ශ්‍රී ලංකාවේ බිහිවූ
එකම දාර්ශනික අධ්‍යාපන අමාත්‍යවරයා...

"යම්කිසි රටක්‌ සමාජයක්‌ වෙනස්‌කිරීමට නම් එරට අධ්‍යාපන ක්‍රමය නිසි පරිදි සකස්‌විය යුතුය. එසේ නොවනතාක්‌ කිසිදු වමේ හෝ දකුණේ බලවේගයකට රටක්‌ හෝ සමාජයක්‌ වෙනස්‌ කළ නොහැක".

ඒ ප්‍රකට දාර්ශනිකයකු වන ක්‍රිෂණාමූර්තීන් විසින් පවසන ලද අදහසකි. අපේ රටට අදාලව මෙම කාරණය විමසා බලන විට ජාතික වශයෙන් ප්‍රතිපත්තියක්‌ නොමැති, අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයාට වෙනස්‌වන, ආණ්‌ඩුවෙන් ආණ්‌ඩුවට වෙනස්‌වන අධ්‍යාපන න්‍යායපත්‍රයක්‌ ක්‍රියාත්මකවීම දක්‌නට ලැබේ. එනිසාම වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අවසන්ඵලය ඉහළින් විභාග සමත් වූ කිසිවක්‌ කරකියාගත නොහැකි උපාධිධාරීන් සුළු පිරිසක්‌ බවට පත්ව තිබේ. එමෙන්ම පාසලට ඇතුලත් වන මුළු ශිෂ්‍ය ප්‍රමාණයෙන් 90% කට වැඩි පිරිසක්‌ අ.පො.ස. (සා. පෙළ.) හෝ අ.පො.ස. (උ. පෙළ.) විභාග වලින් හැලීගොස්‌ අපේක්‍ෂා භංග තරුණ පිරිසක්‌ බවට පත්ව තිබේ. අද තත්ත්වය මෙසේ වූවත් 1931 න් පසුව යටත් විජිතවාදීන් විසින් කාබාසිනියා කොට දමා තිබූ අපේ අධ්‍යාපනය යළි නඟා සිටුවමින්, මෙරට ගමන්මග වනමාවතකට යොමු කිරීම සඳහා වන, ඉතා විශිෂ්ට අවසන් ඉගෙනුම් ඵලයක්‌ සොයා යන මෙහෙයුමක්‌ මෙරට ක්‍රියාත්මක විය.

වර්තමානයේ රටේ ඉහළ තැන්වල සිටින බොහෝ දෙනෙක්‌ ඒ තැන්වල සිටින්නේ එම අධ්‍යාපනයට පින්සිදු වන්නටය. අද බොහෝ දෙනාට අමතකව ගොස්‌ ඇති, අඩු ගණනේ පින්තූරයක්‌වත් සොයා ගැනීමට අපහසු පුද්ගලයෙක්‌ එකී මෙහෙයුමේ පුරෝගාමියා විය. ඒ අන් කිසිවෙක්‌ නොව, මෙරට එතෙක්‌ මෙතෙක්‌ පහළ වූ එකම දාර්ශනික අධ්‍යාපන අමාත්‍යවරයා සහ නිදහස්‌ අධ්‍යාපනයේ පියා වන ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිතුමාය. ඔක්‌තෝබර් 13 වන දිනට එතුමාගේ 115 වන ජන්ම දිනය යෙදී තිබුණි. මේ සටහන ලියවෙන්නේ එතුමාට කෘතගුණ සැළකීමටය.

1884 ඔක්‌තෝබර් 13 ගාල්ලේ අම්බලන්ගොඩ රන්දොඹේ නම් ග්‍රාමයේ උපත ලැබූ කන්නංගර මැතිතුමාගේ පියා දොන් ඩැනියෙල් විෙ-කෝන් මහතා සහ මව එමලි විෙ-කෝන් මැතිණියයි. එතුමා වෙස්‌ලියන් උසස්‌ ඉංග්‍රීසි පාසලේ මූලික අධ්‍යාපනය හදාරා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද්වීයිතීක අධ්‍යාපනය හැදැරීය. 1923 පැවති මැතිවරණයෙන් ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් ව්‍යවස්‌ථාදායක සභාවට තේරී පත්වූ එතුමා 1923 සිට 1931 දක්‌වා ව්‍යවස්‌ථාදායක සභාවේත්, 1931 සිට 1947 දක්‌වා රාජ්‍ය මන්ත්‍රන සභාවේත්, 1952 සිට 1955 දක්‌වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේත් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා සහ පළාත් පාලන අමාත්‍ය වරයෙකු වශයෙන් වසර 40 කට අධික කාලයක්‌ මෙරට දේශපාලනය තුළ සුව්ශේෂී මෙහෙවරක නිරත විය.

මහින්දාගමනයෙන් පසුව මෙරට ඇතිවූ බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායන් සමග ලොව පැවති විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක්‌ ශ්‍රී ලංකාවේ පැවති බවට අපේ ඉතිහාසය සාක්‌කි දරයි. එකල මෙරට විශ්වවිද්‍යාල පවා ඉහළ මට්‌ටමක පැවති බව පාහියන් වාර්තා වල සඳහන් වේ.

එකී අධ්‍යාපන විවිධ හේතූන් නිසා විනාශ වී ගිය ආකාරය අධ්‍යාපන පර්යේෂකයින් විසින් පෙන්වා දී තිබේ. එම හේතූන් අතර බටහිර ජාතීන්ගේ පැමිණීම, ඔවුන්ගේ පාඨශාලා මෙරටට හඳුන්වා දීම, එම පාඨශාලා සමග තරඟ කිරීමට මෙරට අධ්‍යාපන ආයතනවලට නොහැකිවීම, ක්‍රිස්‌තියානි මිෂනාරි අධ්‍යාපන ව්‍යාප්ත වීම නිසා බෞද්ධ අධ්‍යාපනය විනාශවීම, අධ්‍යාපනයට සිංහල රජවරුන්ගේ ප්‍රමාණවත් අනුග්‍රහයක්‌ නොලැබීම යන හේතූන් ප්‍රධාන වේ. ඒ ආකාරයට බටහිර ජාතීන් විසින් මෙරට පැවති විශිෂ්ට අධ්‍යාපනය විනාශ කොට පිට රටින් ගෙන්වූ අධ්‍යාපනයක්‌ මෙරට ස්‌ථාපිත කළහ. ඒ අනුව 1930 ගණන් වන විට ධනවතුන්ට පමණක්‌ සීමා වූ අධ්‍යාපනයක්‌ විසින් මෙරට සමාජය බරපතල විභේධහයකට ලක්‌කොට තිබුණි. වරප්‍රසාද ඇති අයට ගාස්‌තු ගෙවා අධ්‍යාපනය ලබා දුන් පාසල් හා ගාස්‌තු ගෙවීමට අපහසු දුප්පතුන් සඳහා සිංහල හා දෙමළ ස්‌වභාෂා පාසල් ලෙස වර්ග 2 ක්‌ විය. මෙම පාසල් වර්ග දෙක අතර විශාල පරතරයක්‌ වූ අතර ඒ හරහා මෙරට සමාජය පංති දෙකකට බෙදී ගියේය.

"1931 දී තිබුණු 4023 ක්‌ වූ මුළු පාඨශාලා ප්‍රමාණයෙන් 7% ක්‌ ඉංග්‍රීසි පාඨශාලා වූ අතර පාසල් ගිය මුළු සංඛ්‍යාව 5,53,701 ක්‌ වූ අතර ඉහත ඉංග්‍රීසි පාඨශාලාවල අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ප්‍රමාණය 62,706 කි. එහෙත් අධ්‍යාපනය සඳහා රජය වියදම් කළ මුළු මුදලින් 37% ක්‌ම වියදම් කොට ඇත්තේ එම 7% ක්‌ තරම් සුළු පිරිසට වන අතර ඉතිරි 93% සඳහාම වියදම් කර ඇති මුදල මුළු මුදලින් 63% කි".

- එෆ්. ආර්. ජයසූරිය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය - සියවස ප්‍රකාශනය ෂෂ

මේ ආකාරයට පැවති අධ්‍යාපන ක්‍රමය තුළින් වඩාත් පීඩා වින්දේ මෙරට අහිංසක ස්‌වදේශික ජනතාවයි. එනිසා 1944 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී මේ තත්ත්වය පෙන්වා දුන් ආචාර්ය කන්නංගර මැතිතුමා අධ්‍යාපන ක්‍රමය වෙනස්‌ කළ යුතු බවට යෝජනා කළේය. "සාධාරණත්වය කල් දැමීම වූ කලී සාධාරණත්වය නොලැබීයාමකි. මේ රටේ ගම්බද දිස්‌ත්‍රික්‌කවල වෙසෙන පොදු ජනතාවට සාධාරණත්වය ඉටු කළ යුතු කාලය දැන් එළඹ ඇත..."

සී. ඩබ්. ඩබ්. කන්නංගර

(හැන්සාඩ් වාර්තාව - 1944)

ආචාර්ය කන්නංගර මැතිතුමා දේශපාලනයට පිවිසෙන විට මෙරට පැවතියේ අධිරාජ්‍යවාදී ඕනෑ එපාකම් ඉටු කරන මිෂනාරීන් විසින් පවත්වාගෙන ගිය අධ්‍යාපනයකි. ඒ තුළ හුදෙක්‌ ශාස්‌ත්‍රීය ජීවිතයට බරවූ සුළු පිරිසක්‌ පමණක්‌ ඉගෙනුම ලබන, අධ්‍යාපනයේ සම අවස්‌ථා ඇහිරීගිය, ආගම් ප්‍රචාරය කරන, කොටින්ම කළු සුද්දන් නිර්මාණය කරන අධ්‍යාපනයකි. කන්නංගර මැතිතුමා නැවත නැවතත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී මේ කරුණ ඉතා තර්කානුකූලව පෙන්වා දෙනු ලැබීය.

"අප විසින් ජනයා කොටස්‌ දෙකට බෙදා ඇත. එක කොටසක්‌ උසස්‌ය. අනෙක පහත්ය. එක්‌ කොටසක්‌ කලිසම් ඇඳී අනෙක්‌ කොටස අඳින්නේ රෙද්දය. ඉංග්‍රීසි අධ්‍යාපනය නිසා අපේ රට සමාජයේ පංති 2 ක්‌ වශයෙන් බෙදී ඇත. ඉසුරුමත් වූත්, ධනවත් වූත්, බල සම්පන්න වූත්, ගෙවීමට හැකියාව ඇත්තා වූත් අය විදේශීය භාෂාවකින් උසස්‌ අධ්‍යාපනයක්‌ දෙන පාසලකට යති. ඔවුන් ඒ සඳහා ගෙවිය යුතුය. එසේ මුදල් ගෙවීම ප්‍රයෝජනවත්ය. කවර හෙයින්ද මේ රටේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වන හෙයිනි. එසේම ඉංග්‍රීසි නොදන්නා කිසිවෙකුට කිසිදු උසස්‌ නිළයකට පත්විය නොහැකි හෙයිනි.

- සී. ඩබ්. ඩබ්. කන්නංගර - (හැන්සාඩ් වාර්තාව - 1944)

එවකට පැවති අධ්‍යාපන ක්‍රමය මනාව හඳුනාගත් එතුමා එම ක්‍රමය පිටු දකිමින් බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන් විසින් කණපිට හැරවූ ලාංකීය සමාජය නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා විශාල විප්ලවයක්‌ සිදු කළේය. ඒ අනුව පසු කාලීනව මෙරට සමාජ විප්ලවයකට හේතු වූ දිගුකාලීන දර්ශණයක්‌ සහිත අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා මාලාවක්‌ එතුමා විසින් ඉදිරිපත් කළේය. එම යෝජනා මෙරට සමාජ, සංස්‌කෘතික පුනරුදයක මූලාරම්භය නැවත සටහන් කළේය.

ඒ අනුව බාලාංශයේ සිට විශ්ව විද්‍යාලය දක්‌වාම අධ්‍යාපනය රජය විසින් නොමිලයේ ලබාදීමට කළ යෝජනාව කන්නංගර ප්‍රතිසංස්‌කරණවල අතිශයින් වැදගත්ම යෝජනාවයි. ඊට අමතරව ප්‍රාථමික පාඨශාලාවේ ඉගැන්වීම් මාධ්‍ය මව් භාෂාව කිරීම, ඉංග්‍රීසි දෙවන භාෂාවක්‌ ලෙස අනිවාර්ය කිරීම, ග්‍රාමීය අධ්‍යාපනය දියුණු කිරීම, ගුරු විද්‍යාල ආරම්භ කිරීම, උපාධිධාරි ගුරුවරුන් ලංකා විශ්ව විද්‍යාලයෙන් පුහුණු කිරීම, ගුරුවරුන්ට මාසික වැටුපක්‌ ලබාදීම, අවුරුදු 5-16 ළමුන් පාසල් යැම අනිවාර්ය කිරීම, අධ්‍යාපන පර්යේෂණ මණ්‌ඩලයක්‌ ඇති කිරීම, මධ්‍ය මහා විද්‍යාල ඇති කිරීම, වැඩිහිටි අධ්‍යාපනය ආරම්භ කිරීම, පාසල හැරයන සිසුන්ට කර්මාන්ත පුහුණුවක්‌ ලබාදීම, පාසලේ වැඩ ගම් වැසියන්ගේ රැකියා වලට සම්බන්ධ කිරීම, අධ්‍යාපන උපයෝගී සේවා ඇති කිරීම, ළමයින්ට දිවා ආහාරය ලබාදීම, දුප්පත් දක්‌ෂ ළමුන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම, මූලික අධ්‍යාපන අවස්‌ථා වැඩි කිරීම යන යෝජනා ඇතුලත්ය.

මෙකී යෝජනා ඇතුලත මෙරට අධ්‍යාපනය වඩාත් පුළුල් කිරීමටත්, නිදහස්‌ අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමටත් හේතුවන තවත් යෝජනා බොහොමයක්‌ විග්‍රහකර තිබේ. ඉතා ඉක්‌මණින් නැතත් දිගුකාලීනව මෙරට සමාජය විප්ලවීය වෙනසකට හේතුවනු දුටු දාර්ශනිකයෙකු ලෙස ආචාර්ය කන්නංගර මැතිතුමා කටයුතු කළ බව පැහැදිළිය.

අධිරාජ්‍යවාදී පාලනයෙන් හෙම්බත්ව තිබූ ලාංකේය සමාජය එම ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා ආචාර්ය කන්නංගර මැතිතුමා ගෙනගිය අරගලය යථාර්තයක්‌ බවට පත්වූ දිනය ලෙස 1945 ඔක්‌තෝබර් 01 දින හැඳින්විය හැක. කන්නංගර අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ක්‍රියාත්මක වීමත් සමග මෙතෙක්‌ සුළුතර පිරිසක්‌ සතුව පැවති අධ්‍යාපනය හා එහි ප්‍රතිලාභ ඈත ගම් දනව් සිසාරා ගමන් කරවීමටත්, මෙරට සමාජය උඩු යටිකුරු කිරීමටත් හේතු විය.

මෙතෙක්‌ හුදෙක්‌ ශාස්‌ත්‍රීය පදනමකින් පැවති අධ්‍යාපනය වෙනුවට වඩාත් ප්‍රායෝගික වූ මිනිස්‌ බලයක්‌ නිර්මාණය වන H - 4 සංකල්පය (Headල Heaරඑල Haබාල Heaකඑය) එතුමා විසින් හඳුන්වා දෙනු ලැබීය. එමගින්, පැවැති සමාජය ප්‍රබල චර්යාත්මක වෙනසකට භාජන විය.

1931-1947 දක්‌වා කාලය තුළ මෙරට සිදුවූ පෙරළිය සංඛ්‍යා ලේඛනවලින් දැක්‌වීම අපහසුය. එය සුවිසල් සමාජ හා සංස්‌කෘතික විප්ලවයක්‌ම විය. 1931 දී පාසල් යා යුතු වයසේ ළමුන්ගෙන් 88.9% ක්‌ පමණ පාසල් නොගිය අතර 1947 වන විට එම ප්‍රමාණය 37% දක්‌වා පහත බැසීය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 1931 දී 47.9% ක්‌ව පැවැති සාක්‍ෂරතාව 1947 වන විට 58.4% දක්‌වා වර්ධනය විය. 1931 21.2% ක්‌ වූ කාන්තා සාක්‍ෂරතාව 1963 වනවිට 67.3% දක්‌වා වර්ධනය විය. ශිෂ්‍ය ජනගහනය සීග්‍රයෙන් ඉහළ යැම නිසා ඊට අවශ්‍ය පාසල් බිහි කිරීමට රජයට සිදු විය. 1931 දී 2621 ක්‌ වූ ආධාර ලබන පාසල් සංඛ්‍යාව 1947 වන විට 2992 දක්‌වාද, 1498 ක්‌ වූ රජයේ පාසල් සංඛ්‍යාව 2906 දක්‌වාද වර්ධනය විය. "එක්‌ පාසලක්‌ ඇරෙන විට සිරගෙයක්‌ වැසී යයි" යනුවෙන් මහත්මා ගාන්ධිතුමා වරෙක ප්‍රකාශ කළේ පාසලක්‌ තුළින් කොතරම් සමාජ මෙහෙවරක්‌ සිදුවේ දැයි පැවසීමටය. ඒ අනුව මේ සා විශාල ලෙස මෙරට පාසල් ප්‍රමාණයක්‌ වැඩිවීම මෙරට සමාජයට කොතෙක්‌ බලපෑමක්‌ ඇති කළේ දැයි සිතාගත හැක.

නිදහස්‌ අධ්‍යාපනය ව්‍යාප්ත වීමත් සමඟ කිසිදු මුදලක්‌ නොගෙවා මූලික අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථාව සියලුම දරුවන්ට හිමි විය. එහි පසුකාලීන පියවරක්‌ ලෙස 1960 දී ආධාර ලබන සියලු පාසල් රජයට පවරා ගැනීමත්, පොත්පත් ලිපිද්‍රව්‍ය නොමිලයේ ලබාදීමත් ඇඳුම් ආහාර, මහපොළ ශිෂ්‍යත්ව ලබාදීමත් සිදු විය. අදටත් බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්‌වා නොමිලයේ අධ්‍යාපනය ලැබීමට අවස්‌ථාව ඇත්තේ කන්නන්ගර මැතිතුමාට පින්සිදු වන්නටය. එසේ නොවන්නට දුප්පත් දක්‍ෂ දරුවන්ට අධ්‍යාපනය යන්න සිහිනයක්‌ම වන්නට ඉඩ තිබිණි. නිදහස්‌ අධ්‍යාපනයේ ව්‍යාපෘතියත් සමග ද්විතීයික අධ්‍යාපනය නිමකර උසස්‌ අධ්‍යාපනය ලබන පිරිස සීග්‍ර්‍රයෙන් ඉහළ යැම හේතුවෙන් 1959 දී විෙද්‍යාදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල හා 1963 දී කොළඹ විශ්වවිද්‍යාලයත් 1962 දී ලංකා විශ්වවිද්‍යාලයට නේවාසික නොවන ශිෂ්‍යයන් බඳවා ගැනීමත් සිදුවිය.

මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කිරීම, පසුකාලීන විප්ලවයකට හේතු විය. ගම්බද ඉගෙනීමේ දක්‍ෂතා සහිත ළමුන්ට ඉහළට ඒමේ අවස්‌ථාව එමගින් හිමි විය. මෙම පාසල්වලින් ඉගෙනුම ලබන අය ඉහළ තැන්වලට ගොස්‌ තම ගමට, රටට සේවය කිරීම කන්නන්ගර මැතිතුමාගේ අපේක්‍ෂාව විය. පසුකාලීනව මෙරට විශිෂ්ටත්වයට පත්වූ මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය ලීල් ගුණසේකර වැනි පුරවැසියන් බිහි වූයේ මේ මධ්‍ය මහා විද්‍යාල හරහාය. ගමේ තිබූ රැකියා පාසල් විෂය මාලාවට සම්බන්ධ කරමින් ප්‍රාදේශීය සම්පත් විෂය මාලාවට ඇතුළත් වීම, විෂය මාලාවන් ප්‍රාදේශීයකරණය වීම, වඩුවැඩ, යකඩ වැඩ, රෙදි විවීම, කුඹල් කර්මාන්තය, කෘෂි කර්මාන්තය වැනි වෘත්තීය විෂයයන් පාසල තුළ ස්‌ථාපිත විය. ඒ සමගම අධ්‍යාපනය ජීවත්වීමට සම්බන්ධව ක්‍රියාත්මක වීම සහ ගම්බද දරුවන්ට තම අත්දැකීම් සමග ගලපා ගනිමින් ඉදිරියට යැමට අවස්‌ථාව උදා විය. තම අරමුණ වඩත් යථාර්ථවත් කිරීමේ අරමුණින් මධ්‍ය මහා විද්‍යාල සඳහා විදුහල්පතිවරු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මණ්‌ඩලයට පවා වාඩි වීමට කන්නන්ගර මැතිතුමා කටයුතු කර තිබේ.

මේ තාක්‌ වැටුපක්‌වත් නොලබන තත්ත්වයේ සිටි ගුරුවරයාගේ තත්ත්වය උසස්‌ කිරීමට එතුමා කටයුතු කළේය. ගුරුවරයාට වැටුපක්‌ ගෙවීමට, ගුරු අධ්‍යාපනය නඟාසිටුවීමට කටයුතු කිරීම, ගුරු විද්‍යාල ආරම්භ කිරීම, උපාධිධාරී ගුරුවරුන් විශ්වවිද්‍යාලවලින් පුහුණු කිරීම, ගුරුවරුන් වර්ග කිරීම ආදී ගුරු වෘත්තීය සංවර්ධනය කිරීමට අරමුණ වූයේ ගුරු වෘත්තීය සංවර්ධනය රටේ අධ්‍යාපනයට ඉතා වැදගත් බව දාර්ශනිකව එතුමා තේරුම්ගත් නිසාය.

අධ්‍යාපනයේ උපයෝජන සේවා වශයෙන් පාසල තුළින්ම සිසුන්ගේ සෞඛ්‍ය, පෝෂණය, පිළිබඳ කටයුතු කිරීම, පාසල් සෞඛ්‍ය සේවය, මැලේරියා මර්දනය ව්‍යාපාරය, පාසල් දන්aත සෞඛ්‍ය සේවය, බෝවන රෝගවලට බෙහෙත් විදීම, සෑම ළමයකුටම කිරි වේලක්‌ ලබාදීම, දිවා ආහාර සැපයීම වැනි සේවාවන් තුළින් පාසල හා සමාජය වඩාත් ගුණාත්මක කිරීමට කටයුතු කළේය. සෞඛ්‍ය සම්බන්ධ සමාජ දැනුවත්භාවය නිසා ලංකාවේ ළදරු මරණ හා මාතෘ මරණ සංඛ්‍යාව ඉතා පහළ බැසීමත්, ජනගහන වර්ධන වේගය අඩුවීමත් සිදුවිය. ශ්‍රී ලංකාවත් සමග නිදහස ලබාගත් අනෙකුත් රටවල් සමග බලනවිට ඉතා ඉහළ සමාජ ආර්ථික දර්ශක මෙරට විද්‍යමාන වීමට එය හේතු විය. ඒ අනුව සාක්‍ෂරතාව ළදරු මරණ අනුපාතය, මාතෘ මරණ අනුපාතය, ආයු අපේක්‍ෂණය, භෞතික ජීවන තත්ත්ව දර්ශකය අතිනුත් ලංකාව ඉහළ තත්ත්වයකට පත්විය.

පාසල් පද්ධතිය තුළ ආරම්භ කළ වගා කටයුතු, විද්‍යාත්මක කෘෂිකර්මය, ගමට හඳුන්වාදීම, ගැමි ජනතාවට පාසල තුළින් දැනුම සම්ප්‍රේෂණය කරවීම, ගුවන්විදුලි සේවා වැනි අවිධිමත් අධ්‍යාපන සේවා සැලසුම් කිරීම, වැඩිහිටි පන්ති හා ඉංගී්‍රසි පන්ති පැවැත්වීම මගින්, අවිධිමත් අධ්‍යාපන අවස්‌ථා පුළුල් කිරීම සිදුවිය. සර්වජන ඡන්ද බලය ලැබීමත් සමග සියලුදෙනාට අකුරු ලිවීමේ කියෑවීමේ හැකියාව අවශ්‍යවූ අතර මෙම නොවිධිමත් හා වැඩිහිටි අධ්‍යාපන අවස්‌ථා ඇතිවීම තුළින් පරගැති මානසිකත්වයකින් යටපත්ව තිබූ දේශීය චින්තනය හා අනන්‍යතාව යළි අවදිවීමට පටන් ගැනිණි.

සමස්‌තයක්‌ වශයෙන් ගෙන බලනවිට ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වර්තමානය වනවිට ශ්‍රී ලංකාව බොහෝ අංශවලින් ඉදිරියට පැමිණ තිබේ. අද වන විට මෙරට සාක්‍ෂරතාව 93% දක්‌වා වර්ධනය වී ඇත. මෑතකදී ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන් පිළිබඳ සිදු කළ එක්‌තරා පර්යේෂණයකදී මුළු රටවල් අතුරින් 20 වැනි ස්‌ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඇමරිකා එක්‌සත් ජනපදය එහිදී ලබාගෙන ඇති ස්‌ථානය 150 ඉක්‌මවයි. එසේවීමට හේතුව අන් කිසිවක්‌ නොව මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමත් සමග මෙරට ජනතාවගේ නිර්මාණාත්මක බව, විභවහ ශක්‌තීන් සමග ජන විඥණය පෝෂණය වීම ආදී කරුණුයි. ලොව අතිශයින් දියුණු රටවල් පරදවා මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම, ආචාර්ය සරත් ගුණපාල වැන්නන්හට නාසා ආයතනය තුළ දැවැන්ත පර්යේෂණ සිදු කරමින් විශිෂ්ටත්වයට පත්වීමට හැකි වූයේ මෙරට අධ්‍යාපනය පොදු ජනතාවගේ උරුමයක්‌ බවට පත් වූ නිසාය.

ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ අරමුණු මෙරට සිදුවූ සමාජ විප්ලවයක්‌ම වීය. එතුමා අධ්‍යාපනය තුළින් ශාරීරික මානසික, සදාචාරාත්මක වර්ධනයක්‌ අපේක්‍ෂා කළ අතර ඒ වෙනුවෙන් දිගුකාලීනව සකස්‌ කළ අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ මෙරට සමාජය හා සංස්‌කෘතිය යළි ඉපදීමට හේතු විය. අධිරාජ්‍යවාදීන් විසින් කණපිට හැරවු සමාජය යළි දේශීය අනන්‍යතාවක්‌ කරා ගෙන ඒමට සමත් විය.

එතුමන්ගේ මෙම අධ්‍යාපන ක්‍රමවේදය නොඉවසූ බටහිර ගැති චින්තකයෝ එකල එතුමාට බාධා කළහ. ඒ නිසාම එතුමා බලාපොරොත්තු වූ සියල්ල ඉෂ්ට කර ගැනීමට ඉඩ නොලැබිණි. මතුපිටින් පෙනෙන්නට නිදහස්‌ අධ්‍යාපනයක්‌ වර්තමානයේ මෙරට ක්‍රියාත්මක වුවත් ගැඹුරින් සලකා බලන විට නිදහස්‌ අධ්‍යාපනය දැඩි අභියෝගයකට ලක්‌ව තිබේ. එයට හේතුව පසුකාලීනව ආණ්‌ඩුවෙන් ආණ්‌ඩුවට මෙරට ක්‍රියාත්මක වන අධ්‍යාපන න්‍යාය පත්‍රවලින් කන්නන්ගර දර්ශනය පියවරෙන් පියවර ඉවත් කොට නැවත බටහිර න්‍යාය පත්‍රයන් මෙරට අධ්‍යාපනයට රිංගවාගෙන තිබීමයි. වර්තමාන පාසල් වර්ගීකරණය දෙස බලන විට නැවතත් පංති භේදය නිර්මාණය වී ඇත. මෙරට දරුවන්ගෙන් 3/4 ක්‌ම නියෝජනය කරන ග්‍රාමීය පාසල්වල දරුවන්ට විවිධ ගැටලු ඇත. ආර්ථික අපහසුතා, ගුරු හිඟය, සම්පත් හිඟය, සන්නිවේදන අපහසුතා ඉන් සමහරකි. එහෙත් අවසානයේ ඔවුන්ට තරග කරන්නට සිදුවන්නේ සුපිsරි පාසල් හා ජාත්‍යන්තර පාසල් සමගය. වත්මන් රැකියා වෙළෙඳපොළේදී දුප්පත් පාසල්වල දරුවන් අතුගෑවී යන තත්ත්වයක්‌ ඇත.

ශ්‍රී ලංකාවේ

දක්‍ෂතා සහිත දරුවන් තෝරා ඔවුන්ට ඉදිරියට ඒමට කන්නන්ගර මැතිතුමා ආරම්භ කළ 05 ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගය අද සමාජ ව්‍යසනයක්‌ බවට පත්ව ඇත. සුපිරි පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේ තරගය හා තම සමාජ මට්‌ටම පෙන්වීමට ප්‍රාථමික දරුවා භාවිත කරන, දරුවාගේ නිදහස අහුරා දමා, නිර්මාණ ශක්‌තිය මොට කරන දෙමාපියන්ගේ යුද්ධයක්‌ බවට අද මෙම විභාගය පත්ව ඇත. ඒ නිසාම සොයාගෙන ඇති පරිදි 05 ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන දරුවන්ගෙන් උසස්‌ අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ අද වනවිට 2% කට ආසන්න ප්‍රමාණයකි.

මීට අමතරව අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රීකරණය නොවීම අද දැකිය හැක. මුදල් ඇති අය විවිධ වෘත්තීය පාඨමාලා හදාරා රැකියා වෙළෙඳපොළට සරිලන ලෙස සකස්‌ වේ. එමෙන්ම වෙනත් රටවලට ගොස්‌ විවිධ උපාධි ලබා ගනී. ජාත්‍යන්තර පාසල්වල සංකර සංස්‌කෘතිය මෙරට සංස්‌කෘතික පරිහානියකට හේතු වී ඇත. මෙරට පාසල් දරුවාගේ භූමිකාව විකෘති කර ඇත. මේ සියලු ගැටලුවලට මූල හේතුව ආචාර්ය කන්නන්ගර මැතිතුමාගේ අධ්‍යාපන සංකල්පය පසුකාලීන රජයන් විසින් සංවර්ධනය නොකිරීමයි.

තත්ත්වය මෙසේ හෙයින් අනාගතය ඉතා අඳුරු සහගත බවක්‌ පෙනීයයි. එහෙත් ඒ අඳුර බිඳගෙන අනාගතයට ආලෝකය රැගෙන පෙරට යා යුතු කාලය එළඹ තිබේ. ඒ සඳහා විසඳුම් කන්නන්ගර මැතිතුමාගෙන්ම සොයාගත හැක. මෙරට අධ්‍යාපනය යළි ආරම්භ කළ යුත්තේ එතුමාගෙන්ම බව අවධාරණය කළ යුතුය. සෑම පාසලකම කාර්යාලයේ කන්නන්ගර මැතිතුමාගේ පින්තූරයක්‌ හෝ එල්ලා ගැනීමට තරම්වත් එතුමාට කෘතගුණ විය යුතුය. දරුවන්, ගුරුවරුන්, අධ්‍යාපන අමාත්‍යවරුන් නැවත එතුමා සොයාගොස්‌ එතුමාගේ දර්ශනය නතර වූ තැනින් ආරම්භ කළ යුතුය. එතුමාට කෘතගුණ සැලකීම වනාහී නැවත මේ රටට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමය. එසේ නොවන තාක්‌ දකුණේ හෝ වමේ කිsssසිදු බලවේගයකට රට වෙනස්‌ කළ නොහැක. ඒ නිසා අප උත්සාහ කළ යුතුය. ආරම්භ කළ යුතුය. එතුමාගේම වචනවලින් ඒ මෙසේය.

"අපි ගම්වලින් ආරම්භ කරමු. එතෙර වනු සඳහා දැඩි ආශාවෙන් තම දෑත් දිගුකොට තමන්ට කිසිසේත් තරණය කළ නොහැකි ස්‌ටික්‌ස්‌ ගංගාවෙන් තමන් එතෙර කරන්නැයි තමාගෙන් ඉල්ලා සිටින මිනිසුන් සහිතව ඊනියාස්‌ දුටු පින්තූරය පරිදි, ගැලවීමක්‌ සඳහා අධ්‍යාපනය සඳහා බලාපොරොත්තු විරහිත හඬනා අපේම මිනිසුන් සිටින තැනින් පටන් ගනිමු. අධ්‍යාපනය සඳහා දැඩි ආශාවක්‌ පවතී.

(හැන්සාඩ් වාර්තාව - 1944)

මිහිර බණ්‌ඩාර
අඹන්පොල

 
Powered By -