අක්‌ෂරවලින් සටහන් කොට ඇත.

අක්‌ෂරවල විශේෂතාවන් වශයෙන් ඇලපිල්ල සටහන් කොට ඇත්තේ අකුරට උඩිනි. අ අක්‌ෂරයෙහි විශේෂතාවන් නිරීක්‌ෂණය කළ හැකිය. එහි දකුණු පස බින්දුව අක්‌ෂරයේ අනෙක්‌ කොටසටත් වඩා විශාල වන ලෙස සටහන් කොට ඇත. මූර්ධජ අක්‌ෂරයන් මෙහි භාවිත කොට තිබේ. එසේම මහා ප්‍රාණ අක්‌ෂරයන් ද භාවිත කොට ඇත. ව්‍යක්‌ත භාෂාවෙන් ලියා ඇති බවට ද සඳහන් කළ හැකිය.

මෙම ලිපිය නිකුත් කොට ඇත්තේ බුවනෙකබාහු නම් රජ කෙනෙකගේ සත්වැනි රාජ්‍ය වර්ෂයේ දී දුරුතු මාසයේය. ඊට කලින් පරාක්‍රමබාහු නම් රජ කෙනෙකු විසින් සිද්ධාර්ථ නම් තෙරනමක්‌ විෂයෙහි පවරන ලද කුඹුරු හා ඉඩම් කිහිපයක්‌ වාචිකව ලබා දෙන ලදුව එය බුවනෙකබාහු රජු විසින් ලිතව ලබාදීමත් මෙහිදී සිදුවී තිබේ. මෙය විශේෂත්වයක්‌ වශයෙන් දැක්‌විය හැකිය. මීට පෙර ගජබාහු රජු විසින් දෙන ලද ඉඩමක්‌ දෙවන මානාභරණ රජු විසින් දෝලා උසුලන්නෙක්‌ විෂයෙහි අනුමත කිරීමක්‌ මීට පෙර ශිලා ලේඛනවලින් සනාථ වෙයි. මෙහිදී ද එවැන්නක්‌ සිදුවී තිබේ. එසේම මෙකී ප්‍රදානය සන්නසකද තිබූ බවට ශිලා ලේඛනයේ එන තොරතුරුවලින් සනාථ වෙයි. මේ නිසා මෙකී ප්‍රදානය අවස්‌ථා තුනක්‌ වෙනුවෙන් සටහන් වීමක්‌ ශිලා ලිපිය තුළින් නිරීක්‌ෂණය කළ හැකිය. මෙහි පෙනෙන රජවරුන් හඳුනා ගැනීමට සිදුව ඇත්තේ ශිලා ලිපියේ යොදා ඇති බුද්ධ වර්ෂ ක්‍රමයෙන් වර්ෂය සටහන් කොට ඇති ක්‍රමය අනුවය. එහෙත් එය සටහන් කළ ස්‌ථානය අනුව ඒ තුළින් පැමිණිය හැකි නිගමනයන් මෙහිදී නිරීක්‌ෂණය කළ යුතුව ඇත්තේය.

ශිලා ලිපියේ අර්ථය

සිරිසඟබෝ ශ්‍රී බුවනෙකබාහු චක්‍රවර්තී මහරජාණන් වහන්සේගේ සත්වන රාජ්‍ය වර්ෂයෙහි දුරුතු මස අව සතවක (හෙවත් දෙසැම්බර්/ජනවාරි) දවස්‌හි පත්තඬුවන සිද්ධාර්ථ හිsමියන් තමන් සතුකරගන්නා ලද පලියටියන ගම පිළිබඳව පරාක්‍රමබාහු මහරජතුමාට දන්වා සිටි අවස්‌ථාවේදී එම හිsමියන්ට අලුත්කූරු කෝරළයට අයිති පලියටියන ගමට අයත් වූ පරගහකුඹුර වපසරියෙන් තුන් පෑලක්‌ හා ලාස්‌ පහක්‌ද සොරවල ගමින් වපසරිය එක්‌ අමුණු ලාස්‌ පහක්‌ද ඇතුළුව අමුණු දෙකක්‌ හා ගොඩින් කුඩා ගෙඹිවත්තටත්, සන්නස්‌ වාචිකව පවරාදී (බුද්ධ වර්ෂය 2071 දී) (ක්‍රිස්‌තු වර්ෂ 1528) එයින් පසු භූක්‌ති විඳිමින් සිටිනා අවස්‌ථාවේදී දක්‌ෂතාවය හෝ වීරත්වය අනුව බත්ගම පළමුවෙන් ලැබුණ සන්නස ඒ රජතුමාට පෙන්වා දැනුම් දුන් අවස්‌ථාවේදී මෙ කියන ප්‍රදේශය අනාගත ගම් මුලාදෑනියාගෙන් හෝ කෝරළයට ඇතුල්වන කිසිවකුගෙන් වත් අනාදරයක්‌ හෝ බහු විධානයක්‌ ඇති නොවන නියෝගයක්‌ පමුණුවා ඒ හිමියන්ගේ බෑනා හා මුණුබුරු ආදීවූ ශාසන පරම්පරාවට මතුවටත් පවත්නා ලෙසට ශිලාලිපියක්‌ පිහිටුවන්නට යෑයි අණ කළ හෙයින් මෙම ගලේ කෙටුම්පත් කොට ඇති සන්නස්‌ පත්‍රය ලියා දුන් බවට සහතික කරන ලද්දේ ශ්‍රීමත් මුඛපාඨ ලේඛක කපිල පෙරුමාල් නම්වූ මා විසිනි.

ශිලා ලිපියෙන් තහවුරු වන තොරතුරු

මෙහි සඳහන් පත්තඬුවන, අලුත්කූරු කෝරළය, පලියටියන, යන සඤ්Æ නාමයන් නූතනයේද එම නම්වලින්ම භාවිත වෙයි.

පරගහ කුඹුර, සොරවල, කුඩාගෙඹිවත්ත, යන නාමයන් ද සංÆ නාමයන් වන අතර ඒවා නූතනයේ දී දැකිය නොහැකිය. ඒ වෙනුවට වෙනත් නාමයන් භාවිත වෙනවා විය යුතුය.

පෑල, ලාභ, අමුණ, දෑමුණ යන වදන් පැහැදිලිවීම ධාන්‍ය මැනීම සඳහා භාවිත වෙයි. මේවා නූතනයේ ද භාවිත වෙන කිරුම් මිණුම් වශයෙන් හඳුන්වා දිය හැකිය.

භූක්‌ති විඳිනවා යන වචනයෙන් තම සන්තකයෙහි පවත්වාගෙන යනු ලබන බව හා භාවිත කරන බව කියවෙයි.

බත්ගම යන වදනින් කියවෙන්නේ දිවෙල් වශයෙන් හෙවත් සේවාවන් සැපයීම වෙනුවෙන් ලද, භාවිත කරමින් පවත්වාගෙන යන දේ වෙනුවෙන් භාවිත වචනයකි. හත්ත ගාමං කත්වා යන වදන බොහෝ විට පාලි භාෂාවේ දැක්‌වෙන්නේ මේ වෙනුවෙනි.

දස්‌කම යන වචනයෙන් දක්‌ෂතාව පිළිබඳව කියවෙයි. සිද්ධාර්ථ හිමියන්ගේ සුවිශේෂී දස්‌කම් වෙනුවෙන් මෙම ප්‍රදානයන් උන් වහන්සේට ලැබුණු බව පැහැදිලි වෙයි.

කෝරළ යනු ජනපදය යන අර්ථය දෙයි. මෙය ඔරුවල සන්නසෙහි ද පවතී (EZ,1933ඃ65) බත්ගම යනු නින්දගම යන අර්ථය ලැබෙන වචනයකි. බත් උපදනා ගම නිsන්දගම යන වදන් එහි පවතී. (ශ්‍රී සුමංගල ශබ්. කෝ. 1999ඃ673)

මෙහි සඳහන් රජුවරු කවුරුන්දැයි වටහා ගැනීම වැදගත් වෙයි. රජවරුන්ගේ නාමයන් දෙකක්‌ මෙහි අන්තර්ගතය. එනම්, ශ්‍රී බුවනෙකබාහු රජු හා පරාක්‍රමබාහු යන රජවරුන්ය. මෙම රජවරුන් දෙදෙනා හඳුනා ගැනීමට මෙහි ඇති බුද්ධ වර්ෂය මහත් සේ උපකාරී වෙයි.

බුද්ධ වර්ෂයථානේත්‍රම් වශයෙන් මෙහි යෙදී තිබේ. මෙය ලියා ඇත්තේ කටපයාදී ක්‍රමයටය. ඒ අනුව මෙහි ඇති වර්ෂය බුද්ධ වර්ෂ 2071 වර්ෂයයි. මෙය ලියා ඇත්තේ දෙවන පැත්තේ උඩින්මය. ඒ හැර අනෙක්‌ අකුරු මෙන් නොව උඩුබැලි අතටය. මෙහි ඇති වර්ෂය ක්‍රිස්‌තු වර්ෂ පිළිවෙළින් ගත් විට 1528 ට වැටේ. ඒ අනුව මෙම ලිපිය පිහිටුවා තිබෙන්නේ මෙකී බුවනෙකබාහු රජතුමාගේ රාජ්‍ය වර්ෂයෙන් 07 වැනි වර්ෂයේදීය. ක්‍රි.ව. 1521 දී රාජ්‍යත්වයට පත්වූයේ ඪෂෂ වැනි බුවනෙකබාහු (ක්‍රි.ව. 1521-1551) මහරජතුමාය. එම රජුගේ රාජ්‍ය වර්ෂයෙන් වර්ෂ 07 ක්‌ ගතවූ පසු ලැබෙන වර්ෂය ක්‍රි.ව. 1528 වෙයි. මේ අනුව මෙම ලිපිය ඪෂෂ වැනි බුවනෙකබාහු මහරජතුමාගේ විධානයක්‌ සටහන් වන්නක්‌ බව ඉතා පැහැදිලිය.

මෙහි සඳහන් වන පරාක්‍රමබාහු මෙම හත්වන බුවනෙකබාහු රාජ්‍යකාලය සමීපයේම විසූ රජ කෙනෙක්‌ විය යුතු බව පෙන්වා දිය හැකිය. ඒ සඳහා හේතු භූත වූයේ ශිලා ලිපියේ පෙනෙන සඳහනයි. මෙකී ප්‍රදානයන් සිදු කොට තිබුණේ වාචිකවය. ඒ පරාක්‍රමබාහු නම් රජ කෙනෙකු විසිනි. එසේම ඒ පිළිබඳ ලිත සන්නසක්‌ද පෙන්වීමට සිද්ධාර්ථ හිමියන් සමත් වී ඇත. ඒ අනුව වාචික නියෝගය සන්නසක ලියවී තිබිණ. එම සන්නසද පෙන්වා බුවනෙකබාහු රජු ලවා මෙම ප්‍රදානයන් ස්‌ථාවර කර ගැනීමට සිද්ධාර්ථ හිමියන් ක්‍රියා කිරීමෙන් පෙනී යන්නේ උන්වහන්සේ ඒ වන විටත් ජීවතුන් අතර සිටිය යුතු වීමයි. එසේ වීමට නම් මෙම පරාක්‍රමබාහු රජු අන් කිසිවෙක්‌ නොව ඪෂෂෂ පරාක්‍රමබාහු විය යුතුය. අම්බුළුගල කුමාරයා යන නමින් පෙනී සිටි වීර පරාක්‍රමබාහු මහරජතුමාට ඪෂෂෂ වන පරාක්‍රමබාහු යන නම යෙදේ. එතුමා රජවී සිටියේ ක්‍රි.වර්ෂ 1490-1509 දීය. මේ අනුව මෙකී ප්‍රදානය පළමුවෙන් කරන ලද්දේ වීර පරාක්‍රමබාහු මහරජතුමා බව සඳහන් කළ හැකිය.

මෙරට කෝට්‌ටේ යුගයේ රජ කළ රජවරුන්ගේ රාජ්‍ය වර්ෂයන් පිළිබඳ විවිධ ආකුල ව්‍යාකූල තත්ත්වයන් පවතී. එහෙත් හත්වන බුවනෙකබාහු මහරජතුමාගේ රාජ්‍ය වර්ෂයන් පිළිබඳව විමසීමේදී මෙකී ශිලා ලිපිය අනුව පැහැදිලිවම එතුමා ක්‍රි.ව. 1521 දී රජවූ බව තහවුරු වෙයි.

මෙම ශිලා ලිපියේ ඇති අනෙක්‌ වැදගත් කාරණය වන්නේ මෙහි ඇති ප්‍රදානයන් අවස්‌ථා තුනක්‌ පිළිබඳව කියවීමයි. එනම් පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ වාචික ප්‍රදානයක්‌ කිරීම, එය සන්නසක්‌ වශයෙන් ලියා පවත්වාගෙන ඒම, හා එය දක්‌වා බුවනෙකබාහු මහරජු යටතේ එම ප්‍රදානයන් වඩාත් ස්‌ථායි කර ගැනීමට ක්‍රියා කිරීම නිසා මෙලෙස ශිලා ලේඛනයක සටහන් කිරීම වශයෙනි. මේ නිසා මෙම යුගය පිළිබඳ විමසීමට මෙම ශිලා ලිපිය මහත් පිටිවහලක්‌ සපයන බව පෙන්වා දිය හැකිය.

ගල්වැවේ විමලඛන්ති හිමි

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v